ඈත නිල් පාට විලක, තනිවම පිපිලා තිබුණු විසාල සුදු කුමුදු මලක් අස්සේ තමයි කුමුදු ජීවත් වුණේ.
කුමුදු කියන්නේ පුංචි සුරංගනාවියක්.
එයාගේ ලෝකය හරිම අමුතුයි. දවල්ට ඉර එළිය වැටෙද්දී එයා කරන්නේ කුමුදු මලේ පෙති අස්සට වෙලා හොඳට නිදාගන්න එක. එයා එළියට එන්නේ රෑට විතරයි. හඳ එළියයි, කණාමැදිරියන්ගේ එළියයි විතරයි කුමුදු දැකලා තිබුණේ.
ඔහොම ඉන්න අතරේ එක හැන්දෑවක කුමුදු මාරම ලස්සන හීනයක් දැක්කා. ඒ හීනයෙන් එයා දැක්කේ මහා ඉර එළියක් මැද පිපිලා තියෙන සූරියකාන්ත මලක්. ඒ මල මැද පෙති අස්සේ සැතපිලා හිටපු තරුණ පිරිමි ළමයෙක්ව කුමුදු දැක්කා. එයාගේ හම හරියට රත්තරන් වගේ දිලිසෙනවා. එයා ඉර එළියට බය නැහැ, ඒ එළියත් එක්ක එයා හිනා වෙනවා. කුමුදු හීනෙන් ඒ මල ළඟට පාවෙලා ගියා. එතකොට ඒ රන්වන් කුමාරයා හෙමින් ඇස් ඇරලා කුමුදු දිහා බැලුවා. එයාගේ බැල්ම මාරම සුවපහසුයි. එයා කුමුදුට හෙමින් අත දික් කරලා, මාරම මිහිරි කටහඬකින් මෙහෙම කිව්වා.
“කුමුදු… මම දන්නවා ඔයා එනවා කියලා. ඔයා එනකල් මම කාලයක් තිස්සේ බලාගෙනයි ඉන්නෙ. හැංගිලා ඉන්න එපා, මාව හොයාගෙන එන්න…”
ඒ වචන ටික ඇහෙද්දී කුමුදුගේ හිතේ මීට පෙර කවදාවත් නොදැනුණු මහා ගැඹුරු ආදරයක්, සෙනෙහසක් උපන්නා. ඒ එක්කම කුමුදු ගැස්සිලා ඇහැරුණා. ඒ වෙද්දි හොඳටම හැන්දෑ වෙලා. කුමුදු දැන් ඇහැරෙන්න ඕන. එයා ඇහැරිලා ඈලි මෑලි ඇරියා. හැබැයි ඒ කටහඬ තවමත් එයාගේ කන් අස්සේ දෝංකාර දෙනවා වගේ එයාට දැනුණා.
කුමුදුට ඒ රත්තරන් පාට කුමාරයා ගැන මාරම ආදරයක් හිතුණා. එයා තමයි තමන්ගෙ ඉරණම්කාරයා කියලා කුමුදුට හිතුණා.
කුමුදු රෑ තිස්සේම මේ ගැන හිතුවා. එයාට ඕන වුණා ඒ පිරිමි ළමයාව හොයාගන්න. “මම එනකල් එයා බලාගෙන ඉන්නවා…” කුමුදු තමන්ටම මුමුණගත්තා. ඉතින් එයා රෑට පිපෙන අනිත් මල්වලින්, විශේෂයෙන්ම කඩුපුල් මල්වලින් ඒ ගැන ඇහුවා. “ඔයාලා දන්නවද සූරියකාන්ත මල් අස්සේ ඉන්න පිරිමි ළමයෙක් ගැන?” කියලා එයා කණාමැදිරියන්ගෙනුත් ඇහුවා. ඒත් ඉතින් වැඩේ කියන්නේ, කඩුපුල් මල් පිපෙන්නෙත් රෑට, කණාමැදිරියෝ එළියට එන්නෙත් රෑට. ඉතින් උදේ ලෝකය ගැන, ඒ කියන්නේ ඉර එළිය තියෙන වෙලාව ගැන ඒ කිසිම කෙනෙක් මුකුත්ම දැනගෙන හිටියේ නැහැ.
ඒත් කඩුපුල් කුමරියෝ තමන්ගේ සුදු පෙති හෙමින් සලමින්, මාරම කනගාටුවෙන් කුමුදු දිහා බැලුවා. “අනේ කුමුදු, අපි දන්නේ මේ රෑ ගැන විතරයි. ඉර පායද්දී අපි හැමෝම මැලවිලා යනවා නේ. දවල් ලෝකය කියන්නේ අපිට මරණය වගේ දෙයක්. ඒ නිසා සූරියකාන්ත මල් ගැනවත්, ඔය කියන කුමාරයා ගැනවත් අපි කිසිම දෙයක් දන්නේ නැහැ,” කියලා ඒගොල්ලෝ දුකෙන් කිව්වා.
ඒ වෙලාවේ එතනින් පාවෙලා ගිය කණාමැදිරි රෑනක් කුමුදු වටේ කැරකුණා. උන්ගේ පුංචි එළි නිවි නිවී පෙනුණේ හරියට අහසේ තරු බිමට බැහැලා වගේ. කණාමැදිරි නායකයා කුමුදුගේ කර උඩ ලැගලා හරිම ගොරෝසු, ඒත් අනුකම්පාව පිරුණු හඬකින් මෙහෙම කිව්වා.
” අපි මේ මුළු කැලේම රෑට රවුම් ගහනවා. ඒත් අපේ මේ පුංචි ලන්තෑරුම් එළිවලට පේන්නේ කළුවරේ තියෙන දේවල් විතරයි. රන්වන් පාට ලෝකයක් ගැන, ඉර එළිය ගැන අපිට හිතාගන්නවත් බැහැ. ඉර පායන්න කලින් අපි හැමෝම පඳුරු අස්සේ හැංගෙන්න ඕනේ. අපේ ඇස්වලට ඔය කියන ආලෝකය දරාගන්න බැහැ. ඒ නිසා ඔය දවල් ලෝකේ ඉන්න කුමාරයා ගැන හොයන එක අතෑරලා දාන්න. ඒක අපිට කවදාවත් අයිති නැති ලෝකයක්!”
දවස් ගාණක් ගෙවිලා ගියා. කුමුදුට දැන් කන්න බොන්නවත් මතක නැහැ. එයා හැම රෑකම හඳ දිහා බලාගෙන කල්පනා කරන්නේ තමන්ගේ සූරිය කුමාරයා ගැන. එයාට ඕන වුණා එයා කොහොම හරි ඇස් දෙකෙන් දකින්න.
කුමුදුගේ හිත තවත් පෑරුණා. හැමෝම කියන්නේ බෑ කියලා විතරයි. ඒත් කුමුදුගේ හිතේ අර කුමාරයා කියපු වචන ටික තදින්ම ඇලවිලා තිබුණා. “ඔයා එනකල් මම බලාගෙන ඉන්නවා…”
“ඇයි මට දවල්ට ඉන්න බැරි? ඇයි මම ඉර පායද්දී හැංගෙන්න ඕනේ?” කුමුදු තමන්ගෙන්ම අහගත්තා. එයාගේ යාළුවෝ හැමෝම කිව්වේ “එපා කුමුදු… ඔයා දවල් ලෝකෙට ඔරොත්තු දෙන්නේ නැහැ. ඉර එළියට ඔයාව පිච්චිලා යයි” කියලා. ඒත් ආදරේ හින්දා කුමුදු මුරණ්ඩු වුණා.
“හැමෝම කියන්නේ රෑ ගැන විතරයි නම්, මම දවල් ලෝකය ගැන දන්න කෙනෙක්ව හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් මමම ගිහින් ඒ ලෝකය දකින්න ඕනේ,” කුමුදු හිතින් තීරණය කළා.
එයාට අමතක වුණා එයා රෑට විතරක් අයිති කුමුදු මලක සුරංගනාවියක් කියලා.
ඒ විදියට ඉන් පස්සෙ උදාවෙච්ච හැම රැයක් මුළුල්ලේම කුමුදු හිටියේ මාරම අසහනයකින්. එයාගේ හිත ඇතුළේ ලොකු යුද්ධයක් කෙරුණා. “එයා මං එනකල් බලාගෙන ඉන්නවා කිව්වා නේද? එහෙනම් මම මෙහෙම හැංගිලා ඉන්න එක එයාට කරන වැරැද්දක්,” කුමුදු තමන්ටම කියාගත්තා. එයාගේ යාළුවෝ හැමෝම සඳ එළියේ සින්දු කියමින් සතුටින් නටද්දී, කුමුදු විල අයිනේ තනිවම වාඩි වෙලා කල්පනා කළා.
එයාගේ හිත පෑරිලා තිබුණේ හැමෝම බෑ කියපු නිසා විතරක් නෙවෙයි. තමන්ට කවදාවත් අයිති නැති ලෝකයකට හිත ගියපු එක ගැන එයාටම ඇති වුණේ ලොකු අසරණකමක්. “ඇයි මම විතරක් මෙහෙම කළුවරේ ඉපදුණේ? මටත් තිබුණා නේද ඉර එළියත් එක්ක පිපෙන්න?” කුමුදුගේ ඇස් දෙකෙන් වැටුණු කඳුළු බිංදු කුමුදු මලේ සුදු පෙති මත මුතු කැට වගේ නතර වුණා.
දවසක් රෑ ඉවර වේගෙන එද්දී, කුමුදු අමුතුම තීරණයක් ගත්තා. එයා තීරණය කළා තමන්ගේ මුළු ජීවිත කාලෙම පුරුදු වෙලා හිටපු ඒ සීමාවන් කඩන්න.
“අද මම මලේ පෙති අස්සේ හැංගෙන්නෙ නැහැ. මම ඉර පායනකම් බලාගෙන ඉන්නවා. මට ඕනේ සූරියකාන්ත මල් පිපෙනවා බලන්න. එතකොට මට මගේ කුමාරයාව දකින්න පුළුවන් වෙයි” කියලා එයා හිතාගත්තා.
හිමිදිරියේ මීදුම ගලනකොට, කුමුදු මලේ පෙති හෙමින් හෙමින් වැහෙන්න පටන් ගත්තා. හැමදාම වගේ කුමුදු මල නිදාගන්න ලෑස්ති වුණා. ඒත් කුමුදු සුරංගනාවිය මලෙන් එළියට ඇවිත්, මල උඩ ඉඳගෙන අහස දිහා බලාගෙන හිටියා. එයාගේ හිතේ තිබුණේ එකම එක බලාපොරොත්තුවයි. ඒ තමයි තමන් ආදරේ කරන ඒ රන්වන් කුමාරයාව එක පාරක් හරි දැකගන්න එක.
හිරු කුමාරයා හෙමින් හෙමින් නැගෙනහිර අහසින් එබුණා. මහා රන්වන් පාට දියදහරාවක් වගේ ඉර එළිය මුළු විල පුරාම ගලාගෙන ආවා. කුමුදුට පෙනුණා විල අයිනේ තිබුණ සූරියකාන්ත මල් එකින් එක තමන්ගේ පෙති විදහාගෙන හිනා වෙන හැටි. ඒ මල් දකිද්දී, වේදනාව අස්සෙත් කුමුදුගේ හදවත සතුටින් පිරුණා. “දැන් එයා එළියට ඒවි…” කුමුදු අව් රස්නෙ දාඩිය දාගෙන තමන්ටම මුමුණගත්තා.
එකපාරටම ඈතින් තිබුණු ලොකුම සූරියකාන්ත මල මැදින් අර එයා හීනෙන් දැක්ක රන්වන් කුමාරයා හෙමින් ඇහැරුණා. එයා හරිම ලස්සනයි! ඉර එළිය වැටෙද්දී එයාගේ හම රත්තරන් වගේ දිලිසෙන්න ගත්තා. එයා මලේ පෙති උඩ ඉඳගෙන අත් දිගු කරලා හිනා වෙවී ඉර එළිය සිපගත්තා.
කුමුදුට කතා කරන්න වුවමනා වුණා. “මෙන්න මම ඇවිත්… මම ඔයාව හොයාගෙන ආවා!” කියලා කෑගහන්න හැදුවා. ඒත් එයාගේ තොල් ඉර එළියට වේලිලා ගිහින් තිබුණෙ. එක වචනයක්වත් පිට වුණේ නැහැ. කුමුදු වෙව්ලන අත් දිගු කරලා ඒ රන්වන් රූපය අල්ලන්න හැදුවා. ඒත් එයාගේ සුදු සියුමැලි අත් ඉර එළියට පිච්චිලා මැලවෙන්න පටන් ගත්තා.
එයා දැක්කා තමන්ගේ කුමාරයා සතුටින් දවල් ලෝකයත් එක්ක හිනා වෙනවා. එයාට තමන්ව හොයාගෙන ආව කුමුදු සුරංගනාවියව පේන්නේ නැහැ. කුමුදු හිටියේ මරණාසන්න වේදනාවක වුණත්, ඒ වේදනාවට වඩා එයාට රිදුණේ තමන්ගේ කුමාරයාගේ ඇස් වලට තමන්ව පේන්නේ නැති එක ගැනයි.
“ඔයා දන්නේ නැහැ නේද මම මෙතන ඉන්නවා කියලා…” කුමුදුගේ ඇස් දෙකෙන් වැටුණු අන්තිම කඳුළු බිංදුව ඉර එළියට රත් වෙලා වාෂ්ප වෙලා ගියා.
එයාගේ ආදරේ අත පොවන මානයේ පෙනි පෙනී තියෙද්දී, ඉර එළියට ඔරොත්තු දෙන්න බැරුව කුමුදු හෙමින් හෙමින් මැලවිලා ගියා. එයාගේ පණ ටිකෙන් ටික දිය වෙද්දී, එයා හෙමින් දෑස් පියාගත්තේ තමන්ගේ සිහින කුමාරයාගේ ඒ ලස්සන හිනාව අවසාන වතාවටත් හදවතේ පුරවාගෙනයි. කුමුදු දන්නෙම නැතුව අන්තිම හුස්ම හෙළුවේ තමන්ගේ ජීවිතේම වුණු ඒ ආදරය දිහා බලාගෙනමයි.
විල මත පාවෙන මැලවුණු පෙති අතරේ කුමුදුගේ ප්‍රාණය දිය වෙලා යද්දී, හුළඟ ඒ දුක අරන් ගිහින් අහස පුරා මෙහෙම ලිව්වා.
“ඔබේ ලොවත් මගේ ලොවත් අතර වෙනස රැයකි
ඔබේ ලොවේ සූරියකත් මෙහේ කුමුදු පිපෙති
විහඟ නදින් ඔබ ලෝකය සුමධුර වී දිලුණී
කණාමැදිරි එළි පෙළ මැද මගෙ ලෝකය නිදති
තරු ඇවිදින් ඔබෙ ලොව ගැන නිතර රහස් කියතී
එබස් අසා කුමුදු පොකුරු සිනා කැළුම් සලතී
හිරු කුමරුන් ඔබේ ලොවට කෙමෙන් කෙමෙන් එබුණී
ඒ දැක විළිබරව කුමුදු පොකුරක් ඇත සැඟවී
වළාකුලක තවරාගෙන අවුත් අඳුර පතුරා
සඳට එන්න පාර හදන අඳුර ඇයගෙ මිතුරා
ළංවී සවනත රහසක් හෙමින් මතුර මතුරා
පවසන්නේ ඔබෙ ලොව ගැන කිසි දිනකදි හමුනොවණා”











