ඔලියැන්ඩර් – 06

0
549
oleander Flower

රියදුරු දයාරත්න වේගයෙන් මෝටර් රථය පදවමින් සිටියේය . රියදුරු අසුනට යාබද අසුනේ හිඳ උන් කඩවසම් තරුණයා ජංගම දුරකතනය දෙසට දෑස යොමු කරමින් තමාට ආ ඊමේල් පණිවිඩයක් කියවමින් සිටියේය . 

” මචං…, ෂෙනාර්‍යාගෙන් කෝල් එකක් ආවා. “

පසුපස අසුනේ සිටි මහීල්ගේ හඬට හිස මඳක් එසවූ ඉදිරි අසුනේ උන් මාන්නක්කාරයා ඔහු දෙස ඉදිරියේ ඇති කණ්නාඩිය තුළින් බැලුවේය.

” නෙක්ස්ට් වීක් ග්‍රැජුවේශන් එකලු. උඹට මතකද කියලා ඇහුවා. “

මිතුරාගේ හඬට පිළිතුරු නුදුන් ඔහු දෙබැම ඉහලට ඔසවා නැවතත් කණ්නාඩිය තුළින් පසුපස අසුනේ සිටි මහීල් දෙස බැලුවේය.

” වෙලාව කිව්වේ නැද්ද ?” 

ඔහු රකුසු හඬින් විමසුවේය.

” උඹට දාලා ඇති . “

එයටද පිළිතුරු ලෙස කිසිවක් නොපැවසූ ඔහු ජනේලයෙන් පිටතට දෑස යොමු කළා පමණි. දුටු දර්ශනයෙන් වහා තිගැස්සුණු ඔහු සැණකින් දයාරත්න දෙසට හැරුණේය.

” දයාරත්න , පොඩ්ඩක් ඔහොම අයිනට කරලා නතර කරන්න “

” ඇයි ?” 

පැනය නැඟුනේ දයාරත්නගෙන් නොව පසුපස අසුනේ සිටි මහීල්ගෙනි.

” අර රෙස්ටුරන්ට් එකේ ගර්ල් නේද ?” 

නතර කරන ලද මෝටර් රථයේ පැති කණ්නාඩිය පෙන්වමින් සියත්‍රගේ ගොරහැඬි කටහඬ මහීල්ගෙන් ප්‍රශ්න කළේය.

” කෝ…? අම්මටසිරි.. ඔව් මයි. කොහෙද බං මේ කළුවර වැටෙන වෙලාවේ බෑග් මලු දෙකකුත් උස්සන්. ? අඬනවදත් කොහෙද ?  මං බැහැලා බලන්නද ?” 

මහීල්ගේ පැනයට එක වර ” හා ” යැයි පැවසීම වෙනුවට ඔහු නිහඬ බව රැක්කේය. නිහඬතාවයේ ස්වරය එකඟ වීම බව හොඳින් දන්නා මහීල් මෝටර් රථයේ දොර හැර ගෙන බිමට බැස්සේය. 

අඩියට දෙකට තරුණිය කරා ගිය ඔහු කිසිවක් ඇගෙන් විමසන ආකාරයත් , ඇය හඬමින්ම , කඳුළු පිසමින්ම කිසිවක් පවසන ආකාරයත් මාන්නක්කාරයා පැති කණ්නාඩිය තුළින් බලා සිටියේය. අඳුර වැටී එන හවස් යාමයේ කොළඹ නගරයේ මාර්ග බොහෝ අවිවේකීය. ඉවක් බවක් තොරව කලබලයෙන් එහා මෙහා දුවන රථ හා ඉන් නැඟෙන ඝෝෂාවන් ඉතා ඉහළය. ඒ හා සමානවම හදවත තුළින් නැඟ ගෙන කලබලයත් , නොඉවසිල්ලත් නිසාම ඔහුටත් නොදැනීම ඔහුගේ කලවය මත තිබූ දකුණතේ ඇඟිලි කිසිදු තාලයක් නොමැතිව කලවයට තට්ටු කරමින් සිටියේය . 

මඳ වේලාවකින් යළි හැරී එන මහීල් දුටු වහා ඔහු ජනෙල් වීදුරුව ක්ෂණිකව පහතට දැම්මේය. 

” මචං… ! පොඩි අවුලක් වෙලා..”

තරුණයාගේ මුහුණ ගැටළුව දැන ගැනීමේ නොඉවසිල්ලකින් පෙළුණේය. 

” කෙල්ලගේ බෝඩිමේ අවුලක් වෙලා එතන හිටපු ඔක්කොම ළමයි ටිකව එළියට දාලා. යන්න තැනක් නැතුව ඉද්දි කවුද කෙනෙක් කිව්වලු මේ කොහෙද බෝඩිමක් තියනවා කියලා. තැන හොයාගන්න බැරුව ඉන්නේ දැන් “

” එක්කන් වරෙන් ” 

” වාහනේට ?” 

තම පෞද්ගලික මෝටර් රථයට රියදුරු දයාරත්න හා මහීල් විනා කිසිවෙකුත් ගොඩ වනවාට ප්‍රියතාවයක් නොමැති ඔහු මේ මොහොතේ මාර්ගය අසල කඳුළු වගුරවමින් සිටින යුවතිය මෝටර් රථයට නංවා ගැනීමට උනන්දු වීම මහීල්ගේ පමණක් නොව දයාරත්නගේද පුදුමයට හේතු වූයේය .

යළිත් වරක් නිහඬ බැල්මක් හෙළුවා විනා ඔහුගෙන් පිළිතුරක් නොලද තැන මහීල් අඩියට දෙකට යළි තරුණිය වෙත පා ඉක්මන් කළේය.

මිතුරා නැවතත් ඇය අසලට ගමන් කරන ආකාරයද , ඉන්පසුව ඇයට යමක් පැහැදිලි කර ඇගේ බෑග් මලු දෙක ඔසවාගෙන පැමිණෙන ආකාරයද , කඳුළු පිස දමමින් මහීල්ගේ පසුපස ඈ පැමිණෙන ආකාරයද රකුසු දෑස පැති කණ්නාඩිය තුලින් බලා සිටියේය .

මෝටර් රථයට අසලට ආ මහීල් එහි පසුපස ඩිකිය හැර බෑග් මළු ද්විත්වය එය තුළට දමා පසුපස දොර විවර කරමින් ඇයට මෝටර් රථයට ගොඩ වීමට ඉඩ ලබා දුන්නේය. මඳක් පැකිළුණද තවත් කිරීමට කිසිවක් නොතිබුණු නිසාම අන්ත අසරණබාවයට පත් ව සිටි ඈ නිහඬවම මෝටර් රථය තුළට නැංගාය. 

ආඩම්බරකාරයා සෙමින් ඉදිරි කණ්නාඩිය තුළින් ඇය දෙස බැලුවේය. උදෑසන ඒ වත සරසා තිබුණු සිනහව අතුරුදහන් වී ගොසින්ය. ප්‍රබෝදමත්බව අතුරුදහන් වී ගොසින්ය . මනාවට පීරා තිබූ හිසකේ අවුල් වී ගොසින්ය. උදෑසන පිපුණු මලක් බඳුව තිබූ ඇගේ උවන මේ වනවිට පර වී ගොසින්ය. හැඬීමෙන්ම රතු වී ගොස් තිබූ මුහුණ අන්ත අප්‍රමාණ දුක් කන්දක සේයාවක් කියා පෑවේය. 

” දැන් කොහෙද නංගි යන්නේ ?” 

පළමු පැනය පුරුදු පරිදිම මහීල්ගෙන්ය. 

” මේ.. යා.. යාලුවෙක් කිව්වේ තෝර වත්ත කියලා අයියේ . කිව්ව විදිහට එතන එක කාමරයක හතර දෙනෙක් ඉන්නවා කිව්වා. තව එක්කෙනෙක්ට ඉඩ ඇති කියලා කිව්වේ. “

” තෝර වත්ත කිව්වේ මේ අටේ කණුවෙ තෝර වත්තද මිස් ?”

දයාරත්න වහා පසුපස හැරී විමතියෙන් තරුණියගෙන් ප්‍රශ්න කළේය.

” ඔව්.. මං හිතන්නේ එහේ තමයි…”

ඇය තව දුරටත් පිළිතුරු දෙමින් ඉකි ගැසුවාය .

” ඒවා නං ගෑනු ළමයෙක්ට ගිහින් ඉන්න හොඳ තැන් නෙමෙයි සර්. “

දයාරත්න සියත්‍ර දෙසත් මහීල් දෙසත් දෙදෙනාම දෙස බලා පැවසුවේය .

” අර මේ ගිය සතියේ මනුස්සයෙක්ව කපලා මරලා දාලා තිබ්බේ ඔය කියන වත්තේ නේද ?” 

මොහොතක් කල්පනා කළ මහීල් නැවතත් දයාරත්න දෙස බලා ඇසුවේය .

” ඔව් සර්. මෙහෙ ඉන්න තරං කුඩු කාරයොයි, බේබද්දොයි , ලෝක හොරුයි ඔක්කොම ඉන්නේ ඔය වත්තේ. “

” දැන් ඔය කිව්ව කාමරේ හතර දෙනෙක්ම ඉන්නවනං ඔයා ගිහින් කොහොමද ඉන්නේ ? “

මහීල් නැවතත් තරුණිය දෙසට හැරුණේය .

දයාරත්නගේ හෙළිදරව්ව හමුවේ ඇගේ හදවත එවර ශෝකයෙන් පමණක් නොව බියෙන්ද වෙළී ගොස් තිබිණි .

” ම්ම්.. මේ..  මං.. මේ දැන් හිටපු තැනත් අපි හය දෙනෙක් එක කාමරේ හිටියා අයියේ..”

” ශිට්…!” 

තරුණිය නැවත වතාවක් අතේ පොඩිව ගොස් තිබූ කුඩා ලේන්සුවෙන් බේරෙන කඳුළු පිසදා ගත් අතර මහීල් මේ වනතුරුත් නිහඬව සිටින සියත්‍ර දෙස ඉදිරිපස කණ්නාඩිය හරහා බැලුවේය .

” මහියා…”

” ඔව් මචං..”

” ශාක්‍යාගේ අප්ස්ටෙයා එකේ රූම් එකක් රෙන්ට්  අවුට් කරන්න තියනවා කිව්වා නේද ? “

” අම්මටසිරි , ඔව් මයි. හිටහං මං කෝල් එකක් ගන්න. “

” අනේ.. එපා අයියේ…” 

තරුණිය වහා ඔහු වැළැක්වූ බැවින් තිදෙනාගේම වික්ශිප්ත දෑස් ඈ වෙතට එල්ල වූයේය .

” ඒ මොකෝ ?” 

” මේකයි .. මේ.. මං .. මං හිටපු බෝඩිමට මාසේ ගාණේ ගෙවල තිබුණේ. මේ වෙලාවේ අලුත් එකකට යන්න මට මේ… මේ.. “

ඇය අත්‍යාවශ්‍යම කාරණය පැවසීමට පසුබට වූවාය .

” අර වත්තේ කාමරේට අද ගිහින් පස්සේ මොකක් හරි කරගන්න පුලුවන් කියලා යාලුවෙක් කිව්වා.. ඒකයි මේ…”

” මහියා..” 

තරුණියට තම කතාව අවසන් කිරීමට ඉඩක් නොලැබුණේය. ඔහුගේ හඬ මෝටර් රථය තුළ ගුගුරුම් දුන් අතර තරුණිය එක වරම තිගැස්සී ගියාය. 

” ශාක්‍යාට කෝල් එකක් ගනින් “

ඉදින් ඒ අණට විරුද්ධ වීමට මෝටර් රථයේ සිටි කිසිවෙකුට හෝ ශක්තියක් නොලැබුණේය. මහීල් වහා දුරකතනය අතට ගෙන ශාක්‍යා වෙත ඇමතුමක් ලබා ගත්තේය .

” ශාක්‍යා , ඔව්.. ඔයාගේ අප්ස්ටෙයා එකේ අර රූම් එක රෙන්ට් අවුට් කළාද ? හ්ම්ම්.. හා.. නෑ දන්න කෙනෙක්ට. ඔයත් දන්න කෙනෙක්ට. ඕකේ.. ඕකේ අපි එන්නංකෝ..”

එසේ පැවසූ මහීල් දුරකතනය විසන්ධි කර වහා සියත්‍ර දෙසට හැරුණේය.

” මචං , ඒ ඇනෙක්ස් එක තාම තියනවා. පොඩි හෝල් එකයි , ඕපන් කිචන් ඒරියා එකයි , බෙඩ් රූම් එකයි . most suitable  for a working girl. “

” ගාණ කීයද අයියේ ..?” 

” Fifty thousand for month “

” මගේ දෙයියනේ… ! මගේ මාසේ පඩියත් නෑ එච්චර… අනේ.. අයියේ කමක් නෑ. මාව අර කිව්ව වත්ත කිට්ටුවෙන් දාලා යන්න. මං මොකක් හරි කරගන්නං “

ඈ නැවතත් ඉකි ගසමින් හැඬුවාය. කිසිවෙකුට නොපෙනෙන්නට ආඩම්බරකාරයාගේ අත මිට මෙළවී යද්දී දයාරත්න එතැනින් එහා යා යුත්තේ කොහිදැයි නොදැනුවත්ව මෝටර් රථයේ ගමන බාල කළේය .

” ඇයි ?” 

මෝටර් රථයේ වේගය බාල වූ සැණින් ඔහු වෙත හැරුණු තරුණයා යළිත් ගිගුරුවේය.

” සර්… මේ දැන් යන්නේ කොහෙටද කියලා…?” 

” එක පාරක් කිව්වනේ ශාක්‍යාගේ ගෙදරට. එච්චරයි. “

තව දුරටත් කඳුළු වෑස්සෙන මැළි වුණු මුහුණින් ඉදිරිපස කණ්නාඩිය දෙස බැලූ තරුණිය තමා දෙස එතුළින් බලා සිටින රකුසු දෑස දැක වහා බිම බලා ගත්තාය . 

මාර්ගය දෙසට දෑස් විතැන් කරමින් පෙරමං බලා සිටි ශාක්‍යා වහා මෝටර් රථය එනු දැක ගේට්ටු පියන විවර කළාය. 

” දෙයියනේ කෙල්ලේ.. මගේ නොම්බරේ ලඟ තියනවනේ දරුවෝ . ඇයි කතා කළේ නැත්තේ. ?” 

හැඬුමෙන්ම හෙම්බත්ව සිටි තරුණියට මෝටර් රථයෙන් බසින්නට උදව් කරමින් ශාක්‍යා එසේ පැවසුවාය . 

” කලබලේට කරන්න මුකුත් මතක් උනේ නෑ අක්කා.. “

” එන්නකෝ ගෙට. “

දයාරත්න වහා මෝටර් රථයෙන් බැස ඇයගේ බෑග් මළු ද්විත්වය නිවස තුළට ගෙන ගියේය . දයාරත්න නිවසට යන මොහොත අතර මෝටර් රථයේ ඉදිරිපස වීදුරු තීරය  පහළට කළ රකුසු දෑස පිටතට එබුණේය. 

” ශාක්‍යා ..!” 

” සර්.?” 

” අප්ස්ටෙයා ඇනෙක්ස් එකේ අවුරුදු දෙකක රෙන්ට් ෆී එක මං ඔයාට ට්‍රාන්සර් කරලා ඇති “

එවර සඳැස්විගේ කඳුළු පිරි දෑස විමතියෙන් විසල් වී ඔහු වෙතට යොමු වූ අතර ශාක්‍යා හා මහීල් මුහුණට මුහුණ බලා ගත්හ.

” සර් .. ඒක නං පස්සෙ හරි මොකක් හරි කරගන්න ….”

” උඹ දැන් එනවද ?” 

ශාක්‍යාගේ කතාව මායිම් නොකළ සියත්‍රගේ දෑස එවර හැරුණේ මහීල් දෙසටය. 

” ආ.. බං. , මං තව ටිකක් ඉඳලා..”

මහීල් දෑස කරකවමින් එසේ පවසමින් ශාක්‍යා දෙස බලා ඇසක් ඉඟි මැරුවේය .

” යං…” 

බෑග් මළු නිවසින් තබා යළි පැමිණි දයාරත්න දෙස හැරුණු සියත්‍ර එසේ පවසා විවර කර තිබූ ජනෙල් වීදුරුව වසා දැමුවේය .

ඉදින් අධි සුඛෝපභෝගී මෝටර් රථය රොස්මිඩ් පෙදෙසේ කොන්ක්‍රීට් මාර්ගය දිගේ ආපසු ඉගිල්ලුණේය. 

” යමු කෙල්ල ගෙට…”

මෙතෙක් වේලා ගල් ගැසී නොපෙනී යන මෝටර් රථය දෙස බලා සිටි සඳැස්වී යළිත් වතාවක් ශාක්‍යාගේ හඬ හමුවේ තිගැස්සී ගියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here