ඔලියැන්ඩර් – 04

0
0
oleander Flower

ආහාර නිෂ්පාදනයෙන් මඳක් ඔබ්බට ගිය සියත්‍ර රන්දෙණිගල පියාගෙන් හෝ පවුලේ කිසිවෙකුගෙන් උදව්වකින් තොරව ඉතා කෙටි කාලයකදී හෝටල් ක්ෂේත්‍රයටද අත ගසා තිබුණේය . ඒ අනුව මේ වන විට ,මාතලේ, ගාල්ල හා රත්නපුර යන සංචාරක ආගමනය බහුල කොළඹින් මඳක් දුර පැති ත්‍රිත්වයකම රන්දෙණිගල නාමය පැතිරවීමට ඔහුට හැකියාව ලැබී තිබුණේය . 

අවුරුදු තිස් පහකට පමණ පෙර තරුණ අවධියේදී රූපශ්‍රීයෙන් අග තැන් පත් වූ තරුණ උත්පලා සායක්කාර එවක දිවයිනේ පැවැත්වූ Miss sri lanka තරඟයට ඉදිරිපත් වී ඉන් ජයග්‍රහණය කොට ජාත්‍යන්තර තලයේ තරඟ සඳහාද දිවයින නියෝජනය කර ඉදිරිපත් කිරීම්  සිදු කර තිබුණාය. දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරකයින් , වෙළඳ සන්නාම , ව්‍යවසායකින් , රංග ධරයින් හා නිරූපණ ක්ෂේත්‍රයේ බොහෝ අය සම්බන්ධ වන අවස්ථා සඳහා ඈට නිතැතින්ම ආරාධනා ලැබුණු අතර ඈ සම්බන්ධ වූ එවන් උත්සව රාත්‍රියකදී ව්‍යාපාරික දිනේන්ද්‍ර රන්දෙණිගලගේ ආදරය හා කැමැත්තට බඳුන් වූ තරුණ නිරූපණ ශිල්පිනිය ඉතා ඉක්මණින් ඔහුගේ ප්‍රිය බිරිඳ බවට පත් වූවාය . 

එතැන් පටන් දිනේන්ද්‍ර රන්දෙණිගලගේ සෑම පියවරකම පසුපස හිඳිමින් ඈ ලබා දුන් ශක්තිය සේම ආදරය නොවන්නට රන්දෙණිගල නාමය මේතරම් දුරට ලොව පුරා පැතිරවීමට තමාට නොහැකි වන බව දිනේන්ද්‍ර රන්දෙණිගල විසින් ඉඩක් ලැබෙන සෑම අවස්ථාවකදීම ඉතා කැමැත්තෙන්ම ප්‍රකාශ කරන්නේය. රූපශ්‍රීයෙන් අග තැන්පත් , ශක්තිමත් බිරිඳක් වූ උත්පලා රන්දෙණිගල විවාහයෙන් පසු දරු දෙදෙනෙකුගේ මවක් වූ අතර ඈ සිය කුඩා දියණියත් , පුතණුවනුත් වෙනුවෙන් තම නිරූපණ හා රංගන ක්ෂේත්‍රය අත හැරි අතර රන්දෙණිගල ව්‍යාපාර ජාලයෙන්ද සමු ගෙන පරිපූර්ණ බිරිඳ හා මව යන භූමිකාවට ඇතුළු වූවාය . 

තම ප්‍රාණ සමාන දියණියගේ විවාහයෙන්ද, තනිවම ගොඩ නැඟෙමින් සිටින පුත්‍රයාගේ වගකීම් වලින්ද නිදහස් වූ උත්පලා රන්දෙණිගල තනිවම කුඩා ව්‍යාපාරයකට අත ගසන්නේ සැමියාගේ ඉදිරියේ බොහෝ පිණ්සෙණ්ඩු වී අවසානයේ පුත්‍රයාගේද උදව් මැදය. තම තරුණ කාලයේ බොහෝ සෙයින් මහන්සි වී උපයාගත් දේපළ හා ව්‍යාපාර සියල්ල දරුවන් මත පවරමින් ඉදිරි කාලය නිදහසින් හා සැහැල්ලුවෙන් ගත කිරීමට දිනේන්ද්‍ර රන්දෙණිගල සැලසුම් කරමින් සිටියද උත්පලා හට අවශ්‍ය වූයේ කුමක් හෝ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමටය. තව දුරටත් වෙහෙස මහන්සි නොවී සැහැල්ලුවෙන් සිටිනා ලෙසට සැමියා විසින් කොතෙකුත් ඉල්ලීම් කළද ඒ කිසිවක් මායිම් නොකළ උත්පලා අවසානයේ හැරුණේ පුත්‍රයා දෙසටය. ඕනෑම දෙයක් අලුතින් පටන් ගැන්මට කිසිසේත්ම වයස හෝ කාලය අදාල නොවන බව පැවසූ සියත්‍ර රන්දෙණිගල උත්පලාගේ යෝජනාවට එක පයින් කැමති වූවා පමණක් නොව එහි සියළු පිරිවැයද ඔහු විසින්ම දැරුවේය. 

සියළු දේ සොයා බලමින් සියල්ලටම උපදෙස් ලබා දී අවසානය වන තෙක් මවට උදව් උපකාර කළ ඔහු මවගේ අවන්හල විවෘත කිරීමට දින කිහිපයකට පෙර විදෙස් ගත වූයේය . පුරා අවුරුද්දක කාලය තුළම අවන්හල විවෘත කිරීමේ උත්සවයට පුත්‍රයාගේ නොපැමිණීම උත්පලාගේ නෝක්කාඩුවට බඳුන් වූ අතර තමාගේ හැර යාම සාධාරණය කරමින් පුත්‍රයාද විවිධ තර්ක නඟමින් සිටියේය . 

*******************************************

” ග්‍රීන් හෙවන් එකේ බජට් එකට වඩා සෙරන්ඩිබ් එකේ බජට් එක අඩුයි බං . “

RD පෞද්ගලික සමාගමට අයත් ප්‍රධාන කාර්‍යාල සියල්ල සතු වූ මහල් අටකින් සමන්විත ප්‍රධාන ගොඩනැගිල්ල තුළ නියෝජ්‍ය අධ්‍යක්ෂක නිල කුටියේ රැඳී උන් ආයතන ප්‍රධානියාගේ නීති උපදේශක හා ලඟම මිතුරා යන තනතුරු ද්විත්මය දැරූ මහීල් අමරවංශ තමන් සතුව තිබූ ලිපි ගොනු කිහිපයක්ම බොහෝ වේලාවක් ගෙන පරීක්ෂා කොට බලා තමා ඉදිරියේ සුවපහසු කාර්‍යාල අසුනට බර ව හිඳ සිටිනා තම මිතුරා දෙස බලා එසේ පැවසුවේය .

” ඒ උනාට ග්‍රීන් හෙවන් එකේ ප්‍රපෝසල් එක ඇපෲ කරන්න “

” හේතුව ?” 

” උන්ගේ ප්‍රපෝසල් එක සරලයි. මං ඒක උන් ප්‍රසන්ටේශන් කරපු විදිහට කැමතියි. නාකි මල ඉලව් නැතුව අලුත් කෙල්ලො කොල්ලො ටිකක් ඉන්න නිසා කොහොමත් වැඩ ටික කරගන්න එක ලේසි වෙයි. “

” හ්ම්ම්… උඹ කියන එකක් තමා..”

මහීල් එසේ පවසමින් තමා ඉදිරියේ තිබූ ලිපි ගොනුව වසා දැම්මේය. 

කිසිවක් නොපැවසූ සියත්‍ර කාර්‍යාලීය දුරකතනය ගෙන කනේ තබා ගත්තේය. 

” shakya , come here “

‍රිසිවරය ආපසු තැබූ සියත්‍ර යටැසින් මහීල්ගේ උවන දෙස බැලූ අතර ඔහුගේ මුවෙහි ළා හසරැල්ලක් ඇඳී තිබුණේය. 

” උඹට නම ඇහෙන්න බෑ නේ ? තියන පැණි හිනාව “

සියත්‍රගේ වදනත් සමඟම මහීල්ගේ උවනේ තිබූ කුඩා හසරැල්ල තව දුරටත් පුළුල් වූ අතර ඔහු කිසිවක් පවසන්නට ප්‍රථමව වීදුරු ද්වාරයට තට්ටුවක් දැමූ පියකරු තරුණියක් එය විවර කරමින් ඇතුළට පැමිණියාය.

” සර්..!” 

” ශාක්‍යා සිට් …”

” තැන්ක් යූ සර්…” 

ඈ අනෙක් පස අසුන් ගෙන සිටි මහීල් දෙස යටැසින් බැලුවද ඔහු වහා තමා ඉදිරියේ තිබූ ලිපි ගොනුව දිග හැර එයට මුහුණ ඔබා ගත්තේය. 

” ශාක්‍යා , ග්‍රීන් හෙවන් එකේ ප්‍රපෝසල් එකට ඇපෲ එක දෙන්න. “

” ඕකේ සර්..”

” එයාලගේ ප්‍රපෝසල් එකෙන් පස්සේ කන්ට්‍රැක් එක කෙරෙන එයාලගේ පිළිවෙළ අපිට දවස් දෙකක් ඇතුළත මේල් කරන්න කියන්න. ඒක මුලින්ම ඔයා අරන් ඊට පස්සේ මටයි , මහීල්ටයි මේල් කරන්න. “

” ඕකේ සර්.. “

වීදුරු ද්වාරයට තට්ටුවක් දැමූ කාර්‍යාල කාර්‍ය සහායකයෙකු හිස පහත් කරමින් සියත්‍රට ආචාර කොට කාර්‍යාල කුටිය වෙත පිවිසුණේය .

” සර්.. ! ලොකු සර් ඇවිත්. ඩයිනින්ග් රූම් එකේ ඉන්නවා සර් එනකන්.”

  කිසිදු දිනක ස්තූතියක් හෝ පැවසූ පණිවිඩයට ප්‍රතිචාරයක් නොලැබෙන බව අත්දැකීමෙන් දන්නා කාර්‍යාල කාර්‍ය සහායකවරයා නැවතත් හිස පහත් කොට ආචාර කරමින් කාර්‍යල කුටියෙන් පිටව ගියේය .

අවුරුද්දකට පසු පය ගැසූ RD සමාගමෙහි කිසිවක් නොවෙනස්ව පැවතුණද එහි භෝජනාගාරය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබුණේය. කුඩා අවන්හලක සිරියක් ගත් එහි තබා තිබූ මේස පුටු , ඇතිරිලි පවා වෙනස් වී මන බඳනා තාලයකට හැඩ ගැන්වී තිබූ අතර එහි සේවක මණ්ඩලයේ නිල ඇඳුම්ද ඒ හා සමානවම සිත් ගන්නා ආකාරයකට වෙනස් වී තිබුණේය. 

භෝජනාගාරයේ වීදුරු ද්වාරය විවර කරමින් ඇතුළට පිවිසෙන විටම එහි මේසයක් අසල හිඳ සිටින තම පියාත් ඔහු අසලම සිටින මවත් දුටු සියත්‍රගේ මුවඟ මත මඳ සිනහවක් ඇඳී ගිය අතර ඔවුන් පසෙකින් සිට ගෙන සිටි හුරුබුහුටිය දුටුවද නුදුටුව ලෙස ගමන් කළ ඔහු තමා දැක නැඟී සිටි පියාව මහත් ස්නේහයකින් වැළඳ ගත්තේය .

” අවුරුද්දකට පස්සේ ආ..? මූ තවත් හැන්ඩ්සම් වෙලාද මන්දා…? මගේ එකානේ ඉතිං..”

පුත්‍රයාව සිප වැළඳගත් දිනේන්ද්‍ර රන්දෙණිගල ඔහුටත් වඩා උසින් වැඩි තම පුත්‍රයාගේ බාහුවට තට්ටුවක් දමමින් පැවසුවේය. 

” දෙකම වැරදියි. “

ප්‍රිය බිරින්ඳෑගේ කතාවට දෑස සිහින් කෙරූ ඔහු එක් අතකින් අසුන් ගන්නා ලෙසට සියත්‍රට ඉඟි කරමින් තමා පෙර හිඳ ගෙන සිටි අසුනටම බර වූවේය . 

” මොකද්ද කිව්වේ ?”

” දෙකම වැරදියි කියලා කිව්වේ ?” 

තමා දෙපස හිඳ සිටින සැමියාත් , පුත්‍රයාත් දෙස බැලූ උත්පලා රන්දෙණිගල සමච්චල් සිනහවක් පෑවාය. 

” සියත්‍ර යන්න මාස එකහාමාරකට කලිනුයි ඔයා ගියේ. එතකොට අවුරුද්දකට කලින් නෙමෙයි අවුරුද්දයි , මාස එකහාමාරකට පස්සේ ඔය දෙන්නා මේ මීට් උනේ. ඊලඟ එක මේකා එන්න එන්න ලස්සන වෙන්නේ ඔයා හින්දා නෙමෙයි , ඒ මේකාගේ අම්මා මං හින්දා “

උත්පලා රන්දෙණිගලගේ කතාව ආඩම්බරකාරීය.. ඈ පැවසූ කාරණයට උස් හඬින් සිනා සුණු දිනේන්ද්‍ර රන්දෙණිගල තම පුත්‍රයා දෙසට හැරුණේය. 

” කාත් එක්ක කතා කළත් මෙයා එක්කනං කතා කරලා දිනනවා බොරු. “

කිසිදු දිනක සිනහවකින් මුහුණ සරසා නොගන්නා රකුසු මුහුණක් සහිත ආඩම්බරකාරයා නැවතත් මඳ සිනහවක් නැඟුවා විනා කිසිවකට පිළිතුරු බැඳීමට නොගියේය. 

උත්පලාගේ සංඥාවකට අනුව මේසය අසලට ආ භෝජනාගාර සේවකයින් වහ වහා මේසය මත නොයෙක් ආහාර බඳුන් පිළිගන්වන්නට වූ අතර සියත්‍ර සමඟ ආ මහීල් හා ශාක්‍යා සියත්‍ර අසල මේසයක් අසලින් හිඳ ගත්හ. 

” දවස් දෙක තුනකින් දැක්කේ.. “

තම මේසය අසලට ආ හුරුබුහුටි අවන්හල් සේවිකාවගේ අතින් අල්ලා ගත් ශාක්‍යා සිනහවකින් මුව පුරවා ගනිමින් ඇසුවාය. 

” මේ ටිකේම ලෙක්චර්ස් අක්කා. ගිය දවස් ටිකේම හවස් වරුවේ විතරයි එන්න පුලුවන් උනේ. අද තමයි උදේ වරුව ෆ්‍රී උනේ. “

” යාලුවෙක්ද ?” 

ශාක්‍යාගේත් , සඳැස්විගේත් මිත්‍රකම දුටු මහීල් ශාක්‍යා දෙස බලා ඇසුවේය. 

” හ්ම්ම්.. හොඳම යාලුවෙක්. මැඩම්ගේ රෙස්ටුරන්ට් එකේ ඉන්නේ. හරි හොඳ ගෑනු ළමයා. “

මහීල්ට පිළිතුරු දුන් ශාක්‍යා නැවත සඳැස්වි දෙසට හැරුණාය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here