” මොකද මේ එළියේ ? “
ජාන්වීගේ පියා නැවත නිවසට රැගෙන ආවේය. ඒ හේතුවෙන්ම ඔහුගේ සුව දුක් බැලීමට පැමිණෙන පිරිසෙහිද අඩුවක් නොමැත. බොහෝ අයගේ දෑස පමණටත් වඩා තමාට විතැන් වෙන බව තේරුම් ගත් නෙත්‍යා ජාන්වීගේ සිත නොරිදෙන පරිදි ඈට සමුදී විජේවර්ධන නිවස වෙත පැමිණියාය.
බරැති කල්පනාවකට වැටී ගෙමිදුලේ උන් තරුණියගෙන් එසේ අසමින් ගුරු පාර දිගෙහි ආ විජේවර්ධන ඔහු අත තිබූ සිලි බෑගයක් ඈ වෙත දිගු කළේය.
” මොනාද අප්පච්චී.. ? අනේ.. ආප්ප.. සුවඳේ බෑ.. “
මොහොතකට ඈ වෙළා සිටි වේදනාව අතුරුදහන් වී ගිය අතර විජේවර්ධන දිගු කළ සිලි බෑගයට ඉව අල්ලමින් ඈ සිනාවක් පෑවාය.
” මේ එහා පැත්තේ ගෙදරක හදන්නේ. රස ලුණුමිරිසකුත් තියනවා. දුව කැමතිද නැද්ද දන්නෙත් නෑ , ඒත් මං පැණි ආප්ප දෙකකුත් ගෙනාවා. “
” අනේ.. පින් අප්පච්චි..!”
” තේ ටිකක් වක් කරන්නද කියලා අහන්න ආවා විතරයි. “
වසුන්දරා වැරැන්ඩාවේ හිඳ පැවසූ අතර නෙත්‍යා අත රැඳි සිලි බෑගයත් සමඟ නිවසට ගොඩ වූවාය.
” කන්න දරුවෝ. මං තේ ටිකක් හදන්නං …”
වසුන්දරා පසුපසින්ම මුළුතැන්ගෙට ආ නෙත්‍යා කෑම මේසය මත පළඟානක් තබා ආප්ප කිහිපය ඒ මත තැබුවාය. ඉන්පසු වෙනම පිඟානක් තබා කෑම මේසයේ හිඳ ගත් විජේවර්ධනට පිරිනමා වසුන්දරා දෙස හැරුණාය.
” අම්මත් එන්නකෝ…”
” ඉන්න පුතේ කේතලේ ලිපේ තියලා එන්නං. මනූ කතා කළාද පුතේ..?”
නෙත්‍යාගේ මුව නැවතත් අඳුරු වී ගියේය.
” නෑ.. අම්මා තාම ෆෝන් එක ඕෆ්..”
” ඕක ඔන් වෙලා තිබ්බොත් තමයි පුදුමේ.. මොන හදිස්සියක් උනත් සචින්ද්‍රට හරි ෂියෝනාට හරි කතා කරනවා ඇරෙන්න මෙයාට නං පණිවිඩයක් දීගන්න බෑ. මං ඒත් බනිනවා වෙලාවකට ගෙදර අම්මා අප්පච්චී මැරුණත් එයා දැනගන්නකොට දානෙත් දීලා ඉවරයි කියලා. “
” මට ප්ලේන්ටියක් වසූ…”
” දූට..?”
” ප්ලේන්ටියක් හොඳයි අම්මා.. “
” කාලා බීලා ඉන්න දරුවෝ.. එයා කතා කරන වෙලාවක කතා කරයි. “
වසුන්දරා එසේ පවසමින් නෙත්‍යාගේ හිස අත ගෑවද ඒ වන විටත් නෙත්‍යාගේ හදවත තුළ පැහැදිලි කර ගත නොහැකි වූ අනියත බියක් පැතිරෙමින් තිබුණේය.
**********************************************-
මනුහස් දෙතුන් වරක් දෑස තද කරමින් , නැවත හරිමින් වටපිටාවේ වූ අඳුරට දෑස හුරු කරගනිමින් සිටියේය. හිසින් නැඟෙන වේදනාව සුළු පටු එකක් නොවීය. නළල වටා වෙළුම් පටියක් යොදා ඇති අයුරු ඔහුට දැනුණේය. හිස අතගා බැලීමටද නොහැකිය. කිසිවෙකු හෝ විසින් තමාව හිඳ සිටි පුටුවට තබා බැඳ තිබූ බව තේරුම් ගත් ඔහු කිහිප වතාවක් එකී බැමි ලිහා ගැනීමට උත්සාහ දැරුවද ඒ සියල්ල නිශ්ඵල වී ගියේය. අඳුරට හුරු වූ දෑස ඒ මේ අත කරකවා බැලුවද තමා මේ සිටින්නේ කොහිද කියා ඔහුට තේරුම් ගත නොහැකි වූයේය. පැතිර ඇති අඳුර දෙස බලා සිටිමින් මේ ගත වන්නේ රාත්‍රිය බව වටහා ගත් මොහොතේම ඔහුට ඈව සිහියට නැඟුණේය. ඈ නොඉවසිල්ලෙන් බලා සිටිනවා විය හැකිය. තමාගේ ඇමතුමක් බලාපොරොත්තුවෙන් මඟ බලමින් සිටිනවා විය හැක. ඉවෙන් මෙන් තමා වටා කුමක් හෝ සිදු වන්නට නියමිත බව වැටහී ගොස් තිබීම නිසාම
ඇගෙන් සමු ගන්නට පෙර කළ යුතු දෑ , නොකළ යුතු දෑ පවසා ඒම සිතට සැනසිල්ලකි.
මනුහස් විසල් සුසුමක් හෙළා කලබලකාරී සිත මඳක් සමනය කර ගත්තේය . තමා මේ මොහොතේ හිඳින්නේ කොහිද කියා හරි හැටි තේරුමක් නොමැති වුවද මෙම සිදුවීම පිටුපස සිටින්නේ කවුදැයි කියා ඔහුට අනුමාන කළ හැකිය. ඉදින් කොයි මොහොතක හෝ ඔහු තමා ඉදිරියට එන තෙක් මනුහස් බලා සිටියේය.
තවත් මොහොතක් ගත වී ගියේය. වේලාව කීයට පමණ වේ දැයි හරියාකාරව වැටහීමක් නොවූවද තමා නිවැරදි සිහියට පැමිණ මේ සියල්ල තේරුම් බේරුම් කර ගත් අවස්ථාවේ සිට මේ වන විට මිනිත්තු විස්සක් ගත වන්නට ඇතැයි ඔහු අනුමාන කළේය.
නිහඬව තිබූ පරිසරයේ ශබ්ද කිහිපයක් නැඟෙන්නට විය. මඳ වේලාවක් ගත වන තැන එකී ශබ්ද ක්‍රම ක්‍රමයෙන් ලඟ ලඟම ඇසෙන්නට වීමෙන් කවුරුන් හෝ තමා වෙත පැමිණෙන බව ඔහු තේරුම් ගත්තේය. ඉදින් ඔහු ආගන්තුකයා පිළිගැනීමට මඟ බලමින් සිටියේය.
අඳුරු කාමරයේ පසෙකින් තිබූ ද්වාරයක් විවර වූ අතර ඉන් කිසිවෙක් හෝ ඇතුළු වූයේය. ඉන් පසුව කාමරය පුරා විදුලි ආලෝකයක් පිරී ගියේය. මනුහස් හිස කෙලින් කර සෘජු බැල්මකින් ඔහු දෙස බලා සිටි අතර සෙමෙන් සෙමෙන් ඔහු අඩි තබමින් මනුහස් ඉදිරියට පැමිණියේය.
” කොහොමද මිස්ටර් මල්දෙණිය …? “
හිඳ සිටින පොලිස් නිලධාරියාගේ බැල්ම සෘජුය. ඔහුගේ දෑසේ කිසිදු තිගැස්මක් , බියක් හෝ පුදුමයක් නොමැත. මයන් මල්දෙණිය පසෙක තිබූ පුටුවක් ගෙන මනුහස් ඉදිරියේ හිඳ ගත්තේය.
” තමුසෙට මාව දැකලා බය හිතුන්නැද්ද ?”
මනුහස්ගේ මුව අඟට මයන්ගේ පැනය හමුවේ සමච්චල් සිනහවක් නැඟුණේය.
” මොකට බය වෙන්නද මිස්ටර් මල්දෙණිය ?”
මනුහස්ගේ පැනය හමුවේ ඊළඟ මොහොතේ මයන්ද මුව අඟින් සිනහවක් නැඟුවේය.
” ඒ කියන්නේ තමුසේ දැනන් හිටියා මං ඉන්නවා කියලා ? “
” මුල ඉඳන්ම…”
එක් වරම මයන්ගේ අත තිබූ ජංගම දුරකතනය නාද වූ අතර ඔහු එය කනේ තබා ගත්තේය.
” උඩ.. වරෙං..”
ඔහුගේ පිළිතුරු බැඳීම එපමණක්ය.
” මිනිස්ටර් පළිහවඩනද ..?”
මයන්ගේ දෑසේ නැඟුණේ විශ්මයකි.
” මං තමුසේ ගැන හිතාගෙන හිටියා සෑහෙන්න මදි… “
මනුහස් නැවත වතාවක් සමච්චල් සිනහවක් නැඟුවේය.
” ඩඩ්ලී… ! ඩඩ්ලී..!”
මයන්ගේ ඇමතීමෙන් පිටත සිටි පුද්ගලයෙක් වහා ඇතුළට දිව ආවේය.
” අපේ පොලිස් මහත්තයගේ අත් දෙක ගලවලා දාන්න. “
මයන්ගේ විධානයත් සමඟ ඔහුගේ ගෝලයා වහා මනුහස්ගේ දෑත ළෙහා දැම්මේය.
නිදහස් වූ දෑත කිහිප වරක් ගසා දැමූ මනුහස් හිමින් සීරුවට නළල මත බැඳ තිබූ වෙළුම් පටිය අත ගා බැලුවේය.
” තමුසෙව ගේන්න හිටියේ මෙහෙම නෙමෙයි. පස්සෙන් එනව කියන එක දැනගෙනම වාහනේ අතුරු පාරකට දාලා එක පාරට ඉස්සරහට ආපු එකට අපේ එකා කලබල වෙලා. පාර පොඩ්ඩක් සැරට වැදිලා තිබ්බා. හැබැයි දැන් අවුලක් නෑ..”
මයන් එසේ පවසනවාත් සමඟම තවත් පුද්ගලයෙක් කාමරයට ඇතුළු වූයේ මනුහස්ගේ දෙවන අනුමානයත් නිවැරදි කරමින්ය.
ඉදින් ඒ මයන් මල්දෙණියගේ පාසල් මිතුරා වූ අමාත්‍ය නදීල් පළිහවඩනය. මයන්ගේ දෑස නදීල් වෙත විතැන් වෙන තත්පරයේදී මනුහස් කලිසම් සාක්කුවේ තිබූ කුඩා පෑන ගෙන තම කමිස සාක්කුවේ රඳවා ගත්තේය.
” මේ මොකක්ද මේ උනේ ?”
වෙළුම් පටියකින් හිස වෙළා සිටින මනුහස් දුටු නදීල් පළිහවඩනගේ දෑස් විසල් වී ගියේය .
” පොඩි මිස්ටේක් එකක්. “
මයන්ගේ පිළිතුරත් සමඟ නදීල් රෞද්‍ර මුහුණකින් ඔහු දෙස බැලුවේය.
” මං උඹට කිව්වේ මේක සාමාන්‍ය කතා බහක් විදිහට කරන්න කියලා. මිස්ටර් විජේවර්ධන .. ආ යූ ඕකේ..? “
මයන් වෙත ගෝරනාඩුවක් කළ නදීල් මනුහස්ගේ පිටට අතින් තට්ටුවක් දමමින් ඇසුවේය.
” ශේප්..”
මනුහස් නැවතත් වෙළුම් පටිය අත ගා බලමින් පිළිතුරු බැන්ඳේය.
” බොන්න මොනාහරි අරන් වරෙන්”
ඩඩ්ලී දෙස බලා එසේ පැවසූ ඔහු පසෙක තිබූ පුටුවක් ගෙන මනුහස් අසලින් හිඳ ගත්තේය.
” මිස්ටර් විජේවර්ධන.. ! අපි ඉන්නේ ලොකු අමාරුවක වැටිලා “
” අවුරුදු ගාණකට කලින් යාලුවො නම දෙනා එක්ක එකතු වෙලා කරපු මොකක් හරි පවක් පස්සෙන් පන්නනවා නේද ඇමතිතුමා ?”
” මිස්ටර් විජේවර්ධන ඒක දැනගත්තා කියලා මං දන්නවා. “
” හ්ම්ම්.. ටැමී කියන්න ඇතිනේ.. ?”
නදීල් මයන්ගේ මුහුණ දෙස බැලූ අතර ඔහු හිස බිමට බර කර ගත්තේය.
” අපිට මේකට විසඳුමක් ඕනේ මිස්ටර් විජේවර්ධන ..”
” වෙන්න ඕනේ ඒකනං ඒක මුලින්ම කියන්න තිබුණා , මිසිස් මල්දෙණියව ඉස්සරහට නොදා. ලෙඩේ දන්නැතුව මට බෙහෙත් හොයන්න බෑනේ ඇමතිතුමා. ලෙඩේ තියෙන්නේ අතේද , කකුලෙද , ඔලුවෙද , බඩේද කියලා නොදැන බෙහෙත් කරන්න ගියාම ලෙඩේ තියන තැන හොයාගන්න මුළු බොඩි එකම සර්ච් කරන්න වෙනවා. එහෙම කරන්න ගියාම අදාල ලෙඩේ විතරක් නෙමෙයි තව තව ලෙඩ අහුවෙන්න පුලුවන් . එහෙම උනාම තමයි අනුරාධපුරේ ගෙස්ට් හවුස් එකේ සිද්ධි වගේ ඒවා නිකන්ම එළියට එන්නේ..”
නදීල් සුසුමක් හෙළා නැවතත් මයන් දෙස බැලුවේය. එකී බැල්මේ තිබුණේද පෙර තිබූ රෞද්‍ර පෙනුමමය.
” ටෙහාන් , ක්‍රිශාන් , අසංග නැති උනු හේතුව මිස්ටර් මල්දෙණිය දැනගෙන හිටියා. ටෙහාන් මැරෙන්න කලින්ම වෙන්න යන දේ මිස්ටර් මල්දෙණියට කිව්ව වෙලේ මෙහෙම දෙයක් කළා නං අද තාමත් ඔක්කොමලා ඉන්නවා “
මනුහස්ගේ සෘජු බැල්මද වැටී තිබුණේ මයන් දෙසටය.
” වෙච්ච දේවල් උනා. ඒ දේවල් නතර කරන්න කොච්චර ට්‍රයි කළත් අර මෝඩයෝ ටික බය උනා. “
” මිනිස්සුන්ට කාගෙන් ගැලවුණත් තමන්ගේ හෘදසාක්ශියෙන් ගැලවෙන්න බෑ මිස්ටර් මල්දෙණිය . “
තිදෙනා මැදින් තැබූ ටීපෝවක් මත මත්පැන් බෝතල් කිහිපයක් මෙන්ම කට ගැස්ම කිහිපයක්ම හනි හනික සූදානම් වූයේය. පිරවූ මත් පැන් වීදුරුවක් ගත් නදීල් ඉන් එකක් මනුහස්ට දිගු කළ අතර තවත් එකක් ගෙන සෙමින් තොළ ගෑමට පටන් ගත්තේය.
” ඉතුරු වෙලා ඉන්න හතර දෙනාගේ ජීවිතවත් බේරගන්න ඕනේ මිස්ටර් විජේවර්ධන …”
නදීල්ගේ හඬෙහි බොහෝ බැරෑරුම් ස්වභාවයක් තැවරී තිබුණේය.
” මං කිව්වනේ ඇමතිතුමා. බෙහෙත් කරන්න ඕනේ නං හරියටම ලෙඩේ මොකද්ද ? ලෙඩේ තියන තැන කොහෙද කියලා දැනගෙන ඉන්න ඕනේ. නැතුව අත ගහලා වැඩක් නෑ.. “
මනුහස්ගේ කතාවත් සමඟ නදීල් සහ මයන් දෙදෙනාම මුහුණට මුහුණ බලා ගත්හ.


