ඔලියැන්ඩර් – 09

0
0
oleander Flower

රන්දෙණිගල පෞද්ගලික සමාගමෙහි එහි ප්‍රධාන කාර්‍යාලයේ ප්‍රධාන නිල කාමරයේ සුව පහසු කාර්‍යාලීය අසුනට බර වූ සියත්‍ර රන්දෙණිගල තමා ඉදිරියේ හිඳ සිටින තම මවත් , ඇගේ සහායිකාවත් තමා වෙත ලබා දුන් යෝජනාව අඩංගු ලිපි ගොනුව පරීක්ෂා කරමින් සිටියේය. 

” මේ ප්‍රපෝසල් එක හැදුවේ කවුද ?” 

බොහෝ වේලාවකට පසුව ලිපි ගොනුවෙන් දෑස ඉවතට නොගෙනම ඔහු ගොරෝසු හඬින් ප්‍රශ්න කළේය . ඔහුගේ හඬට තිගැස්සුණු යුවතිය වහා උත්පලා දෙස බැලුවේ තමා අතින් යම්කිසි අඩුපාඩුවක් වූවාදැයි සැක හැර දැන ගැනීමටය. නමුත් කිසිවකට බිය නොවන ලෙස දෑසින් ඇයට සන් කළ උත්පලා නැවත තම පුත්‍රයා දෙසට හැරුණාය . 

” සඳැස්වි..”

ඉදින් ඔහුගෙන් ඉන්පසු පිළිතුරක් නොලැබුණේය. ප්‍රතිචාරය අයහපත් නම් එය සඟවා නොඟෙන විගසින් මුදා හරින බවත් , ප්‍රතිචාරය යහපත් නම් බොහෝ දුරට ඔහු මුනිවත රකින බවත් අත්දැකීමෙන් දත් මව පුත්‍රයාගේ නිහඬබව පිළිබඳව යටි සිතින් සතුටු වූ අතර මේ කිසිවක් නොදන්නා තරුණිය හිඳි තැනම හිඳිමින් බිය වැදී උන්නාය . 

තවත් යමක් කීමට මුව විවර කළද නාද වූ ජංගම දුරකතනය නිසාවෙන් උත්පලා හට එය පැවසීමට බාධා ඇති විය. 

” එක්ස්කියුස් මී “

ඈ වහා හිඳ උන් අසුනෙන් නැඟිට දුරකතනයට පිළිතුරු දීමට ප්‍රධාන කාර්‍යාලයේ වීදුරු ද්වාරයෙන් පිටතට ගියාය.

තමා ඉදිරියේ සුවපහසු කාර්‍යාල අසුනට බරව හිඳිනා හැඩිදැඩි තරුණයා හට පෙර දිනක තමා වෙනුවෙන් ඉටු කළ උපකාරය වෙනුවෙන් තුති පිදීමට කුඩා යුවතියට අවශ්‍යව තිබුණාය. දින දෙක තුනක්ම ඒ සඳහා අවස්ථාවක් ලබා ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. ශාක්‍යා පැවසූ අන්දමට තමාට ශාක්‍යාගේ කුලී නිවස බාර දීමට ඔහුගේ මැදිහත් වීම තමාත් , ශාක්‍යාත් , මහීලුත් පමණක් දැනගැනීම ප්‍රමාණවත් බව ඔහු පවසා තිබුණේය. ඉදින් ඒ පිළිබඳව වෙන කිසිවෙකුත් නොදන්නේය. ඒ නිසාම ඔහු හමුවිය යුත්තේ පෞද්ගලිකවය. එසේ නම් මෙය තමා අපේක්ෂා කළ හොඳම වේලාවයි. නමුත් අහේතුකව ඇගේ හදවත ගැහෙමින් තිබුණේය. එක දිගට එක වර දවුල් බෙර සියයක් සවන අසල නද දෙන අන්දමට සිත කලබලය. එක දිගට එක වර මෝටර් රථ සියයක් සවන අසල නළා හඬ නංවන තරමට සිත කලබලය. වේගයෙන් ගැහෙන හදවතෙහි ස්පන්දනය පිටතට ඇසෙන තරමට සිත කලබලය.  ඉතා කඩවසම් යහපත් පෙනුමකින් සිටින මොහු ඇතුළාන්තයෙන් දරුණු රකුසෙක් හා සමානය . ඉදින් තමා වැන්නියකගේ තුති පිදීමක් ඔහු කෙසේ මායිම් කරයිදෝ ඈට සැක සහිතය.

” මූණ දිහා බලන් ඉන්නේ මූණේ පෙරහැරක් යනවද ? ” 

එක දශමයකට හෝ ලිපි ගොනුවෙන් දෑස ඉවතට නොගත් ඔහු ගොරහැඬි කටහඬින් ඈ දෙසට එකදු බැල්මක් හෝ නොහෙළා එක වරම එසේ ඇසුවේය. ඔහුගේ ගෝරනාඩුවෙන් තිගැස්සී ගිය යුවතිය විසල් කරගත් දෑසින් ඔහු දෙස බලා බියෙන් බියෙන් වචන ඇහිළුවාය .

” නෑ.. සර්.. මං .. මං .. මේ…”

” තෑන්ක්ස් කරන්න අවශ්‍ය නෑ , ඒක සුළු දෙයක් “

එවර ඔහු පැවසූ දේ ඇසුණු යුවතියගේ දෑස පමණක් නොව මුවද විසල් වී විවර වූවේය. 

” දන්න කියන අය කියන්නේ සර්ට පිටිපස්සටත් ඇස් කන් තියනව කියලා. ඒ නිසා පරිස්සමින් “

එක් වරම පෙර දිනක ශාක්‍යා පැවසූ යමක් මතකයට නැඟී ඇගේ හදවත තවත් බියෙන් පෙළෙන්නට පටන් ගත්තේය .

” වැඩිපුර අහනවා , දකිනවා විතරක් නෙමෙයි මේ මනුස්සයට අනුන්ගේ හිතුත් කියවන්න පුලුවන්ද ? “

සඳැස්වි තමාගෙන්ම එසේ අසමින් වහා හිස බිමට බර කර ගත්තාය .

” සොරි..! ” 

උත්පලා දුරකතන ඇමතුම හමාර කර විත් යළි පැමිණ තම අසුනෙන් හිඳ ගත්තාය . 

” ප්‍රපෝසල් එක නම් හොඳයි. ම්ම්ම්.. අපි ඩීල් එකකට එමු. “

ලිපි ගොනුව වසා දැමූ ඔහු පළමු වරට ලිපි ගොනුවෙන් දෑස ඔසවා තම මව දෙස බැලුවේය. 

” ගුඩ්…!” 

” I can rent out the showroom for about 12 lakhs per month. “

උත්පලා දෑස විසල් කරමින් පුත්‍රයා දෙස බලා නැවතත් හැරී සඳැස්වි දෙස බැලුවාය. තමාට ඇසුණේ හරි වටිනාකමද යන්න ප්‍රශ්න සහගතව ඇයද විමතියෙන් උත්පලා දෙස බැලුවාය. 

” What? Are you kidding me? That’s so unfair, isn’t it? “

උත්පලා බෙරි කරගත් උවනින් යළිත් වරක් සඳැස්වි දෙස බැලුවාය. 

” අම්මා මෙතනට එන්න ඇත්තේ තවත් තැන් බලලා වෙන්නැතිනේ ? මේ වගේ ස්පේස් එකක් තියන තැනක් මෙහෙන් මීට අඩු ගාණකට හොයාගන්න පුලුවන් උනාද ? “

ඔහු සුවපහසු අසුනේ පසුපසට බර වී එසේ ඇසුවේය .

” ඒත්.. අනේ මං ඔයාගේ අම්මනේ..?” 

උත්පලා නැවතත් බෙරි වූ කටහඬින් පැවසුවාය. 

” But this is a business deal, අම්මා ?” 

” excuse me sir ..!” 

තව දුරටත් නිහඬ වී සිටීම උචිත නොවුණු බව හැඟුණු සඳැස්වි ආයාසයෙන් කතා කිරීමට පටන් ගත්තාය. 

” ඔය ප්‍රපෝසල් එකේ රස විමනට විතරක් නෙමෙයි RD foods වලටත් ලැබෙන බෙනිෆිට්ස් ගොඩක් ගැන මං සඳහන් කරලා තියනවා. මේක RD foods මිනිස්සු අතරට ගෙනියන්න තවත් හොඳ චාන්ස් එකක්. මං හිතන්නෑ දැනට ෂෝ රූම් එකේ සාම්පල්ස් තිබුණා උනාට ඒවා එකක්වත් එතන විකිණෙනවා කියලා.? අපිට රස විමන හරහා RD foods සේල්ස් කරන්නත් ඉඩක් හදාගන්න පුලුවන් එතනම. “

කාර්‍යාල කාමරයට ආ මොහොතේ පටන් ඉවත බලා සිටි රකුසු දෑස එවර එක එල්ලේ ඈ දෙසට යොමු වූයේය. 

“අකුරු කියවන්න දන්නෑ කියලා හිතුවද ? ඒ ඔක්කොම බලලා තමයි මෙහෙම ඔෆර් එකක් දෙන්නේ. “

පෑරී ගිය සිතින් යුතුව ඈ  නැවතත් දෑස බිමට බර කර ගත්තාය. 

” ඒ උනාට මේක ටූ මච් පුතා. මට එච්චර ගාණක් අමාරුයි. “

උත්පලා ඇත්ත ඇති සැටියෙන්ම පුත්‍රයා හා පවසා සිටියාය. 

” ඕකේ.. එහෙනම් මං ඔයාලට ප්‍රපෝසල් එකක් කරන්නද ?” 

” ශුවර්…!” 

” මට Fifty percent ශෙයාස් ඕනේ. එතකොට මේ කියලා තියනවා වගේම RD foods රස විමනෙන් මාකට් වෙන්නත් ඕනේ. “

උත්පලාගේ මුවඟ හසරැල්ලක් ඇඳී ගියාය . ඈ වහා මේසය මතට තට්ටුවක් දමමින් හිඳ සිටි පුටුවෙන් මඳක් ඉදිරියට ආවාය. 

” අප්පගෙම පුතානේ , කොහෙන් හරි කමක් නෑ තමන්ට වාසියක් ලැබෙනවනං එච්චරයි “

මවගේ කතාවට මඳක් සිනාසුණු ඔහු සෙමින් එක් අතකින් තම නිකට පිරිමැද්දේය. 

” ආසාවට පටන් ගත්තා උනාට මේ හැමදේම කවදාහරි දවසක ඔයාටයි , අක්කටයි කියන එක තේරුම් ගන්න බැරුවද මේ තව ශෙයාස් ඉල්ලන්නේ ? “

” අම්මෝ.. ඒවා නම් කොහොමටවත් ශුවර් කරන්න බැරි කතා.. “

ඔහු මඳක් සිනහ වී එසේ පැවසුවද උත්පලා දෑස සිහින් කොට ඔහුට එරෙව්වාය .

” ඔව් මට ඉන්නවානේ දෙන්න වෙන…. , කියන්නෑ මං ඉතිං “

ඈ යළි හිඳ උන් පුටුවෙන් ඉදිරියට ආවාය. 

” මේක ඉක්මන්ට වෙන්න ඕනේ පුතා. හැමදාම කස්ටමර්ස්ලා සෑහෙන්න ගාණක් ඉඩ නැතිව ආපහු හැරිලා යනවා. “

” මීෂාට කතා කරලා වැඩේ බාර දෙන්න අම්මා. ඕන කරන විදිහ ඔක්කොම කිව්වම ඉක්මන්ට වැඩේ කරලා දෙයි “

උත්පලා හිඳ උන් අසුනෙන් නැඟිට වහා පුත්‍රයා අසලට ගොස් ඔහුගේ හිස තදින් සිප ගත්තාය .

” මං දැනගත්තා ඔයා මට බෑ කියන්නේ නෑ කියලා “

” ආ.. ඒ උනාට කමක් නෑ මගේ ශෙයාස් ගැන මට ඉක්මන්ට ඇග්‍රිමන්ට් එකක එවන්න. “

” අපි යං සඳැස්වි. “

මුව ඇද කර පුත්‍රයා දෙස  බැලූ උත්පලා සිනාමුසු මුහුණින් යළි සඳැස්වි දෙසට හැරුණාය. 

” අම්මා..!” 

” ම්ම් ? ” 

” මෙච්චර කාලයක් නැතුව එක පාරටම ෂෝ රූම් එක ගැන අයිඩියා එක ආවේ කොහොමද ?” 

” ඒක මගේ අයිඩියා එකක් නෙමෙයි. ඒක තනිකරම සඳැස්විගේ අයිඩියා එකක් “

මුව කොනින් සිනහවක් නැඟුවා විනා ඔහු දෑස ඔසවා හෝ ඈ දෙසට බැල්මක් යොමු නොකළේය . 

උත්පලාගේ පසුපස වැටී රොබෝවරියක් සේ ප්‍රධාන කාර්‍යලයෙන් පිටතට ආ සඳැස්වි කාර්‍යලයෙන් පිටතට ආ ශාක්‍යා දැක වහා නැවතුණාය. 

” මොකෝ උනේ ? “

” වැඩේ හරි. හැබැයි සර්ට Fifty percent ශෙයාස් ඕනේ කිව්වා. “

” ඔය මනුස්සයා ඔහොම්මමයි . බිස්නස් නං අම්මා තාත්තා එක්කත් බිස්නස්ම තමා. කොහොමහරි කමක් නෑ වැඩේ කෙරුණානං එච්චරයි” 

සඳැස්වි පුරුදු ලෙංගතු සිනහවක් පා ශාක්‍යාගේ දෑත අල්ලා ගත්තාය .

” තව ටික දවසකින් අපි දෙන්නටම එකම තැන වැඩ කරන්න පුලුවන් “

” මයි congratulations කෙල්ල. ඔයාට ගොඩාක් හොඳ අයිඩියාස් තියනවා. ඔයා ගොඩාක් දක්ශයි.  බය වෙන්නෙපා කවදමහරි දවසක ඔයා අපි හැමෝටම වඩා ලොකු තැනකට යනවා. “

ශාක්‍යා සැඳැස්විගේ අත උඩින් තම අතක් තබා එසේ පවසා සිටියාය. 

ප්‍රධාන කාර්‍යාලයේ කාර්‍යාල මේසය මත තිබූ ලැප් ටොප් පරිගණකයේ තීරයෙන් ආරක්ෂක කැමරා දර්ශන තුළින් රකුසු දෑසක් එක දිගට සිනහ වෙන කුඩා යුවතිය දෙස ඇසිපිය නොගසා බලා සිටියේය . 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here