ආදර මල්වල පාට කියන්නද? – 04

0
1

“කවීන්… තමුන්ට මං සෙල්ලම් කරන්න දීපු කාලේ ඉවරයි කිව්වා මතකයිනේ? මං උදේ වට්සැප් එකට දාපු මනමාලියන්ගේ ෆොටෝ ටික බැලුවද? කියනවා බලන්න ඕකෙන් මොන කෙල්ලටද හිත ගියේ කියලා”

කලින් ආපු කෝල් එක කට් වෙලා තත්පරයක් යන්න වුණේ නැහැ, ආච්චි අම්මා ඒ කියන්නේ වික්‍රමසිංහ පරම්පරාවේ හිට්ලර්, හේමලතා මේරි කුමාරිහාමි ආයෙත් සැරයක් කවීන්ට කෝල් එකක් ගත්තේ ඔන්න ඔය ප්‍රශ්නෙත් එක්කයි. මිනිහා බොහොම අමාරුවෙන් කෙළ උගුරක් ගිලලා, ලැප්ටොප් එක පැත්තකින් තියලා, වට්සැප් එකේ මැසේජ් ලිස්ට් එක දිග ඇරියෙ හිමිජ්ජා වගේ.

අම්මෝ එතන තිබුණේ නිකන් සිරීපාදේ වඳින්න යනවා වගේ දිගු පෝලිමක්. එක එක ජාතියේ, එක එක මෝස්තරේ කුලවන්ත, හැදියාවක් තියෙනවා කියලා ආච්චි අම්මා සර්ටිෆිකේට් දීපු මනමාලියන්ගේ ෆොටෝ දහඅටක් විතර වට්සැප් එක පුරා දිලිසි දිලිසි තිබුණා. සමහරක් කෙල්ලෝ සාරි ඇඳලා හිනාවෙලා ඉන්නවා, තවත් සමහරු ඔෆිෂියල් ලුක් එකෙන් ඉන්නවා. හැබැයි මේ එක ෆොටෝ එකක්වත් කවීන්ගේ අර නීති රීති විතරක් තියෙන මොළේ ඇතුළට එක දශමයකින්වත් වැදුණේ නැහැ.

“කෝ… මොකදගොළු වුණාද කවීන්? මං අහපු දේට උත්තරයක් නැත්තේ මොකද?” එහා පැත්තෙන් ආච්චි අම්මාගේ කටහඬ තව තවත් සැර වෙන්න ගත්තා.

ඒ වෙලාවේ කවීන්ට හිතුණේ තමන්ගේ හිත ඇතුළේ තියෙන ඇත්තම සිතුවිල්ල කුඩුපට්ටම් වෙන්නම ආච්චි අම්මාගේ මූණටම කියලා දාන්න.

යකඩ නලවන අපිට කෙල්ලෝ හුරතල් කරන්න වෙලාවක් නැහැ ආච්චි! මිනිහා හිතෙන් එහෙම කියාගත්තේ මාරම ආවේගයකින්. ඇයි ඉතින් සිරාවටම, උදේ ඉඳන් රෑ වෙනකන් කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි, බිස්නස් ඩීල්, ෆැක්ටරි අස්සේ දුවන, යකඩ වගේ ශක්තිමත් බිස්නස් අධිරාජ්‍යයක් තනි අතින් පාලනය කරන තමන් වගේ කෙනෙක්ට කොහෙන්ද කෙල්ලන්ගේ පස්සෙන් ගිහින් හුරතල් වෙවී ඉන්න වෙලාවක්? මිනිහගේ ලෝකේ ආදරේ කියන්නේ ටයිම් වේස්ට් එකක් විතරයි.

හැබැයි ඉතින් හිතෙන් එහෙම සිංහයෙක් වගේ ගොරෙව්වට, ආච්චි අම්මා ඉස්සරහා කවීන් කියන්නේ වචනයක්වත් කියාගන්න බැරිව ගොළු වෙච්ච පූස් පැටියෙක් විතරයි. මුළු ලෝකෙටම යකා වුණත්, ආච්චි අම්මා දේපළවලින් බාගයක් නැන්දගේ පුතා සජිත්ට ලියනවා කියපු තර්ජනය ඉස්සරහා කවීන්ගේ සේරම සද්ද වහලා ගියා.

“නෑ… නෑ ආච්චි අම්මා… මං මේ… ෆොටෝ ටික එකින් එක බලන ගමන්…” කවීන් තමන්ගේ ජීවිතේ පළවෙනි වතාවට ආච්චි අම්මට බොරුවක් ගොතන්න හැදුවේ බොහොම අමාරුවෙන්.

“බල බල ඉන්න වෙලාවක් නැහැ. ලබන සතිය වෙද්දී මට හරි උත්තරයක් ඕනේ. නැත්නම් මං ගන්න තීරණය ඔයා දන්නවනේ?” කියලා ආච්චි අම්මා කෝල් එක ටුක් ගාලා කට් කරලා දැම්මා. කවීන් ෆෝන් එක මේසේ උඩින් තිබ්බේ මුළු ඇඟටම හීන් දාඩිය දාලා තියෙද්දීමයි.

“මොන මල කරුමයක්ද මන්දා මේ? පරම්පරාව ගෙනියන්න ළමේක් හදන්න ඕන කියල මං කසාදයක් බඳින්නම ඕනද? යකෝ ළමයි හදන්න කසාද බඳින්නම ඕනද? කසාද නොබැඳත් ළමයි හදන්න පුළුවන් නෙ? ආච්චිට පිස්සුනෙ මේ මෙච්චර හොඳට ඉන්න මාව කසාද බන්දලා දෙන්න යන්නෙ. ආතල් කුඩුනෙ ඉතින්. අනික ඔය ගන්න ගෑනු කොයි වගේද කියල කවුද දන්නෙ? ඕකුන් එන්නෙ මේ සල්ලි බලාගෙන, අන්තිමේ සබ්බ සකල මනාවම හූරං කාගෙන යද්දි ආච්චි අම්මට තේරේවි මං කිව්ව දේ. කර්මය වයිෆ් ලෙසින්ද පැමිණිය හැක කියලා ආච්චි අම්මට කොහොමද ඉතින් තේරුං කරලා දෙන්නෙ”

ආච්චි අම්මාගේ මඟුල් තර්ජනයෙන් ඔලුව කුරුවල් වෙලා, තනිවම කියව කියවා හිටපු කවීන්ගේ කල්පනාව එකපාරටම බිඳිලා ගියේ දොරත් ඇරගෙන කාමරේ ඇතුළට ආපු ශෙහාරා හන්දා. හැබැයි මේ පාර කෙල්ල ඇතුළට ආවේ කලින් වතාවේ කවීන්ගෙන් කාපු අම්බානක බැනුම් පාර හන්දා දොර ළඟම ගැහි ගැහි, ආයෙත් සැරයක් යකාගෙන් කන පුරා රෙදි ගැලවෙන බැනුම් කෝටියක් අහන්න වෙයි කියන මහා බයකින්. කෙල්ල මූණත් අකුලාගෙන, පස්ස ගගහා ඇතුළට ආවේ හරියට මස් කඩේට දක්කන එළදෙනක් වගේ.

“සර්… අර… ඔයාව හම්බෙන්න කෙනෙක් ඇවිත් ඉන්නවා,” ශෙහාරා වචන ටික ගොත ගගහා වගේ කිව්වේ කවීන්ගේ මූණ දිහා කෙලින් බලන්නත් බයවෙලයි.

කවීන් තමන්ගේ ඇස් කණ්ණාඩිය නහය උඩට කරලා, මල පන්නගෙන රවාගෙන ශෙහාරා දෙස බැලුවා. ” මගේ ඩයරි එකේ අද කිසිම ඇපොයින්ට්මන්ට් එකක් නැහැ කියලා තමුසේ දන්නේ නැද්ද? කලින් බැන්නා මදිවටද ආයෙත් මගේ ඔලුව කන්න ආවේ? කවුද ඒ පාර?”

ලොක්කා එකපාරටම සද්දේ දාද්දී ශෙහාරා තිගැස්සිලා අඩියක් පස්සට ගියා. “ඇත්තටම සර්… මං දන්නවා… ඒත් අර… ඒ කෙල්ල යන්නෙම නෑ කියනවා. ඒ… ආකර්ෂා සෙනෙවිරත්න කියලා කෙනෙක්. සර්ව මීට් වෙලාමයි කියනවා යන්නෙ.” ශෙහාරා බයේ ගැහි ගැහි උත්තර දුන්නා.

“ආකර්ෂා? සෙනෙවිරත්න?” කවීන් තමන්ගේ මොළේ ඇතුළේ තියෙන බිස්නස් නාමාවලියම එකපාරටම පෙරළලා බැලුවා. තමන්ගේ ලෙවල් එකේ කිසිම බිස්නස් ක්ලයන්ට් කෙනෙක් හෝ පවුලේ හිතවතෙක් ඔය නමින් මිනිහගේ මතකයට ආවේ නැහැ.

“මං එහෙම කෙනෙක්ව දන්නේ නැහැ ශෙහාරා! මගේ කාලේ කියන්නේ සල්ලි. ඔය වගේ අපොයින්මන්ට්ස් නැතුව හිතිච්ච හිතිච්ච විදියට මෙතනට කඩන් පනින උදවියව හම්බෙන්න මට තඹ සතේක වෙලාවක් නැහැ. දැන්මම ඔය කියන කෙනාව එළියට යවන්න! ආයෙ මේ වගේ ගොන් වැඩක් කරලා මගෙන් බැනුම් අහන්න එන්න එපා. එන කෙනෙක්ට අපොයින්මන්ට් එකක් දාලා එන්න කියන” කවීන් සිංහයෙක් වගේ ගොරවලා, අතින් සන් කරලා ශෙහාරාව එළියට යන්න කිව්වා.

“හරි… හරි සර්… මං දැන්මම යවන්නම්,” කියලා ශෙහාරා හනිකට ආපහු හැරිලා කාමරෙන් මාරු වුණේ කවීන්ගේ අණසකට පිටින් යන්න බැරි කමටමයි. හැබැයි එහෙම ගියපු ශෙහාරා ආයෙ තප්පර ගාණකට පස්සෙ දුවගෙන දුවගෙන ආයෙ පාරක් කාමරේ ඉස්සරහා හිටගත්තම කවීන් මෙදා පාර නම් ඔලුව උස්සලා බැලුවෙ දවසෙ දෙවනි පාරටත් ශෙහාරා එක්ක මල පන්නගෙන.

“ඇයි ඒ පාර මොකද?”

“සර් ඒ ගර්ල් සර්ව මීට් වෙලාමයි කියනවා යන්නෙ. යන්නෙම නෑ මං කිව්වට”

කවීන්ට දැන් උපරිමයටම මල පැනලයි තිබුණේ. මිනිහා පුටුවෙන් කෙලින්ම නැගිට්ටේ පුදුම තරම් තරහෙන්.

“තමුසෙට මං කියපු දේ තේරුණේ නැද්ද ශෙහාරා? මං දැන් සැරයක් කිව්වා නේද ඔය වගෙ අහසෙන් කඩා පාත් වෙච්ච උන්ව භාරගන්න මේක අම්බලමක් නෙවෙයි මේක වික්‍රමසිංහ හෝල්ඩින්ස් මදර් බ්‍රාන්ච් එක. ඔය කියන ගර්ල් ඔතන ඉඳන් ශෝ එකක් දාන්න කලින් දැන්මම සෙකියුරිටි දාලා එළියට ඇදලා දානවා” කවීන් මේසෙට අතින් ගහන ගමන් කෑගැසුවා.

“අනේ සර් එයා සෙකියුරිටිටවත් බය නැහැ. පොලිසි යනවා කියනවා. මට බෑ සර් ඕවාට අහුවෙන්න” ශෙහාරා අඬන්න ඔන්න මෙන්න වගේ කිව්වා.

කවීන් දත්කූරු කමින් තමන්ගේ ටයි පටිය තද කරා. “හරි ඔච්චරටම මාව හම්බෙන්නම ඕන කියන පණිවිඩේ මොකක්ද කියලා දැන්මම ගිහින් අහගෙන එනවකො.  හැබැයි එකක් මතක තියාගන්නවා, තමුසේ ආයෙත් මෙතනට එන්න ඕනේ ඒකිගේ කටින් කියන හේතුව අහගෙන විතරයි. ඒ වගේම ඒ හේතුව මොකක් උනත් ඒ මනුස්සයට කියනවා මාව් අහම්බෙන්න අපොයින්මන්ට් එකක් දාලා එන්න කියලා හෙට” කවීන් ඇඟිල්ල දික් කරලා නියෝග කරද්දී, ශෙහාරා පන බයෙන්න ආයෙමත් හැරිලා දුවන්න ගත්තා.

තප්පර ගානකට පස්සෙ ශෙහාරා ආයේ ආවෙ ඇස් දෙක නළලෙ තියාගෙන.

“ඇයි ඒ පාර මොකද?”

“අපොයිමන්ට් දදා හිටියොත් බබා හම්බෙයි කිව්වා සර්”

“මොකා? ඒ කිව්වේ?”

“ප්‍රෙග්නන්ට් ලු”

“කවුද?”

“ඒ ගර්ල්”

“ඉතින් මෙහෙ ඇවිත් තියෙන්නෙ මොකද? මේක ඉස්පිරිතාලයක් කියලා හිතලද?”

“නෑ සර්”

“එහෙනම්?”

“බබාගෙ තාත්තා හම්බෙන්න ඇවිත් තියෙන්නෙ”

“කවුද තාත්තා?”

“සර් කියලා තමයි කියන්නෙ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here