BE SILENT – 78

0
1039

” මනූ… , පරක්කු වෙන්නැද්ද ? ඔය ඇඳුමත් පොඩි වෙනවා . “

නෙත්‍යා බොහෝ අපහසුවෙන් ඔහුගෙන් මිදුණාය. 

” එළවන්නමයි හදන්නේ “

එවර ඈ චිරිස් ගා සිනහ සුණාය.

” අර සචින්ද්‍ර කා පාක් එකේ විනාඩි පහළවක් විතර. දැන් යන්න…”

මනුහස් බෙරි කර ගත් මුහුණින් ඈ දෙස බලා සිටියේය. 

” දවල්ට කන්න එනවද ?” 

” කියන්න බෑ බෝලේ. එහෙ මෙහෙ යන්න උනොත් එහෙම. “

” හ්ම්ම්….”

” ගේ ඇතුළටම වෙලා ඉන්නැතුව ඕනෙනං කොහෙට හරි ගිහින් එන්න. හැබැයි පරිස්සමට හොඳේ.” 

” අද ජාන්වී එනවා කිව්වා , එයා මැල්කම් රෝඩ් එකේ ඇනෙක්ස් එකක් බලලා , එයා එක්ක ගිහින් ඒක බලලා එන්නං. “

” හ්ම්ම්…”

මනුහස් නැවතත් ඈ තුරුළට ගෙන නොනවත්වාම ඇගේ උවන සිප ගත්තේය. 

” මනූ.. , දැන් ඇති දෙයියනේ…”

යළිත් වරක් ඈ බොහෝ අපහසුවෙන් ඔහුගෙන් මිදුණාය. 

” හරි.. මේ අහන්නකෝ..”

” ඔන්න දැන් ආයේ මොකක් හරි බොරුවක් කියන්න යනවා. “

මනුහස් දෑස පමණක් නොව මුවද විසල් කරමින් ඈ දෙස බලා සිටියේය.

” ඇයි එහෙම කියන්නේ ?” 

” දැන් කී පාරක් නං යන්න ලෑස්ති වෙලා , බෝලේ මේ.. මේ අහන්නකෝ. , මේ ඔයාට කියන්න අමතක උනා. , ආ.. මේ තව එකක්.. ඔය වගේ කීයක් නං ඒවා කියන්න හැරුණද ?” 

ඈ බොරු තරහක් මවා පෑවාය.

” හරි.. හරි.. මේ එහෙම එකක් නෙමෙයි. ඊයේ මිසිස් මල්දෙණියගෙ නඩුව මෝශන් එකක් දාලා ආයේ අරන් තියනවා. එතනදි ඇප ලැබිලා. “

” කමක් නෑ මනූ.. ඒ මනුස්සයා වයසක මනුස්සයෙක්නේ.. “

” නඩුවකින් ඇප ලැබෙනවා කියන්නේ රිමාන්ඩ් එකෙන් එළියට එන්න පුලුවන් වෙනවා කියන එක විතරයි සුදු නෝනා. ඒ නඩුව දිගටම අහනවා. වැරදිකාරයා කියලා ඔප්පු උනොත් අනිවාර්‍යෙන් ආයේ රිමාන්ඩ් එකට යන්න වෙනවා. “

” හ්ම්ම්…!” 

නෙත්‍යා කිසිවක් නොපවසා විසල් සුසුමක් අත හැරියාය. 

” මං යන්නං… බායි..!” 

ඈ නැවතත් චිරිස් ගා සිනාසුණාය.

” ඒ පාර මොකෝ ?” 

” ඔය කිව්වේ දොළොස් වෙනි හරි දහතුන් වෙනි හරි බායි එක. “

” මේක තමයි අන්තිම එක. “

එසේ පැවසූ ඔහු නැවතත් ඇගේ කොපුලක් මත තදින් හාදුවක් තබා නිවසින් පිටතට අඩි තැබුවේය . විදුලි සෝපානය වෙත ගිය මනුහස් එයට ගොඩ වී පිටව යන තුරුම බලා සිටි නෙත්‍යා ඉන්පසුව නැවත නිවස තුළට පැමිණ දොර වසා ජංගම දුරකතනය අතට ගත්තාය .

” කියන්න මැඩම්..!” 

සවනේ රඳවා සිටි දුරකතනයේ ඇමතුමට අනෙක් පසින් පිළිතුරු බැඳුනේ එලෙසටය.

” රමිත කොහෙද ඉන්නේ ?” 

තත්පර කිහිපයකට පෙර මනුහස් අසල සුරතල් වුණු ප්‍රේමවන්තිය ඇගෙන් පළා ගොස් සිටි අතර ඇගේ කටහඬ රෞද්‍ර ස්වරයක් ගෙන තිබුණේය .

” ඔෆිස් එකට යන ගමන් මැඩම්..” 

” තව පැයක් ඇතුළත මට තමුන්ව මුණ ගැහෙන්න ඕනේ. මං ලොකේශන් එක එවන්නං “

” ඕකේ මැඩම්..!” 

නෙත්‍යා ඇමතුම විසන්ධි කොට යළි වෙනත් ඇමතුමක් ගෙන දුරකතනය සවනේ රඳවා ගත්තාය. 

” නර්මදා..! ” 

” මැඩම්.. “

” මං කියපු කාරණය මොකද ?” 

”  මැඩම් මං මේ… “

” නර්මදාට ගාණ මදිද ? කීයක් ඕනෙද ? නර්මදාට කැමති ගාණක් ඉල්ලන්න. කිසි ප්‍රශ්නයක් නෑ. “

” ගාණේ ප්‍රශ්නයක් නෑ මැඩම්. මං වැඩේ කරලා දෙන්නං “

” හ්ම්ම්.. ගුඩ්. අපි ඉක්මනට මීට් වෙමු  “

” ඕකේ මැඩම්..”

එකී ඇමතුමද විසන්ධි කොට දැමූ නෙත්‍යා මුව අඟින් සමච්චල් සිනහවක් පෑවාය  . 

*****************************–************

” ෂියෝනා දුරකතන ඇමතුමට සම්බන්ධ වී එය මනුහස් හා සචින්ද්‍ර ඉදිරියෙන් තැබුවාය. 

” හෙලෝ..!” 

මඳ වේලාවකින් ඇමතුමට අනෙක් පසින් පිරිමි පුද්ගලයෙකු සම්බන්ධ වූයේය .

” හලෝ මහත්තයා…” 

ෂියෝනාද මේ පසින් ඇමතුම හා සම්බන්ධ වූවාය. 

” මට මේ නොම්බරේ දුන්නේ රඹුක්කන මහත්තයා. මහත්තයාගේ ඉඩමක් තියනවා නේද ඉඳිඔයේ විකුණන්න ?” 

” ආ.. ඔව්.. ඉඩමක් තියනවා. “

” මහත්තයා එකේ ගාණ කොහොමද මහත්තයා ? “

” මේ මිස් කොහෙන්ද කතා කරන්නේ ?” 

” මගෙ ගම දෙහිඇල්ල මහත්තයා , දැන් නං බෝඩ් වෙලා ඉන්නේ හෝමාගම. “

” මිස් , ඉඩම බැලුවද ?” 

” බැලුවා මහත්තයා , දවස් දෙක තුනකට උඩදි මං ගමේ ගියා. ඇත්තම කියනවානං මට ඉන්නේ අම්මා විතරයි . අම්මා කැමති නෑ එහෙ දාලා කොළඹ එන්න. හැමදාම මැශින් පාගලා , අනුන්ට හම්බ කරලා හරියන්නෑනේ මහත්තයා. ඒකයි ඉතුරු කරපු සල්ලි ටිකයි , ලෝන් එකකුයි දාලා ඉඩමක් ගන්න බැලුවේ. “

” මිස් , ගාමන්ට් එකකද වැඩ කරන්නේ ?” 

” ඔව් මහත්තයා .”

මනුහස් දෑස කරකවා මඳක් ඔබ්බෙන් පරිගණක කිහිපයක් මැදි කර සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා දෙස බැලුවේය . එහි සිටි එක් නිලධාරියෙක් මහපටැඟිල්ල උරුක් කරමින් මනුහස් හට සියල්ල සාර්ථක බව පැවසුවේය . 

” මහත්තයා අපේ ටී ටයිම් එක ඉවරයි. වැඩි විස්තර දැන ගන්න මේ නොම්බරේටම කතා කළාට කමක් නැද්ද ? ” 

” කමක් නෑ.. කමක් නෑ.. ඕන වෙලාවක ගන්නකෝ. ඔයාගේ නම මොකක්ද කිව්වේ ?” 

ෂියෝනා දුරකතනයට එරෙව්වාය.

” මං සඳමාලි මහත්තයා. “

” හා.. සඳමාලි , මගෙ නම සාරංග. ඔයා කැමති වෙලාවක මට ගන්නකෝ. “

” හොඳයි මහත්තයා. බොහොම ස්තූතියි ..”

එසේ පැවසූ ෂියෝනා දුරකතනය විසන්ධි කොට යළි එයට එරෙව්වාය .

” අනේ.. මුන්ට.. ගෑනු කටහඬක් ඇහුණත් ඇති .  “

මනුහස් වහා පරිගණකය අසල සිටි පොලිස් නිලධාරීන් දෙස බැලුවේය .

” ලොකේශන් එක මහරගම සර්. කටුවාවල පාරේ  “

” හ්ම්ම්..”

මනුහස් ජංගම දුරකතනය අතට ගෙන ඇමතුමක් ලබා ගත්තේය. 

” කියහන් මනුවා.”

” චමීර උඹ අයිඑන්බී එකේ හෙඩ් ඔෆිස් නේද ඉන්නේ ?” 

” ඔව් මචං , උඹට මොකද්ද වෙන්න ඕනේ ?” 

” පොඩි වැඩක්. හැබැයි ඔෆීශියලි නෙමෙයි. “

” කියපන්.. කියපන්.. උඹට නොකරන දෙයක් තියනවද මම ?” 

මඳ සිනහවක් මුවට නඟා ගත් මනුහස් වීදුරු ද්වාරය හැර ඉන් පිටතට ආවේය. 

****************************************

ලා නිල් පැහැ අත් දිගු කමිසයකින් හා කළු පැහැ දිගු කලිසමකින් සැරසී සිටි අවුරුදු තිස් පහක පමණ වයසක් පෙන්නුම් කරන තරුණ පුද්ගලයා බියපත් වූ දෑසින් තමා ඉදිරියේ හිඳ සිටින තරුණිය දෙස බැලුවේය. ඉන් පසුව වෙව්ලන දෑතින් ඈ දිගු කළ ජංගම දුරකතනය අතට ගෙන එක දිගට එහි දිව යන වීඩියෝ පට කිහිපය දෙස බලා සිටියේය. වායුසමනය කළ කුටිය තුළ වුවද ඔහුගේ නළල දෙපසින් දා බිඳු කිහිපයක් එක දිගට රූරා වැටුණේය . හේ අවසානයේ හිස ඔසවා තමා ඉදිරියේ ඇති අසුනට බරව දෑතම බැඳ ගෙන තමා දෙස එක එල්ලේ බලා සිටින තරුණිය දෙස බැලුවේය. 

” මැඩම්.. මං.. මං.. මේ…!” 

දෑත පමණක් නොව අවසානයේ ඔහුගේ ස්වරයද වෙව්ලුම් සහගත වූයේය.

” මයන් මල්දෙණිය මැරුණේ නෑ , තාමත් ජීවත් වෙනවා කියලා මං දන්නවා රමිත. මයන්ට හොටෙල් එකෙන් පැනලා යන්න  උදව් කළේ තමුනුයි , නයින් මවුන්ටන්ස් එකේ මැනේජර් රණබාහුයි කියලත් මං දන්නවා. මයන් වගේම කාවහරි එදා රූම් එක ඇතුළට යවලා මයන්ව ඉමර්ජන්සි එක්සිට් එකෙන් පිට කළා. ඊට පස්සේ පහුවදා තමුනුයි , රණබාහුයි එකතු වෙලා ලොකු ඩ්‍රාමා එකක් දැම්මා. මයන්ගේ ෆියුනරල් එක දවසේ ඔෆිස් එකේ ලැප් එකක මේල් එකක් හදලා ඒක ඕන කමින්ම පොලීසියට පෙන්නලා , මාව ඇල්ලුවා. එහෙම කළේ ඊට පස්සේ පොලීසියේ ඇටෙන්ශන් එක සම්පූර්ණයෙන්ම මගෙ පැත්තට දෙන්න වගේම තමුන්ලා ගැන සැකයක් නොහිතෙන්න. “

නෙත්‍යා මුව අඟින් සමච්චල් සිනහවක් පෑවාය. 

” මයන් එදා නයින් මවුන්ටන්ස් එකට එන තැන ඉඳන් පහුවදා තමුන්ලා දාපු ඩ්‍රාමා එක වෙනකන් වෙච්ච සිද්ධිය පැහැදිලිව ඕකේ තියනවා. මට තියෙන්නේ ඔය ටික මීඩියා වලට දෙන්න විතරයි. “

” අනේ.. මැඩම් එහෙම කරන්නෙපා. මට දරු පවුලක් ඉන්නවා මැඩම්. “

රමිත සේනාධීර තමා ඉදිරියේ සිටින කුඩා තරුණිය ඉදිරියේ හඬා වැටුණේය. 

” අපරාධයක් කරනවා වගේම තමයි රමිත , අපරාධකාරයෙක්ට උදව් කරන එකත්. “

” මං කළේ සර් කියපු දේ විතරයි මැඩම්. සර් ඇයි එහෙම කරන්නේ ? මොකටද කරන්නේ ? කියන එක මං දැනන් හිටියේ නෑ. එහෙම අහන්නත් බෑ මැඩම්. එහෙම ඇහුවා කියලා සර් අපිට ඒවාට උත්තර දෙන්නෑනේ. අපිට සර්ගෙන් ප්‍රශ්න කරන්න අයිතියක් නෑ. වැරදිලා හරි එහෙම දෙයක් උනොත් කිව්ව දේ කරපන් , නැත්තන් ජොබ් එක තියලා ගෙදර පලයන් කියන එකනේ අහන්න වෙන්නේ මැඩම්. ඇත්තටම සර් කිව්ව දේ කළා ඇරෙන්න වෙන කිසිම දෙයක් මං දන්නෑ මැඩම්. “

රමිත තව දුරටත් නෙත්‍යා ඉදිරියේ පිණ්සෙණ්ඩු වූයේය. 

” රමිත දන්නවානේ මං දැන් ඉන්නේ කා එක්කද කියලා ?” 

” ද.. දන්නවා මැඩම්..”

” රමිත හිතන්නේ මනුහස් විජේවර්ධන කියන්නේ මෝඩයෙක් කියලද ?” 

” මැඩම් ..?” 

” මයන්ගෙයි කියලා තිබ්බ ඩෙඩ් බොඩි එක මල්දෙණිය ගෙදරින් එළියට අරන් යන්නත් කලින්මයි පොලීසියෙන් මයන් තාමත් ජීවතුන් අතර ඉන්නවා කියන එක හොයාගෙන තිබුණේ. “

” මැඩම්..?” 

රමිත තව දුරටත් බියෙන් වෙව්ලන්නට පටන් ගත්තේය .

” තමන්වම මරාගෙන හැංගිලා ඉන්න තරමටම මිනිහෙක්ට වැඩ කරන්න සිද්ධ වෙනවා කියන්නේ ඒ මිනිහා කරලා තියෙන්නේ එසේ මෙසේ අපරාධයක් නෙමෙයි රමිත . පොලීසියෙන් දැනටමත් ඕන කරන දේවල් හොයාගෙන ඉවරයි. තව ටික දවසකින් මයන් වගේම මයන්ට වචනෙකින් හරි උදව් කරපු හැම එකාටම ඒවට වන්දි ගෙවන්න වෙයි. ඒකට ලෑස්ති වෙලා ඉන්න. “

” අනේ මැඩම්. මං ඒ දේවල් වලට සම්බන්ධ නෑ.. මාව බේර ගන්න . මට පොඩි දරුවො දෙන්නෙක් ඉන්නවා. “

රමිත සේනාධීර නෙත්‍යා ඉදිරියේ තව දුරටත් වැඳ වැටුණු අතර නෙත්‍යාගේ වටකුරු දෑස සිහින් වී කපටි සිනහවක් උවන පුරා ඇඳී ගියේය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here