” ප්‍රජෙක්ට්ස් ෆයිල්ස් ටික ඇවිල්ලා නැත්තන් ගෙන්නගන්න දිසානායක. අද දවස ඇතුළත ඒ ඔක්කොම මගේ ටේබල් එක උඩ තියෙන්න ඕනේ. ගන්කන්දට කියන්න තැප්‍රොබේන් එකේ මීටින් එක ඇරේන්ජ් කරලා ඒක මිස් ශාක්‍යාට දැනුම් දෙන්න කියලා “
ජංගම දුරකතනය පසෙක තැබූ ඔහු උදෑසන වාහන තදබදය හමුවේ තම මෝටර් රථය පසු කරගෙන පැමිණි රුවක් දැක නැවතත් පැති කණ්නාඩියෙන් ඒ දෙස බැලුවේය . ඉදින් ඒ ඇයය. ඇය දුටු වහා මුව මත පැතිර ගිය ළා හසරැල්ල රියදුරු දයාරත්න හට නොපෙනෙන්ට සඟවා ගත් ඔහු වාහන තද බදය නිසා නවතා තිබූ මෝටර් රථයේ පැති කණ්නාඩියෙන් නැවතත් ඈ දෙස බැලුවේය. නමුත් එවර ඈ පසුපසින් දිව ආ තරුණයෙක් වහා ඇගේ අතින් අල්ලා ඈ නතර කර ගත් ආකාරය දුටු ඊර්ෂ්‍යාකාරයාගේ දෑත මිට මෙළවී ගියේය.
” දයාරත්න…! “
” සර්..?”
” එන්න කියනවා , අපි එක්ක යන්න පුලුවන් කියලා “
කිසිත් නොදන්නා දයාරත්න වික්ශිප්තව පසුපස බැලූ අතර තරුණයෙකු හා සිනහවෙන් කතා කරමින් උන් ඈ දැක මුව මත මඳ සිනහවක් නංවා ළමින් මෝටර් රථයෙන් බිමට බැස්සේය. ඉන් අනතුරුව ඔහු තරුණිය වෙත ගොස් කුමක් හෝ පවසන ආකාරයත් , ඈ සමඟ යළි මෝටර් රථය කරා පැමිණෙන ආකාරයත් පැති කණ්නාඩිය තුළින් රකුසු දෑස බලා සිටියේය .
” ගුඩ් මෝනින් සර්.. ! “
මන්ද ස්වරයෙන් එසේ මිමිණු ඈ පසුපස අසුනට ගොඩ වී ප්‍රති පිළිතුරක් නුදුන් ඉදිරිපස අසුනේ සිටි තරුණයා දෙස යන්තමින් බලා හිස බිමට බර කර ගත්තාය.
වාහන තදබදය මඳක් අඩු වූ සැණින් දයාරත්න වහා වේගයෙන් මෝටර් රථය ධාවනය කරමින් සිටියේය .
” කවුද ඒ බෝයිෆ්‍රෙන්ඩ් ද ?”
යුවතිය ගොරහැඬි ස්වරයෙන් නැඟුණු පැනය හමුවේ තිගැස්සී ගියාය.
” න්.. නෑ.. සර්.. කැම්පස් එකේ යාලුවෙක්. “
” කවුරු උනත් කමක් නෑ , රස විමනේ යුනිෆෝම් එක ඇඳගෙන පාරවල් ගාණේ ඔහොම නටන්න ලැජ්ජ නැද්ද ? “
තිගැස්සුණු දෑසින් කඳුළු බිඳුවක් වැටුණු අතර දයාරත්නද ඉදිරිපස කණ්නාඩියෙන් ඈ දෙස බලා වහා ඉවත බලා ගත්තේය . ඉදින් යුවතියට දැනුණු ලැජ්ජාව අසීමාන්තිකය.
” මං.. මං ඒ ළමයා එක්ක පාරේ කතා කර කර ආවා විතරයි සර්. “
ඈ වෙව්ල වෙව්ල වුවද පිළිතුරු බැන්ඳාය.
” ජොබ් එකට යන්න ආවනං යන්නෙ නැතුව පාරවල් ගාණේ ඇවිදින්නේ මොකටද ?”
ඔහුගේ චෝදනා නිමක් නැතිය. මින් පෙර කවරදාකවත් දැක නොමැති තම ස්වාමියාගේ හැසිරීම දුටු දයාරත්නද වික්ශිප්තව ගොළු වී සිටියේය.
” සර්.. එතනින් බස් එකේ නැග්ගොත් බෞද්ධාලෝක මාවත කිට්ටුවෙන් බහින්න වෙනවා. ඊට පස්සේ ආයේ තව බස් එකක් ගන්න වෙනවා. මේ මීටර් පන්සීය පයින් ගිහිල්ලා සෙවන් වන් එක ලඟට ගියාම එතන ඉඳන් RD foods එකට එක බස් එකක යතහැකි. ඒ නිසා හැමදාම ඒ ටික එන්නේ පයින් “
ඈ අපහසුවෙන් වුවද සත්‍යය පැහැදිලි කරමින් සිටියාය.
” එතකොට පාරේ හම්බෙන මොකා එක්ක හරි අර වගේ හිනාවෙවී නට නට එනවද ? “
ඔහුගේ රණ්ඩුව ඉවරයක් නොමැත. අවසානයේ යුවතියගේ හදවතේද මඳ කෝපයක් හට ගත්තේය.
” මං කාත් එක්කවත් අනවශ්‍ය විදිහට හැසිරුණේ නෑ සර්. දන්න කියන එකට ඉගෙනගන්න යාලුවෙක් මුණ ගැහුණු නිසා ඒ ළමයා එක්ක කතා කර කර ආවා . එච්චරයි . මනුස්සකමට වත් මනුස්සයෙක්ගේ මූණක් බලලා හිනාවක් දෙන්න බැරි මිනිස්සුන්ට ඕවා තේරෙන්නෑ..”
දයාරත්න එවර තරුණියගේ වචන හමුවේ තිගැස්සී ගියේය . අපහසුවෙන් කෙළ පිඬක් ගිල දැමූ ඔහු කිසිවක් සවනට නෑසුණා සේ මෝටර් රථය දිගටම පැදවුවේය.
” දයාරත්න ..! “
එවර මාන්නක්කාරයාගේ කටහඬ බොහෝ විසල් වී තිබුණේය .
” ඔන්න ඔහොම අයිනකට කරලා නතර කරනවා. මේ නෝනට කියනවා කොහොමහරි වෙලාවට ඔෆිස් එකට එන්න කියලා. “
ඉදින් ඔහු නොකියා කීවේ වාහනයෙන් බසින ලෙසටය. දයාරත්න මෝටර් රථය මාර්ගයේ පසෙකට කොට නතර කළ වහා ඉන් බැස ගත් යුවතිය වේගයෙන් ඉදිරියට ගමන් කළාය.
ඈ යන දෙස තත්පර කිහිපයක් බලා සිටි දයාරත්න නිහඬවම යළි මෝටර් රථය පණ ගන්වා ඉදිරියට ධාවනය කළේය .
” මේ හරියෙන් නං ඔෆිස් එක පැත්තට යන බස් එකක්වත් නෑ සර්. එක්කො ත්‍රීවිල් එකක් ගන්න ඕනේ. නැත්තන් සෑහෙන දුරක් පයින් යන්න ඕනේ. “
දයාරත්න යුවතිය පිළිබඳව නැඟුණු අනුකම්පාවෙන් එසේ පැවසුවද එය මායිම් නොකළ හිතුවක්කාරයා වේගයෙන් සුසුම් ළමින් ඉවත බලා සිටියේය.
” ආයේ නං මට ඔය රාස්සයව පේන්නවත් ලැබෙන්න එපා. කිලෝ මීටර් දහයක් විතර පයින් ආවා දෙයියනේ. ඒකාටනං මොකෝ භවන වගේ වාහනේ යන එන එකනේ. අඩුම ගාණේ ඒ මිනිහා ආසාවකටවත් බස් එකක හරි ගිහින් තියනවද දන්නෑ. දෙයියනේ … මගේ කකුල් දෙක රිදෙනවා. දැන් එතන ගිහිනුත් පැය ගාණක් හිටගෙන ඉන්න එපැයි. මේක මාර වැඩක් උනානේ. එයාලගේ තැන වැඩ කළා කියලා මට මනුස්සයෙක් එක්ක හිනාවෙලා කතා කරන්න බැරිද ? එයා කොහොමද ඒවා තීරණය කරන්නේ ? මහ යක්ෂයෙක් කොහෙද යන. අනේ ඔය යකා ලිෆ්ට් එක එනකන් බලන් ඉන්න වෙලාවටම ඒක කැඩිලා ඔය තට්ටු ගාණම පඩිපෙළෙන් යන්න ඉඩ සිද්ධ වෙන්න ඕනේ. එතකොට තේරෙයි මනුස්සයෙක්ගේ වේදනාව. “
තනිවම මුමුණමින් , තනිවම තම ආයතන හිමිකරුට දෙස් දෙවොල් නඟමින් බොහෝ අපහසුවෙන් ඇවිද ආ තරුණිය ප්‍රාර්ථනා කළ කිසිවක් ඒ අයුරින් සඵල වූයේ නැත. රකුසු මුහුණ තමන්ට දකින්නට නොලැබේවා යන ලෙසට ප්‍රාර්ථනා කළද පහත මාලයේ ඇතුළු වීම් දොරටුව අභියසම පරාස්සයා ලිපි ගොනුවක් දිග හරිමින් , බලමින් එහි සිටි ඉහල නිලධාරීන් දෙදෙනෙකු හට කුමක් හෝ පවසමින් සිටියේය.
ඔවුන් කිසිවෙක් හෝ නුදුටුව ලෙසට පහත මහලට ඇතුළු වූ තරුණිය නිහඬව එතැනින් පිටව යාමට සැරසුණා පමණි. නැවතත් ගොරහැඬි කටහඬ ඇසෙන්නට පටන් ගත්තේය .
” මේක කෝළං මඩුවක් නෙමෙයි වැදගත් ඩිස්ප්ලීන් තියන ඔෆිස් එකක්. මෙතන රූල්ස් කියලා දෙයක් තියනවා. ටයිම් එකනං ටයිම් එක. ඒ දේවල් වලට එකඟව වැඩ කරන්න බැරි අය නෑවිත් ගෙවල් වලම නතර උනානම් හොඳයි “
අතේ තිබූ ලිපි ගොනුව තමා අසල සිටි නිලධාරියා අත තැබූ මාන්නක්කාරයා වහා හැරී විදුලි සෝපානයට ගොඩ වුණේය. ඇය දෙස බලා මුමුණමින් කිසිවක් පැවසූ ඉහල නිලධාරීන් දෙදෙනාද නැවතත් හැරී ආපසු යන්නට පිටත් වූහ. තමා හට වෙනදාට වඩා බොහෝ දුරක් තනිවම ඒමට සිදු වූයේ ඔහු නිසාය. වෙනදාට නියමිත වේලාවට අවන්හලට ගොඩ වන ඇයට අද බොහෝ වේලාවක් ප්‍රමාද වන්නට වූයේද ඔහු නිසාය . නමුදු දැන් සියල්ලටම වැරදිකාරිනිය වී ඇත්තේ තමාය . දෝෂාරෝපණ එල්ල වන්නේ තමාටය . මෝටර් රථය තුළදී එහි රියදුරු අභියසත් , කාර්‍යාල පරිශ්‍රයේදී තවත් නිලධාරීන් දෙදෙනෙකු හමුවේත් ලැජ්ජා වූයේ තමාය. ඇගේ හදවත තව දුරටත් ඉවසා සිටීම උචිත නැතැයි පැවසුවේය. ඉදින් ඇගේ ඉවසීමේ සීමාව සියලු මායිම් කඩා දමමින් බිඳ වැටුණේය. ඈ වහා විදුලි සෝපානයට ගොඩවී ප්‍රධාන කාර්‍යාලය දෙසට වේගයෙන් ඇවිද ගියාය.
රතු වූ මුහුණින් යුතුව කාර්‍යාලයට කඩා වැදුණු තරුණිය දුටු තවමත් සිටගෙන දුරකතන ඇමතුමකට සම්බන්ධ වී සිටි සියත්‍ර මඳක් කලබල වූයේය.
” මං.. මං.. මං හරි දුප්පත් කෙල්ලෙක් සර්. හැබැයි මට කියලත් ආත්ම ගරුත්වයක් තියනවා. එක වචනයක් හොඳින් කතා කරන්න බැරි නං කතා නොකරම ඉන්න. මට ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ විදිහට මට සලකන්න එපා. මං සර්ලගෙන් නිකන් පඩි ගන්නෑ. මට පුලුවන් උපරිමේ මගේ රාජකාරිය කරනවා. සර්ට මං මෙතන වැඩ කරන එක කරදරයක් නං ඒක කෙලින්ම කියන්න. ආසාවට මෙච්චර දුක් විඳගෙන රස්සාවක් කරනවා නෙමෙයි. මගේ අම්මයි , නංගියි කාලා ඇඳලා ඉන්නේ මේ හම්බ කරන සල්ලි වලින්. සර්ට මාව දකින එක , කතා කරන්න සිද්ධ වෙන එක කරදරයක් නං මට ඒක කියන්න. මං මේ රස්සාව අතෑරලා යන්න යන්නං. එහෙම නැතුව මට මේ දේවල් එපා කරවන්න එපා. “
අවසානයේ හිත් පිත් නැති දේහදාරියා ඉදිරියේ අහිංසක යුවතිය වළක්වා ගත නොහැකි අයුරින් හඬා වැටුණාය. හදවතේ පැතිර ගිය වේදනාව ඔහු හමුවේ දරාගත නොහැකි අන්දමට වචන කළ ඈ වහා අනෙක් පස හැරී යාමට අඩිය තැබුවා පමණි . පසුපසින් ඇගේ අතකින් අල්ලා ගත් හැඩි දැඩි හස්තය ඈ නැවත තමා වෙතට ඇද ගත්තේය. බලාපොරොත්තු නොවූ තල්ලුවෙන් ඇදී ආ ඈ අවසානයේ නතර වූයේ විසල් පපුතුරකය. නමුදු ඉන් ගැලවී යාමට හෝ පැන යාමට උත්සාහ නොකළ ඈ හැඩි දැඩි පිරිමි පපුතුර වසා පැවති බ්ලේසරයේ එල්ලී තව දුරටත් හඬා වැටුණාය .


