මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 16

0
2614

අතීතයේ වෙච්ච වැරදි එක්ක වර්තමානය මැනලා බලන එක තරම් ගෑනියෙක් තමන්ටම කරගන්න වෙනත් හානියක් තවත් නැති තරම්.

ඒක මට කියලා දුන්නේ වෙන කවුරුත් නෙවෙයි, මගේම ජීවිතේ.

අපි හිතන්නේ අපි හරිම බුද්ධිමත් කියලා. “මම ආයෙ කවදාවත් ඒ වගේ දෙයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ” කියලා අපි අපිටම තහංචි දාගන්නවා. ඒත් ඇත්තටම වෙන්නේ ඒකේ අනිත් පැත්ත. අතීතයේ වෙච්ච එක වැරැද්දක් නිසා, වර්තමානයේ අපිට ලැබෙන්න තියෙන හොඳම දේත් අපිම පයින් ගහලා පන්නගන්නවා.

මමත් හරියටම ඒ වගේමයි.

හේසර මගේ ජීවිතේට ආවට පස්සේ මගේ හිතේ හැම වෙලාවෙම එකම එක ප්‍රශ්නයක් විතරක් කැරකුණා.

“මේකත් අන්තිමට ඒ විදියටම ඉවර වෙයිද?”

එයා මට මැසේජ් එකක් එවනකොට මට හිතෙන්නේ, “අද එයාට කරන්න වැඩක් නැති නිසා වෙන්න ඇති” කියලා. එයා මට කෝල් එකක් ගන්නකොට මට හිතෙන්නේ, “වෙන කතා කරන්න කෙනෙක් නැති වෙලාවක මාව මතක් වුණා වෙන්න ඇති” කියලා. එයා මගේ දිහා බලාගෙන අවංකවම හිනාවෙනකොට මට හිතෙන්නේ, “මේකත් එයාට තාවකාලික දෙයක්, තාවකාලික සන්තෝසයක් විතරක් වෙයි” කියලා.

ඇත්තටම ඒ සැකය හේසර ගැන නෙවෙයි. ඒක මගේ අතීතය මගේ හිතේ ඉතුරු කරලා ගිය බය විතරයි කියන එක කොච්චර දැනගෙන උන්නත් මට ඒක මගෙ හිතෙන් අතුගාලා දාන්න පුළුවන් වුනේ නෑ.

මම හේසරව මනින්නේ එයාගේ ගතිගුණ වලින් නෙවෙයි, මීට අවුරුදු දෙකකට කලින් මට ලැබුණු තුවාල වලින්. ඒක හරිම අසාධාරණයි කියලා මට හිතුණත්, මගේ හිතේ තිබුණ ඒ ෆයර් වෝල් එක හැම වෙලාවෙම මට අනතුරු ඇඟෙව්වා. පිරිමි කියන්නේ සම්මාන ගන්න පුලුවන් ලෙවල් එකේ නලුවො විතරයි කියලා මගේ හිත මට ආයෙ ආයෙත් මතුරන්න ගත්තා.

හැබැයි හේසර ඒ හැම ෆයර් වෝල් එකකටම යටින් හෙමින් හෙමින් එයාගේ ආධිපත්‍යය පතුරුවනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ. මම මගේ අතීතයෙන් වර්තමානය මනින්න උත්සාහ කරද්දී, හේසර කළේ කිසිම සද්දයක් නැතුව මගේ අනාගතය අස්සට රිංගන එක. මම මගේ පරණ තුවාල අතගාමින් ඉන්නකොට, හේසර මටත් නොදැනීම ඒ තුවාල උඩ අලුත් හීන වගා කරන්න පටන් අරන් තිබුණා.

හේසර එක්ක එදා හවස මම හිටියේ කොළඹ නගරයේ මහා කලබල අස්සේ අමුතුම නිහඬතාවයක් හංගගෙන හිටපු පුංචි කැෆේ එකක. ඒක හරියට නගරයේ සද්ද බද්ද වලින් අඩි ගාණක් විතර ඉස්සරහින් නතර වුණා වගේ දැනෙන හරිම සන්සුන් තැනක්. කැෆේ එකේ තිබුණ වීදුරු ජනෙල් වලින් එළිය බලද්දී, බැහැං යන ඉරේ රත්තරං පාට අපේ මේසෙ උඩට වැක්කිරිලා හරිම අපූරුවට දිලිහෙනවා. අපි දෙන්නා වාඩිවෙලා හිටියේ කොනක තිබුණ මේසෙක. ඒක හරියට මුළු ලෝකෙම සද්ද අඩු කරලා අපි දෙන්නාට විතරක් වෙන් කරපු පුංචි දූපතක් වගේ තමයි එවෙලෙ මට දැනුනෙ. ඔෆිස් ඉවර වෙලා හැන්දෑවට මේ වගේ තැනකට ඇවිත් තේකක් බොන ගමන් ඔහේ එක එක දේවල් කතා කරන එක ඒ වෙද්දි අපේ ජීවිතේ එදිනෙදා අංගයක් වෙලා තිබුනෙ අපිවත් දන්නෙ නැතුවම. අපේ යාලුකම ලස්සන වෙන්න, තව හයිය වෙන්න ඒ වගේ දේවල් තව හේතු වුනා.

හේසර එයාගේ කෝපි කෝප්පෙ අත් දෙකෙන්ම අල්ලගෙන හරිම කල්පනාවක හිටියෙ. මම මගේ අයිස්ඩ් ලටේ එක හැන්දෙන් කලවම් කරන ගමන් උන්නෙ.

අන්න ඒ වෙලාවේ තමයි කැෆේ එකේ තිබුණ ස්පීකර් වලින් හරිම හීන් සැරේට ඒ සින්දුව ඇහෙන්න ගත්තේ.

“දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න

මල් වැස්සක් වෙන්නම් ආ..දරයෙන් මං

ඔබ අරගෙන යන්න…”

ඒ සිංදුව ඇහෙද්දී මම එකපාරටම ගැස්සුණා. මගේ අතේ තිබුණ හැන්ද වීදුරු කෝප්පයේ ගැටිලා හීන් සද්දයක් ආවා. ඒ පද පේළි මගේ පපුව හරහා හරිම තදට ඇඳීගෙන ගියා වගේ මට දැනුණා.

“මට එක දවසක් හරි… 

එක දවසක් හරි බැරිනම් ඔබේ වෙන්න…

 මහ පොතක් පිරෙනතුරු ලියා තියන්නම්… 

මතු දවසක හරි ඔබට බලාගන්න…”

සින්දුව එහෙම ඇහෙද්දී මම හේසර දිහා බැලුවා. 

එයා මගේ ඇස් දෙක දිහාම බලාගෙන උන්නේ හරියට මගේ හිත ඇතුළේ සිද්ධ වෙන අරගලේ එයාට පේනවා වගේ. සින්දුවේ කියනවා වගේ, මහ පොතක් පිරෙනතුරු ලියලා තියන්න තරම් මගේ හිතේ ආදරයක් තිබුණත්, ඒක හේසරට කියන්න තරම් මම තාම ලෑස්තිද කියලා මම දැනගෙන හිටියේ නැහැ. අනික එහෙම ආදරයක් මගෙ හිතේ තිබුනෙ හේසර වෙනුවෙන්මද කියන එකවත් මම ඒ වෙද්දි දැනගෙන උන්නෙ නෑ.

ඒ සින්දුව ඇතුළේ තිබුණ අසරණකම මගේ හිතට මහා ලොකු බරක් වුණා. එක දවසක් හරි එයාගේ වෙන්න තියෙන ආශාව එක පැත්තකින් තියෙද්දී, ආයෙත් පාරක් මගේ හිත පිරිමි විශ්වාසයක් උඩ තියන්න මම බය වුණා. හේසර කිසිම දෙයක් නොකියා එයාගේ කෝපි එක තොලගාන ගමන් මගේ මූණේ වෙනස් වෙන ඉරියව් දිහා බලාගෙන හිටියේ මහා ගැඹුරු නිහඬතාවයක් එක්ක. ඒ වෙලාවේ මට හිතුණේ මේ සින්දුව හේසරට ඇහෙනවා නම්, එයාට මගේ හිත කියවන්න මීට වඩා ලේසි වෙයි නේද කියලා විතරයි.

ඒ සින්දුව ඇතුළේ තිබුණු අසරණකම මගේ හිතට මහා බරක් වුණා. “එක දවසක් හරි ඔබේ වෙන්න තිබුණා නම්” කියලා මගේ හිත ඒ වෙලාවේ යටිහිතින් ඉල්ලුවේ මගේ ඉස්සරහා ඉන්න හේසරව නෙවෙයි, මාව දාලා ගිය මතින්ද්‍රව නේද කියලා දැනෙද්දී මට මං ගැනම ලොකු කේන්තියක් ආවා. මට තාමත් වෙන්න ඕන කරන්නේ එයාගෙම නෙවෙයිද කියලා මගේ හිත මගෙන්ම ප්‍රශ්න කළා.

හේසර කිසිම දෙයක් නොකියා එයාගේ කෝපි එක බොන ගමන් මගේ මූණ දිහා බලාගෙන හිටියේ මහා ගැඹුරු නිහඬතාවයකින්. එයා මගේ හිත කියවන්න උත්සාහ කරනවා කියලා මට දැනුණා. ඒත් මේ වෙලාවේ එයා මගේ හිත කියෙව්වොත්, ඒකෙන් පේන්නේ මම තාමත් අර පරණ තුවාල වලටම ආදරේ කරන හැටි විතරයි නේද කියලා හිතෙද්දී මට හේසරගේ ඇස් දිහා බලන්න බැරුව මම අහක බලාගත්තා.

“ඔයාට මාව trust කරන්න අමාරුයි නේද?” හේසර ඇහුවෙ අපි දෙන්නා අතර තිබ්බ සයිලන්ස් එක බිඳලා දාන ගමන්.

“ඇයි එහෙම කියන්නේ?”

“ඔයා මට ලඟට එන්න ඉඩ දෙනවා… හැබැයි අන්තිම මොහොතේ නවත්තනවා.”

“මම නවත්තනවා කියලා ඔයාට හිතෙන්නේ ඇයි?”

“මං එක අඩියක් ඉස්සරහට එද්දී, ඔයා දෙකක් පස්සට යනවා.”

“ඒක පස්සට යන එකක් නෙවෙයි හේසර… ඒක… හිතලා බලන එකක්.”

“හිතලා බලන එක හරි. හැබැයි හැම දේම හිතලා බලද්දී… දෙයක් එක්ස්පීරියන්ස් කරන්න, ෆීල්  කරන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ.”

“එක්ස්පීරියන්ස් කරන එක ගැන මට බයයි.”

“හර්ට් වෙයි කියලා බයයි”

“මටද ඔයාටද?”

“අපි දෙන්නටම. අපි දෙන්නගෙන් කාටහරි”

“ඒක මට තේරෙනවා. හැබැයි ඔයා හිතනවද… ඔයා මෙහෙම ඉන්නකොට මට හර්ට් වෙන්නෙ නෑ කියලා?”

“මම ඔයාට හර්ට් කරන්න හිතලා කරන දෙයක් නෙවෙයි මේක.”

“මම දන්නවා. ඒක තමයි ප්‍රශ්නෙ.”

“ඇයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ?”

“මට ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ සිම්පල් දෙයක් විතරයි.”

“මොකක්ද?”

“ඔයා මං ගාව ඉන්නවද… නැද්ද කියලා දැනගන්න එක.”

“මම ඉන්නවා නේද…”

“බොඩි එකෙන්. හැබැයි මයින්ඩ් එකෙන්?”

“මම ට්‍රයි කරනවා හේසර.”

“ට්‍රයි කරනවා කියන්නේ… ඒක බාගෙට කරන එකක්.”

“සම්පූර්ණ එකමද දැන් ඔයාට ඕන?”

“සම්පූර්ණ එකම කියලා මට බොරුවක් කරගන්න ඕන නෑ හැබැයි අඩුම honest half එකක්වත් ඕන.”

“honest half එකක්…?”

“ඔව්. මට බයයි කියලා කියන මේඝා, මට ඔයාව ඕන කියලා කියන මේඝාට වඩා රියල්.”

“මට ඒ දෙකම තියෙනවා.”

“ඉතින් ඒක කියන්න බැරි ඇයි?”

“එහෙම කියලා ඔයා වෙනස් වුණොත්?”

“මං වෙනස් වෙන්නෙ ඔයා කියන නිසා නෙවෙයි මේඝා. මං වෙනස් වෙන්නේ ඔයා කියන්නේ නැති නිසා.”

“ඒ කියන්නෙ මම එහෙම නොකිය ඉන්න එක ඉවසගෙන ඉන්න එක ඔයාට එච්චරට අමාරුද?”

“ඔයා හිතනවට වඩා.”

“මම බය වෙලා ඉන්නේ… එක දවසක ඔයාවත් මට නැති වෙයි කියලා.”

“දවසක ඔයාට මං නැති වෙයි කියලා බය වෙලා… අද මාව දුරට තල්ලු කරන එක හරි කියලද ඔයා හිතන්නෙ.”

“…හේසර…”

“ඔයාට මාව ඕනද?”

“මට ඔයා නැතිව ඉන්න පුළුවන් කියලා මටම කියාගන්න පුළුවන්.”

“ඒක උත්තරයක් නෙවෙයි.”

“මට ඔයා නැතිව ඉන්න ඕන නෑ.”

“එහෙනම් මට මීට වඩා ඔයාගෙ ජීවිතේට එන්න දෙන්න.”

මං නැවතුනේ අන්න එතන.

මං උන්නෙ අතන එතන හිරවෙලා.

හේසරට මගෙ ජීවිතේට එන්න දෙනවද නැද්ද කියන ප්‍රශ්නෙ ළඟ මං සෑහෙන්න හිරවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here