මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 14

0
138

” එක මනුස්සයෙක් කරපු වරදක් හින්දා ලෝකෙම වැරදිකාරයෝ කරන එක… ඒක අසාධාරණයි නේද?”

හේසර එහෙම කියද්දි ඇත්තටම මට ඒකට කියන්න කිසිම දෙයක් තිබුණෙ නෑ.

aavari එකෙන් ගත්ත මගේ ප්‍රින්ටඩ් මූදු නිල් පාට කුර්තා සෙට් එකට මම එදා දැම්මේ සිල්වර් කලර් ජුම්කා සෙට් එකකුයි ඒ පාටම වලල්ලකුයි. 

මදි පාඩුවට පොට්ටුවක් තියලා මගේ කර්ලි කොන්ඩෙ දිගට කඩලා දැම්මා. ඉස්සරා උරිස් ගාවට තිබ්බ කොණ්ඩෙ පහුගිය අවුරුදු දෙකට ඉණ ගාවට කිට්ටු වෙන්න වවාගන්න ඒ වෙද්දි මට පුලුවන් වුණා.

පෙනුමෙන් මගේ අතීත කාලෙන් කොටසක් වර්තමානෙට අරගෙන එන්න මට පුළුවන් වුනාට අභ්‍යන්තරයෙන් මම උන්නෙ සෑහෙන වෙනස් වෙලා. වෙනදා මතින්ද්‍රගෙ ගුඩ් මෝනින් කියන මැසේජ් එකක් නැතුව ගෙයින් එලියට බැස්සෙ නැති මම, මතින්ද්‍රගෙ ගුඩ් නයිට් කිස් එකක් නැතුව නින්දට ගියේ නැති මම මේ වෙද්දි සෑහෙන්න ඉස්සරහට ගිහින් උන්න හයිය ගෑනියෙක් වෙලා උන්නා.

පික් මී එකෙන් කැබ් එකක් බුක් කරගත්ත මම හනි හනික ලැප්ටොල් එක මගේ ලෙදර් හෑන්ග් බෑග් එක අස්සෙ ඔබාගෙන මගේ ග්‍රීක් යෝගට් බෙක්ෆස්ට් බෝල් එක අතට අරගෙන කැබ් එකට නැග්ගෙ උදේම ඔෆිස් එකට ගිහිල්ල අද හවස තියෙන හෙක්ස් මාකටින් එකේ පිච් එකේ අන්තිම ස්ලයිඩ්ස් ටිකත් ගෝ තෲ කරන්න හිතාගෙන. මේ වෙද්දි මම අපේ ක්‍රියේටිව් ඒජන්සි එකේ ක්‍රියේටිව් ගෘප් හෙඩ් කියන රෝල් එකට ප්‍රමෝට් වෙලා උන්නත්, මගෙ යටතේ සෑහෙන ලොකු ටීම් එකක් උන්නත් ලොකු බ්‍රැන්ඩ් වල පිචස් තාම කරේ මම හන්දා හෙක්ස් එකෙ පිච් එකත් භාරවෙලා තිබ්බෙ මට කරන්න.

හේසර මගේ ජීවිතේට ආවෙ ඒ පිච් එකත් එක්ක.

හේසරව මට මුලින්ම හම්බුණේ ක්ලයන්ට් මීටින් එකකදී. 

ඇත්තටම ඒක මීටින් එකක් කියනවට වඩා හරිම කැෂුවල් හමුවීමක්. එයා ඇවිත් වාඩිවුණේ හරියට මට ප්‍රොජෙක්ට් එකට වඩා ඔයාගේ අයිඩියා එක ගැන කුතුහලයක් තියෙනවා කියන ජාතියේ ඇටිටියුඩ් එකක් එක්ක.

“ඔයාද මේ කැම්පේන් එක හැන්ඩ්ල් කරන්නේ?”

එයා එහෙම ඇහුවේ ඉස්සරහා තිබුණ ෆයිල් එක වහලා දාලා කෙලින්ම මගේ ඇස් දෙක දිහා බලන ගමන්.

“ඔව්… ඇයි, මොකක් හරි ප්‍රශ්නයක්ද?” මම මගේ සුපුරුදු උපහාසය මුසු කරලා ඇහුවා.

“නෑ… ප්‍රශ්නයක් නෙවෙයි. මට හරිම ඉන්ටරෙස්ටින්.”

“මොකක්ද ඉන්ටරෙස්ටින්?”

“ඔයා වගේ කෙනෙක් මේ වග ඉන්ඩස්ට්‍රි එකක ඉඳගෙනත්, තාමත් සොෆ්ට් අයිඩියාස් බිලීව් කරන එක.”

මම ටිකක් වෙලා එයාගේ ඒ තියුණු ඇස් දෙක දිහා බලාගෙන හිටියා. සොෆ්ට් කියන්නේ ‘වීක්’  කියන එකද හේසර?”

“අපෝ නෑ,” එයා හිනාවෙලා ඔළුව හෙල්ලුවා. “සොෆ්ට් කියන්නේ රියල් කියන එක. හැබැයි ඒ රියල් ගතියට දැන් මාර්කට් එක බයයි.”

ඒ වචනෙ මගේ හිතේ කොනක තදින්ම වැදුණා.

“රියල්”

මම එක මොහොතකට හිතින් මගෙන්ම අහගත්තා.

මම තාමත් රියල් ද?

 නැත්නම් මම මේ කරන්නෙ මම මාවම පරිස්සම් කරගන්න හදාගත්ත ඩ්‍රාමා එකක් විතරද?

“ඔයා මේ ඉන්ඩස්ට්‍රි එකේ කොච්චර කාලයක්ද දැන්?”

“අවුරුදු අටක් විතර දැනට,” එහෙම කියලා හරිනම් ඒ කතාව එතනින් නතර කරන්න මට ඕන වුනාට මගෙ හිත මට ඒකට ඉඩට දුන්නෙ නෑ. ඊටපස්සේ මගේ හිතේ තිබුණ උපහාසෙ පොඩ්ඩක් එළියට දාන්න මට ඕන වුණා.

 “මිනිස්සු කියන දේවල් වල ඇත්තක් නැති බව තේරුම් ගන්න ඒ අවුරුදු කීපෙ  මට හොඳටම ඇති වුනා ඉතින්.”

“එහෙමද?” 

“ඇයි… ඔයාට තාම එහෙම අත්දැකීමක් නැද්ද?”

“මට නැත්තෙම නෑ. හැබැයි මම ඒක ජෙනරලයිස් කරන්න බයයි.” 

“ඒ ඇයි?”

“මොකද එක මනුස්සයෙක් කරපු වරදක් හින්දා ලෝකෙම වැරදිකාරයෝ කරන එක… ඒක අසාධාරණයි නේද?”

“සමහර වෙලාවට… ඒ අසාධාරණ වීම තමයි ආරක්ෂිතම දේ එහෙම නෙවෙයිද?”

 “ආරක්ෂිත?” 

“ඔව්. ඔයා කවදාවත් කාවවත් ෆුලි ට්‍රස්ට් කරන්නේ නැත්නම්, ඔයාට රිදෙන්න තියෙන ඉඩකඩ සෑහෙන්න අඩුයි.”

“ඒ කියන්නෙ ඔයා දැන් ඉන්නෙ චුට්ටක්වත් හිත රිදෙන්නෙ නැති තැනකද?”

ඒ ප්‍රශ්නයට මට එකපාරටම උත්තරයක් තිබුණේ නැහැ. මම කතාව වෙන අතකට හැරෙව්වෙ අන්න ඒ හන්දා.

 “ඔයාට කවදාවත් හිතෙන්නේ නැද්ද, අපිට වෙන දේවල් අපේම කර්මය අනුව සිද්ද වෙන දේවල් කියලා?” 

“ඔයා ඒක විශ්වාස කරනවද?”

“මට හිතෙනවා… සමහර වෙලාවට අපිට ලැබෙන්නේ අපි ඩිසර්ව් කරන දේවල් කියලා.”

 “ඒ කියන්නේ?”

“උදාහරණයක් විදියට…සමහර දේවල් අපි අවංකවම කරාම අපි බලාපොරොත්තු වෙනවම අපිට අවංකවම ප්‍රතිපල ලැබේවි කියලා. ඒ උනාට අන්තිමේ අපිට ඉතුරු වෙන්නෙ හිත් වේදනාවක් විතරක්. ඉතින් එතකොට මට හිතෙනවා. සමහරවිට මම මෝඩ ඇති. මම ඒ ලකුණු දැක දැකත් නොදැක්කා වගේ හිටියා ඇති. මට වෙච්ච දේ මම ඩිසර්ව් කරනවා ඇති කියලා”

“නෑ,ඔයා ඩිසර්ව් කළේ ඒ අත්දැකීමෙන් දෙයක් ඉගෙන ගන්න එක මිසක්, දිගින් දිගටම රිද්දගන්න එක නෙවෙයි.”

“මොකක්ද ඒ දෙකේ වෙනස?” 

“රිදෙන එක ඔටෝමැටික් දෙයක්. හැබැයි ඒකෙන් ඉගෙන ගන්න එක තමන්ගේ චොයිස් ( එකක්.”

“ඔයා හැමදේම මේ තරම් සිම්පල් විදියට පැහැදිලි කරන්නේ කොහොමද?” 

“මම සිම්පල් මනුස්සයෙක් නෙවෙයි මේඝා,” හේසර හිනාවුණා. “මම ගොඩක් කොම්ප්ලිකේටඩ් වෙලා ඉඳලා, දැන් හෙමින් හෙමින් සිම්පල් වෙන්න උත්සාහ කරන කෙනෙක්.”

“ඔයා තාම සිංගල් නේද?” හේසර එකපාරටම ඇහුවා. 

“ඔයා ක්ලයන්ට් කෙනෙක් කියලා ඔයාට අමතක වුණාද?” මම ඇහුවෙ උපහාසෙට වගේ හිනාවෙවී.

 “ඔව්… ඒකයි මට අවංක උත්තරයක් ඕනේ.”

මම හීන් හිනාවක් එක්ක ඔළුව හෙලෙව්වා. 

“ඔව්. මම සිංගල්.” 

“ඒක ඔයාගේ චොයිස් එකක්ද?” 

“ඒක මම ඉගෙන ගත්ත පාඩමක්,” මම කිව්වා.

 “ඒ දෙක වෙනස්.” 

“මට නම් දැන් ඒ දෙකම එකක් වගේ දැනෙන්නේ.”

“ඔයා ආයෙත් කෙනෙක්ව විශ්වාස කරන්න බයද මේඝා?” හේසර එහෙම අහද්දී මට හීන් හිනාවක් ගියා. 

“බය නෙවෙයි… මට දැන් ඒ ගැන කිසිම උනන්දුවක්නැහැ.”

“උනන්දුවක් නැති එකත් තමන්ව ආරක්ෂා කරගන්න හදාගත්ත වෙස්මුහුණක් විතරයි.” 

“ඔයා සයිකොලොජිස්ට් කෙනෙක්ද?” 

“නෑ,මට හිතෙනවා මට මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන් කියලා.”

 “එහෙමනම්… ඔයාට මාව කියවන්න පුළුවන්ද?”

මං එහෙම කිව්වෙ නිකන් විහිලුවට වගේ උනාට හේසර ටික වෙලාවක් නිශ්ශබ්දව මගේ ඇස් දිහා බලාගෙන හිටියා. “ඔයා… රිදිලා ඉන්න කෙනෙක් නෙවෙයි මේඝා,” එයා කිවෙ හරිම හෙමින්. “ඔයා ඒ වේදනාව කන්ට්‍රෝල්  කරගෙන ඉන්න කෙනෙක්.”

“ඒක හොඳ දෙයක්ද?” මම ඇහුවෙ මගේ කට හඬ කැඩිලා බිඳලා යද්දි.

 “තාවකාලිකව හොඳයි,” හේසර කිව්වා. “හැබැයි දිර්ඝ කාලීනව බලද්දී හිතේ හැඟීම් යටපත් කරගෙන ඉන්න එක හරිම භයානකයි.”

“ඉතින් ඒකට විසඳුම මොකද්ද?” 

“ආයෙත් හිතට දැනෙන්න ඉඩ දෙන්න.” 

“වැරදි මනුස්සයෙක් වෙනුවෙන්ද?” 

“නෑ, හරි මනුස්සයා වෙනුවෙන්.” 

“ඔයාට හිතෙනවද හරි මනුස්සයා කියලා කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා?”

“ඔව්. හැබැයි අපි ඒකට ලෑස්ති නැත්නම්, එයා හම්බුණත් අපිට වැඩක් වෙන්නේ නෑ.”

මම කාමරේ තිබුණ වීදුරු පැනල් එකෙන් එළිය බැලුවෙ ඒ කතාවට උත්තරේ මට එයාගෙ මූණ බලාගෙන කියන්න බැරිවෙච්ච හන්දා. “සමහරවිට… මම තාම එහෙම දේකට ලෑස්ති නැතුව ඇති,” මම හෙමින් කිව්වා.

 “එහෙනම් ඉක්මන් වෙන්න එපා,” හේසර කෝපි කප් එක මේසෙන් තියලා නැගිට්ටා. “තුවාල සනීප වෙන එකත් ක්‍රියාවලියක්. ඒකට කාලය දෙන්න.”

“ඔයාට ඒ තරම් ඉවසීමක් තියෙනවද?” මම ඇහුවා. 

“මට තියෙනවා,” එයා කෙලින්ම මගේ ඇස් දිහා බලාගෙන කිව්වා. “ඔයාට තියෙනවද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here