ඔලියැන්ඩර් – 5

0
432
oleander Flower

” සඳැස්වි මේ මහීල්. අපේ සර්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් තව අපේ ලීගල් ඇඩ්වයිසර්. “

” හෙලෝ…”

මහීල් සඳැස්වි හට අතට අත දුන් අතර ඈද පෙරළා ඔහු වෙත සිනහවක් පෑවාය .

” අපි උදේ මීට් උනා. “

” ඔයාලා රෙස්ටුරන්ට් එකට ගියාද ? ” 

” මායි , සියත්‍රයි ගියා. “

” මැඩම්ගේ පුතාද සියත්‍ර ?” 

සඳැස්වි පහත් වී කොඳුරමින් ශාක්‍යාගෙන් විමසුවාය.

” හ්ම්ම්…”

” උදේ රස විමනට ආවා. “

එසේ පැවසූ සඳැස්විගේ උවන අඳුරු වූ බව දුටු ශාක්‍යා තොල් පට සපා ගනිමින් යළි ඇගේ කනට කෙඳිරුවාය. 

” ඇයි මොකක් හරි එකකට බැන්නද ? ගණන් ගන්න එපා , ඒ සර්ගේ හැටි “

” බැන්නදත් අහනවා. ඇඟට කඩන් පැන්නේ රාස්සයෙක් වගේ. රාස්සයෙක් නෙමෙයි පරාස්සයෙක්. “

සඳැස්වී පහත් වී ශාක්‍යාගේ සවනට කෙඳිරූ අතර ඇයට චිරිස් ගා සිනහවක් නැඟුණාය. ඉන්පසු සෙමින් සඳැස්විගේ අත කෙනිති ගැන්වූ ඈ තොල්පට මත දබරැඟිල්ල තබා නිහඬ වන ලෙස පැවසුවාය .

” දන්න කියන අය කියන්නේ සර්ට පිටිපස්සටත් ඇස් කන් තියනව කියලා. ඒ නිසා පරිස්සමින් “

” ආ.. පරාස්සයෝ එහෙම තමා. “

ශාක්‍යා නැවතත් චිරිස් ගා සිනාසුණු අතර මහීල්ද දෑස් සිහින් කොට ඔවුන් දෙදෙනා දෙස බැලුවේය. නමුත් ඉදිරියේ ඇති වීදුරු ද්වාරයේ ප්‍රතිබිම්බය හරහා තමා දෙස බලමින් සිනහවන යුවතියන් දෙදෙනා දෙස බලා සිටින රකුසු බැල්ම ඔහුද නුදුටුවේය .

**********************************************

රස විමන අවන්හලෙන් පිටවූ තරුණිය අඩියට දෙකට මහා මාර්ගයට පිවිස බස් රථයක් වෙත දිව ගියාය. සවස තුනට ආරම්භ වන විශ්ව විද්‍යාල දේශනය කරා යෑමට විගසින් නවාතැන් පළ වෙත යන්නට පා ඉක්මන් කරමින් පැමිණි ඈ හමුවූ පළමු බස් රථයටම ගොඩ වූවාය . විනාඩි පහළොවක පමණ දුරක් බස් රථයෙන් පැමිණ අතුරු මාර්ගයක් අසලින් බැස ගත් ඈ තවත් අඩිය ඉක්මන් කරමින් නවාතැන්පළ කරා පැමිණියද එහි ඉදිරිපස තත්වය දුටු වනම ක්ෂ්ණිකව තිගැස්සී ගියාය. 

මෙතෙක් කලක් ඉතා කුඩා කාමරයක එකා පිට එකා මෙන් සය දෙනෙකු බෙදා හදා ගනිමින් වාසය කළ කුඩා කාමර කැබැල්ල ඉදිරිපිට එහි සිටි ගැහැනු ළමුන් සය දෙනාගේම ඇඳුම් පැළැඳුම් ඇතුළු සියලු බඩු බාහිරාදීය නිවසින් පිටතට දමා තිබුණේය. එය දුටු වහා වෙව්ලන දෙපයින් දිව ආ තරුණිය බඩු බෑග් අසල කඳුළු පිසලමින් බලා සිටි තවත් තරුණියන් දෙදෙනෙකුගේ දෑතේ එල්ලුණාය.

” මොකද උනේ ? ඇයි මේ ? ” 

ඇයගේ දෙපය පමණක් නොව කටහඬද වෙව්ලන ස්වරයක් ගෙන තිබුණේය. 

” බෝඩිමේ ඇන්ටිව පොලීසියෙන් ගෙනිච්චා. “

” ඒ මොනා කරලද ? “

” දන්නෑ බං. ඒ ඇන්ටිගේ නෙමෙයිලු මේ ගේ. ඒ ඇන්ටිගේ මහත්‍තයාගෙලු. ඒ මනුස්සයාගේ අක්කලා පොලීසියත් එක්ක ආවා. ඇන්ටිව ජීප් එකට ඇදලා දා ගත්තා. අපේ කාමරේට ඇවිල්ලා වහාම බඩු ටිකත් අරන් එළියට බහින්න කිව්වා.  ප්‍රශ්නේ මොකක්ද කියලා දන්නෑ. කොහොමහරි අන්තිමට එළියට බහින්න උනේ අපිට. “

මිතුරියගේ දෙනෙතින් කඳුළු බිඳුවක් රූරා වැටී ගිය අතර ඒ සමානවම තරුණියගේ ඇසින්ද කඳුළු බිඳු පේළියක් ගලා විත් කොපුල දිගේ බේරී වැටුණේය .

” අනේ බං. මේ මාසේ සල්ලිත් ගෙව්වනේ. අපි දැන් කොහෙ කියලා යන්නද ? “

දෛවය මෙතරම්ම තමාට කුරිරු වන්නේ කිමදැයි ඇයට නොහැඟුණාය. දරා ගැනීමේ සීමාවේ උපරිමයේ සිටියදීත් දෛවය මෙතරම් තමා පරීක්ෂාවට ලක් කරන්නේ කුමක් නිසාදැයි අසරණියට නොවැටහුණාය.  තව දුරටත් සිට ගෙන සිටීමට දෙපය වාරු නැති වූ ඇය නිවස අද්දර තිබූ ලී බංකුවක් මතට කඩා වැටුණාය . විශ්ව විද්‍යාල අධ්‍යාපනය කෙතරම් වැදගත් වුවද අවශ්‍යම ඉගැනුම් ක්‍රියාවලට , දේශන වලට හා අනෙකුත් දෑ වලට පමණක් විශ්ව විද්‍යාලය කරා දිව යන ඈ බොහෝ විට දිනකට අවම පැය තුනක් හෝ රස විමන අවන්හලේ සේවය සඳහා පිටව යන්නීය . කෙතරම් දුශ්කර වූවත් , කෙතරම් කටුක වූවත් මේ සියල්ල දරා ගත යුතුමය. කෙසේ හෝ පියාගේ ණය මුදල ගෙවා තම කුඩා නිවස උගසින් බේරා ගත යුතුය. රෝගී මව රෝගී බවද නොසලකමින් මහන්සි වී කරන කුඩා රැකියා සියල්ල නතර කර දමා ඇයට විවේකයක් ලබා දිය යුතුය. තවමත් පාසල් අධ්‍යාපනය ලබන නැඟණියට හොඳින් ඉගැන්විය යුතුය . නැඟණිය මතකයට නැඟෙනා වාරයක් පාසා හදවතට දැනෙන බියකරු සහ අපුල හැඟීමෙන් ගැලවිය නොහැකිය. එබැවින් මේ සියල්ලේ මුඛ්‍ය පරමාර්ථය ඈ හා මව තම නිවසටම ආපසු යැවීමය. 

හදිසියේ මිය පරලොව ගිය පියාගේ වියෝවත් සමඟ තමා , මව සහ නැඟණිය මුහුණ දුන්නේ ඉතා භයානක ව්‍යසනයන් වලටය. පියාගේ ඇවෑමෙන් මසක් ගත වන්නටත් පෙර පියා විසින් තම නිවස උගස් කර මුදල් ලබා ගත්තා යැයි පවසමින් පැමිණි පිරිසක් හේතුවෙන් අවසානයේ ඇයටත් , මවටත් , නැඟණියටත් නිවස අතහැර දැමීමට සිදු වූහ. ඉන්පසුව ඔවුන්ගේ නවාතැන වූයේ තම වැඩිමහල් සොහොයුරියගේ නිවසය. හිසට සෙවණක් අවැසිම නිසා ඇගේ නිවසට ගොඩ වුණිද එදා පටන්ම වැඩිමහල් සොයුරියගේ සැමියා වූ කාලිංගගෙන් තමන්ට බොහෝ දුක් කරදර සිදු වූ ආකාරය ඈ පිළිකුලෙන් යුතුව සිහිපත් කළාය. නැති බැරි කම නිසාම ඒ සියල්ලම යටපත් කර ගනිමින් සිටියද ඇගේ හදවතේ තම කුඩා නැඟණිය පිළිබඳව අප්‍රමාණ බියක් වෙළෙමින් තිබුණේය. 

ඒ තමාට මෙන්ම කුඩා එකියක් වූ ඇයටද පියා වන් ලෙසට සිටින්නා වූ කාලිංගගෙන් හිරිහැර සිදු වේදැයි සිතට වරින් වර දැනෙන බියත් සැකයත් නිසාය. ඉදින් ඈ සෑම මොහොතකම තම කුඩා සොයුරියව පණ මෙන් රැක්කාය. කාලිංගගේ තනි ඇසුරට ඈ ලක්වන අවස්ථා සීමා කළාය . පාසල් ඇරී ගෙට ගොඩ වන සෑම මොහොතකම ඈ පසුපසින්ම සිටියාය . විශ්ව විද්‍යාල වරම් ලබා කොළඹ පැමිණෙන්නට ආසන්නතම දිනක කුඩා එකිය ලඟට ගත් ඈ මෙතෙක් කාලිංග විසින් තමාට සිදු කරන ලද සියලු වද හිංසා හා කරදර සියල්ල ඈට පැවසුවාය . හඬා වැටෙමින් තව දුරටත් ඈ අසල සිටීමට නොහැකි වීම පිළිබඳව සමාව යදිමින් හැකි පමණ කාලිංගගෙන් ප්‍රවේසම් වන ආකාරය පිළිබඳව ඈට දැනමුතුකම් දුන්නාය. හඬ හඬාම වැඩිමහල් සොයුරියගේ වචන වලට එක සිතින් සවන් දුන් කුඩා එකියද ඈ තුරුළු කොට ගනිමින් හඬා වැළපුණාය. 

කොළඹ ඒමට මාස තුනකට පමණ පෙර තම කුඩා නිවස පියාගෙන් උගස් ලබා ගත් තැනැත්තා මිය ගිය හේතුවෙන් ඒ සියලු ගණුදෙනු ඉන් පසුව සිදු කළේ ඔහුගේ පුත්‍රයා විසින්ය. පියාට වඩා මානුෂීය ගති පැවතුම් තිබූ ඔහු ඇගේ පියා විසින් තම පියා වෙත උගස් කර තිබූ ඔවුන්ගේ නිවසට අදාල මුදල වූ ලක්ශ තුනහමාරක මුදල පමණක් පොලී මුදල් නොමැතිව ගෙවා  නිවස කෙදිනක හෝ බේරා ගන්නට ඉඩ ලබා දුන් අතර ඔහුට එය සින්නක්කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බව පැවසුවේය. ඉදින් කලකට පසු සඳැස්වියගේ සවනට වැටුණු ප්‍රීතිමත්ම ආරංචිය එය වූයේය. විශ්ව විද්‍යාල ආරම්භය සඳහා කොළඹ පැමිණි වහා අධ්‍යාපන කටයුතු අතර තුර කෙසේ හෝ අතිරේක කාලයකදී කිරීමට රැකියාවක් සොයා තම පියාගේ හිතවතෙකු හමුවීමට ගිය අතර ඈට පියාගේ අභාවයෙන් පසුවද ඔහු සේවය කළ RD සමාගමේ සභාපතිවරයාගේ බිරිඳ විසින් කර තිබූ යම් යම් උපකාර හේතුවෙන්ම ඇගේ නවතම අවන්හලේ සේවිකාවක වීමට ඉඩ හසර ලැබුණාය. 

දැනට මාස හතරකට පමණ පෙර සම්බන්ධ වූ එකී රැකියාවට ඉතා අවංකව සහ හදවතින්ම සේවය කරමින් ලබා ගන්නා වැටුපෙන් කොටසක් මවටත් , තවත් කොටසක් උගස් හිමියාටත් , තවත් කොටසක් තම නවාතැන් පළටත් වෙන් කෙරූ ඈ ඉතා සුළු කොටසක් පරිභෝජනය සඳහා තබා ගත්තාය . රස විමනේ රාජකාරි කරන අවස්ථාවලදී ඉන් ලැබෙන ආහාරය මතින් දිනය පුරාම යැපෙන්නට උත්සාහ ගනිමින් අතේ ඉතිරි මුදල අධ්‍යාපනය සඳහා වියදම් කරමින් ඉතා කඨෝර දිවියක් ගත කරමින් සිටි ඈ හට හදිසියේ අහේතුකව නවතැන්පළ මාරු කිරීමට සිදු වීම කෙසේ වත් දරාගත නොහැකි වූවාය. 

ආගන්තුක කොළඹ නගරයේ විශ්ව විද්‍යාලයත් , රස විමනත් හැරුණු කොට තමා දන්නා වෙනත් කිසිදු ස්ථානයක් නොමැත. කිසිදු මාර්ගයක් නොමැත. කිසිදු නවාතැනක් නොමැත. උදව්වක් ඉල්ලාගත හැකි අයෙක් නොමැත. දන්නා හඳුනන කිසිවෙකුත් නොමැත. විශ්ව විද්‍යාලයට ගොස් ඉතා කෙටි කාලයක් නිසා එහිද දන්නා කියන ලඟම මිතුරු මිතුරියන් නොමැත. දේශන වාර අවසන් වූ විගස ‍රස විමන කරා දිව යන ඈ හට මිතුරු මිතුරියන් ඇසුරු කිරීමටද ඉඩක් නොලැබුණාය. දේශන වාර අතරදි මිත්‍ර වූ විමර්ෂාත් , දෙව්නිකාත් සිහියට නැඟුණද ඔවුන්ගෙන් උදව්වක් ඉල්ලීමට ඇගේ සිත එඩිතර නොවූවාය. දෙපයින් නැඟී ආ වෙව්ලීමත් සමඟම මුළු හිසම රිදුම් දෙන්නට පටන් ගත් හෙයින් ඈ හිස පහතට කොට දෑතින්ම හිස බදා ගත්තාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here