” Any problem Mr? “
උත්පලාගේ හඬ මඳක් පහතට වැටී තිබූ අතර ඈ දෙස එක එල්ලේ බැලූ වැඩිමහල් මිනිසා යළි හැරී තමා පසුපස සිටිනා තම බිරිඳ දෙස බැලුවේය.
” අපි ඒ ළමයටත් කතා කරමු අයිවන් “
බිරිඳගේ වචන ඇසුණු වැඩිමහල් මිනිසා පෙරළා උත්පලා දෙස බැලූ අතර සැක සංකා සහිත දෑසින් ඈ ඈතින් හිඳින යුවතිය දෙස බැලුවාය. හදවත මෙතරම්ම වේගවත් වන්නේ කුමක් හෝ ගැටළුවක් පැන නැඟී ඇති බව දන්නා බවටත් වඩා මෙහි තම හිතුවක්කාර පුත්‍රයා සිටීම බව ඈ හොඳින්ම දැන සිටියාය. කිසිදු ගැටලුවක් සමාදානයෙන් විසඳා ගැනීමට නොහැකි , සෑම මොහොතකම ඇවිළෙමින් හිඳින තම පුත්‍රයා හමුවේ ගැටළු හෝ කරදර පිළිබඳ දිගහරින්නට ඈ නිතරම ප්‍රවේශම් වන්නීය . යටැසින් මහීල් දෙස බැලූ උත්පලාගේ තොල් පට සපා ගනිමින් ඉදිරිය බලා අවන්හල් සේවිකාව ඇමතුවාය.
” Sandasvi.. Come here “
” සඳැස්වී…”
උත්පලා රන්දෙණිගලගේ මුවින් නිකුත් වූ නාමය නැවත වරක් මානක්කාරයාගේ හදවතින් පෙරළා ඇසුණද ඔහු තම හදවතට කන් නොදෙමින් ජංගම දුරකතනයට දෑස යොමු කරමින් සිටියේය.
අවන්හල් හිමිකාරිය වූ උත්පලාගේ හඬ ඇසුණු යුවතිය අතෙහි තිබූ ට්‍රේ බඳුන විගසින් පසෙකින් තබා ඈ වෙත ඉක්මන් ගමනින් පැමිණියාය .
” මැඩම්..?”
” මිසිස් රන්දෙණිගල. , මට වයස දැන් අවුරුදු හැත්තෑ දෙකක්. මගේ වයිෆ්ට දැන් අවුරුදු හැට අටක් . අපි දෙන්නම දැන් ඉන්නේ ජීවිතේ සැහැල්ලුවෙන්ම ගෙවන්න ඕනේ කාලේ. “
උත්පලා කිසිවක් වටහා ගත නොහැකිව මහීල් දෙසත් , පුත්‍රයා දෙසත් හොරැහින් බලමින් තමා ඉදිරියේ සිටිනා වැඩිමහලු පිරිමි පුද්ගලයාගේ කතාවට සවන් දෙමින් සිටියාය. මෙහි සිදුවන කිසිවක් තමාට අදාල නොවන ආකාරයට ජංගම දුරකතනය වෙත මුහුණ ඔබා සිටියද ඔහු සිටින්නේ සියලුම දෑ පිළිබඳව අවධානයෙන් බව උත්පලා අත් දැකීමෙන්ම දැන උන්නාය.
” හැමදාම උදේට මායි වයිෆුයි පොඩ්ඩක් එළියට ඇවිල්ලා ඇවිදලා කරලා ආපහු ගෙදර යනවා. ගොඩක් වෙලාවට අපි බ්‍රෙක්ෆස්ට් ගන්නෙම පිටින්. කවදාවත් ඇවිත් නැති නිසාමයි අපි දෙන්නා අද මේ රස විමනට ආවේ . මිසිස් රන්දෙණිගල , මේ ඉන්නේ ජෙම් එකක්. “
ඔහු එසේ පවසමින් පිටුපසින් සිටි තරුණිය දෙසට අත දිගු කළේය . අඩුපාඩුවක් නොව ඔහු පැවසීමට උත්සාහ ගන්නේ වර්ණනාවක් බව හැඟුණු උත්පලාගේ හදවතේ මෙතෙක් බියෙන් වෙළී තිබූ අඳුරු සෙවණැලි ඉවත් වී ගිය නිසා ඈ මුව පුරා දිදුළන සිනහවක් පුරවා ගත්තාය .
” වෙනදට ඔහේ ඇවිල්ලා මොනාහරි බඩට දාගන්නවා කියන දේ වෙනස් කරලා අපිට ඕනේ මොනවද ? අපිට ගැලපෙන්නේ මොනවද? අපේ වයසට , අපේ බොඩි එකට ගැලපෙන්නේ මොනාද කියලා හරි ලස්සනට මේ දරුවා පැහැදිලි කරලා දුන්නා. ඒ හැමදේටම වඩා බලන්න මූණ පුරා තියන හිනාව. ඒකම ඇති ආයේ ආයේ කස්ටමර්ස්ලව මෙතනට ගෙන්න ගන්න. අපි දෙන්නා මේ කන ගමනුත් කතා කලේ හැමදාම මෙතනට එමු කියලා . Mrs. Randenigala , She is an asset. You shouldn’t let her go away “
වැඩිමහලු මිනිසාත් , කාන්තාවත් පමණටත් වඩා තරුණිය පිළිබඳව ප්‍රශංසා කරමින් සහ සුබ පතමින් සියල්ලන්ටම සමු දී අවන්හලෙන් නික්ම ගියහ.
” good job sandasvi. “
” thank you madam “
පෙර තිබුණාටත් වඩා ආඩම්බකාරී බවක් මුහුණට නඟා ගත් උත්පලා නැවතත් තරුණයින් දෙදෙනා අසලින් හිඳ ගත්තාය.
” දැක්කා නේද මෙතන වැඩ වෙන විදිහ ?”
උත්පලාගේ කතාවට සව්දිය පුරන අන්දමින් කෝපි කෝප්පය ඔසවා ඇයට පෙන්වූ මහීල් මුව පුරා සිනහවක් නැඟුවේය.
” අම්මා හොටෙල් එකෙයි , ෆ්‍රැක්ට්‍රි එකෙයි ඉන්නැතුව මේකටම වෙලා ඉන්නෙත් ඒ පොඩි කෙල්ලගේ අයිඩියා එකක් හින්දද ? ”
තවමත් ඔහුගේ දෑස ඇත්තේ ජංගම දුරකතනයේ වුවද ඈ අනුමාන කළ පරිදි ඔහු සිට ඇත්තේ සියල්ල පිළිබඳ අවධානයෙන් බව උත්පලා සැණකින් වටහා ගත්තාය.
” මූට නං පිටිපස්සටත් ඇස් තියනවා අම්මා “
තම වැඩිමහල් දියණිය වූ පහන්‍යා නිතරම මුමුණන වචන පෙළක් සිහිවී උත්පලාගේ මුවේ මඳ සිනා රැල්ලක්ද ඇඳී ගියාය.
” ඔව්.. මං නිතරම මෙතන ඉඳලා එන කස්ටමර්ස්ලා එක්ක කතා බහ කරලා ඉන්න එක බිස්නස් එකට හොඳයි කියන අයිඩියා එක දුන්නේ ඒ කෙල්ල තමා. “
මවගේ පිළිතුරත් සමඟ මුව අඟට සිනහවක් නැඟූ තරුණයා බොහෝ වේලාවකට පසු හිස ඔසවා තම මිතුරා දෙස බැලුවේය.
” අයිතිකාරිම මෙතනට ඇවිල්ලා හිනාව පුරෝගෙන කතා කරාම අඩුපාඩුවක් තිබ්බත් මනුස්සයෙක්ට කට ඇරලා ඒක ප්‍රසිද්ධ කරන්න හිතෙන්නෑනේ බං. “
පුත්‍රයාගේ වචන හමුවේ මඳ කෝපයක් සිතට නැඟි උත්පලා ඔහු දෙස බලා රැවුමක් පා කළාය .
” එහෙම කොහොමද කියන්නේ ඔයා ?”
මිතුරා වෙත විතැන් වී තිබුණු බැල්ම ඔහු ඉන්පසුව මව වෙත හෙළුවේය .
” කස්ටමර් කෙනෙක්ට අඩුපාඩුවක් උනා කියලා හිතන්නකෝ , මෙහෙම ලඟ ඉඳගෙන ඔයා චීස් බෝලේ වගේ සිරික්කිය දාන් ඉන්නකොට ඒ මිනිස්සු , කමක් නෑ. අර සිරියාවන්ත නෝනා දිහා බලන් අපිට අඩුපාඩුවක් කියන්න බෑනේ කියන වචනේ කියනවා. අන්න ඒකයි. ඕවා ඉමෝශනල් ට්‍රික්ස් අම්මා… “
” අනේ මේ.. යනවා යන්න. “
උත්පලා බොරු තරහක් මවමින් පුත්‍රයාගේ බාහුවට පහරක් ගැසුවාය.
” මොන දේ උනත් ඒ ළමයා ආපු හැටියේ මගේ බිස්නස් වැඩි උනා. ආච්චිඅම්මා දැක්ක හැටියේ කිව්වේ හරි සීදේවි කෙල්ලෙක් කියලා “
සියත්‍ර යළිත් මුව ඇද කර සමච්චල් සිනහවක් නැඟුවේය.
” විහිළු නෙමෙයි ළමයෝ , මං මුලින්ම මෙතන ඕපන් කළේ පේස්ට්‍රි ශොප් එක. බේකරි අයිටම්ස් වලින් එහාට දේකට යන්න මගේ ඔලුවේ තිබුණේ නෑ. ඒ ළමයගේ අයිඩියා එක නිසා තමයි අපි අනිත් අයිටම්සුත් පටන් ගත්තේ . හෙඩ් ඔෆිස් එකේ බ්‍රෙක්ෆස්ට් එකයි , ලන්ච් එකයි කරන්න කියලා තාත්තා ඕඩර් එක දුන්නෙත් ඒ ළමයගේ ප්‍රපොසල් එකක් නිසා. ඒකෙන් මෙච්චර කල් හෙඩ් ඔෆිස් එකේ කේට්රින් කරපු උන් කොච්චර ගසා කාලද කියලත් දැනගන්න ලැබුණා. බොරු නං අහන්න ගන්කන්ද ගෙන්. “
” එහෙම එකක් නං මටත් ඉන්ෆෝම් කළා මචං. “
අවසන් කෝපි උගුරත් මුවට හළා ගත් මහීල් තම මිතුරා දෙස බලමින් පැවසුවේය .
” ඒ ළමයා වැඩට ඇවිල්ලා ගොඩක් කල්ද ආන්ටි ?”
” තාම නෑ මහීල් , මං හිතන්නේ ෆෝ මන්ත්ස් වගේ. ෆුල් ටයිම් නෙමෙයි පාට් ටයිම් කරන්නේ. කැම්පස් යන ළමයෙක්. “
උත්පලා හට තව දුරටත් තරුණිය ගැන හෝ අවන්හල ගැන විස්තර කිරීමට ඉඩක් නුදුන් සියත්‍ර පුටුව පසුපසට කොට නැඟී සිටියේය. ඒ අනුව වහා මහීල් සහ උත්පලාද හිඳ උන් අසුන් වලින් නැඟී සිට ගත්හ.
” ඔයා දැන් කොහෙද යන්නේ ?”
” ඔෆිස් එකට. “
ඔහුගේ පිළිතුරු කෙටිය. පැහැදිලිය . එකම කරුණක් දෙවරක් විමසීමේ කිසිදු අවශ්‍යතාවයක් පැන නොනඟින්නේය.
අසුනින් නැඟී සිටි සියත්‍ර රන්දෙණිගල නැවත වතාවක් තම අව් කණ්ණාඩි යුගළය පැළැඳගත් අතර ඉන් පසුව ඉක්මන් අඩි තබා අවන්හලෙන් පිටත තම මෝටර් රථය වෙත පා නැඟුවේය. ඒ යන අතර ගෙවුණු ඉතා කුඩා තත්පරයකදී අව් කණ්ණාඩිය තුළින් ඔහුටත් නොදැනීම විතැන් වුණු තම රකුසු දෑස යුවතියගෙන් නැවත ගලවා ගත් ඔහු එහි සිටි කිසිවෙකු පිළිබඳව වෙන කිසියම් හෝ අවධානයක් නොදී අවන්හලේ වීදුරු ද්වාරය තල්ලු කරමින් පිටතට පැමිණියේය.
” RD Foods ” නමින් දිවයිනේ ඉතා ප්‍රසිද්ධ ව්‍යාපාර ජාලයක් පවත්වා ගෙන යන රන්දෙණිගල කුටුම්භය ව්‍යාපාර ලෝකයේ ඉතා ඉහල ස්ථානයක වැජඹෙමින් තිබුණේය. RD Foods නමින් පවත්වාගෙන යන කර්මාන්ත ශාලා තුළ දිනපතා නිවසක මුළුතැන්ගෙයක තිබිය යුතු සියළුම ආහාර වර්ග හා කුළුබඩු වර්ග නිෂ්පාදනය කරමින් පැවතුණේය . එකී කර්මාන්තශාලා වල නිෂ්පාදනය වන සියලුම නිෂ්පාදන RD super නමින් සුපිරි වෙළඳ සැල් ජාලයක් තුළ ප්‍රධානව අලෙවි කරනු ලැබුවේය . ඊට අමතරව මෙරට ඉස්තරම් ආහාර වර්ග හා කුළුබඩු වර්ග අපනයනය කරමින් RD export නමින් තවත් ආයතනයක්ද පවත්වා ගෙන ගිය ඔවුන් ආහාර ලෝකයේ නිෂ්පාදනයත් අලෙවියත් කුඩාම ඒකකයේ සිට විශාලම ඒකකය දක්වා රන්දෙණිගල නාමය පතුරුවන්නට සමත් වී තිබුණහ.
.
RD foods හී සභාපති වූ දිනේන්ද්‍ර රන්දෙණිගල මෙතෙක් තමන් සිදු කරගෙන පැමිණි ව්‍යාපාර ජාලයේ වගකීම් බොහෝමයක් තම වැඩිමහලු දියණිය වූ පහන්‍යා රන්දෙණිගලටත් , පුත්‍රයා වූ සියත්‍ර රන්දෙණිගලටත් සමාන අයුරින් බෙදා වෙන් කළද ව්‍යාපාර පිළිබඳ කිසිදු ඇල්මක් හෝ ආශාවක් නොමැති පහන්‍යා රන්දෙණිගල ඒ සියල්ල තම සැමියා වූ අනුජ රණබාහු වෙත පවරමින් සියල්ලගෙන්ම නිදොස් වී සිටියාය.


