මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 26

0
123

“මං බොරුවක් කිව්වද කියලා දැනගන්න ඔයා මාව ෆලෝ කරනවද?” කියලාමතින්ද්‍ර එවපු ඒ මැසේජ් එක තාමත් මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක උඩ නතර වෙලා තිබුණා. 

ගෙදර ඇවිත් ඇඳට වැටුණත්, මගේ හිත තාමත් තිබුණේ ගුඩ් මාර්කට් එකේ, එයා හිටපු ඒ තැනමයි. මං කරේ එකම එක දෙයයි, ඒ තමයි ඒ මැසේජ් එක දිහා බල බලා ඉන්න එක. මැසේජ් එක ඕපන් කරනවා, ක්ලෝස් කරනවා, ටයිපින් බොක්ස් එක ඇරලා මොනවා හරි ලියනවා, ආයෙත් ඒක මකලා දානවා. මං යවන්න ඕන උත්තරේ මොකක්ද කියලා මට හිතාගන්න බැරි වුණා. ඔව් කියන්නද, නැහැ කියන්නද, නැත්නම් කිසිම උත්තරයක් නොදී ඉන්නද කියලා මගේ හිත තිබ්බෙ දෙපැත්තට දෝලනය වෙන ගමන්.

වෙලාවකට මට හිතුණා එයාව බ්ලොක් කරලා දාන්න, එතකොට ඔක්කොම ප්‍රශ්න ඉවර වෙයි කියලා මට හිතුණා. මගේ මොකේ එක පැත්තකින් හරිම තර්කානුකූලව මට කිව්වා මේක හරිම ටොක්සික් සම්බන්ධයක්, මේක දැන්ම නවත්තන්න ඕන කියලා. ඒත් ඒක කරන්න මගේ හිත මට ඉඩ දුන්නේ නැහැ. බ්ලොක් කරනවා කියන්නේ එයාව සම්පූර්ණයෙන්ම අහිමි කරගන්න එක, මට ඒකට තවම හිත හදාගන්න බැරි වුණා. මං ආයෙමත් ඒ මැසේජ් එක දිහා බැලුවා. ඒක නිකන් ප්‍රශ්නයක් වගේ පෙනුණත් ඒක ඇතුළේ තිබුණේ මහා ලොකු අභියෝගයක්. එයා දන්නවා මං එයා දිහා බලන බව, මං එයාගේ ජීවිතේ දිහා හොරෙන් බලාගෙන ඉන්න බව. එයා හොඳටම දන්නවා මං තාමත් එයාගෙන් නිදහස් වෙලා නැහැ කියලා.

මං ටයිපින් බොක්ස් එක ඕපන් කරලා “අනේ මං මොකටද ඔයා යන එන තැන් හොයන්නෙ” කියලා ටයිප් කළා. තත්පරයක් ඒක දිහා බලාගෙන ඉඳලා ආයෙත් මකලා දැම්මා. මට ඒක ලොකු බොරුවක් වගේ දැනුණා. මොකද මම ඇත්තටම එයා ගැන හිතනවා, ඒක තමයි මගේ තියෙන ලොකුම ප්‍රශ්නය. මං ආයෙත් ටයිප් කළා “මට කතාකරන්න එපා” කියලා. ඒකත් මට යවාගන්න බැරි වුණා. මගේ ඇඟ ඇතුළෙන්ම කවුරුහරි මාව අල්ලගෙන නවත්තනවා වගේ මට දැනුණා. මං ෆෝන් එක අත ඇරලා ඇස් වහගත්තා. “මට මේකෙන් එළියට එන්න ඕන” මං මටම හෙමින් කියාගත්තා. ඒත් ඒ වචන ඇතුළේවත් ඇත්තක් තිබුණේ නැහැ. මට එළියට එන්න ඕන වුණේ නැහැ, මට ඕන වුණේ ආයෙත් එයාගේ ලෝකය ඇතුළටම යන්න. අන්න ඒ වෙලාවෙම ෆෝන් එක ආයෙත් වයිබ්‍රේට් වුණා. මම හිතන්නවත් වෙලාවක් නොගෙන ඒක අතට ගත්තේ නොඉවසිල්ලෙන්. ස්ක්‍රීන් එකේ දිලිසුණේ “මතින්ද්‍ර කෝලින්” කියලා.

මං තත්පර කිහිපයක් ඒ ස්ක්‍රීන් එක දිහා බලාගෙන හිටියා. මං ඒ කෝල් එකට ආන්ස්වර් නොකර හිටියොත්, එයාගෙ මැසේජස් වලට තව දුරටත් රිප්ලයි නොකර හිටියොත් මේ කතාව මට මෙතනින් නතර කරලා දාන්න පුලුවන් විත්තිය මම හොඳාකාරවම දැනගෙන හිටියා ඒත් මගේ හිත ඉස්සරහට යන්න තීරණය කරලා ඉවරයි වගේ.

මං කෝල් එක ආන්ස්වර් කරා.

“හෙලෝ…” කියලා කියද්දිත් මගේ කට හඬ තිබ්බෙ නිකන් හරිම අඬන්න ඔන්න මෙන්න ලෙවල් එකක.  මටවත් ඇහෙන්නෙ නැති තරං අඩු හඬක. අනිත් පැත්තෙන් තත්පර දෙකක් කිසිම සද්දයක් ඇහුණෙ නෑ.ඒ සයිලන්ස් එක මට හුස්ම ගන්නත් අමාරු කරා කිව්වොත් හරි.

“ඔයා…”
 මතින්ද්‍ර අන්තිමට කතා කරා. හරිම හෙමින්.

“ඔයා මාව ෆලෝ කරේ… චෙක් කරන්නද?”

ඒ ප්‍රශ්නෙ අහද්දි මට හිතෙන්නෙ එයා මගේ ඉස්සරහම ඉඳගෙන කතා කරනවා වගේ.

“මං ඒකට උත්තර දෙන්නම ඕනද,” මං ටිකක් තදින් කියන්න ට්‍රයි කරාට මොකෝ ඒක ඒ විදියට එලියට පිට වුනේ නෑ. එයා හීනියට හිනාවුණා වගේ මට ඇහුණා.

“ඔයා තාමත් ඒ විදියමයි…” එයා කිව්වෙ අමුතු ටෝන් එකකින්.

“මොකක්ද ඒ කියන්නෙ?” මං ඉක්මනටම ඇහුවා.

“ඔයා කෙයා කරනවා… ඒත් එහෙම කෙයා කරන්නෙ නෑ කියලා පෙන්නන්න සෑහෙන ට්‍රයි එකක් දෙනවා”

ඒ වචන ටික මගේ හිතට ඇත්තටම වැදුණා. ඒත් මං සද්ද නැතුව හිටියා.මට ඒක එහෙම නෑ කියලා කියන්න ඕන උනත් ඒකට වචන තිබ්බෙ නෑ. නැත්තම් ඒක කියන්න මට හයියක් තිබ්බෙ නෑ.

“මේඝා…”
 එයා ආයෙ කතා කරා.

“මට ඔයා එක්ක කතා කරන්න ඕන.”

“දැනටමත් කතා කරනවනෙ,” මං කිව්වෙ ටිකක් නපුරු වෙන්න ට්‍රයි කරන ගමන්.

“නෑ…” කියලා කිව්ව එයා එකපාර තප්පර ගාණකට සයිලන්ට් වුණා.

“මූණට මූණ බලාගෙන.”

මගේ හිත එකපාරටම හයියෙන් ගැස්සුණා.

“ඇයි?” මං ඇහුවා.

ඒ ප්‍රශ්නෙ ඇතුළේ තිබුණේ බයයි.තරහයි.තවමත් ඉතුරු වෙලා තියෙන ආදරේයි.

“මට එක්ස්ප්ලේන් කරන්න දේවල් තියෙනවා…”
 එයා කිව්වෙ හරිම හීනි කටහඬකින්, ස්ලෝ ටෝන් එකකින්.

“මොනවද එක්ස්ප්ලේන් කරන්න තියෙන්නෙ?” මං ඇත්තටම ඇහුවෙ පුදුමෙන් මොකද මට හිතාගන්න පුළුවන් උනේ නෑ  මතින්ද්‍ර මේ මොනවා ගැනද කියන්නෙ කියලා. 

“ඔයා අද දැක්ක දේ ගැන…”
 

එයා කිව්වා.මගේ ඇස් තප්පර කීපෙකට වැහුණා. ඒ වැහිච්ච ඇස් අස්සෙ ඇඳුණෙ මන්දස්මිතාගෙ ලස්සන රූපෙ.එයාගේ හිනාව. එයාගේ වයින් ග්ලාස් ශරීරෙ.

“ඒක එක්ස්ප්ලේන් කරන්න ඕන නෑ,” මං ඉක්මනටම කියලා දැම්මා.

“ඒක ඔයා හිතෙන තරම් සිම්පල්නෑ මේඝා.”

ඒ වචන ටික…ඒක තමයි. ඒක තමයි මට අහන්න ඕන උනේ. මගේ හිත ඇතුළේ තිබ්බ ලොකුම බලාපොරොත්තුවට fuel එක උනේ ඒ වචන ටික.

“එහෙනම් එක්ස්ප්ලේන් කරන්න,” මං හීනියට කිව්වා.

එයා තත්පරයක් සද්ද නැතුව හිටියා.

ඊට පස්සෙ

“මං දැන් ඔයාගේ apartment එකට එන්නම්.”

මගේ හදවත ඇත්තටම අඩියක් ඉස්සරහට ස්කිප් උනා වගේ මට දැනුනෙ.

“මතින්ද්‍ර”
 මං කියන්න try කරා.

“ප්ලීස් මේඝා එපා කියන්න එපා.”

ඒ වචන ටික…

ඒක රික්වෙස්ට් එකක් වගේ නෙවෙයි.
 ඒක අසරණ ඉල්ලීමක්. මට මග හරින්න අමාරු, බෑ කියන්න බැරි විදියෙ ඉල්ලීමක්. මං සද්ද නැතුව හිටියෙ අන්න ඒ හන්දා.

ඒ සයිලන්ස් එක එයා උත්තරයක් විදියට ගත්තා.

“මට විනාඩි දහයක් දෙන්න,” කියලා එයා කියලා කෝල්එක කට් කරේ අන්න ඒ විදියට. මතින්ද්‍ර කෝල් එක කට් කරලා කතාව නතර කරාට මොකෝ මං තාමත් ෆෝන් එක අතේ තියාගෙන හිටියා. මට තේරුණා මං “ඔව්” කියලා නැති උනත්…මං “නෑ” කියලත් නෑ කියන එක.

ඒ කියන්නේ මං දොර ඇරලා තියෙනවා නේද කියන එක. මට ඕන උනා මතින්ද්‍රට එන්න එපා කියන්න. ඒත් එයා ඉන්නෙ කොතනද කවුරු එක්කද කියලා නොදන්න හන්දා මට ආයෙ එයාට කෝල් බැක් කරන්න පුලුවන්කමක් තිබුනෙ නෑ. මං ඒ හන්දා කරේ එයාට එන්න එපා කියන්න මැසේජ් එකක් දාන්න ආයෙ ෆෝන් එකේ චැට් එක ඕපන් කරගත්ත එක.

මං සෝෆා එකේ කෙලවරට ඇදිලා ගිහින් වාඩි වෙලා, කකුල් දෙකත් ළං කරගෙන, ෆෝන් එක අත් දෙකෙන්ම අල්ලගෙන හිටියා.හරියට කෙනෙක් මාව විනිශ්චය කරද්දි බලාගෙන ඉන්නවා වගේ.

“මොකද්ද මං රිප්ලයි කරන්නෙ?” කියන ප්‍රශ්නෙ මට ලොකුවටම තිබ්බා. 

 “එන්න එපා” කියලා ටයිප් කරලා ඩිලීට් කරා.

“මට ඔයාව හම්බෙන්න ඕන නෑ” කියලා ටයිප් කරලා ඩිලීට් කරා.

“මොකටද අපි හම්බෙන්නෙ?” කියලා ටයිප් කරලා ඩිලීට් කරා.

ඒකෙන් මම මටම හිතෙන්න ගත්තෙ මං මොන උත්තරයක් දුන්නත් ඒක බොරුවක් වගේ.
 මොකද මං එයාව ෆලෝ කරේ නෑ.ඒත් මං එයාව ඉග්නෝර් කරේත් නෑ.

මං හුස්ම ගත්තා හෙමින්.ඇස් පියාගෙන තත්පර කිහිපයක් හිටියා.

ඒත් ඒ අඳුර ඇතුළේම මට පේන්නෙ ගුඩ් මාකට් එකේ එයා හිටපු විදිය.
 මන්දස්මිතා ලඟ හිටගෙන. හිනාවෙලා.නිදහසේ.

“මට සැනසීමක් නෑ මේඝා…”

ඒ හඬයිඒ හිනාවයි එකම මිනිහෙක්ගෙන් අවස්තා දෙකකදි එලියට පැන්න ඉමෝශන්ස් දෙකක් වගේ පේන්නෙ නෑ.

එකපාරටම මට තරහක් ආවා. මං ෆෝන් එක ටිකක් තදින් අල්ලගෙන ටයිප් කරන්න ගියා.

මාවයි මන්දස්මිතාවයි දෙන්නවම ජීවිතේ තියාගන්න ඔයාට බෑ මතින්ද්‍ර. ඔයාට කැමති වෙලාවට යන්නයි කැමති වෙලාවට එන්නයි දෙකක් බෑ. ගියා නම් ගිය විදියටම ගිය තැනක ඉන්න.” කියලා ටයිප් කරපු මම ටිකක් බලන් හිටියා.සෙන්ඩ් කරන්න යන වෙලාවෙම මං ආයෙ ඒක ඩිලීට් කරා.

“ඇයි මං මෙච්චර හිතන්නෙ…?”මගෙන්ම මං එහෙම අහගත්තෙ හිත බර වෙලා.

ඒ වෙලාවෙම
 ටිං…

ආයෙ මැසේජ් එකක්.

මගේ හදවත එකපාරටම ගැස්සුණා.
 මං ඉක්මනටම ස්ක්‍රීන් එක බලලා අන්ලොක් කරා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here