වඩිවේල් නයින් මවුන්ටන්ස් වෙත පිටව ගියේ දෙතුන් ගමනක්ම අදීරාට නියමිත වේලාවට පැමිණෙන ලෙසට දැනුම් දීමෙන් අනතුරුවය. හෝටල් සංකීර්ණයේ හිමිකාරීත්වය දැරූ රිචඩ් මල්දෙණිය වඩිවේල් හට මුරුගන්ට පහළින් සිටි එකම දෙවියාය. ඉදින් ඔහුගේ දැනුම් දීමෙන් අනතුරුව තමා විසින් ඉටු කළ යුතු නියමිත රාජකාරී පමණටත් වඩා හොඳින් කලට වේලාවට ඉටු කිරීමට ඔහු ඕනෑවටත් වඩා සිතට ගෙන තිබුණේය. හෝටල් සංකීර්ණය විවෘත කිරීමට සතියක් තබා හිමිකරුගේ පුත්‍රයා පිරිසක් සමඟ නවාතැනට පැමිණීම මෙතෙක් සිදු කර තිබූ වැඩ කටයුතුවල හොඳ නරක තත්වය සොයා බැලීම වෙනුවෙන් විය හැකියැයි සිතූ වඩිවේල් සිත කලබල කරගෙන සිටියේය.
මේ වන තුරුත් හාම් පුතාගේ පුත්‍රයා ඇසට දැක නොමැති වඩිවේල් ඔහු පිළිබඳව රෞද්‍ර ස්වභාවයක් මවා ගනිමින් තිබුණේය. හෝටලය තුළ ඒ වන විටත් සිටින සේවකයන් ප්‍රමාණය අල්පය . අලුතින් සේවයට බඳවා ගත් සේවකයින් සේවයට පැමිණෙන්නේ විවෘත කිරීමේ දිනට දින තුනකට පෙරය. එතෙක් සෑම කටයුත්තක්ම තම දෑතින් ඉටු කිරීමට සිදු වී තිබුණේය. හදිසියේ පැමිණෙන අමුත්තන් සඳහා හැකි සෑම ආකාරයකටම උපරිම අයුරින් සැලකීමට සිතට ගත් වඩිවේල් නිවසින් පිටත් වීමට පෙර දෙතුන් වතාවක්ම අදීරාටද එය මතක් කළේය.
අදීරා හා මිත්තණිය පවත්වාගෙන යන කුඩා ආහාර වෙළඳ සැල කාර්‍ය බහුල වන්නේ උදෑසනටත් , සවසටත්ය. උදෑසන රජකාරී කිහිපය ඉතා විගසින් හමාර කළ අදීරා නළල මත සුපුරුදු පොට්ටුවත් , ගෙතූ කොණ්ඩය වටා පැළැඳ ගත් පිච්ච වැලෙත් අසිරිය දෙතුන් වරක් නිදන කාමරයේ කුඩා කැඩපතින් බලා මිත්තණියට සමු දී නිවස අසල ඇති තේ යාය මැදින් නයින් මවුන්ටන්ස් කරා අඩි තැබුවාය. සිත තුළ තෙරපෙන මිහිරි හැඟීම් රැසකින් අදීරා ඒ මොහොත වන විටත් ප්‍රීතියෙන් පිනා යමින් උන්නාය. වචනයක දෙකකට වඩා කිසිදා කතා බහක් සිදු කර නොමැති බැංකු මාත්තයාගේ හැඩකාර උවන මතකයට නැඟෙන සෑම මොහොතකම ඇය හදවත තුළ සන්තෝස ගඟුලක පිහිනුවාය . බැංකු මාත්තයාගේ ඇල්මන් , බැල්මන් සිහියේ දරා ගනිමින් තේ වත්‍ත මැදින් දිව ගිය යුවතිය ගුරු පාරට ගොඩ වූවා පමණි. ඉදිරියෙන් ඇවිද ආ රුව දැක ඈ එතැනම ගල් ගැසුණාය.
” කොහෙද අදීරා දුව දුව යන්නේ ?”
ඔහු සිතුවටත් වඩා ඉක්මනට ඈ අසලට ළං වූයේය.
” අ.. මේ.. අ.. හෝටලේට කට්ටියක් එනවා. අප්පා ඉක්මන්ට එන්න කිව්වා මාත්තයා “
ඇගේ පිළිතුරු හිස බිමට බර කරගෙනය.
” මට අදීරත් එක්ක කතා කරන්න උවමනාවක් තිබ්බා. ඒත්.. ගෙදරදි ඉඩක් ලැබෙනවා අඩුයිනේ. මං වඩිවේල්ට යෝජනාවක් ගෙනාවා අදීරා “
යුවතියගේ හදවත වේගයෙන් ගැහුණාය. දිය යුතු පිළිතුර කුමක්ද කියා හෝ වැටහීමක් ඈට නොවුණාය.
” වඩිවේල්ගේ තීරණේ මං දන්නවා. ඒ උනාට මං කසාද බඳින්නේ වඩිවේල්ව නෙමෙයි. ඒ නිසා මට අදීරාගෙන් කෙලින් උත්තරයක් ඕනේ. “
අදීරා අපහසුවෙන් කෙළ පිඬක් ගිල්ලාය.
” අප්පා.. කිව්ව දෙයක් තමා මාත්තයා.. “
ඇගේ කටහඬද මන්ද ස්වරයක් ගත්තේය.
” මං උත්තරයක් බලාපොරොත්තු උනේ අදීරාගෙන්නේ ? අදීරාට සම්පූර්ණ අයිතිය තියනවා තමන්ගේ තීරණේ ගැන කියන්න. “
යුවතිය දිගටම හිස බිමට බර කරගෙන සිටියාය. හදවත තුළ තෙරෙපෙන හැඟීම් ඔහු ඉදිරියේ පැවසීමට කෙසේවත් සිත සාදා ගත නොහැක.
මඳ වේලාවක් ඈ දෙස නිහඬවම බලා සිටි තරුණයා තවත් අඩියක් ඉදිරියට තැබුවේය.
” අදීරා අකමැති නං ඒකේ ප්‍රශ්නයක් නෑ. කොහොමත් අප්පගේ බල කිරිල්ලට කැමති වෙන්න ඕනෙත් නෑ. මට ට්‍රාන්සර් එකක් ඇවිත් තියෙන්නේ. ඊට කලින් මට අදීරාගේ තීරණේ දැනගන්න ඕන උනා. කමක් නෑ. මං යන්නං අදීරා “
එසේ පැවසූ ඔහු තරුණිය මඟ හැර ඉදිරියට ගමන් කළේය. බියපත් වූ යුවතියගේ දෙතොල වෙව්ලුවේය . තමාගේ නිහඬබව ඔහු හඳුනාගත්තේ වැරදියටය.
” මාත්තයා.. !”
ඇගේ හඬට නතර වූ ඔහු යළිත් පසු පස හැරුණේය.
” මගෙ අප්පා මං ගැන ගන්න තීරණ හැමදේම ගන්නේ මගෙන් අහලා. අප්පා කවදාවත් මගෙන් අහන්නැතුව ඇඳුමක පාටවක්වත් තෝරන්නෑ මහත්තයා. අප්පාගේ තීරණේ මොකද්ද ඒක මගෙ එකම තමා.”
ඔහුගේ දෑස දිළිසෙන්නට පටන් ගත් අතර මුව මත මල් හසරැල්ලක් ඇඳුණේය. ඔහු දෙස බැලීමට දැඩි ලැජ්ජාවෙන් පෙළුණු යුවතිය වහා පාරෙන් අනෙක් පස තිබූ හෝටල් සංකීර්ණයට අදාල ඉඩම වෙත දිව ගියාය.
****************************************
තරුණ තරුණියන් නම දෙනෙකු රැගත් කළු පැහැ වෑන් රථයක් නයින් මවුන්ටන්ස් හෝටල් පරිශ්‍රයට ඇතුළු වූයේය. අළුතින් ඉදි කර නිම අවසන් කෙරූ හෝටල් පරිශ්‍රය විවෘත කිරීමට තිබුණේ තවත් සතියක කාලයක්ය. පියා අසල බොහෝ සෙයින් බෑගෑපත් වූ තරුණ මයන් මල්දෙණිය තම පාසල් යහළුවන් අට දෙනාද සමඟින් විවෘත කිරීමේ උත්සවය එළැඹෙන තුරු එහි ගොස් නවාතැන් ගැනීමට අවසර ලබා ගෙන තිබුණේය. ඉදින් තරුණ මදයෙන් ඔද වැඩුණු තරුණ තරුණියන් පිරිසට එකී අවස්ථාව මිල කළ නොහැක්කක් වී තිබුණේය.
දැඩි පරිශ්‍රමයක් යොදා ඉදි කරන ලද හෝටල් සංකීර්ණයේ පළමු අදියර වෙනුවෙන් රිචඩ් මල්දෙණිය බොහෝ සෙයින් වෙහෙස මහන්සි වී තිබුණේය. ඒ නිසාම විවෘත කිරීමේ කටයුතු වලට පෙර හෝටල් සංකීර්ණයට පැමිණි තම පුත්‍රයා හා ඔහුගේ මිතුරන්ටද ඉතා වගකීම් සහගතව කටයුතු කරන ලෙසටත් , කිසිදු ගැටළුවකට , කරදරයකට මැදි නොවී විවෘත කිරීමේ උත්සවය පසු වන තෙක් යහපත් හැසිරීමක් පවත්වා ගනිමින් කටයුතු කරන ලෙසටත් මඟින් මඟටම අවවාද දී තිබුණේය.
සතර දෙසින්ම කඳු වළල්ලකින් වටවූ ඉතා චමත්කාර ජනක කඳු නිම්නයක පිහිටා තිබූ සියල් සපිරි හෝටල් පරිශ්‍රය දුටු වනම තරුණ පිරිසට රිචඩ් මල්දෙණියගේ අවවාද අනුශාසනා ඉබේම අමතක වී ගියහ. මුළු හෝටල් සංකීර්ණයටම සිටින්නේ මිතුරු කැල සහ ඉතා සුළු සේවක ප්‍රමාණයක් නිසා ඔවුන්ට ඇති තරම් ඉඩ කඩ සහ පහසුව තිබුණේය. ඇති තරමට විනෝද වීමට හැකියාව තිබුණේය. යන්තම් දිවියේ විසි වැනි විය පසු කරමින් සිටින තරුණ තරුණියන් එක මිනිත්තුවක හෝ අපතේ නොයවා කා බී , විනෝද වූහ. නටා ගයමින් ප්‍රීති වූහ.
තරුණ කැල මධ්‍යයේ සිටි එකම පෙම්වතුන් යුවළ වූ නදීල් හා අයේෂා පළමු දින රාත්‍රිය වෙන වෙනම නිදන කාමර තුළ ගත කළද දෙවන දින නදීල් හට හෝටල් සංකීර්ණයට පිටතින් තරුණ විවාහක යුවතිපතීන් සඳහා නිම කර තිබූ කුඩා නිවස්නයක රැය පහන් කිරීමට උවමනාවක් ඇති විය . ඔහු පැකිළෙමින් වුවද මයන් හමුවේ තම අවශ්‍යතාව පැවසූ විගස වහා වඩිවේල් කැඳවූ මයන් පිටත නිවස්නයක් සූදානම් කරන ලෙසට දැනුවත් කළේය. නමුදු ලාබාල තරුණ තරුණියන් පිරිසක් වූ නිසාම වඩිවේල්ගේ සිතෙහි මඳ චකිතයක් ඇති වූයේය.
” එළියේ කබාන තියෙන්නෙ කසාද බැඳල එන නෝනා මාත්තුරුන්ට මාත්තයා. ලොකු මාත්තයා ඒ විදිහට තමා ඒවා හැදුවේ..”
” ඒ දෙන්නා ඉන්නේ කසාද බැඳලා තමයි වඩිවේල්. ඒ කපල් එකට විතරයි කබානා එකක් ලෑස්ති කරන්න කිව්වේ. නැත්තන් අපිට නෙමෙයි. “
මයන්ගේ පිළිතුරෙන් සෑහීමකට පත් වූ වඩිවේල් ඔහුගේ ඉල්ලීම පිට පිටව ගියේය.
” ඇයි බං එහෙම කිව්වේ ?”
” මොකද්ද ?”
” කසාද බැඳලා කියලා කිව්වේ ?”
” ඇයි උඹ අයේෂාව කසාද බඳින්න නෙමෙයිද ඉන්නේ ? ඒ කතාව කිව්වේ නැත්තන් අර යකා ඕක කීයටවත් ලෑස්ති කරන්නෑ. කොහෙද යන ගොඩේ බයියෙක්. “
දෙවෙනි දින රාත්‍රියේ මිතුරු පිරිසෙන් වෙන් වූ නදීල් හා අයේෂා කබානාවක් කරා ගිය අතර බොහෝ රෑ වන තුරු නටා ගයා ප්‍රීති වූ පිරිසේ සිටි ජෙසිකාත් , ඇමැන්ඩ්‍රාත් සැමටම සමුදී නිදන්නට ගියහ. පමණට වඩා බීමත්ව සිටි මයන් තම උපරිම සීමාව පසු වූ බව දැන දැනමත් තව තවත් මත්පැන් පානය කළේය.
” ඒ.. මයන්…උඹට වැඩියි නේද ? දැන් නවත්තපන්..”
අසංග හා ක්‍රිශාන් විසින් කෙතරම් ඇවිටිලි කළද මයන්ගේ බීමේහි අඩුවක් නොවුණේය. හේ වැනි වැනී ඉදිරියට විත් හෝටල් සංකීර්ණයෙන් පිටත ඇති කබානා දෙස රතු වූ දෑසින් බලා සිටියේය.
” මොකෝ ..බං..?”
ඉතා අපහසුවෙන් අඩි තබමින් පැමිණි ටැමී මයන්ගේ පිටට තට්ටුවක් දමා ඔහු බලා සිටින දෙස දෑස සිහින් කර බැලුවේය.
” අරූ නං මාර ආතල් එකක් ගන්නවා ඇති. “
මයන් කියූ දෑ ඇසුණු ටැමී සිහින් දෑස විසල් කර ඔහු දෙස බැලුවේය. ඉන් පසුව මහ හඬින් සිනහ සුණේය.
” ඉතිං උඹට ඉරිසියයිද ?”
මයන් රතු වී තිබෙන දෙනෙත වහා ටැමී දෙසට හැරවූයේය. එකී දෑසේ රක්ත පැහැයට හේතුව බීමතම පමණක් නොවන බව නොවැටහුණු ටැමී දිගින් දිගටම සිනහ වෙමින් සිටියේය.


