BE SILENT – 65

0
893

” මනූ…!” 

නෙත්‍යා නැඟිට යහන මත හිඳ සිටින ඔහුගේ පිට මත තම නළල තැබුවාය. 

” මං කසාඳ බැඳපු ගෑනියෙක් මනූ.. දවසක් දෙකක් නෙමෙයි අවුරුදු දොළහක් එක මනුස්සයෙක් එක්ක එකට ජීවත් වෙච්ච ගෑනියෙක් මං. කෑවේ , බිව්වේ , නිදාගත්තේ ඔක්කොම කළේ ඒ මනුස්සයත් එක්ක. විඳින්න පුලුවන් දහ දුක් ඔක්කොම විඳිද්දී මාව බේරගන්න කිසිම කෙනෙක් ඒ ගෙදර හිටියේ නෑ. මට ඒ මතක වලින් ගැලවෙන්න අමාරුයි මනූ.. සැරින් සැරේ මට ඒ මතක වද දෙනවා. මට ඒවා සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න ඕනේ. “

මනුහස්ගේ දෑත මිට මෙළවී ගියේය. දරා ගත නොහැකි කෝපය හමුවේ ඔහුගේ දෙකම්මුල් වෙව්ලා ගියේය. 

” මං ලඟ ඉද්දි ඔයාට ඒවා අමතක කරන්න ලේසි නැද්ද ? ආ.. ? මගෙ ලඟ ඉද්දි මගෙයි , ඔයාගෙයි ලෝකේ ගැන විතරක් හිතලා ඔයාට ඒවා අමතක කරන්නම බැරිද ? “

” මනූ..!” 

ඇගේ දෙනෙතින් ගලා ගිය කඳුළක් ඔහුගේ පිට මැදින් ගලා ගියේය. 

” මං හිතුවා ඔයා මාත් එක්ක ඉන්නේ සන්තෝසෙන් කියලා , සැනසීමෙන් කියලා. ? අනික.. අනික.. මොකද්ද මේ මිනිහෙක් එක්ක හිටියා කියලා ඔයා කියන්න හදන්නේ ආ.. ? “

මනුහස් මඳක් හිස හරවා ඈ දෙස නොබලාම ඇසුවේය. 

” ඔයා මොනවද කියන්න හදන්නේ ? ගෙවිච්ච කාලේ පොඩි කාලයක් නෙමෙයි කියලා මං දන්නවා. අවුරුදු දොළහක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. ඔයා දුක් වින්ඳේ කොහොමද ? ඒ විදිහටම මාත් දුක් වින්ඳා. ඔයා ඒ අවුරුදු දොළහ ගෙව්ව වගේම මාත් ඒ කාලේ ගෙව්වේ හොඳින් නෙමෙයි. ඔයා එක මිනිහෙක් එක්ක කාලා , බීලා , නිදාගත්තා කිව්වට ඔයා දන්නවද මං ගෑනු කීදෙනෙක් එක්ක කෑවද , බිව්වද , නිදා ගත්තද කියලා ? මේ ලෝකේ තියන හැම දහජරාවක්ම බිව්වා කියලා ? ඒ කිසිම දේකට මගෙ හිතේ තිබ්බ දුක නිවන්න බැරි උනා නෙත්‍යා…”

ඈ එක් වරම තිගැස්සී ගියාය. ඒ අන් කිසිවකට නොව ලෙහෙසියකට ඔහුගේ මුවින් පිට නොවන ඇගේ නාමය ඇසුණු නිසාය. කොතෙක් ආදරණීය වදන් වලින් ඈ ඇමතුවද ඔහු මේ මොහොතේ ඇගේ නම පවසන්නේ හදවතේ නැඟී ඇති ඉව වහා ගිය කෝපය නිසා බව ඇයට දැනුණාය.

” අනේ.. මනූ…!” 

” අවුරුදු දොළහකට පස්සේ එක දවසක් , එකම එක දවසක් මං සැනසීමෙන් නිදා ගන්න පටන් ගත්තේ මේ ඊයේ පෙරේදා ඉඳන් නෙත්‍යා . ඒ වෙන දෙයක් නිසා නෙමෙයි . ඔයා ආපහු මට ලැබුණා කියලා දැනුණ නිසා. මං හිතුවෙම ඔයා මාත් එක්ක ආයෙ ජීවිත කාලෙම එකට ඉඳී කියලා. මොන ගෑනි එක්ක නිදා ගත්තත් , මොන ඩ්‍රග් එකක් යූස් කලත් ඔයා ලඟ මේ දැනෙන සැනසීම ලඟින් යන්න ඒ එකකටවත් බැරි උනා. ඔයාව මට නැති උනු වෙලේ දැනිච්ච ඒ වේදනාවෙන් ගැලවෙන්න මට ඔයාව ආයේ හම්බ වෙනකන්ම ඉන්න උනා නෙත්‍යා “

” අනේ.. මනූ.. මං කියන දේ චුට්ටක් අහන්නකෝ..”

නෙත්‍යාට ඉකි ගැසුණාය. වචන පිට කර ගත නොහැකි ලෙසටම ඇයට ඉකි ගැසුණාය. 

” වැරැද්ද කළේ මම.. අවුරුදු දොළහකට කලින් ඔයා නැති උනාට පස්සේ නැති වෙච්ච සැනසීම ආයේ ඔයාව හම්බුණාම මට ලැබුණා වගේම මං හිතුවෙ ඔයාටත් එහෙම වෙන්නැති කියලා. ඒත්.. බලන් ගියාම මං වැරදියි.. ඒක එහෙම වෙලා නෑ. මං හදිස්සි උනා නේද නෙත්‍යා. වෙන්නැති වෙන්නැති , මාත් මනුස්සයෙක්නේ. අර එදා අප්පච්චි කිව්ව වගේ ලේසියෙන් මිනිහෙක්ට නොලැබෙන සෙකන්ඩ් චාන්ස් එකක් ලැබුණම මට ඕනෙ උනේ ඔයාව මේ පාරවත් කොහොමහරි මගේ කරගන්න විතරයි . එතනදි එදා වගේම අදටත් මං ඔයාට ආදරේ උනාට ඔයාත් එහෙමද කියලා අහන්න මට අමතක උනා. නෙත්‍යා… එදා වගේම අදත් ඔයා මට ආදරේද කියලා අහන්න මට අමතක උනා. හැමදේම උනේ මගේ උවමනාවට විතරයි…”

” අනේ.. මනූ නෑ.. ඔයා මොනවද මේ කියන්නේ ? මං .. මං එදා හිටපු නෙත්‍යාම තමයි මනූ.. මං ඔයාට කියන්න හදන දේ තේරුම් ගන්නකෝ මනූ.. ප්ලීස්..!” 

ඈ වහා යහනෙන් බැස ඔහුගේ දෙකම්මුල් දෝතින්ම අල්ලා ගත්තාය. නිදන කාමරය තුළ තිබෙන ළා ආලෝකයෙන් ඔහුගේ උවන මඳ වශයෙන් පෙනුණද එහි වූ හැඟීම් තෝරා බේරා ගත නොහැකි වූයේය .

” යන්න නෙත්‍යා. ඔයාට යන්න නං ඕනේ යන්න. එක පාරකුත් ගියානේ. ඒ වගේ මේ පාරත් යන්න. ත්‍රී මන්ත්ස් වලට නෙමෙයි ත්‍රී ඉයර්ස් වලට හරි කමක් නෑ යන්න.  යන්නත් තීරණේ කරලා , යන තැනත් තීරණේ කරලා ඉවර එකේ යන්න. ඒ ඔක්කොම කරලා ගිහින් එන්නද මනූ කියලා මගෙන් අහන්න එපා. එහෙම අහලා වැඩක් නෑ. මේ ජීවිතේ ඔයාගෙනේ නෙත්‍යා. ඔයාගේ ජීවිතේ ගෙවන්න ඕනේ ඔයාට ඕන විදිහට. ඔයා යන එන තැන්  තීරණේ කරන්න ඕනේ ඔයා. ඒක මගෙන් අහන්න එපා. මං කවුද ඔයාට එපා කියන්න ? මං කවුරුවත් නෙමෙයිනේ ? මොකද්ද මට එහෙම කරන්න තියන අයිතිය ? ” 

” මොනවද මනූ ඔයා මේ කියන්නේ ? ඔයා.. ඔයා හිතනවා වැරදියි මනූ. මං කිව්වේ එහෙම දෙයක් නෙමෙයි. “

” මං ඔයාට ගොඩාක් ආදරෙයි නෙත්‍යා. එදාටත් වැඩිය අද ගොඩාක් ආදරෙයි. ඔයාගේ ඉස්සරහා ඉන්නේ එදා හිටපු කිසිම දෙයක් කර ගන්න බැරි එකා නෙමෙයි . ඊට වඩා ගොඩාක් දුර ගිය එකෙක්. ඇයි ඔයාට බැරි ඌව විශ්වාස කරන්න. ? ඔයාට තාම මාව පේන්නේ අවුරුදු දොළහකට කලින් හිටපු අර මුකුත්ම කර ගන්න බැරි පොඩි එකා වගේද ?” 

” අනේ.. මනූ..!” 

ඈට තව දුරටත් කතා කිරීමට නොහැකි වූවාය. ඇගේ කතාව වළකාළමින් ඔහු හිඳ සිටි යහනෙන් නැඟී සිටියේය . 

” මනූ.. !” 

” මට ටිකක් තනියම ඉන්න ඕනේ..”

” අනේ.. මනූ..!” 

” Leave me alone ,  Netya. just Leave me alone for five minutes. Please…!” 

එසේ පැවසූ ඔහු නිදන කාමරයේ දොර විවර කරගෙන පිටතට ගිය අතර හැඬුම් වළකා ගත නොහැකි වූ ඈ යහනට වැදී කොට්ටයක් මත මුහුණ හොවා ඉකි ගසමින් හැඬුවාය. 

***************************************

නෙත්‍යා තිගැස්සී අවදි වූවාය. බොහෝ වේලාවක් හැඬූ කඳුළින් ගෙවා දමමින් සිටි ඈට නින්ද ගියේ කුමන වේලාවේදැයි නොදත් ඈ වහා දුරකතනය ගෙන වේලාව බැලුවාය. උදෑසන හයට ආසන්නය. ඈතින් මන්ද ස්වරයෙන් පිරිත් හඬක් ඇසෙයි. ළා හිරු කිරණක් ජනෙල් කවුළුව තුළින් නිදන කාමරය වෙතට එබී බලයි. සිහින් කුරුළු නාදයක් නිදන කාමරයේ ජනේලයට පිටින් ඇසෙයි. නෙත්‍යාගේ මුව මත මල් හසරැල්ලක් ඇඳී ගියාය . ඈ වහා යහනේ අනෙක් පස බැලුවාය.  යහනේ ඔහු නැත . හිතුවක්කාරයා ආලින්දයේ සෝෆාවේ නිදනවා විය හැකිය. ඈ හනික නැඟිට නාන කාමරය වෙතට පා නැඟුවාය. මුහුණ කට සෝදා පිරිසිදු වී නිදන ඇඳුම මාරු කර දැමූ ඈ ආලින්දයට හිස පෙව්වාය.  කිසිදු වේදනාවකින් එක වර ගැලවිය නොහැකිය. තමාගේ වේදනාව නිවන මඟ ඇත්තේ හිතුවක්කාරයා අසල බව ඈ සෙමින් තේරුම් ගනිමින් සිටියාය. ඉදින් යළි කෙසේ හෝ ඔහු මිත්‍ර කර ගත යුතුය. 

ඔහු පෙනෙන්නට නැත. මුළුතැන්ගෙයින් නික්මෙන අලුත් කිරි සුවඳ කිරිබතක් ඉදෙන බව පැවසුවේය. ඈ සෙමින් මුළුතැන්ගෙය දෙසට පා නැඟුවාය .

” ගුඩ් මෝනින් ගෑනු ළමයෝ..”

”  ගුඩ් මෝනින් අම්මා..!” 

කෙසෙල් කොළයක් තවමින් සිටි වසුන්දරා ඈ දැක සිනහවක් පෑවාය. මුළුතැන්ගෙහිද හිතුවක්කාරයාගේ ජායාවක් හෝ නොමැත. එක් වරම ඔහු කොහිදැයි ඇසීම යහපත් නොවන බව දැනුණු ඈ මුළුතැන්ගෙහි දොරෙන් නිවස පිටුපසට හිස පෙව්වාය. නැත.. ඔහුගේ සේයාවක් හෝ නොමැත. 

” දූට තේකක් හදන්නද ?” 

” මං හදාගන්නං අම්මා . අම්මා තේ බිව්වද ?” 

” ඔව් පුතේ.. මායි අප්පච්චියි බිව්වා. “

” මනූ… ?” 

වසුන්දරා දෑස ඔසවා නෙත්‍යා දෙස බැලුවාය. ඇගේ දෑසේ අමුත්තක් දුටු නෙත්‍යාගේ හදවත එක් වරම සසල වී ගියේය. 

” ඇයි අම්මා..?” 

” මනූ ගියානේ දරුවෝ..” 

නෙත්‍යාගේ දෑස පුදුමයෙන් විසල් වී ගිය අතර ක්ෂ්ණිකව දෑසට කඳුළු පිරුණාය.

” ඇයි පුතේ ? “

හදිසියේ දුටු නෙත්‍යාගේ කඳුළු හමුවේ වසුන්දරාද තිගැස්සී ගොස් තිබුණාය. 

” ගියා කිව්වේ කොහෙද ගියෙ අම්මා ?” 

” කොළඹ . ඔයාට කිව්වේ නැද්ද ? යන්න ලෑස්ති වෙලා මිදුලටත් බැහැලා මටයි අප්පච්චිටයි කතා කළේ. මං ඒත් හිතුවා ඔයා දන්නවා ඇති කියලා. ? “

නෙත්‍යා අතට ගත් කේතලය යළි පැන්ට්‍රිය මත තැබුවාය. වසුන්දරා ශෝකය මුසු වික්ශිප්ත දෑසින් නෙත්‍යා දෙස බලා සිටින අතරතුරම ඈ නිහඬව නිදන කාමරයට පැමිණ යහනට වැටුණාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here