” ගුඩ් මෝනින් සර්..!”
සචින්ද්‍ර එසේ පවසා මඳ සිනහවක් මුවට නඟා ගත්තේය.
” මොකෝ උඹ හිනාවෙන්නේ ?”
” නෑ.. නෑ.. නිකන්..”
” කියහන් මගෙන් ගුටි කන්නැතුව “
” නෑ ඉතිං වෙනදට උදේට මං කා පාක් එකට ඇවිල්ලා කෝල් කරද්දි තමයි සර් ඇහැරෙන්නේ. ඊට පස්සේ ඕන්නං විනාඩි දහයක් යයි. දුවගෙන දුවගෙන ඇවිල්ලා ජීප් එකට නඟින්න. ඒකට ඊයෙයි අදයි කෝල් එක දෙද්දිම හරි බං හරි මං ලෑස්ති වෙලා ඉන්නේ කියලා කිව්වට ගෙදර ඉඳන් මෙතනට එන්න ඊයේ විනාඩි විසි පහයි , අද හරියටම පැය භාගයයි “
මනුහස් කිසිවක් නොපවසා සිනහ නඟමින් සිටියේය .
” හරි ඉතිං මට කිව්වට උඹ ගෙදරින් එනවා ඇත්තෙත් වෙනදා වෙලාවට නෙමෙයි වෙන්නැතිනේ.. ?”
” ම්හ්හ්…ම්හ්හ්..”
සචින්ද්‍ර පිළිතුරු දෙනු වෙනුවට උගුරේ රැල් බුරුල් කළේය.
” නියම කසාද පුරුෂයෝ එහෙම වෙන්නැති සර්..”
” වෙන්නැති , වෙන්නැති “
දෙදෙනාගේම සිනහව මධ්‍යයේ සචින්ද්‍ර වට රවුමකින් දකුණු දෙසට පොලිස් ජීප් රථය හැරවූයේය.
” සංකල්ප…”
නාද වන දුරකතනය ගෙන මනුහස් එය සවනේ තබා ගත්තේය.
” සර්..!”
” කියන්න සංකල්ප. “
” සර් , ට්‍රේන් එකට පැනපු පිරිමි කෙනෙක්ගේ බොඩි එකක් හම්බුණා දෙල්කඳ කිට්ටුව. පොඩ්ඩක් බලද්දි අර ටැමී කියන එකා සර්..”
” කොයි වෙලාවෙද වෙලා තියෙන්නේ. “
” පාන්දර සර්.. හයයි දහයේ ට්‍රේන් එකට. “
” සංකල්ප තාම එතනද ?”
” ඔව් සර්.. “
” හරි , අපි එන්නං. “
” ඕකේ සර්.. “
දුරකතන ඇමතුම විසන්ධි කළ මනුහස් සචින්ද්‍ර දෙස බැලුවේය.
” මොකද්ද සර් වෙලා තියෙන්නේ ? ”
” ටැමී…”
” ඉවරද ?”
” හ්ම්ම්.. “
” මිනිහට එක පාරට මොකද්ද සර් උනේ ? ඌට ෆොටෝස් ඇවිල්ලා බ්ලැක් මේල් කරන්න තරම් කාලයක් තිබ්බෙ නෑනේ ?”
” මිනිස්සුන්ට හෘදසාක්ශියක් කියලා එකක් තියනවනේ බං . ඌව කවුරුහරි බ්ලැක් මේල් කළා නොකළා මං දැනන් හිටියේ ඌ ලඟදිම මෙහෙම දෙයක් කරගන්නවා කියලා. “
” ඕක තමයි සර් , වෙන්න ඕනේ හොඳම දේ . ඕකුන්ව ඇරෙස්ට් කරලා , උසාවි දාගෙන අපේ කාලෙත් කාගෙන දඟලන්න ඕනේ නෑ. ඔය වගේ කාලකණ්නි ඔහොම මැරිලා යන එකමයි හොඳ. අපි දැන් දෙල්කඳටද සර් ?”
” හ්ම්ම්… මිනිහට මිනිහගේ අතින් වෙච්ච වැරදි වලට වඩා දරා ගන්න බැරි උනේ මයන් මිනිහව රවට්ටපු එක. “
” එතකොට තව ඉතුරු තුන් දෙනයි..?”
” මං හිතන්නෑ බං. නදීල් , අයේෂා දෙන්න මේකට පැටලෙන්න හේතුවක් නෑ. මයන් හිතාමතා නදීල්ව මේකට පැටලෙව්වා. නදීල්ගේ හිතේ බයක් ඇති කරවලා ඒකේ වාසිය ඌ ගත්තා. මයන්ට හැංගෙන්න උදව් ලැබුණේ නදීල්ගෙන්. අන්න ඒ වාසි ටික ගන්න ඌ නදීල්ව පාවිච්චි කළා. එච්චරයි. “
පොලිස් ජීප් රථය දුම්රිය මාර්ගය අසලට යන විටත් එහි පොලිස් නිලධාරීන් හා වෛද්‍ය කණ්ඩායමක් රැඳී සිටියහ. හතර පස් අතකට කැඩී වෙන් වී ගොස් තිබූ ජේඩ් තෝමස්ගේ මළ සිරුර සාමාන්‍ය මනුස්සයෙකු හට පියවි සිහියෙන් බැලීමට තරම් නොහැකි අන්දමට දරුණු ලෙස හානි වී ගොස් තිබුණේය .
වෛද්‍ය කණ්ඩායම විසින් මළ සිරුර රෝහල් වෙත ගෙන යෑමෙන් පසු නැවත ජීප් රථය වෙත ආ මනුහස් දිගටම නාද වෙන ජංගම දුරකතනය ගෙන සවනේ තබා ගත්තේය.
” හෙලෝ මනුවා , උඹ බිසීද ?”
” කියහන් චමීර , අවුලක් නෑ.. “
” මේ උඹ නෙක්ස්ට් වීක් ෆ්‍රී දවසක් තියනවද ?”
” නෙක්ස්ට් වීක් ? ඒ මොකෝ ?”
” මචං ශාම් ට්‍රින්කෝ ඉඳන් කලම්බො එනව කිව්වා නෙක්ස්ට් වීක්. අපි කතා කළේ කට්ටිය පොඩ්ඩක් සෙට් වෙමු කියලා. “
” අහ්.. ඒක මිසක්.. “
මනුහස්ගේ මුහුණේ සිනා රැල්ලක් ඇඳී ගියේය .
” ජාන්වීත් නෙක්ස්ට් වීක් එන කතාවක් කිව්වා. තාත්තට දැන් සෑහෙන්න හොඳයි කියලා. “
මනුහස්ගේ මුහුණේ ඇඳී තිබූ සිනහව සැණෙකින් අතුරුදහන් වී ගියේය.
” ජාන්වී තාම කැන්ඩිද ඉන්නේ ?”
” ඔව් බං . මං දැන් ටිකකට කලිනුත් කතා කළා. අදත් තාත්තව ඩොක්ටර් කෙනෙක් ලඟට එක්කන් යන්න තියනවා කිව්වා . කොහොමත් නෙක්ස්ට් වීක් ඒකිත් එන කතාවක් කිව්වේ ”
” හරි බං. උඹලා ලේසි විදිහක් දා ගනිල්ලා. මගෙන් ප්‍රශ්නයක් නෑ. “
” ඕකේ බං. එහෙනං මං තිබ්බා. “
” හරි මචං…”
චමීරගේ ඇමතුම විසන්ධි කළ මනුහස් වහා නෙත්‍යා හට ඇමතුමක් ලබා ගත්තේය.
” මනූ…!”
” මොකද සුදු නෝනා කරන්නේ ?”
” එළියට ආවා මනූ . “
” තනියම ?”
” ආ.. නෑ ජාන්වී එක්ක. මෙහෙම්මම උමායා අක්කගේ ෂොප් එකටත් ගිහින් එන්නං. මට එතනින් පොඩි බඩු ටිකක් ගන්න තියනවා. “
මනුහස්ගේ උවන අඳුරු වී ගිය අතර හදවත විසල් වේදනාවකින් පිරී ගියේය .
” හ්ම්ම්.. ඕකේ බායි..!”
” බායි මනූ..”
මනුහස් දුරකතන ඇමතුම විසන්ධි කර දැමුවේය.
” කොහෙද බෝලේ ඔයා ගියේ. ? ඇයි මට මේ බොරු කියන්නේ ? පපුව පිච්චෙන වැඩ කරන්නෙපා සුදු නෝනා..”
දුරකතන තීරයේ ඇති නෙත්‍යාගේ ජායාරූපය දෙස බලා තනිවම තැවුණු ඔහු විසල් සුසුමක් පිට කළේය .
සැදෑවේ හයේ කණිසම පසු වී විනාඩි දහයක් ගත වී ගොස් තිබුණේය. අතුරු පාරක් අසල නතර කළ ජීප් රථය තුළ සිටි මනුහස් ජංගම දුරකතනයට පැමිණි කෙටි පණිවිඩයට ඇස යොමු කළේය.
” ඉක්මනින් එනවා නේද ? රෑ වෙන්න එපා . “
හදවත තුළ සතුටක් මෝදු වූයේ නැත. හදවත පුරා ශෝකයක් පැතිර ගොසින්ය. උදෑසන රිදුණු හදවත තවමත් සුව වී නොමැත . ඇගෙන් විමසන්නටද සිත ඉඩ නොදෙයි. ඈ වරදවා වටහා ගත හැකිය. කිසිවිටකත් ඇගේ සිත රිදවිය නොහැක.
” සර්.. වාහනේ ආවා..”
මනුහස්ගේ කල්පනාව බිඳුණේ සචින්ද්‍රගේ හඬටය.
” හෙට උදේට හම්බෙමු . “
” ඕකේ සර්.. !”
සචින්ද්‍රට සමු දුන් ඔහු පොලිස් ජීප් රථයෙන් බැස ඉදිරියේ නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයට ගොස් එහි පසුපස ආසනයට ගොඩ වුණේය.
” කොහොමද මිස්ටර් විජේවර්ධන ?”
” හොඳින් ඉන්නවා ඇමතිතුමා. “
ඉදින් මෝටර් රථය ගමන ආරම්භ කළේය.
” මං ටැමීගේ බොඩි එක බලලා එන ගමන් . අපි ඒක ඩේමන් පාලර් එකට ගේනවා. “
” හ්ම්ම්.. ඒක හොඳයි. “
” ටැමී ලඟිනුත් ෆොටෝ හරි සුයිසයිඩ් නෝට් එකක් හරි හම්බුණාද මිස්ටර් විජේවර්ධන ? “
” නෑ.. ටැමී මැරුණේ අනිත් අයගේ ක්‍රමේට නෙමෙයි. “
නදීල් දෑස විසල් කොට මනුහස් දෙස බැලුවේය .
” ඒ කිව්වේ ?”
” මිනිහා හිතාමතාම සුයිසයිඩ් කරගත්තා ඇරෙන්න කාගෙවත් ත්‍රෙට් එකකට බය උන්නෑ. “
” ඒත්.. ඇයි ? මිනිහට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නෑ ? අර අනුරාධපුරේ ගෙස්ට් හවුස් එකේ සිද්ධියට මිනිහව පොලීසියෙන් හොය හොය නේද හිටියේ ? ඒක මැරෙන්න තරම් හේතුවක් නෙමෙයිනේ ? ”
” ඒක මැරෙන්න තරං හේතුවක් නං නෙමෙයි තමයි. ඒ උනාට මිනිස්සුන්ට දරා ගන්න පුලුවන් සීමාවක් තියනවා. ඕනෙම මිනිහෙක්ට එහෙමයි. කවදාවත් මැරෙන්නෑ , මං තරම් ලොක්කෙක් නෑ , මං පොර කියලා හිතන් ඉන්න මිනිහෙක්ට උනත් එච්චරයි. දැන් ඔය මයන් මල්දෙණිය ඉන්නේ. කවුද හිතුවේ මිනිහට මැරිලත් ජීවත් වෙන්න වෙයි කියලා ?”
නදීල් විසල් සුසුමක් අත හැරියේය .
” ඊයේ උදේ ටැමී මාව මීට් වෙන්න ආවා. “
ඔහුගේ කටහඬෙහි කිසිදු ප්‍රාණවත් බවක් නොමැත. සියල්ල අහිමි වූ සහ සියලු බලාපොරොත්තු සුන් වූ ස්වරයක් එකී කටහඬ තුළ තිබුණේය.
” මිනිහා දන්නවා මයන් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඒක මං දන්න බවත් මිනිහා දන්නවා. හැබැයි ඒ කාරණා දෙක ගැන මිනිහා වචනයක්වත් කතා කළේ නෑ. ඌ මගෙන් ඇහුවේ මෙච්චරයි. මතක ඇති කාලේ ඉඳලා යාලුවා , යාලුවා කිය කිය හිටියට මයන් කළේ හැමතැනමදි මාව යූස් කරපු එක නේද ඇමතිතුමා කියලා ? ඌ කොච්චර පොඩි එකෙක් උනත් , මං කොච්චර ඇමති පට්ටං දැරුවත් මං කවදාවත් ඌට ගරු නම්බු දීලා කතා කරන්න ඉඩ දීලා නෑ. ඒත් ඌ ඊයේ පළවෙනි වතාවට මට කතා කළේ එහෙම. ඒක ඇහිච්ච හැටියේ මං ඌට කිව්වා උඹ ඔය කතා කරන විදිහ වෙනස් කර ගනින් කියලා. ඒත් ඌ ඒකට හිනා උනා ඇරෙන්න මුකුත් කිව්වේ නෑ. “
මෝටර් රථය වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුණේය . කිසි විටෙක හදිසි නොවූ මනුහස් නදීල් පවසන සියල්ල සාවධානව අසා සිටියා හැරෙන්නට වෙන කිසිවක් පවසන්නට උත්සාහ දැරුවේ නැත.
බලන් ගියාම ඌ විතරක් නෙමෙයි යූස් වෙලා තියෙන්නේ අපි හැමෝම. අපි අට දෙනාම. මයන් අපි හැමෝවම යූස් කළා. හැම එකාගෙම කටවල් වැහුවා. ඌට විරුද්ධ වෙන්න කොච්චර ඕන කමක් තිබ්බත් හිතට එකඟව ඒක කරගන්න බැරි වෙන විදිහටම ඌ අපේ ජීවිත පාලනේ කළා. උගෙ කටේ තිබ්බේ එකම එක දෙයයි .
Silent .. be silent…”


