මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 36

0
483

තමන්ට අයිතිවෙන්න ඕන ගෑනි වෙන මිනිහෙක්ගෙ හුස්මක් වදින මානෙක ඉන්නවය කියලා දන්න එක පිරිමින්ට කොච්චර අමාරු දෙයක්ද කියලා මට ඇත්තටම තේරෙන්න ගත්තෙ හේසරගෙ ප්‍රශ්නෙන් පස්සෙ මතින්ද්‍ර හෙමින් හෙමින් වෙනස් වෙන්න පටන් ගත්තම.

මුලින් මං ඒ වෙනස මං ලොකු දෙයක් විදියට භාර ගත්තෙ නෑ.

මං හිතුවෙ එයා බය වෙලා ඇති කියලා. මාව නැතිවෙයි කියලා බය වෙලා ඇති කියලා. මොකද හේසර එක්ක මාව දැකපු දවසෙන් පස්සෙ මතින්ද්‍රගේ ඇස් දෙකේ තිබුණේ මං කලින් කවදාවත් නොදැක්ක දෙයක්. ඒක තරහා නෙවෙයි. ඒක හරියට කවුරුහරි තමන්ගෙන් දෙයක් උදුරගන්න යනවා වගේ බය වෙච්ච මනුස්සයෙක්ගෙ බැල්මක්.

ඒත් පස්සෙ පස්සෙ ඒ දේවල් මාව නොසන්සුන් කරන්න පටන් ගත්තා.

“මං රිප්ලයි කරන්න ටිකක් පරක්කු වුණොත් එයාට ඉවසීමක් නෑ. මැසේජ් පිට මැසේජ් එවනවා.‘හරිද දැන්?’ ‘කා එක්කද ඔය ඉන්නේ?’ ‘ඇයි මාව මෙහෙම මගහරින්නේ?’ කියලා එයාට ඕනෙ වුනේ හැම තත්පරේම මං ඉන්න තැන දැනගන්න.

එයා ඒ මැසේජ් එවන්නේ නිකන් විහිළුවට වගේ. ඒත් ඒ වචන අස්සේ මට විස්තර කරන්න බැරි අමුතු පීඩනයක් තිබුණා.

සමහර දවස්වලට මං ඔෆිස් එකෙන් එළියට බහිනකොට, පාර අයිනේ එයාගේ කාර් එක නවත්තලා තියෙනවා මං දකිනවා. මං හොඳටම ශොක් වෙලා ඔයා මොකද මෙතන? කියලා අහපුවාම, එයා හරිම සාමාන්‍ය විදියට කියනවා මං නිකන් මේ පැත්තෙන් යන ගමන් ඔයාව බලන්න ආවා කියලා.

හැබැයි ඒ නිකන් යන ගමන් කියන එක දවසින් දවස වැඩි වෙන්න පටන් ගත්තා. අන්න ඒත් එක්කම මගෙ හිතේ මෙච්චර දවසක් මතින්ද්‍ර ගැන තිබිච්ච ආදරේ බයකට හැරවෙන්න ගත්ත විත්තිය මටත් තේරෙන්න ගත්තා.

මං ලන්ච් බ්‍රේක් එකට යන වෙලාව, වැඩ ඉවර වෙලා පහළට බහින වෙලාව, පවා එයා කොහොම හරි දැනගෙන හිටියා. මං යාළුවෝ එක්ක යන තැන්වල පවා එයා හිටියා.

ඒක මාරම අමුතු බයක් දැනෙන වැඩක් කියලා මට හිතෙන්න පටන් ගත්තත්, මං මගේ හිත හදාගත්තා. එයා මට ඕනවට වඩා ඇටෑච් වෙලා තියෙන්නේ. එයාට මාව මාරම විදියට මිස් වෙනවා.මං මේ ඕනවට වඩා හිතනවා විතරයි කියල මම ඒ හැම දෙයක්ම, මතින්ද්‍රගෙ හැම ඉරියව්වක්ම මමම සාධාරණීකරණය කරන්න පටන් අරගෙන තිබුණා,

හැබැයි එක දවසක් මට ඇත්තටම බය හිතුණා.

මං අපාර්ට්මන්ට් එකේ කුස්සියේ ඉද්දි, ෆෝන් එක තිබුණේ සාලේ ටේබල් එක උඩ. මං ආපහු එද්දි මතින්ද්‍ර ෆෝන් එක අතේ තියාගෙන ඒකේ ස්ක්‍රීන් එක දිහා බලන් හිටියා.

මාව දැක්ක ගමන් එයා කලබලෙන් වගේ ෆෝන් එක පහළට දැම්මා

ඊට පස්සෙ හිනාවුණා.

හරිම හෙමින්.

“හේසර තාම මැසේජ් කරනවද?” කියලා එයා අහද්දි ඒ තත්පරේ තමයි මගේ ඇඟ වෙව්ලලා යනවා වගේ මට දැනුනේ.

මොකද එයා ඒක ඇහුවෙ තරහින් නෙවෙයි.

හරිම සංසුන් විදියට. කුණාටුවකට කලින් එන සංසුන් ගතිය වගේ.

“හේසර තාම මැසේජ් කරනවද?”

මතින්ද්‍ර ආයෙ වතාවක් ඒක ඇහුවෙ හරිම සාමාන්‍ය හඬකින්.
 හැබැයි ඒ සංසුන් හඬ ඇතුළේ තිබුණ දෙයක් මගේ පපුව ඇතුළටම හෙමින් රිංගනවා වගේ මට දැනුණා.

මං එයා දිහා බලන් හිටියා.

“ඔයා මගේ ෆෝන් එක බැලුවද?”

එයා එකපාරටම උත්තර දුන්නේ නෑ. ෆෝන් එක ටේබල් එක උඩ තියලා එක දිගටම මහ අමුතු විදියට මං දිහා බලන් හිටියා.

“මං නිකන් නොටිෆිකේශන් එක දැක්කා.”

“මතින්ද්‍ර.”

“මොකද?” එයා හෙමින් හිනා වුණා. “ඔච්චර අප්සෙට් වෙන්න දෙයක් මං කිව්වෙ නෑනෙ?”

මට එකපාරටම හරි අමුතු අපහසුතාවයක් දැනුණා.ඒකේ තිබුණේ පිරිමියෙක්ට තමන් කැමති ගෑනි ගැන දැනෙන සාමාන්‍ය නොසන්සුන්කම නෙවෙයි. ඒ බැල්මේ තිබුණේ මාව ගොදුරක් කරගෙන මගේ හැම පියවරක්ම මනින දඩයක්කාරයෙක්ගේ වගේ බැල්මක්. මං කිසිම දෙයක් නොදැන ඉද්දී එයා මගේ මුළු ජීවිතේම වට කරලා රවුමක් ඇඳලා ඉවරයි කියලා මට ඒ වෙලාවේ දැනුණා

“ඔයා මගේ ෆෝන් එක බලන්න කලින් මගෙන් අහන්න තිබුණා.”

එයාගේ මූණේ තිබුණ හිනාව ටිකක් වෙනස් වුණා.

“ඇයි ඔයා නිකන් කලබල වෙලා?” එයා හෙමින් ඇහුවා. “මං ඔයාගේ ෆෝන් එකේ බලන එකේ අවුල මොකද්ද? ඉස්සරත් මම බැලුවනෙ ඔයාගෙ ෆෝන් එක. ඒ කාලෙ නම් ඔයාට මෙහෙම ප්‍රශ්න තිබ්බෙ නෑනෙ. දැන් මොකද්ද මේ වෙනස එතකොට?”

“ඒ කාලෙයි මේ කාලෙයි වෙනස් කියන එක ඔයා අමතක කරන්න එපා.”

“වෙනස් උනා නම් වෙනස් උනේ මං මිසක් ඔයා නෙවෙයි කියලා ඔයාම නේද කිව්වෙ?”

මං උත්තරයක් නොදී අහක බලාගත්තා.ඒ තත්පරේ මට තේරුණා මං බය වෙලා ඉන්නවා කියලා.

මතින්ද්‍ර හෙමින් මං ගාවට ආවා.එයා මගේ අත අල්ලගත්තා.ඒ අල්ලගැනීමත් ටිකක් තදයි.

“ඔයා හිතනවද මං මෝඩයෙක් කියලා?” එයා ඇහුවා. “මට පේන්නෙ අරූ තාම ඔයා වටේ ඉන්නවා”

“හේසර මගේ යාලුවෙක් විතරයි.”

“බොරු කියන්නෙපා ඕයි.”

එයා ඒ වචනෙ කිව්වෙ හරිම හෙමින් උනාට ඒ වචන වල තිබිච්ච තරහා මට නොතේරුණා නෙවෙයි. මතින්ද්‍ර මගේ අත අත ඇරියා.

“මං එදා තමුසෙලා  දෙන්නා දිහා බලන් හිටියා මේඝා. ඌ තමුසෙ දිහා බලපු විදිය මට තාම මතකයි.”

“විකාර කියවන්න එපා මතින්ද්‍ර.”

“විකාර” එයා හිනා වුණා. “මං කියන්නෙ විකාර නම්, බොරු නම් එහෙනම් ඇයි ඔයා එයා ගැන කියද්දි ඔහොම වෙව්ලන්නෙ?”

එයා දැන් මං දිහා බලන් හිටියේ කලින් තිබුණ ආදරෙන් නෙවෙයි.හරියට මං වැරැද්දක් කරලා ඒක එයා ඉස්සරහා පිළිගන්නකල් බලන් ඉන්න මනුස්සයෙක් වගේ එයා මං දිහා බැලුවා.

“ඔයා දන්නවද මේඝා” එයා හරිම සන්සුන්ව ඒත් බය හිතෙන විදියට මුමුණන්න ගත්තා. “සමහර වෙලාවට මට හිතෙනවා මට ඔයාව අයිති කරගන්න තව කෙනෙක් එක්ක මාර යුද්ධයක් කරන්න වෙලා තියෙනවා කියලා”

“මතින්ද්‍ර, ප්ලීස් ඔය මල විකාර කියවන එක නවත්තනවද?.”

“නෑ.” එයා ඔලුව වැනුවා. “මං මේ පාර නතර කරන්නෙ නෑ.”

ඒ වචනෙත් එක්ක කාමරේ ඇතුළේ හුළඟත් බර වුණා වගේ මට දැනුණා.

එයා ආයෙත් මගේ ෆෝන් එක දිහා බැලුවා.

“පාස් වර්ඩ් එක මොකද්ද?” එයා හෙමින් ඇහුවා.

මගේ පපුව එකපාරටම තද වුණා.

“මොකක්ද?”

“ඔයාගේ පාස්වර්ඩ් එක.”

“ඇයි?”

“අහපු දේට උත්තර දෙනවා.”

එයා ඒක කිව්වෙ තරහින් නෙවෙයි. අන්න ඒකට තමයි මට වැඩියෙන්ම බය හිතුණේ.

මං ෆෝන් එක ගන්න ටේබල් එක පැත්තට අත දිගු කරපු තත්පරේම මතින්ද්‍ර එකපාරටම මගේ අත අල්ලගත්තා.

“මතින්ද්‍ර, අත අරින්න.”

එයා උත්තර දුන්නේ නෑ.

එයාගේ ඇඟිලි මගේ මැණික් කටුව වටේ තද වෙන්න ගත්තා. ඒක රිදෙන්න තරම් තදයි. මට රිදිච්ච විත්තිය එයාට තේරෙන්න ඇති මගේ මූණෙ ඉරියව් වෙනස් වෙච්ච විදියට.

“මට ෆෝන් එක දෙන්න.” මං වේදනාවෙන් කෙඳිරිගාන ගමන් උනත් තරහෙන් වගේ එයාට එහෙම කිව්වා.

“පාස්වර්ඩ් එක කියනවා.”

එයා ඒක කිව්වෙ තාමත් හරිම සන්සුන් හඬකින්. හැබැයි ඒ සංසුන් ගතිය දැන් මට බය හිතෙන තරමට අමුතු වෙලා තිබුණා. හරියට එයා තරහා වෙලා නෙවෙයි  තරහා පාලනය කරගෙන ඉන්නවා වගේ මට දැනුණෙ.

“ඔයාට පිස්සුද?” මං අත උදුරගන්න උත්සාහ කළා. “මතින්ද්‍ර මට රිදෙනවා කරුණාකරලා මාව අතාරින්න”

එයා තවත් ටිකක් මගේ අත අඹරලා අල්ලගත්තා.

“ඌ එක්ක තාම කතා කරනවද කියලා දැනගන්න මට අයිතියක් තියෙනවා.”

“ඔයාට එහෙම  කිසිම අයිතියක් නෑ.”

එතකොට තමයි එයාගේ ඇස් වෙනස් වුණේ.

ඒ බැල්මේ තිබුණේ ආදරේ නෙවෙයි.ඒක පුදුම විදියේ අමුතුම ආත්මාර්ථකාමී අයිතිවාසිකම් කීමක්. මාව මනුස්සයෙක්ට වඩා තමන්ට අයිති දෙයක් වගේ බලන බැල්මක්.

“ඔයා මාව මෝඩයෙක් කරගෙන නටන්න හිතාගෙනද ඉන්නෙ?” එයා හෙමින් ඇහුවා.

“මං එහෙම කිසි දෙයක් කරලා නෑ.”

“එහෙනම් ෆෝන් එක අන්ලොක් කරනවා.”

මං ඔලුව දෙපැත්තට වැනුවෙ මං එහෙම කරන්නෙ නෑ කියන්න.

එයා එකපාරටම මගේ අත අතහැරලා ෆෝන් එක අතට ගත්තා. මං ඉක්මනට ඒක උදුරගන්න හැදුවා.

“දෙන්න මගේ ෆෝන් එක!”

ඒත් මතින්ද්‍ර මට කලින් වේගෙන් නැගිට්ටා. එයා මගේ උරහිස් දෙකෙන් අල්ලලා මාව පස්සට තල්ලු කළා. ඒ තල්ලුව ලොකු එකක් නෙවෙයි. හැබැයි ඒක ඇති වුණා මගේ පපුව ඇතුළේ මොනවහරි කැඩිලා බිඳිලා යනවා වගේ දැනෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here