අංගාර – 70

0
1016

චායා ඇමතුම විසන්ධි නොකර හඬමින්, තමාටද ඔහු වෙත එන්නට දෙන්නැයි පවසමින් හඬද්දී සස්මිත තමා ඇමතුම විසන්ධි කරන බවත්,  හැකි  ඉක්මනින් යළි අමතන බවත් කීවේය.  එලෙසින් පවසා යළි උන් ඉරියව්ව වෙනස් කර අසුනේ පිටුපසට හිස වැටෙන සේ හැරුනේය. චරක ඇමතුම විසන්ධි කර වහා කාමරයෙන් නික්මුණේය. 

” අරූට කන්න දෙයක් දීපං ..”

ඔහු එලෙසින් පවසා ඉදිරියේ වූ  අසුනකට බර වූයේය. සස්මිත එලෙසින් චායාව සන්සුන් කරවාගන්නට උත්සාහ කලේ ඇයිදැයි චරකට සිතාගන්නට  හැකි වූයේ හෝ නැත. එපමණකින් කටයුතු නොකර, එම ප්‍රශ්නය තුළට තමා ඈදෙන්නට නොදී කටයුතු කිරීමද සිතා ගත නොහැක. සස්මිතට අවැසි වූයේ චායා කලබල නොකර සිටීමත්, ඇය පීඩනයකට නොහෙලා තිබීමත් බව පැහැදිළිය. ඔහු එවැන්නක් සඳහා උත්සාහ කලේ සැබැවින්ම ඔහුට නැගණියගේ ජීවිතය වියවුලකට හෙලීමට අවශ්‍ය  නොවන නිසා නොවේද ?..

” ඇමති මොලෙන් හිතපං චරක ..  ඌ එතන දැම්මේ නූල් සූත්තරයක් … උදේ ඉඳන් ඌට වතුර උගුරක් නොදී ඉන්න කියපු චරක ඇමතිතුමා, දැන් ඌට කන්න දෙන්නත් ලෑස්තියි. ඒකම තමයි ඌට ඕනි වුනේ… ඒකම තමයි උගේ ප්ලෑන් එක උනේ…  හිත හොඳ පෙම්වතා වෙන එක … ඒ මොක වුනත්, අවුරුදු දොළහකට කලින් ඩීල් එකකට ඇතුලට ගිය එකා , සිරිමත් වෙලා එලියට ආවා වෙන්න බැහැ .. එහෙම ආවත්, ඌ මගේ ඩ්‍රයිවර් වෙලා මගේ අස්සට ආව එක ලේසි වෙන්නෙ නැහැ.. විජේසිරි මේකේ  ප්‍රධානම ගේම් කාරයෙක් … ඒක අමතක කරන්නත් හොඳ නැහැ . එහෙම නොවෙන්න, උගේ ගෙදර උන් පවා මෙහෙම මිස් වෙන්නේ නැහැ එකපාරටම ..”

චරක කිසිවෙකු තමා ඇමතූ හඬින් කල්පනාවෙන් මිදුණේය.

” අරූ කන්නේ නෑ සර් .. එහෙමම ආයේ බැඳලා දැම්මා..”

චරක හිස සැලුවේය. සස්මිත කඩවසම් තරුණයෙකි. රැකියාව තුල අසාමාන්‍ය වගවීමක් පෙන්වූ අයෙකි. කිසිඳු විටෙක සැකයක අංශුමාත්‍රයක් හෝ නැඟුණේ නැත. විජේසිරි ඔහුව කැටුව එද්දී,  දිගුකාලීනව ඔහුට රැකියාවක් ලබාදීම පිළිබඳව යම් දෙගිඩියාවක් වූවද, සස්මිත එය සාධනීය විශ්වාසයක් බවට පෙරලා ගත් බවද චරකට අමතක නැත. 

චරක යළි සස්මිත වෙත ගියේය.

” උඹ සිරිමත් වෙන්න සෑහෙන්න ට්‍රයි කරන්නේ උඹේ ඩීල් ගැන මම දන්නේ නෑ කියලා හිතාගෙන වෙන්න ඇති නේද ?…”

චරක එලෙසින් විමසද්දී, සස්මිත මුවඟින් සරදම්, වෙහෙස සහ වේදනාව මුසු බැල්මක් හෙලුවේය. චරක ඉන් කියවාගත්තේ සරදම් බැල්ම පමණකි. ඔහු යළි සස්මිතට පහර දුන්නේය. 

” තෝ කාටද යකෝ රවන්නේ ?..”

” මට මගේ පාඩුවේ ඉන්න දෙන්න සර් …  මං මුකුත්ම කියන්නේ නෑ  සර් කොහොම ඇහුවත් ?.මට දැන් නැති වෙන්න දෙයක් නෑ .. සර් කැමති දෙයක් කරන්න ..”

” යකෝ මට දැන් අහලා දැනගන්න දෙයක් නෑ බල්ලෝ … තෝ ඩීල් කාරයෙක්, ඇතුලේ උන්න එකෙක් කියලා දැනගත්තට පස්සේ, තෝ චායාගේ බැජ්මේට් කෙනෙක් කියලත් දැනගත්තට පස්සේ මං ආයේ තව මොනවා උඹෙන් දැනගන්නද ?  ඉවසීමෙන්මම තෝ මේ ඔක්කොම පිළිගනන්වද බලන්න චාන්ස් එකක් දුන්නා මිසක්, උඹෙන් අහ අහ දේවල් දැගන්න තරම් &8*&^ ද යකෝ මම ?…”

සස්මිතගේ දෑස් විසල් වූයේය. එසේනම්, ඔහු සියල්ල දැනගෙනද ? සස්මිත ඉවසීමෙන් බලා උන්නේය.

” උඹ මගේ අස්සට ප්ලග් වුනේ උඹේ ඩීල් වඩා පහසුවෙන් කරගන්නද ? “

සස්මිත සිනාසුනේය. ඔහු සියල්ල දන්නා බවක් පෙනෙන්නට නැත. ඔහු එහෙන් මෙහෙන් සොයා ගත් තොරතුරු ගලපාගනිමින් පවසන්නට උත්සාහ කරනවා පමණක් සේය.

සස්මිතගේ සිනහව චරකගේ කෝපයට අනුලෝමව සමානුපාතික වූයේය.  චරකගේ මිට මෙලවූණ සුරත සස්මිතගේ කුස හරහා වන වේගවත් පහරකට ඇලුනේය. ඒවා සස්මිතට  රිදුම් නොදෙනවා නොවේය. එහෙත්, ඔහුට වේදනාවන් පසු කර ආ අතීතයක් ඇත. ඒ  අතීතය හා සමඟින් සැසදූ කල මෙවැනි තත්ව පසු කිරීම සස්මිතට අපහසු නැත. 

” උඹ ඉවරයි කියලා හිතාගනින් .. ආයේ චායා පස්සෙන් වැටෙන්න  හීනෙකින්වත් නොහිතෙන්න  සලකන්නම් උඹට මම … බලාගනින් ..>”

චරක යළි පිටතට ගියේය. ඔහුගේ සගයන් දෙදෙනෙකු අමතා, සස්මිතව කෙලෙසකින් හෝ දන්නා කරුණු තහවුරු කර ගන්නා මට්ටම තෙක් කතා කරවාගන්නා ලෙස දැනුම් දුන්නේය. 

” මැරෙන්න බෑ ඌ .. හැබැයි කතා කරවපං ….”

චරක පිටව ගියේ දෙගිඩියාවෙනි. සස්මිත පිළිබඳව දැනගත් තොරතුරු සහ සස්මිතගේ සහ චායාගේ හැසිරීම නිසාම ඔහු උන්නේ යම් පීඩාවකය. කිසිවක් එකිනෙක සමග අති පිහිත නොවන බව පෙනේ.  විජේසිරි උන්නා නම් බොහෝ ගැටලු වලට පිළිතුරු ලබා ගැනීමට ඉඩ තිබුණු බව චරක කල්පනා කලේය. එහෙත්, ඔහුගේ මරණය සිදුව අවසන් ය. සස්මිත සිටින්නේ තමාට යටත් නොවන හිතුවක්කාරකමක් සමගය. 

චරක මිතුරා පැමිනෙණ තෙක් බලා උන්නේය. ඔහුගේ යෝජනාව වූයේ සස්මිතව සඟවා තබා ගැනීම සුදුසු බවය.

” ඕනි නම් මිනිහා මට දීපං … කණපිට හරවලා හරි වැඩේ කරන්නම් ..”

මිතුරා අවසානයේ එලෙසින් යෝජනා කලේය.

” කමක් නෑ .. මෙහෙම බලමු දවසක් දෙකක් …”

චරක එලෙසින් පැවසුවේ මිතුරාගේ ක්‍රමවේදයන් පිළිබඳව යම් අවබෝධයක් තිබූ නිසාය. මිතුරා චරක දෙස බලා අමුතු සිනහවක් පෑවේය.

” කොල්ලා නංගිට දාපු බැලන්ස් එක හින්දා උඹේ හිත හෙල්ලිලාද ?…”

” එහෙම නැතුවත් නෙවෙයි … මට චායාව බැලන්ස් කරගන්න විදියක් හිතාගන්න බැරුව ඉද්දී ඌ ඒක බැලන්ස් කලා.. ඇත්තටම ඌ එවෙලේ කලේ, උගේ ජීවිතේ මරණෙට අඩියක් ලං කරගත්ත එක …”

” උඹ හිතන් ඉන්නේ … ඌව ඔහොමම …අතුරුදන් කරන්නද ?…”

” මට තේරෙන්නේ නෑ බං .. මූ අවුරුදු දොළහකට කලින් ඩ්‍රග් ඩීල් සීන් එකකට ඇතුලට ගියා කියනෙකම මට හෙනම අවුල් බං … මූ  රට උන්නා කියන කතාවත් බොරු නම්, මගේ ළඟ ඩ්‍රයිවර් කෙනෙක් වෙලා කට්ට කාපු එක කොහොමද බං මම නෝර්මලයිස් කරගන්නේ.. විජේසිරි ඌව අපේ ගෙදරම නවත්තන ගානට අපේ තාත්තාගේ බ්‍රේන් වොශ් කරපුවා මම කොහොමද බං අහම්බෙන් කියලා අතාරින්නේ ?…”

” ඉවසපං .. මං සීන් එකේ ඉන්නේ.. මේ ඔක්කොම හොයාගන්න පුලුවන් වෙයි …”

” චායාව ශේප් කරලා , රට යවන්න ඕනි ..”

” මං හිතන්නේ නෑ උඹලෑ  නංගී එහෙම සෙට් වෙයි කියලා නම් … ඒකි තරම් හිතුවක්කාර එකියක් මම දැකලා නෑ …. අනෙක සස්මිතයා අතුරුදන් වෙලා ඉන්න වෙලාවක කීයටවත්  යන්නේ නෑ ..”

” උඹ කියන්නේ ඌට නංගිව උස්සන් යන්න දීලා මට ඇස් කන් පියාගෙන ඉන්න කියලද බං ?.. ඒක එහෙම වෙන්න දීලා බලන් ඉන්න වෙනවා නම්, මේ ඇමතිකම් වල ඇති වැඩේ මොකක්ද ?..”

චරක කලකිරීම සහ නොරිස්සුම පෙන්වමින් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here