ආදර මල්වල පාට කියන්නද? – 06

0
1

“පුළුවන් දෙයක් කරනවා?”

කවීන් තමන්ගේ ටයි පටිය බුරුල් කරන ගමන්, හති දාලා, මූණටම නැවීගෙන දුන්න ඒ ටෝක් එකට කෙල්ල නෙවෙයි පොඩ්ඩක්වත් ගැස්සුණේ. අනික ඉතින් එහෙම ගැස්සෙන්න මොකෝ මේක මේ කවීන්ට ගියපු රටනෙ. කෙල්ලගේ මොළේ අස්සේ එකපාරටම ප්ලේ වුණේ “නටන්න නම් නයි ඕනේ, ගේමට නම් අපි ඕනේ” ජාතියේ ටෝක් එකක්.

“පුළුවන් දේවල් තමයි අපි කරන්නෙ. ඔහේ නේ මේ බැරි මගුල් කරන්න යන්නෙ”

කෙල්ල කිසිම බයක් නැතුව තමන්ගේ පින්සල්, තීන්ත බෝතල් පුරවපු බෑග් එක කවීන්ගේ පර්ෆෙක්ට්, දිලිසෙන මැහෝගනී මේසේ උඩට ඩෝං ගාලා අතහැරියේ ලොක්කා පිළිවෙළට හදලා තිබ්බ ෆයිල් එහෙම හතර වටේ විසිවෙලා යන්නත් එක්කම.

“ෂා මරු ටෝක් එක මිස්ටර් කවීන් ආදිත්‍ය වික්‍රමසිංහ. ඔහේ හිතුවද මං අඬාගෙන, කඳුළු පෙරාගෙන ඔහේගේ කකුල් දෙක ළඟ වැටිලා අනේ බුදු සර් අපේ මහගෙදර බේරලා දෙන්න කියලා හොටු පෙරාගෙන අඬාවි කියලා?

නෑ ඒක නම් ඔහේ හීනෙන්වත් වෙයි කියලා හිතන්න එපා.

 සිංහයා බඩගින්නේ හිටියත් තණකොළ කන්නෙ නෑ කියන්න වගේ, මේ ආකර්ෂා කාගෙවත් ඉස්සරහා මෙච්චර කාලෙකට දණ ගහපු කෙල්ලෙක් නෙවෙයි. ඔහේ සල්ලි බලෙන් මුළු ලෝකෙම සල්ලිවලට ගන්න පුළුවන් කියලා හිතන් හිටියට, සල්ලිවලට ගන්න බැරි, ලේසි නැති මිනිස්සු තාම මේ ලෝකේ ඉන්නවා කියලා මං ඔහේට ඔප්පු කරලා පෙන්නංනකො මෙදා පාර”

කෙල්ල අඩියක් ඉස්සරහට තියලා, මේසේ උඩට අත් දෙකම තද කරලා, කවීන්ගේ මූණටම එබුණේ නිකන් “වැඩිය දැඟලුවොත් රෝද හතරම ගලවනවා ඇණ මුරිච්චි එක්කම හොඳේ” වගේ ලුක් එකක් දාගෙන.

“ඔහේලා වගේ සල්ලිකාරයෝ හිතන් ඉන්නේ සල්ලි තියෙනවා නම් නීතියයි, මිනිස්සුන්ගේ හෘද සාක්ෂියයි දෙකම සින්නක්කරයටම ලියාගන්න පුළුවන් කියලා නේද. හැබැයි මතක තියාගන්න, වැටත් බිඳගෙන මී හරක් පැන්නා වගේ හැසිරෙන්න එපා. අපේ තාත්තව අයි සී යූ එකේ ඇඳක් උඩට ඇදලා දාලා ඔහේලා ලබන ඔය සන්තෝසෙ, වැඩි කල් තියෙන්නේ නෑ. බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ වගේ, ඔහේගේ ඔය හිස් තර්ජන වලට මං බය වෙන්නේත් නෑ. මං මොකක්ද කරන්නේ කියලා ඔහේ බලන් ඉන්නවකෝ”

කවීන් උන්නේ මාරම විදිහට අප්සෙට් ගිහින්. හැමදාම තමන් ඉස්සරහා ෆයිල් කෑලි බදාගෙන බයෙන් ගැහි ගැහී ඉන්න ලෝයර්ලා, කම්පැණිකාරයෝ දැකලා පුරුදු මිනිහට, මේ අඩි පහක්වත් නැති, කොණ්ඩේ බූවල්ලෙක් වගේ උඩට කරලා බැඳගත්ත, ටීෂර්ට් එකේ තැනින් තැන පාට ගෑවිච්ච කෙල්ලගේ මේ ලෝකල් මැර ටෝක් එක මාරම විදිහේ ශොක් එකක් වුණා. වෙන එකෙක් වුණා නම් මෙලහකටත් සිකියුරිටි ලවා බෙල්ලෙන් අල්ලලා එළියට ඇදලා දාලා, හැබැයි කවීන්ට මේ අඩි පහේ කුණාටුව ඉස්සරහා එකපාරටම කිසිම දෙයක් කරකියාගන්න බැරි වෙච්ච එක නිකන් තමන්ගෙ පිරිමිකමට පොඩි පහේ නින්දාවක් වෙච්ච එක නම් ඇත්ත කතාවක්.

 හැඩ වුණාට මදි වැඩ තියෙන්න ඕනේ කියලා හිතෙන ජාතියේ ගැම්මක් කෙල්ලගේ ඇස් අස්සේ දිලිසි දිලිසි තියෙද්දි ඒ දිලිහිල්ල මග ඇරල යන්න බැරි විදියෙ මොකක් හරි ෆීලින් එකක් තමන්ගෙ හිත අස්සෙ පත්තුවෙන විත්තිය කවීන්ට නොතේරුනා නෙවෙයි.

“තමුසෙ… තමුසෙ මගේ ඔෆිස් එකෙන් දැන්මම යනවා! නැත්නම් මං සිකියුරිටි එකට කියලා තමුසෙව කුදලාගෙන එළියට ඇදලා දානවා” කවීන් කිව්වෙ ලැජ්ජාව වහගන්න දෙයක් කියාගන්න හිතාගන්න බැරිම වෙච්ච තැන. ඇයි හත්තිලව්වේ තමන්ගෙම ඔෆිස් එක අස්සේ මෙහෙම මේ ගෑනියෙක්ගෙන් නවනිංගිරා කතන්දර අහගන්නෝන ජාතියේ මනුස්සයෙක්ද තමන් කියන්නෙ? අනික මේ තමන් කරපු මොන වැරැද්දකටද මෙහෙම මේ කතන්දර අහන්නෙ?. සිකියුරිටි කිව්ව ගමන් කෙල්ල බයවෙලා හැරිලා දුවයි කියලා තමයි කවීන් හිතුවෙ.

“සිකියුරිටි? එන්න කියන්නකො බලන්න ඔහේගෙ මහ ලොකු සිකියුරිටිට” ආකර්ෂා කට කොනින් හිනාවෙලා, ඉණට අත් දෙකම තියාගෙන.

“උන්දැටත් මං කියලා දෙන්නංකො මහ ලොකු ලොක්කගෙ කෙරුවාව. ගේම නම් ගේම. කාමරේ නම් කාමරේ මහත්තයො. මෙතන මේ අහිංසක මිනිස්සුන්ට තරු පෙන්නලා ඉහළ යන්න නේද හදන්නෙ? හැබැටම ලැජ්ජ නැද්ද?”

කෙල්ල ඇස් දෙකත් නටව නටවා, කිසිම බයක් නැතුව ඒක කියද්දී කවීන්ගේ ඇස් දෙක උඩ ඉඳන් පල්ලෙහට කරකැවිලා ගියා. මෙයාකාර රස්තියාදුකාර කෙල්ලෙක් කවීන්ට උපන්තේකට ජීවිතේට හම්බෙලා තිබ්බෙම නෑ. මිනිහට එකපාරටම තරු පෙනුණා වගේ උනේ අන්න ඒ හන්දමයි. මුළු ඔෆිස් එකේම ඉන්න උන්ට මේක ඇහුණොත් හෙට ඉඳන් තමන්ට පාරේ බැහැලා යන්න වෙන්නේ නැති විත්තිය කවීන්ට මීටර් වුණේ අන්න ඒ අස්සෙ.

“ඔය බොරු කතන්දර කියලා බ්ලැක්මේල් කරලා මාව බය කරන්න පුලුවන් කියලද හිතාගෙන ඉන්නෙ?  හලෝ මේ මං කවුද කියලා තමුන් දන්නෙ නෑ හරිද?” කවීන් තමන්ගේ ඩෙස්ක් එකට අතින් ගහන ගමන් කිව්වත්, මිනිහා ඇතුළෙන් අන්දුන්කුන්දුන් වෙලා උන්නේ.

“හරි නෑ වැරදි. අපෝ මං දන්නවා තමුන් කවුද කියලා. අහිංසක මිනිස්සුන්ගෙ අන්තිම සතේට වෙනකම් හූරං කාලා, ඒ මිනිස්සුන්ව ඒ මිනිස්සු ඉන්න හිටින තැන්වලින් එළියට ඇදලා දාලා නැති බංගස්තාන කරන ධනපති පංතියේ හිතක් පපුවක් නැති මහ කට්ට කයිරාටික වෙට්ට පිත්තල අමනයෙක්”

ආකර්ශා එහෙම කියද්දි කොච්චර තරහා ගියත් ඒ හැමදේටම වඩා කවීන්ගේ හිත ඇතුළේ වෙනදා නැති අමුතුම කුතුහලයක් වගේම, අමාරුවෙන් පාලනය කරගන්න හදපු හිනාවකුත් මතු වුණා. හැමදාම තමන් ඉස්සරහා ෆයිල් බදාගෙන බයෙන් ගැහි ගැහී, සර් සර් ගාන මිනිස්සු දැකලා එපා වෙලා හිටපු, හැඟීම් නැති රොබෝ කෙනෙක් වගේ ජීවත් වුණ කවීන්ගේ හිතේ, මේ පුංචි කුණාටුව හන්දා අමුතුම විදියකට ගැහෙන්න පටන් අරගෙන තිබුණා.

“ධනපති පංතියේ හිතක් පපුවක් නැති මහ කට්ට කයිරාටික වෙට්ට පිත්තල අමනයෙක්!”

කෙල්ලගෙ කටින් පිටවුණු ඒ අන්තිම ටෝක් එකත් එක්ක කවීන්ට හිතුණේ තමන්ගේ කන් අඩි දෙකම එකපාර කුඩු වුණාදෝ කියලා. ඒ වගේ අමුතු, ඒ වගේම පට්ට සැර වචන සෙට් එකක් තමන්ගේ ජීවිත කාලෙටම මනුස්සයෙක් තමන්ගේ මූණටම කියනවා අහලා තියෙනවා තබා, හීනෙකින්වත් හිතලා තිබ්බේ නෑ මේ කොළඹ හතේ හයි ක්ලාස් කවීන් ආදිත්‍ය වික්‍රමසිංහ.

ආකර්ශා තමන්ගේ මේසේ උඩ ඩෝං ගාලා අතෑරපු බෑග් එක ආපහු එක පාරින්ම අතට අරගෙන කරට දාගත්තා. හැබැයි කෙල්ල එතනින් නැවතුණේ නෑ. යන්න කලින් දෙන ෂොට් එක පට්ට සැරටම දෙන්න ඕනෙ කියලා හිතාගෙන, කෙල්ල ආපහු සැරයක් කවීන්ගේ මූණටම තමන්ගේ දබරැඟිල්ල දික් කරලා, ඇස් දෙකත් ලොකු කරලා සිංහ ධේනුවක් වගේ ගොරවන්න ගත්තා.

“ඔන්න ඔහේ හොඳට මතක තියාගන්නවා මිස්ටර් කවීන්! තව සති දෙකක්… සති දෙකක් වගේ පුංචි කාලයක් ඇතුළත ඔහේගේ ඔය මහ ලොකු සල්ලි කන්දරාවටයි, පල් හොරු ලව්වා හදාගත්ත බොරු ඩොකියුමන්ට් බේගල් ටිකයි ආපහු රිටර්න් කරගත්තෙ නැත්තං මං ආපහු එනවා. තනියෙන් නෙවෙයි කොහෙන් හරි හොයාගත්ත ළමේකුත් අරගෙන.  බලාගමු එහෙනම් කවුද ඇත්තටම දිනන්නේ, කවුද පරදින්නේ කියලා.

මිනිස්සු ගැන දන්නෙ මෙච්චරයි උන් තැනට අදාලව රඟපානව එච්චරයි හරිද? හැබැයි ඔයාට රඟන්න වෙලා තිබ්බට අපිට බලන්න වෙලාව නෑ හරිද සර්?”

චැලෙන්ජ් එක දීපු පාර, කෙල්ල ආපහු හැරිලා බලන්නෙවත් නැතුව, කරකැවිලා යන්න ගියේ හරියට මුළු ඔෆිස් එකම දෙදරුම් කවලා, හිතාගන්න බැරි වෙලාවක කඩන් වැදිච්ච කතිරිනා කුණාටුව වගේ. යන්න ගිය වේගෙට ඔෆිස් කාමරේ වීදුරු දොරත් ඩෝං ගාලා වැහෙද්දී, කාමරේ ඇතුළේ තිබ්බ ඒ සී හුළං පවා එකපාරටම නතර වුණා වගේ ලොකු පාළුවක්, නිශ්ශබ්දතාවයක් ඔෆිස් එක ඇතුලෙ පිරුණා.

කෙල්ල යන්නම ගියාට පස්සේ, කවීන් තමන්ගේ ඔෆිස් චෙයා එකට බර වුණේ හරියට අවුරුදු ගාණක් තිස්සේ කරපු මහා ලොකු යුද්ධෙකින් පැරදිලා ආපු හෙම්බත් වෙච්ච සෙබළෙක් වගේ. මිනිහා තමන්ගේ බෙල්ල හිර කරගෙන හිටපු ටයි පටිය තවත් බුරුල් කරලා, ෂර්ට් එකේ උඩම බොත්තම් දෙකත් ගලවලා දැම්මේ ඇඟ ඇතුළෙන් ආපු අමුතුම රස්නෙ පාලනය කරගන්න බැරුව.

අන්න එවෙලෙ තමයි හතර වටේම විසිවෙලා තිබ්බ ෆයිල් කෑලි අස්සෙන් එකපාරටම එතන වැටිලා තිබ්බ පුංචිම පුංචි දෙයක් ළඟට මිනිහගේ ඇහැ ගියේ . ආකර්ෂා අර රණ්ඩුව අස්සේ තමන්ගේ බෑග් එක මේසෙට ගහද්දී, දන්නෙම නැතුව බෑග් එකෙන් පින්සලක් මේසෙ උඩ වැටිලා තිබ්බා කියලා කවීන් දැක්කෙ එවෙලෙ.

මිනිහා ඒ පින්සල හෙමින් සැරේ අතට ගත්තා. ඒකේ මිටේ තැනින් තැන නිල් පාටයි, රතු පාටයි තීන්ත වේලිලා තිබුණා කියලා කවීන් දැක්කෙ එතකොට.

කවීන් ඒ පින්සල දිහා බලන් ඉද්දී, මිනිහගේ ඒ හැඟීම් නැති රොබෝ මූණට කවීන්ටත් නොදැනිම මාරම අමුතු, ඒ වගේම ලස්සන හිනාවක් එක්කහු වුණා.

“මාර කෙල්ලෙක් තමයි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here