BE SILENT – 93 (Final Episode)

0
1938

මනුහස් විවර වූ දැඩි සත්කාර ඒකකයේ ද්වාරයෙන් සෙමින් ඇතුළු වූයේය. විවිධාකාර යන්ත්‍ර ගොඩකට මැදිවූ , විවිධාකාර බට සහ වයර් ගොඩකට සම්බන්ධව සිටි රුවැත්තිය රොබෝවරියක සේ නිසලව යහන මත වැතිර උන්නාය. රෝස පැහැ ගැන්වී තිබූ ඇගේ වටකුරු උවන සුදුමැළිව ගොස් තිබුණේය. අසීමාන්තික ප්‍රේමණීය හැඟීමෙන් සිප වැළඳ ගන්නා ඇගේ රෝස දෙතොල පැළී ගොසින්ය. මුළු සිරුර පුරාම සීරුම් හා තැළුම් සළකුණුය. දෑතේත් , දෙපයේත් බොහෝ තැන්වල තුවාල උදෙසා දැමූ වෙළුම් පටිය. ඒ කිසිවක්ම නොදැණෙන , නොරිදෙන ලෙසට කිසිදු කලබලයකින් තොරව ඈ දිගු නින්දකය. මනුහස්ගේ දෙනෙතින් රූරා වැටුණු කඳුළු බිඳු පේළියක් ඔහුගේ දෙකම්මුල් මතින් ගලා ගියේය . 

සේලයින් බටයකට සම්බන්ධ කරන ලද කැනියුලාවක් සහිත ඇගේ මැළවුණු දෑඟිලි සෙමින්  තම අතකින් අල්ලා ගත් මනුහස් ඇගේ උවන වෙත පහත් වූයේය. ඉන්පසුව අනෙක් අතින් සීරුවට ඇගේ හිස පිරිමැද්දේය . 

” සුදු නෝනා.. , මාව ඇහෙනවා නේද ? ම්ම්ම්…? ඇයි රත්තරං ඒ වගේ දෙයක් කර ගත්තේ ? ඔයාට කොච්චර රිදෙන්න ඇත්ද ? එක තත්පරේකටවත් ඔයා නැතිව මං කොහොම ඉඳීද කියලා හිතුන්නැද්ද ? ඔයා මොන තත්වෙක , කොහොම හිටියත් ඔයා එදා මගේ ලඟ හිටපු සුදු බෝලෙමයි සුදු නෝනා. මගෙන් වැරැද්දක් උනා නං සමාවෙන්න. මං නිසා හිත රිදුණානං ඒකටත් සමාවෙන්න. වෙච්ච හැමදේටම මට සමාවෙන්න සුදු නෝනා. හැබැයි මාව දාලා යන්න හිතන්නවත් එපා. මං දන්නවා ඔයාට මාව ඇහෙනවා කියලා. මං දන්නවා ඔයාට මාව දැනෙනවා කියලා. දැන් ඉතිං ඔය ඇති. ඇස් දෙක ඇරලා මං දිහා බලන්නකෝ සුදු බෝලේ. ඔයාට මං කිව්වා නේද දවසක ඉස්සර අපි දෙන්නා එක්ක ඇවිදපු තැන් වල ආයේ දවසක ඇවිදින්න යං කියලා. දැන් හැම ප්‍රශ්නයක්ම ඉවරයි සුදු බෝලේ. ලොකු නිවාඩුවක් අරන් අපි දෙන්නට ඔයා කැමති ඕන තැනක දැන්  ඇවිදින්න යන්න පුලුවන් . 

ඉන්සිටියුට් එක ලඟ තියන වංගුව ලඟ මුස්ලිම් අන්කල්ගේ කඩේ , ටවුන් එකේ පූරි කඩේ , පෝස්ට් ඔෆිස් එක ඉස්සරහා තිබ්බ ෆැන්සි ශොප් එක .  ඒ ශොප් එකට එහා පැත්‍තේ තිබ්බ අයිස්ක්‍රීම් කඩේ , ආයේ ඉන්සිටියුට් එක උඩහා බස් හෝල්ට් එක , ඉන්සිටියුට් එක ඇතුළේ අරලිය ගස් පේළිය , එතන ගල් පඩිපෙළ. අපි දෙන්නා දවසක කතා උනා නේද ආයේ දවසක ඒ හැමතැනකම ඇවිදින්න යං කියලා. ?

 ඔයාට.. ඔයාට ස්විස්ටර්ලන්ඩ් යන්න ඕනේ කිව්වා නේද ? ආ.. ? අපි එහෙ යන්නැද්ද ? නැඟිටින්නකෝ බෝලේ. ඇස් ඇරලා මගේ දිහා බලන්න…”

බොහෝ වේලාවක් තනිවම ඈ දෙස බලා කතා කරමින් සිටි මනුහස් සෙමින් පහත් වී ඇගේ කොපුලක් සෙමින් සිප ගත්තේය. 

” මං එළියේ ඉන්නවා බෝලේ. අපි ඉක්මනට සනීප වෙලා ගෙදර යමු. ඔයා ඇස් දෙක අරිනකන් මං ඔයා ලඟ ඉන්නවා. කිසිම දේකට බය වෙන්නෙපා. මගේ බෝලේ … මං ඉන්නවා ඔයාට “

දැඩි සත්කාර ඒකකයේ ද්වාරයෙන් පිටතට ආ මනුහස් තමන් එනතුරු මඟ බලා සිටින මවත් , පියාත් දෙසටත් හැරුණේය. 

” රෑ වෙලා අප්පච්චි හොඳටම. සචින්ද්‍රත් එක්ක අපාර්ට්මන්ට් එකට යන්න. “

” ඔයා මනූ..?” 

” මං මෙතන ඉන්නවා අප්පච්චි. එයා ඇස් දෙක අරිනකන් මං මෙතන ඉන්නවා. “

මනුහස් කඳුළු පිරි දෙනෙතින් තමා දෙස බලා සිටින ඉද්දමල්ගොඩ යුවළ දෙසට හැරුණේය. 

” එයාට මුකුත් වෙන්නෑ. කලබල වෙන්නෙපා. “

එසේ පැවසූ ඔහු කොරිඩෝවේ පුටුවක් මතට බර වී හිඳ ගත්තේය. තව දුරටත් ඔහු හා වාද කිරීමෙන් ඵලක් නොමැති බව විජේවර්ධනත්, වසුන්දරාත් හොඳින් තේරුම් ගෙන සිටියහ. මෙවැනි අවස්ථාවක පුත්‍රයා මේ තරමට සන්සුන් වී සිටීමද ඔවුනට මහත් පුදුමයක් ගෙන ආවේය. 

මිනිත්තුවෙන් , මිනිත්තුවෙන් ගෙවී ගොස් හෝරාවෙන් , හෝරාව ගෙවී ගොස් රාත්‍රියේ අන්ධකාරය පළවා හරිමින් සූර්‍යා අලුත් දවසක ආරම්භයක් සනිටුහන් කරමින් සිටියේය. දැඩි සත්කාර ඒකකයේ තවමත් සිහි මුර්ජාවෙන් සිටින තරුණිය ගෙවන තත්පර වල වෙනස නොදැක්කාය. ගෙවන රාත්‍රියේ , දහවලේ  වෙනස නොදැක්කාය. ඈ පෙර දින සිටි ලෙසටම යහන මත සිහිසුන්ව වැතිර උන්නාය. ඈ හා සමානවම දැඩි සත්කාර ඒකකයෙන් පිටත කොරිඩෝවෙන් පෙර දින හිඳ සිටි ආකාරයටම ඈ වෙනුවෙන් බලා සිටින තරුණ දේහදාරියා වෙනසක් නොමැතිව හිඳ ගෙන සිටියේය. එක මොහොතකට හෝ දෑස පියා නොගත් ඔහු ඇගේ දෑස විවර වන වේලාව වනතුරු ඇඟිලි ගනිමින් සිටියේය. 

” ගුඩ් මෝනින් සර්..!” 

” සචින්ද්‍ර ..?” 

” නිවුස් බැලුවද සර් ?” 

” ඇයි ?” 

සචින්ද්‍ර තම ජංගම දුරකතනය ගෙන මනුහස් වෙතට පෑවේය. එහි විකාශය වූයේ විශේෂ පුවතකි. 

” මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. අද හිමිදිරියේ මීගමුව වෙරළ තීරයට ගසා විත් තිබූ නාඳුනන මළ සිරුරක් පිළිබඳව තොරතුරු ලැබුණු පොලිස් විමර්ශන කණ්ඩායමක් ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කර අදාල මළ සිරුර මීට මාස කිහිපයකට පෙර මිය ගියා යැයි සැලකූ මල්දෙණිය සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති වූ මයන් මල්දෙණියගේ බවට සනාථ කොට ඇත. ඉතා කෲර වද හිංසා වලට ලක් වී තිබූ මයන් මල්දෙණියගේ මළ සිරුරෙන් කැපුම් පහර හතළිස් අටක සලකුණු සොයා ගෙන තිබුණේය. ඊට අමතරව මළ සිරුර පුරා තිබූ සීරුම් තුවාල , තැලුම් සලකුණු හේතුවෙන් ඔහු කිසිවෙකුගේ හෝ කිසියම් පිරිසකගේ හෝ දරුණු වද හිංසා වලට ලක් වී ඇති බව පොලීසිය මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේය. ඉතා ඉක්මණින් මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කරන බවත් , මයන් මල්දෙණියගේ ඝාතනයට අදාල අපරාධකරු හෝ ඊට සම්බන්ධ අපරාධ කණ්ඩායම වහා අත් අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසත් පොලිස් විමර්ශන කණ්ඩායම තව දුරටත් මාධ්‍යයට පැහැදිලි කළේය. 

කිසිවක් නොපැවසූ මනුහස් යළි දුරකතනය සචින්ද්‍ර අතට දුන් අතර සචින්ද්‍රගේ මුව අඟ සිහින් සිනා රැල්ලක් ඉතිරි වී තිබුණේය. 

*********************************************

අවුරුද්දකට පසු…..

පොලිස් අධිකාරී ධූරයට අලුතින් උසස්වීම් ලැබ සිටි පොලිස් අධිකාරී මනුහස් විජේවර්ධන තම නිල කාර්‍යාලයෙන් පිටවී මෝටර් රථයට නැඟ මහල් නිවාස සංකීර්ණය වෙත පිටත් වෙමින් සිටියේය. මහල් නිවාස සංකීර්ණයේ රථ ගාලෙන් තම මෝටර් රථය නතර කළ මනුහස් එහි සිටි ආරක්ශක නිලධාරීන් සමඟද වචන කිහිපයක් දොඩමලු වී අවසානයේ විදුලි සෝපානයට ගොඩව එකොළොස්වන මහලට අඩි තැබුවේය. ඉන් පසුව පය ඉක්මන් කරමින් පැමිණ නිවසේ දොර සීනුව නාද කළේය. තත්පර කිහිපයක් ගත වන්නට ඇත. නිවසේ ප්‍රධාන ද්වාරය විවර වූයේය.  ඔහුගේ සදාකාලික ස්නේහවන්තිය වටකුරු උවන පුරා මල් හසරැලි නංවමින් ඔහු එන පෙර මං බලා සිටියාය. 

” මනූ…!” 

මුව පුරා සිනහවක් නඟමින් ඈ වෙත පහත් වූ මනුහස් ඈ හිඳ සිටි රෝද පුටුව මතින් ඈ ඔසවා දෝතට ගත්තේය. ඉන් පසුව නිදන කාමරය දෙසට පා එසවුයේය. 

” මනූ.. මනූ.. ඔයාට පෙන්නන්න දෙයක් තියනවා. “

” ම්ම්ම්.. කොහෙටද යන්න ඕනේ ?” 

” ඉස්සරහා බැල්කනි එකට. “

ඉදින් ඔහු දෝතට ගත් ඈද සමඟ ආලින්දයේ තිබූ බැල්කනිය වෙතට පා තැබුවේය. 

” දැක්කද  ? ඔයා ගෙනත් දීපු කහ රෝස පැළේ පොහොට්ටුවක් ඇවිල්ලා. “

නෙත්‍යා අත දිගු කර බැල්කනිය මත තිබූ කුඩා රෝස පඳුරක් ඔහුට පෙන්වූ අතර මනුහස් නැවතත් ඈ දෙස බලා මුව පුරා සිනහවක් නැඟුවේය.

” මං ගෙනත් දුන්නට ඒක බලා ගත්තේ ඔයානේ. ඉතිං ඔයා වගේම ලස්සන මලක් පිපෙයි. “

ඇගේ උවනට පහත් වූ ඔහු තම නාසය ඇගේ නාසය මතට ළං කරමින් එසේ පැවසුවේය . ඉන්පසුව සෙමින් ඈ රැගෙන නැවතත් නිදන කාමරයට අඩි තැබුවේය. ඉන්පසුව ඈට නොරිදෙන්නට යහන මත ඈව හිඳුවා ඒ අසලින්ම ඔහුද හිඳ ගත්‍තේය. 

” මහන්සිද ..?” 

ඔහුගේ තුරුළට වූ ඈ සුපුරුදු ලෙස ඇසුවාය. 

” හ්ම්ම්…”

ඈ සෙමින් විවර වී තිබූ කමිසයේ බොත්තම් එහා මෙහා කරමින් ඔහුගේ ගෙල මත හාදුවක් තැබුවාය. 

” හ්ම්ම්.. දැන් හරි . ඔය තියෙන්නේ මහන්සිය නිවන බෙහෙත. “

ඈ නැවතත් මුව පුරාම පියකරු සිනහවක් නැඟුවාය. 

” අදිති පාන්දර ඇවිල්ලා. අද රෑට එන්නං කිව්වා. “

” හ්ම්ම්.. ජාන්වී..?” 

” එන්නං කිව්වා. මං චමීරට කතා කරලා කිව්වා පොඩ්ඩො දෙන්නවත් එක්ක එන්න කියලා. “

” හ්ම්ම්..! “

” අදිති ඇහුවා දවස් දෙක තුනකට කොහෙ හරි යන්ද කියලා ?” 

” නෙක්ස්ට් වීක් අපි කොහොමත් අනුරාධපුරේ යනවනේ , ඒ දවස් දෙක තුන අල්ලලා යමු කියන්න. “

” මනූ…!” 

” ම්ම්ම්..?” 

” මට බයයි “

” මොකටද ?” 

” මේ යන්නේ බොරු ගමනක් උනොත් ?” 

” හරියන්න හරි , වරදින්න හරි රිස්ක් එකක් ගන්න වෙනවා බෝලේ. මොන දේ උනත් මං ඉන්නවනේ ලඟ. අප්පච්චි කියපු විදිහට එතන සිංහල වෙදකම ගොඩක් හොඳයිලු . ගොඩක් අය සනීප වෙලා තියනවලු. අපි මේකත් කරලා බලමු . නැතත් මොකෝ ඉතිං අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවනේ ?” 

” මනූ.. “

” ම්ම්ම්ම් ..? ” 

” කවදාහරි මට හොඳ වෙලා ආයේ ඇවිදින්න පුලුවන් උනොත් එදාටත් මේ දැන් කරනවා වගේ වැඩට ගිහින් ආවම මාව මෙහෙම අත් දෙකට අරන් එනවද ?” 

මනුහස් මුව පුරා පිරී ගිය සිනහවකින් ඈ දෙස බැලුවේය. ඉන්පසුව සෙමින් ඇගේ වටකුරු කොපුලක් මිරිකුවේය. 

” ඔයා කියනවනං අත් දෙකට නෙමෙයි කර උඩ හරි  තියන් ඉන්නං අනේ.. “

” මනූ…!” 

” ම්ම්ම්…?” 

” මං ඔයාට ගොඩාක් ආදරෙයි..!” 

” හානේ ඇත්තට ? මං දැනන් හිටියේ නෑනේ ?” 

” අනේ.. මනූ…!” 

නැවත වතාවක් පිරී ගිය සිනහවෙන් මුහුණ සරසා ගත්  මනුහස් විජේවර්ධන ඔහුගේ ප්‍රේමණීය බිරිඳ නෙත්‍යා සඳනාරී විජේවර්ධනව තුරුළට ගෙන ඇගේ නළල මත ආදරණීය හාදුවක් තැබුවේය. 

” 

මුදා ඊයේ වූ සැමදේ

හදා ආයේ මේ ආදරේ

එදා වාගේ මාගේ අතේ

වෙලී එනවාදෝ…

ඉඩෝ කාලේ හීනේක සේ

ගෙවී යාවී ස්නේහ දියේ

සිනා වාරේ ආයේම ඒ

වෙළී එනවදෝ…..

මේ තුන් යාමේ හෘදේ මා සසලෝනා

මා සන්තානේ දෑතේ ගෑවීලා

මේ සංකාවේ ලෝකේ මා අවුලෝනා

මා දැවුනාවේ ප්‍රේමේ නෑවිලා….

මට ආයේ ඕනා

නුඹ  ගාව ඉන්නෝනා

කාලේ තැවුල් ප්‍රේමේ නමින්

ආයේ නොවේ කියා…

මට ආයේ නුඹ ඕනා

නුඹ ගාව ඉන්නෝනා

සැතපී ලඟින් සුසුමේ දුරින්

දෑසේ පියන් පියා…

             The end….

✍️ Nimesha Geethanjali .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here