තොර තෝංචියක් නැතිව කියවමින් සිටි රුවැත්තිය එය නවතා දුරකතනය මත දෑඟිලි යවමින් එයට මුහුණ ඔබා ගෙන සිටියාය. බොහෝ වේලාවක් පුරා ඈ දෙස විටින් විට හිස හරවමින් බැලූ ඔහුගේ උවන මඳක් ඇඹුල් වී ගියේය.
” බෝලේ…!”
” ම්ම්ම් ..?”
ඈ දුරකතන තීරයෙන් හිස නොඔසවාම ප්‍රති උත්තර දුන්නාය.
” මං දිහා ටිකක් බලන්නකෝ…!”
” ඇයි ඒ..?”
” නිකන් අනේ.. ඕක පැත්තකට දාන්නකෝ..!”
” පොඩ්ඩක් ඉන්න මනූ පොඩි චැට් එකක් “
ඈ පිළිතුරු දෙන්නේ දුරකතන තීරයේ මුහුණ අලවා ගෙනමය. ඔහු නැවතත් මුව ඇඹුල් කර ගත්තේය.
” කවුද ඔය ?”
” යාළුවෙක් අනේ.. ආ.. චුට්ටක් ඉන්න කෝල් එකක් එනවා..”
එසේ පැවසූ ඈ දුරකතනය මුහුණ ඉදිරියට ගෙන අල්ලා ගත්තාය. බැලූ බැල්මට වීඩියෝ ඇමතුමක් වූ එය දෙස යටැසින් බැලූ මනුහස් නැවතත් දෑස මාර්ගයට යොමා ගත්තේය.
” හෙල්ලෝ… සුදු බබා.. කොහෙ යන ගමන්ද මේ ?”
අනෙක් පසින් ඇසුණු පිරිමි කට හඬට තිගැස්සී ගිය මනුහස් වහා නෙත්‍යා දෙස රකුසු බැල්මක් හෙළුවේය. නමුත් එය මායිම් නොකළ නෙත්‍යා මුව පුරා සිනහවක් නඟා දුරකතන තීරය දෙස බලා සිටියාය .
” කැන්ඩි යනවා අනේ.. “
” තනියමද ? ”
” හ්ම් .. හ්ම්ම්…”
” කවුද ඔය ..?”
මනුහස් සෙමින් නමුදු රෞද්‍ර හඬකින් ඇසුවේය . සුක්කානම අල්ලා සිටින දෑතෙහි නහර කෝපයටම ඉලිප්පී ඇති ආකාරය නෙත්‍යා යටැසින් දුටුවාය.
” යාලුවෙක් . දැන් ඉස්සෙල්ලා කිව්වේ..”
දෙතොල් පට තද කර ගත් මනුහස් ඉවත බලා මෝටර් රථයේ වේගය තවත් වැඩි කළේය .
” කවුද අනේ ඔය ?”
දුරකතනයේ අනෙක් පසින් එසේ ඇසුණේය .
” ආ.. මේ.. මගේ ඩ්‍රයිවර් “
නෙත්‍යාගේ පිළිතුරට නැවතත් ඈ දෙස රකුසු බැල්මක් හෙළූ මනුහස් දුරකතන තීරය දෙසට දෑස විතැන් කළද ඈ එය ඔහුට නොපෙනෙන්නට අල්ලා ගත්තාය.
” ඔයාටත් පිස්සුනේ රත්තරං, මොකටද ඔය වගේ උන්ව වැඩට ගන්නේ ?. ඌට උගේ ජොබ් එක කරන්න කියන්න හරියට. ඌට වැඩක් නෑනේ ඔයා කා එක්ක කතා කළත් ?”
මාර්ගයෙන් පසෙකට මෝටර් රථය හැර වූ මනුහස් වේගයෙන් තිරිංග යොදා එය නතර කර නෙත්‍යා හට සිතීමට හෝ ඉඩක් නොතබා ඇගේ අත තිබූ දුරකතනය උදුරා ගත්තේය. එහි තීරයේ අනෙක් පස සිටියේ පිරිමි පුද්ගලයෙකි. මොහොතක් ඔහු දෙස බලා සිටි මනුහස්ගේ උවන මත සිනහවක් නැඟුණේය.
” අඩෝ.. චමීර…! තෝද මේ ?”
” නෙත්‍යා.. කවුද බං මේ ?”
අනෙක් පස සිටි චමීර මනුහස්ව හඳුනා නොගත් ආකාරයට නෙත්‍යාගෙන් ඇසුවේය. ඈ වහා දුරකතන තීරයට හිස පෙව්වාය.
” ආ.. චමීර.. මේ මගේ ඩ්‍රයිවර්…!”
” ආ.. ඒක මිසක්. මං දැක්කෙ නිකන් අපේ ඉන්සිටියුට් එකේ හිටපු මනුවා වගේ. පොර අර උගෙ කෙල්ල ඌව දාලා කියලා ඉගෙනගන්න එකත් නතර කරලා , යාලුවොත් අතෑරලා යන්න ගියානේ. දැන් නං කොහෙ ඉන්නවද දන්නෑ බං. මැරිලද දන්නෙත් නෑ..”
නෙත්‍යා මහ හඬින් සිනාසුණු අතර ඇගේ කම්මුලක් මිරිකූ මනුහස්ද සිනා වෙමින් චමීර දෙස බැලුවේය .
” අඩෝ.. අඩෝ.. මේ.. ඔහොම චාටර් කරන්නෙපා ඉතිං. උඹ මගේ බොක්කනේ ?”
” ඈ හු@$%* පුතෝ.. තොට දැන්ද ගල් මූසලයෝ තොගෙ බොක්ක මතක් උනේ ? තෝ වල් පරයා. තෝ මට කියලා ඔය හු@$& …”
” ඒයි ඒයි.. මාත් මෙතන ඉන්නවා..”
චමීරගේ මුවින් පිටවන අසැඹි වදන් අසා ගත නොහැකිව නෙත්‍යා වහා මැද්දට පැන්නාය .
” තෝ අනිත් පැත්ත හැරිලා කන් දෙක වහ ගනින්.. මට මූට මේ කිව්ව මදි. හොඳටම මදි. තව කියන්න ඒවා ගොඩක් තියනවා “
” බෑ.. බෑ.. මගෙ සුදු මහත්තයට එහෙම බනින්න දෙන්න බෑ..”
නෙත්‍යා වහා මනුහස්ගේ අතේ බාහුවේ වෙළුණාය. නෙත්‍යා දෙසත් , මනුහස් දෙසත් මාරුවෙන් මාරුවට බැලූ චමීර මෙතෙක් තිබූ කෝප සහගත මුහුණ සැණකින් ඉවත් කර මුව පුරා සිනහවක් නැඟුවේය.
” අම්මපා තෝ.. කොහෙද පරයෝ මෙච්චර කල් හිටියේ ?”
” ඇයි දැන් උඹ කිව්වේ , කිව්වා වගේ මැරිලා හිටියේ. මේ ඉන්නේ ආයේ පණ දීපු එක්කෙනා “
මනුහස් එසේ පවසා නෙත්‍යා දෙස බැලුවේය.
” කොහොමද බං , හොඳින් ඉන්නවද ?”
ඔහු යළිත් ඇමතුමේ සිටින චමීරගෙන් ඇසුවේය.
” හ්ම්ම්.. ඉන්නවා බං. උඹලා දෙන්නා ඔහොම ඉන්නවා දකිද්දි මට මාර සතුටුයි යකෝ.. “
එසේ පැවසූ ඔහු දෑඟිලි මතින් තම දෑස පිස දැමුවේය.
” ඒයි.. ඒයි .. චමියා..”
” නෑ.. යකෝ මට පට්ට සතුටුයි. අම්මපා.. උඹලා ඔය ගෙදර යන ගමන් නේද ?”
” ඔව් බං. උඹ දැන් මොකෝ කරන්නේ ? බැන්ඳද ? “
” හ්ම්ම්.. බැන්ඳා බැන්ඳා. දැන් ජාති දෙකෙන් දෙන්නෙක් ඉන්නවා. ට්වින්ස්ලා. දුව ශනූ.. පුතා මනූ.. කොල්ලට යුවාන් මනුසඳ කියලා නම දාන්න කියලා , ගෙදරට මනූ කියන්න කියලා කිව්වේ ඔය ලඟ ඉන්න එක්කෙනා තමා. “
මනුහස් හැරී නෙත්‍යා දෙස බැලූ අතර ඈ ඔහු දෙස බලා මඳ හසරැල්ලක් පෑවාය.
” දැන් වයස කීයද ?”
” තුනයි බං. නෙත්‍යා ලඟ ෆොටෝස් ඇති . මං දැන් ඉන්නේ ඔෆිස් එකේ. හවසට උඹට වීඩියෝ කෝල් එකක් අරන් පෙන්නන්නම්. උඹලා දෙන්නව දකින්න ආසයි යකෝ.. “
චමීරගේ වචනයක් වචනයක් පාසා හදවතින්ම නැඟ එන සතුටක් ගැබ් වී තිබුණේය.
” අපි එන්නං චමී එහේ. ජාන්වීවත් එක්කගෙනම එන්නං. “
නෙත්‍යා වහා ඉදිරියට පැන කීවාය .
” කට්ටියත් එක්ක සෙට් වෙමු බං වෙලාවක. ශාමුයි , කළිඳුයි ඊයෙත් උඹ ගැන කතා කළා. උඹ ඉතිං දැන් ලොක්කෙක්නේ.. සමහර දවස්වලට උඹව නිවුස් වල එහෙමත් දකිනවා. තෝ ඉතිං ෆේස් බුක් , ඉන්ස්ටා වත් ඇක්ටිව් නෑනේ ? උඹව දකින්න හැමෝම ආසාවෙන් ඉන්නේ. “
” ගෙවිච්ච අවුරුදු ගාණේ මං හිටියේ කොහොමද කියලා මට වත් තේරුමක් නෑ බං. හිතාමතාම උඹලව මඟ ඇරියා නෙමෙයි. දැන් තමයි හුස්ම ගන්නවා කියලා හරි තේරෙන්නේ. හැබැයි මොන දේ වෙනස් උනත් එක දෙයක් වෙනස් වෙලා නෑ බං. “
” ඒ මොකද්ද ..?”
” නෙත්‍යා උස ගිහින් නෑ..”
මනුහස් මහ හඬින් චමීර දෙස බලා සිනාසුණු අතර ඔහුද ඔවුන් දෙදෙනා දෙස බලා මහ හඬින් සිනාසුණේය.
” අනේ.. මනූ…”
කෑගැසූ නෙත්‍යා වහා ඔහුගේ බාහුව තදින් සැපුවාය.
” ආහ්…! “
මනුහස් තොල් පට තද කරමින් නෙත්‍යා දෙස බැලුවේය.
” උඹට මතකද බං ඉස්සර අර අරලිය ගස් මැද්දෙන් තිබ්බ පඩි පෙළ දිගේ නෙත්‍යා බෝල ගෙඩිය වගේ උඩ පැන පැන එන හැටි. එහෙම එනවා දැක්කම අපි උඹට කියන ඒවා.?
චමීර එසේ පවසා නැවතත් මහ හඬින් සිනාසුණු අතර මනුහස්ද ඔහු දෙස බලා එක දිගටම සිනාසුණේය.
” ආ.. ? තමුසෙලා මොනාද මට කිව්වෙ ? ආ. කියනවා.. කියනවා.. “
” නෑ.. නෑ.. මුකුත් කිව්වේ නෑ..”
චමීර සිනහව නතර කර ගන්නට මහත් ආයාසයක් දරමින් පැවසුවේය.
තවත් මඳ වේලාවක් චමීර හා කතා බස් කළ මනුහස් දුරකතන ඇමතුම විසන්ධි කර යළි නෙත්‍යා දෙසට හැරුණේය.
” ඉන්සිටියුට් එකේ යාලුවන්ගේ චැට් ගෲප් එකක් තියනවා . ඔයාව ඒකට ඇඩ් කරන්නං ?”
මනුහස් දෑසින් හා යැයි කීවේය.
” මං නැති උනා කියලා ඇයි මනූ යාලුවෝ අතෑරියේ ? අඩු තරමේ එයාලා නිසාවත් ඔයාට හිත හදාගන්න තිබුණා. අවුරුදු ගාණකට පස්සේ යාලුවො එකතු වෙලා චැට් ගෲප් එකක් හදාගත්තම ඒ හැම කෙනෙක්ම හැම කතාවකම ඔයා ගැන කතා කළා. ඔයාගේ නමින් සෝෂල් මීඩියා එකවුන්ට්ස් තිබ්බට ඔයා ඒ එකකවත් ඇක්ටිව් උන්නෑ. “
මනුහස් විසල් හුස්මක් අත හැරියේය.
” ඔයා නැතිව මට වෙන කවුරු හිටියත් මොකටද සුදු මැණික ..? කෝමහරි මාව ඇවිස්සුවා නේ ?”
ඈ ඔහු දෙස බලා පුළුල් සිනහවක් පෑවාය .
” බය උනාද ?”
” පපුවත් එක්ක මොකද්ද උනා..”
ඔහු එසේ පවසමින් පපුව මත තබා ගත්තේය.
ඈ නැවතත් ඔහු දෙස බලා සිනාසුණාය. මඳ වේලාවක් සිනා පිරි ඇගේ මුහුණ දෙස බලා සිටි ඔහු පැළඳ සිටි ආසන පටිය ගලවා දමා ඇගේ උවනට බර වූවේය .
” ඇයි චමීරගේ දරුවට මගෙ නම දැම්මේ ?”
නෙත්‍යා දෑස බිමට බර කර ගත්තාය.
” ආ.. සුදු නෝනා..?”
” ඔයාව මතක් වෙන්න කියලා මනූ.. “
ඈ සෙමින් සෙමින් දෑස ඉහලට එසවුවාය. ඔහුගේ දෑස එක එල්ලේ නැවතී තිබුණේ ඇගේ වටකුරු උවන මතය. ඈ සෙමින් එක අතකින් ඔහුගේ කම්මුල පිරිමැද්දාය.
” ඔයාව ආයේ ආයේ මතක් කර ගන්නවා ඇරෙන්න මට වෙන සැනසීමක් තිබ්බේ නෑ. “
ඉදින් ඈ සෙමින් ඔහුගේ දෙතොල මත තම රෝස පැහැ දෙතොල තැබුවාය . ඈ හට රිසි යමක් කරගන්නට ඉඩ හැරි ඔහු තම දෑස පියා ගත්තේය. කොපුල මත තිබූ ඇගේ අත සෙමින් පහලට විත් විවර වූ කමිසය අතරින් ඔහුගේ ගෙල කරා ඇදී යද්දී තව තවත් ඇගේ රෝස තොල් ඔහුගේ දෙතොල තදින් අල්ලා ගත්තේය .


