BE SILENT – 87

0
2212

” මේ වෙලාවේ උඹ මං ගැන මොනවා කොහොම කොයි විදිහට හිතාගෙන ඉන්නවද කියන්න මං දන්නෑ බං . නීති රෙගුලාසි තිතට පිළිවෙළට උඹලට උගන්නපු මංම ඒවා අමු අමුවෙ කඩලා දාලා උඹ ඉස්සරහ මෙහෙම ඉන්න එකම උඹට මහා ජෝක් එකක් විදිහට පේනවා ඇති. ඒත්.. මගෙ පැත්තෙන් මට ඒ ගැන කිසිම පසුතැවිල්ලක් නෑ බං. මොකද මට තවත් නැතිවෙන්න දේවල් නෑ. කාටවත් ප්‍රශ්නයක් , කරදරයක් නැතුව ලස්සනට ජීවිතේ ප්ලෑන් කරගෙන හිටපු මගේ පොඩි එකා අදීරාගෙ මරණේ නිසා කොයි තරම් විඳෙව්වද කියලා මං මගේ ඇස් දෙකට දැක්කා. ජීවිතේ පළවෙනි වතාවට කෙල්ලෙක්ට ආදරේ කරලා , ඒ කෙල්ල එක්ක මුළු ජීවිතේම ගෙවන්න ප්ලෑන් කර කර ඉන්නකොට කීප දෙනෙක් අතින්ම විනාස වෙලා හප වෙලා ගිය ඒ කෙල්ලගේ මැරිච්ච මළ කඳ ඇස් දෙකට දැක්කම ඌට මොන වගේ වේදනාවක් එන්න ඇත්ද බං ? ඌ කොයිතරම් වේදනාවක් හිත යටින් විඳවන්න ඇතිද ? ඒක දරාගන්නම බැරිම තැන ඌ උගෙම ජීවිතේ නැති කර ගන්න ඇති . 

මේ ලෝකේ මිනිස්සු මැරෙන ක්‍රම ඕන තරම් තියනවා. ඒත් ඒ හැමදේම අතරින් තියන භයානකම ක්‍රමේ තමයි තමන්ටම තමන්ව මරා ගන්න හිතෙන එක. තමන්ගෙ කියන හැමදේම දාලා යන්න තමන්ම තීරණේ කරන එක. නිකමට කල්පනා කරලා බලහන් බං අපිට පුලුවන්ද අපේම ජීවිතේ නැති කරගන්න ? මිනිහෙක්ට ඒ තරම්ම තමන්ගේ අසරණකම දරාගන්න පුලුවන්ද ? “

මනුහස්ගේ හදවත පුරා විසල් වේදනාවක් පැතිරෙන්නට පටන් ගත්තේය. මොහොතකට දෑස තදින් පියා ගත් සල්වතුර දෑතම මිට මොළවා ගනිමින් වේදනාව පසෙකලා යළි ප්‍රකෘති තත්වයට පත් වන්නට උත්සාහ දරමින් සිටියේය. 

” කොහෙවත් ඉන්න කාලකණ්නින්ගේ ආතල් එකක් නිසා අහිංසක මිනිස්සු ජීවිත වලින් වන්දි ගෙවන එක නතර කරන්න ඕනේ බං. උන් හිතුනු හිතුනු වෙලාවට සෙල්ලං කරන්න ගන්න මිනිස්සුන්ගේ ජීවිත උන්ට සෙල්ලං බඩු උනාට අනිත් මිනිස්සුන්ට කොච්චර වටිනවද කියන එක උන් තේරුම් ගන්න ඕනේ. ඔය මැරිච්ච එකෙක්වත් හොඳ උන් නෙමෙයි බං. උන් ඔක්කොම මේ ලෝකේ තවත් ඉන්න හොඳ නැති අපරාධකාරයෝ. සල්ලියි , බලයයි විතරක්ම ඔලුවට දා ගත්තු අනිත් මිනිස්සුන්ගේ ජීවිත ගැන කිසිම වටිනාකමක් නැති පාහරයෝ ටිකක් . එතන හිටපු ගෑනු දෙන්නත් ඒ වගේ . උන් කවදාවත් උන්ගේ ජීවිත වලට ළං වෙච්ච උන් එක්ක සතුටින් ඉඳලා නෑ. පිට උන්ගේ වගේම තමන්ගේ උන්ගෙත් ජීවිත අපායවල් කරලා. උන්ට උන්ගේ ජීවිත ගැන තේරුම් කරලා දීලම උන්ගෙ පව් වලින් උන්ගෙම බෙල්ල හිරවෙන විදිහට මං වැඩ කළේ අන්න ඒ නිසයි. 

 උඹ හොයාගත්තු විදිහට මං උන්ට ලියුම් , ෆොටෝස් විතරක් යවලා නිකන් හිටියේ නෑ. මං එකෙක්ව තෝරගත්තු හැටියෙම ඌ මැරෙනකන්ම ඌව අතෑරියේ නෑ. මුලින් මුලින් මං උන්ට ලියුම් යැව්වා. ඒ හැම එකක්ම සීසීටීවී එකක් ලඟ පාත වත් නැති පොඩි පොඩි පෝස්ට් ඔෆිස් වලින් දැම්මේ. ඊට පස්සේ ෆොටෝස් යැව්වා. ඊට පස්සේ උන් යන යන තැනට ගියා. මං මුලින්ම මේ දේ කළේ ඒ කාලේ ඉඳිඔයේ හිටිය ඕඅයිසී කාරයට. ඌ සල්ලි වලට කෑදර වෙන්නැතුව අදීරාගේ මරණේ ගැන හරි ඉන්වෙස්ටිගේශන් එකක් කළානං අද සමහරවිට මගේ පොඩි එකා , අම්මා , තාත්‍තා විතරක් නෙමෙයි වඩිවේලුත් ජීවතුන් අතර ඉන්න තිබ්බා. ඊට පස්සෙයි මං එදා හොටෙල් එකේ හිටපු උන් පැත්තට හැරුණේ. 

එතනින් ටෙහාන් කියන්නේ අදීරාට කරදර කරපු එකෙක් නෙමෙයි. ඒත්.. ඌ හැමදේම හැංගුවා. ඌ හැමදේම දැනගෙන අනිත් උන් ඔක්කොමලව ආරක්ෂා කළා. ඒ නිසයි මං ඌව මුලින්ම ඉවරයක් කරන්න හැදුවේ. මිනිහා ඉංජිනියර් කෙනෙක්. මිනිහට ලියුම් , ෆොටෝස් යවලා ඌව මගේ ගාණට බය කර ගත්තට පස්සේ මං ඌව ෆලෝ කළා. ඌ යන යන තැනට ගියා. ඌ යන සයිට් වලට , සුපර් මාර්කට් වලට , සැලුන් වලට , මෙඩිකල් සෙන්ටර්ස් වලට හැමතැනටම ගියා. ඒ හැමතැනදිම අදීරා ගැන මොනාහරි දෙයක් ඌට පේන්න සැලැස්සුවා. උන් එකතු වෙලා කරපු පව ආයේ ආයේ උන් පස්සේ පන්නන හැටි ඌටම පේන්න සැලැස්සුවා. එච්චරයි. ඊට පස්සේ ඌ මට ඕන දේ කර ගත්තා. අනිත් උන්ටත් එහෙම තමයි. හැබැයි එක දෙයක් මේ දේවල් කරද්දි මං හොයාගත්තු එක දෙයක් තියනවා කොච්චර වහන්න හැදුවත් මුං හැමෝගෙම හිත් යට එදා උන් අදීරාට කරපු අපරාධේ හැංගිලා තිබ්බා. 

ඒ නිසාම බලාපොරොත්තු උනාට වැඩිය හරි ලේසියෙන් මට හැමඑකාවම අවුස්සගන්න පුලුවන් උනා. ටෙහාන් කියන්නේ තමන්ගේ අතින් කවදාවත් වැරදි වෙන්න ඉඩ තිබ්බ එකෙක් නෙමෙයි. හැමදාම වැරදි කරන එකාට වඩා වැරදි නොකර ජීවත් වෙන්න ට්‍රයි කරන උන්ගේ අතින් ඉඳලා හිටලා වැරැද්දක් උනාම උන් ඒ ගැන පසුතැවෙනවා වැඩියි. ටෙහාන්ගේ අන්න ඒක තිබ්බා. එතකොට ක්‍රිශාන් , අසංග උන් දෙන්නාගෙ හිත් යට එදා අදීරාට වෙච්ච සිද්ධිය වගේම අනුරාධපුරේ ගෙස්ට් හවුස් එකේ හැනා මුලර්ගේ සිද්ධියත් තිබ්බා. හැනා අසංග එක්ක හිටියේ කැමැත්තෙන්. එදා හැනාට බලෙන් කරදර කළේ මයන් විතරයි. ඒත් ක්‍රිශාන් , අසංග , ටැමී උන් තුන් දෙනාම ඌට උදව් කළා. එතනින් ගියාම ඇමැන්ඩ්‍රා . ඒ ගෑනිගෙ නං පස්සෙන් යන්න උවමනාවක් තිබ්බෙම නෑ. ලියුම් දෙකයි , ෆොටෝස් දෙකයි යැව්වේ. එතකොට ජෙසිකා. ජෙසිකා හිටියේ කැනඩා වල. ජෙසිකාගේ වැඩේට මට එහෙ ඉන්න මගේ යාලුවෙක් උදව් කළා. ටැමී ටිකට් එක ඇඳෙන්න කලින්ම ගියානේ. දැන් තවත් ඉතුරු වෙලා ඉන්නේ මයන් විතරයි. “

” එකම ඉස්කෝලේ එකට ඉගෙනගත්තු යාළුවෝ ටිකක් එකම විදිහට මැරෙනවා , මේ ඔක්කොම නිකන්ම සුයිසයිඩ් කේස් නෙමෙයි කියලා මං කිව්වම , එහෙනං ඕක බාර අරන් කරහන් කියලා මට මේක බාර දෙද්දී මං මේක කොහෙන් හරි හොයාගෙන සර්ව මාට්ටු වෙයි කියලා සර්ට හිතුනැද්ද ?” 

නැවතත් බොහෝ වේලාවකට පසු මනුහස් සලවතුරගෙන් පැනයක් විමසුවේය .

” මොකෝ නැත්‍තේ ? හිතුණා. වෙන කාටත් කලින් උඹ මේක හොයාගනී කියලා හිතුණා. අන්න එදාට කලින් මුං ඔක්කොම ඉවරයක් කරලා දාලා උඹට බාර වෙන්නයි මං හිටියේ. “

සල්වතුර නැවතත් දිගු සුසුමක් හෙළුවේය. 

” මේ හැමදේම පිටි පස්සේ හිටපු මහ මොළ කාරයා විතරයි දැන් ඉතුරු. උඹට පුලුවන් මාව මේ දැන් ඇරෙස්ට් කරන්න. හැබැයි මං උඹෙන් ඉල්ලනවා මට මයන්ව හොයාගන්න දියන් . ඊට පස්සේ මංම ඇවිල්ලා උඹට බාර වෙන්නං…”

*******************************************

මනුහස් මෝටර් රථය මාර්ගයේ පසෙක නවතා වේලාව බැලුවේය. පාන්දර තුන පසු වී මිනිත්තු හතළිහකුත් ගෙවී ඇත. මොහොතක් බලා සිටි ඔහු මෙතෙක් වේලා නිහඬ කර තිබූ ජංගම දුරකතනය අතට ගත්තේය. මඟ හැරුණු ඇමතුම් එකසිය ගණනකි. ඉන් එකසිය විසි හතක්ම නෙත්‍යාගෙනි. දොළහක් ෂියෝනාගෙනි. දහයක් සචින්ද්‍රගෙනි. මඟ හැරුණු කෙටි පණිවිඩද එලෙසමය. කෙටි පණිවිඩ හැට අටක් නෙත්‍යාගෙන් ලැබී ඇත. ඒ කිසිවකට දෑස යොමු නොකළ මනුහස් ජංගම දුරකතනය අතට ගෙන ෂියෝනා හට ඇමතුමක් ලබා දුන්නේය. 

” මනූ කොහෙද ඉන්නේ ?” 

වැඩි වේලා නොගොස්ම දුරකතනයට සම්බන්ධ වූ ෂියෝනා එක වරම මනුහස්ගෙන් එසේ විමසුවාය. 

” ෂියා .. , මයන් මල්දෙණිය ගැන මං දීපු වීඩියෝස් ඔක්කොම හෙට එළිවෙන්න කලින් හැම මීඩියා එකකම යන්න ඕනේ. ටීවී චැනල් , සෝෂල් මීඩියා හැම එකකම. “

ෂියෝනාගේ පැනයට පිළිතුරු දෙනු වෙනුවට මනුහස් ඇගෙන් විය යුතු දේ පැහැදිලි කළේය. 

” ඕකේ.. ” 

” ඊලඟට හෙට උදේ හත වෙද්දි ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් ලෑස්ති කරන්න. “

” හ්ම්ම්.. හරි.. “

” එච්චරයි..”

” මනූ.. මනූ.. “

මනුහස් විසින් විසන්ධි කිරීමට තැනූ දුරකතන ඇමතුම ඈ වහා වළක්වා ගත්තාය. 

” ඇයි ?” 

” මිස් නෙත්‍යා කීප පාරක්ම මට ගත්‍තා. ඔයා කොහෙද ගියේ ? දැන් කොහෙද ඉන්නේ ? ඇයි ගෙදර ගියේ නැත්‍තේ ? සචින්ද්‍රගෙන් ඇහුවම ඌ දන්නෙත් නෑ ඔයා ගිය තැනක්. එයා බයවෙලා ඉන්නේ මනූ. අඩුම කතා කරලා හොඳින් ඉන්නේ කියලවත් කියන්න. “

” මට අවුලක් නෑ කියලා මැසේජ් එකක් දාන්න. “

” මං මොකටද ? කතා කරලා කියනවකෝ..”

” තමුසෙට බැරි නං නිකන් ඉන්නවා. මං කියපු දේවල් ටික විතරක් කරනවා. “

ෂියෝනා තවත් කිසිවක් පැවසීමට පෙරම දුරකතන ඇමතුම විසන්ධි කර දැමූ මනුහස් ජංගම දුරකතනය පසෙකට දමා සුක්කානම මත හිස තබා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here