ඔලියැන්ඩර් – 02

0
1795
oleander Flower

අවුරුද්දකට පසු……..

කුඩා අවන්හල ඉදිරියේ තිබූ රථ ගාල මෝටර් රථ කිහිපයකින්ම පිරී ගොසින්ය. තමන් පැමිණි මර්සිඩීස් බෙන්ස් රථය රථ ගාල තුළ නතර කළ  හැඩි දැඩි තරුණයා අනෙක් පස හිඳ සිටි මිතුරාටද ඉන් බසින ලෙසට හිසින් සන් කරමින් පිටතට බැස්සේය. 

” දන්න කියන දෙයියෝ ඔක්කොම මතක් කරලා වැඳහන් අම්මා ඉන්න එපා කියලා. නැත්තන් මේ මිනිස්සු ඉස්සරහමයි රෙදි ගලවගන්න වෙන්නේ. “

මහීල් අමරවංශගේ කතාවට මුව කොනින් සිනහවක් නැඟූ සියත්‍ර රන්දෙණිගල අතේ තිබූ මිලාධික කළු පැහැ අව් කණ්නාඩි යුගළය දෑසේ පළඳවා ගනිමින් ඉදිරියට පා තැබුවේය. 

සුදු පැහැ ගත් වැගන් ආර් මෝටර් රථයෙන් බිමට බැස ගත් වයස හැත්තෑවක් පමණ වූ වැඩිමහළු මිනිසෙකු සෙමින් අනෙක් පස දොරින් පිටතට බසින තම බිරින්ඳෑට සහයෝගයක් වෙමින් ඇගේ පස දොර විවර කර බලා සිටියේය . ඉන් පසුව සෙමින් සෙමින් ඇගේ අත අල්ලාගෙන අවන්හල තුළට ගොස් එහි මේසයක් අසලින් අසුන් ගත්තේය .

අවන්හල තුළට පැමිණි වැඩිමහළු පාරිභෝගික යුවළ දුටු එහි සිටි ලාබාලතම වේටර්වරිය මුව පුරා සරසා ගත් සිනහවකින් යුතුව ඔවුන් දෙදෙනා අසලට පැමිණ සිට ගත්තාය .

තමා අසලට පැමිණි හුරුබුහුටි යුවතිය දුටු වැඩිමහළු යුවලද ඈට පෙරළා සිනහවකින් සංග්‍රහ කළාය. 

” ගුඩ් මෝනින් සර් , ගුඩ් මෝනින් මැඩම්. !” 

” ගුඩ් මෝනින් …! “

” සර්ලට මොනවද අවශ්‍ය ?” 

ප්‍රශ්නය මුහුණේ තබාගෙනම වැඩිමහලු මිනිසා කාන්තාව දෙස බැලුවේය .

” ලොකු දේවල් කන්න බෑ. ඉඳිආප්ප ?” 

ඇගේ පිළිතුරත් සමඟම නැවතත් යුවතිය දෙස බැලූ වැඩිමහලු මිනිසා ඇණවුම වචනයෙන් නොව මුහුණෙන් ඈ හට ලබා දුන්නේය .

” එක්ස්කියුස් මී මැඩම් , මැඩම්ලා ට්‍රයි කරනවානං අපි ලඟ තියනවා ඕට්ස් වලින් හදපු පිට්ටු. ඒකට එළවළුත් මිශ්‍ර කරලා තියෙන්නේ. තව ඒකත් එක්ක මෂ් රූම් ඩිශ් එකකු‍යි , මැඩ්ම්ලා කැමති නං චිකන් , බීෆ් , පෝර්ක් කරි එකක් උනත් දෙන්න පුලුවන් . අපි කෑම හදන එළවළු , පළතුරු හැමදේම ඕර්ගනික් දේවල් මැඩම්. වස විසෙන් සම්පූර්ණයෙන්ම තොරයි. “

වැඩිමහලු මිනිසා යුවතියගේ කතාව ඉතා ප්‍රසන්න ආකාරයෙන් අසා හිඳිමින් තමන් ඉදිරියේ හිඳ සිටින බිරිඳ දෙස බැලුවේය .

” අපි එහෙනං ඕට්ස් පිට්ටු කමුද ? ” 

කාන්තාව මඳක් ඉදිරියට විත් රහසින් මෙන් සැමියාගෙන් ඇසුවාය. මඳ සිනහවක් පෑ ඔහු යුවතිය දෙස බලා ඇණවුම බාර දුන් අතර එය ලබා ගත් යුවතිය හිස පහත් කොට ඔවුන් දෙදෙනාටම ආචාර කොට එතැනින් පිටව ගියාය. 

” ස්වීට් ගර්ල් කෙනෙක් නේද ?” 

කාන්තාව යළි සැමියා දෙසට හැරී ඇසූ අතර ඔහුද හිස සළා ඇගේ කතාව අනුමත කළේය . 

ඇණවුම බාර ගත් තරුණිය වහා එය සූදානම් කරන්නට යොමු කොට තවත් මේසයක් කරා ඇවිද යාමට සූදානම් වූවා පමණි. ඈ සමඟම එහි සේවය කරමින් සිටි තවත් තරුණයෙකු ඈ වහා නතර කර ගත්තේය. 

” සඳැස්වී…!” 

” ආ..?” 

” අතන ටේබල් එක බලන්නකෝ.. “

ඔහු අත දිගු කොට පෙන්වූයේ තරුණයින් දෙදෙනෙකු අසුන් ගෙන සිටි මේසයක් දෙසටය. 

” ඒක ඔයාගේ සයිඩ් එකනේ. ?” 

” අනේ යන්නකෝ අප්පා. ඉක්මන් කරන්න. “

කිසිවක් නොපැවසූ තරුණිය ඔහුට රවා තරුණයින් දෙදෙනා හිඳ සිටි මේසය කරා පිය මැන්නාය. 

” මොකද බං ?” 

ඈ යන දෙස බලා සිටි තරුණයා අසලට පැමිණි තවත් අවන්හල් සේවකයෙක් ඔහුගේ උරහිසට උඩින් තරුණිය දෙස බලමින් ඇසුවේය.

” අර මාරයා ඇවිල්ලා ” 

” කවුද ?” 

හේ හොඳින් තරුණිය ගමන් කරමින් සිටි මේසයේ හිඳ සිටි තරුණයින් දෙදෙනා දෙස බැලුවේය .

” හම්මටසිරි. තෝ මොකටද  @#%  අර කෙල්ලව ඒ ටේබල් එකට යැව්වේ ? පව් ඒකි ඌ ගැන දන්නෑනේ. ? “

” කෙල්ලෙක්නේ බං. අපිට දාන පාට් දාන එකක් නෑ.. “

” පව් බං. කැත වැඩ කරන්නෙපා “

” ගණන් ගන්න එපා යකෝ..”

එසේ පැවසූ ඔහු නව මේසයක් කරා ගිය අතර ඉතිරි වූ තරුණයාද මුව ඇද කරමින් වහා ඇණවුමක් ලබා ගැනීමට පිටත් වූයේය. 

” ගුඩ් මෝනින් සර්..!” 

අවන්හල තුළ මේසයක් අසල හිඳ සිටින හැඩි දැඩි තරුණයින් දෙදෙනා අසලට ගිය හුරුබුහුටි යුවතිය පෙර පරිදිම මුව පුරා සිනහවක් නඟමින් ඔවුන්ට ආචාර කළාය.

” ගුඩ් මෝනින් ..!” 

හිඳ සිටි තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් පෙරළා ඈට සුබ උදෑසනක් පැතූ අතර ඇගේ වචන නෑසුනාක් මෙන් අනෙක් දේහදාරියා පුම්බාගත් මුහුණින් අත රැඳි ජංගම දුරකතනය වෙතට දෑස ඔබා ගෙන සිටියේය. 

” සර්ලාට මොනවද ?” 

ඈ තමාට පිළිතුරු දුන් තරුණයාගෙන්ම පිළිතුරක් බලාපොරොත්තු වූවාය. 

” ඒහ්.. මොනාද ?” 

” බ්ලැක් කොෆී “

ජංගම දුරකතනයෙන් ඇස ඉවතට නොගෙනම මිතුරා ඇසූ පැනයට පිළිතුරු ලෙස පිට වූ ඔහුගේ වචන රෞද්‍ර වූ අතර එහි කිසිදු ලෙංගතුභාවයක් තැවරී නොතිබුණේය.

” two black coffe and chocolate cake “

මාන්නක්කාරයාට ඉදිරිපිට හිඳ සිටි අනෙක් තරුණයා තම ඇණවුම නැවත තරුණියට බාර දුන්නේය. 

” සර් , අපි ලඟ special cake එකක් තියනවා Cinnamon and sugar topping එකක් දාපු. Crunchy layer එකක් තියන.  බ්ලැක් කොෆී එකත් එක්ක ගොඩක් වෙලාවට ගැලපෙන්නේ පැණි රස අඩු කේක් එකක්. මං හිතන්නේ සර්ලා ඒක taste කරන්න කැමති වෙයි. “

” දැන් මෙතන වේටර්ස්ලට ඕන ඕන ඒවද එන කස්ටමර්ස්ලා කන්න ඕනේ ? ඒ මිනිස්සුන්ට ඕන ඒවා නෙමෙයිද ?” 

මෙතෙක් වේලා ජංගම දුරකතනයට හිස ඔබා සිටි රකුසු දෑසද රෞද්‍ර වචන හා එක්ව යුවතියව තිගැස්සුවේය. 

මෙතරම් කාලයකට එතරම් කඩවසම් පිරිමි රුවක් දැක නොතිබුණු ඈ එකී රූපයට කිසි සේත්ම ගැලපිය නොහැකි රෞද්‍ර වචනත් , මාරාවේශ වූ දෑසත් දැක හදවතින් ගැහෙමින් සිටියාය. 

” ආ.. මේ.. අර කිව්ව කේක් පීසස් එකක් මට  ගේන්න. “

” ඔ.. ඕකේ සර්…!” 

ගල් ගැසී සිටි තරුණිය පෙර ඇණවුම බාර දුන් තරුණයාගේ හඬින් නැවතත් තිගැස්සී ගොස් කල්පනාවෙන් මිඳුණු අතර ඈ වහා නැවතත් රකුසු මුහුණ දෙසට හැරුණාය. 

” සො.. සොරි සර්…!” 

ඔහු නැවතත් ජංගම දුරකතනයට මුහුණ යොමා සිටි අතර ඇගේ සමාව ඉල්ලීමද මායිම් නොකර නෑසුණාක් මෙන් සිටියේය. වහා හැරී අඩියට දෙකට ගොස් එකී ඇණවුමද බාර දුන් පසු ඈ විසල් සුසුමක් හෙළා හදවත සැහැල්ලු කර ගත්තාය. 

” පුදුම මකරෙක්නේ ඒ ? “

ඈ තමාටම පවසා ගනිමින් තමා ඉදිරියේ තිබූ විසල් වීදුරුව තුළින් ඔහු දෙස යටැසින් බැලුවාය . ඒ මොහොතේද එකී රකුසු දෑස එක එල්ලේ තමා දෙසට වැටී තිබෙනු දුටු ඈ වහා වහා එතැනින් ඉවත් වී මුළුතැන්ගෙය දෙසට දිව ගියාය. 

”  Huh… what a pleasant Surprise…Who said the way to here? “

මෙරුන් පැහැ ගත් දිගු කලිසමකින්ද ඊට උඩින් හැඳි මුතු ඇල්ලූ ක්‍රීම් පැහැයෙන් දිදුලන දිගු බ්ලවුසයකින්ද හැඩ වුණු වංශවත් කාන්තාව එසේ අසමින් තරුණයින් දෙදෙනා අසල මේසයෙන් අනාරාධිතවම අසුන් ගත්තාය. 

” අපිට ඉතිං ඉන්වයිට් කරන්න කවුරුත් නෑනේ ? ඒ නිසා අපිම ආවා ප්ලේන්ටියක් බීලා යන්න. “

තමා ඉදිරියේ වූ කෝපි කෝප්පය තොළ ගාමින් තරුණයා නැඟූ සරදමට රවා බැලූ කාන්තාව නැවතත් හිස හරවා නිහඬවම තම කෝපි කෝප්පය තොළ ගාන කඩවසම් රුව දෙසට හැරුණේය . වචනයෙන් පැවසීමට බොහෝ දේ තිබුණද ඒ සියල්ල පසෙකලූ ඈ නැවතත් පෙර තරුණයා පැවසූ දේට පිළිතුරු දීමට යළිත් වරක් ඔහු දෙසට හැරුණාය.

” මේ ෂොප් එකේ ඕපනින්ග් එකට එන්න කියලා මං ඔයාලට ඉන්වයිට් කරලා දැනට අවුරුද්දක් වෙනවා මහීල් “

තරුණයා දෙබැම ඉහල නංවා තමා ඉදිරියේ නිහඬවම සිටින මිතුරා දෙස බැලුවේය .

” ඉඳලා ඉඳලා මගේම දෙයක් පටන් ගත්තු පළවෙනි පාර. තාත්තත් නෑ , පුතත් නෑ. අන්තිමට පිටට දීපු කෙල්ල විතරයි ඉතුරු උනේ . ” 

ඇගේ සියලු වචන පෙර පැවති ප්‍රතාපවත් බවින් මිදී කනස්සලකට හැරී තිබුණේය .

” අම්මා.. ! මං ගියේ මගේ එක්සෑම් එකට. ඒක ඔයා හොඳටම දන්නවා. “

මෙතෙක් වේලා නිහඬව  මිතුරාගේත් , තම මවගේත් කතාබහට සවන් දෙමින් සිටි තරුණයා ප්‍රථම වරට කටහඬ අවදි කළේය. 

” ඒක තිබුණේ ඔයා ගිහිල්ලා දවස් හතරකට පස්සේ පුතා. මගේ ඕපනින්ග් එක මඟෑරලා යන්න ඒක හොඳ හේතුවක් කියලා තවත් කියන්න එපා. “

ඇය හිස ගස්සා ඉවත බලා ගත්තාය. 

” ඒ මචං මේ ඇත්තටම අර කෙල්ල ගෙනත් දීපු කේක් කෑල්ල පට්ට රහයිනේ” 

එවර මවගේත් , පුත්‍රයාගේත් කෝප සහගත සිව් දෑස් එක් වරම තමා දෙසට යොමු වූ බව ක්ෂ්ණිකව වටහා ගත් මහීල් කිසිවක් නොදොඩාම තවත් කේක් කැබැල්ලක් මුවට දමා ගත්තේය . 

” Mrs Randenigala? Right? “

” Yes…!” 

හිඳ සිටි අසුනෙන් නැඟිට සිටි උත්පලා රන්දෙණිගල තමා ඉදිරියේ සිටිනා වැඩිමහල් මිනිසා දෙස කුතුහලයෙන් බැලුවාය. 

” I have something to tell about that girl”

උත්පලාගේ සේම මහීල්ගේද සිව් දෑස එක එල්ලේ ඔහු පෙන්වූ හුරුබුහුටිය වෙත දිවූ අතර රකුසු දෙනෙත් ඇත්තා තමා ඉදිරියේ තිබූ වීදුරු තිරය මතින් යුහුසුලුව එහා මෙහා දිව යමින් කටයුතු කරන ඈ දෙස බලා සිටියේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here