” ඔය අඬන එක නවත්ත ගන්නවද ආ.. ? “
එවර මාන්නක්කාරයාගේ ගොරහැඬි වචන මන්ද ස්වරයකට හැරවී තිබුණේය . නමුත් ඒ බසට කන් නුදුන් තරුණිය තමා මේ සිටින්නේ කොහිද , කවුරුන් සමීපයේද පවා තේරුම් නොගනිමින් තව දුරටත් ඔහුගේ විසල් පපුතුරේ මුහුණ හොවා හඬමින් සිටියාය .
” වෙන ඕන එකෙක් එක්ක හිනා වෙන්න පුලුවන් , කතා කරන්න පුලුවන් , විහිළු කරන්න පුලුවන් මාව දැක්ක ගමන් මූණ හංග ගන්නවා. ඇයි මගේ මූණ බලන්න බැරි තරම් කැතයිද ?”
තම පපුවේ මුහුණ හොවා අඬමින් සිටින යුවතිය දෙසට පහත් වූ ඔහු තවත් මන්ද ස්වරයකින් විමසුවේය.
” එක එකා එක්ක ඔහොම හුරතල් වෙන්නෙපා. මට බලන් ඉන්න බෑ. “
එවර මෙතෙක් නිදහස්ව පැවති ඔහුගේ එක් අතක් තරුණියගේ බඳ වටා ගොස් ඈ තවත් තම පපු ගැබට තද කර ගත්තේය.
” කොයි වෙලෙත් ඇඟට කඩා පනිනවා විතරනේ. අඩුම හිනා වෙලා කතා කරනවද ? කොයිවෙලෙත් දන්නේ බෙරිහන් දෙන්න විතරයි. මං මොනවා කළාටද මේ ? “
වචන වලට නොපෙරළුවද ඈ යටි සිතින් ඔහුගේ පැනයට පිළිතුරු ලබා දුන් අතර තව දුරටත් මුහුණ සඟවා ගනිමින් දිගටම ඉකි ගැසුවාය . හදවත දැවෙන්නේ ඔහු තමා වෙත දක්වනා නොසැලකිල්ල හේතුවෙන් නිසාම නොවන බව ඇගේ හදවත පුන පුනා කීවේය . මාන්නක්කාර තම ඉහල ප්‍රධානියාගේ කෙතරම් රැවුම් ගෙරවුම් වලට බඳුන් වුවද තමා ඔහු සමීපය ප්‍රිය කළා නොවේදැයි ඇගේ සිතම ඇයට ගතු කීවේය. කෙතරම් ඉවත බලා සිටින්නට උත්සාහ කළද රහසින් හෝ එකී රුව දැක්මට තමා ප්‍රිය කළා නොවේදැයි අවසානයේ ඇයට වැටහී ගියාය.
නමුත් ඒ සියල්ල පරදා එක් වරම තමා මේ සිටින්නේ තම ආයතන හිමිකාරයාගේ තුරුළේ බව වැටහී ගිය සඳැස්වි වහා තම දෑතම ඔහුගේ පපුවට තබා පසුපසට තල්ලු වී වේගයෙන් ඔහුගෙන් මිදුණාය . තමා මෙතරම් අනුවණ වූයේ කෙසේදැයි ඈ තමාගෙන්ම විමසා ගත්තාය .
” සො.. සොරි සර්…!”
එසේ පැවසූ ඈ වහා අනෙක් පස හැරී වීදුරු ද්වාරය විවර කරමින් වේගයෙන් දිව ගොස් විදුලි සෝපානයට ගොඩ වූවාය . මෙතෙක් වේලා තමාට තුරුළුව හුන් යුවතිය හට කුමක් සිදු වූවා දැයි වටහා ගනු නොහැකිව සියත්‍ර රන්දෙණිගල තුෂ්නිම්භූතව ඈ දිව ගිය දෙස බලා සිටියේය .
**********************************************
හෝරා දෙකකට ආසන්න කාලයක් අත්‍යාවශ්‍යම සාකච්ජාවක හා රැස්වීමක නිරතව සිටි ඔහු ඉක්මන් ගමනින් යළි තම නිල කාර්‍යාලය වෙත අඩි තබමින් සිටියේය. දිනයේ ඉතිරි වැඩ කටයුතු හා තම ප්‍රධානියා දැනුවත් කළ යුතු විශේෂ දැනුම් දීම් කිහිපයක් සහිත ලිපි ගොනු කිහිපයක්ම රැගෙන ඔහුගේ ලේකම්වරිය වූ ශාක්‍යාද ඉක්මන් ගමනින් ඔහු පසුපස හඹා එමින් සිටියාය.
වේගයෙන් නිල කාර්‍යාලය තුළට පිවිසි සියත්‍ර එතෙක් හැඳ සිටි බ්ලේසරය ගලවා තම අසුන මතට දමා හැඳ සිටි අත් දිගු කමිසයේ එක් අතක් වැලමිට තෙක් නවමින් තම කාර්‍යාල මේසය මත තිබූ ලැප් ටොප් පරිගණකයේ ආරක්ෂක කැමරා දර්ශන වෙත වේගයෙන් දෑස එහා මෙහා කරමින් සිටියේය .
” සර් , අපේ ස්පයිස් ඕඩර්ස් ටික ඔක්කොම කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඒ ඩොකියුමන්ට්ස් ටිකට සර්ගේ අත්සන ඕනේ . අද දවල් දොළහට සේනානායක ගෲප් එකේ ඩිස්කශන් එක. දෙකයි තිහට මිනිස්ට්‍රි එකේ මීටින් එක. මිනිස්ටර් දේවනාරායනගේ සෙකට්‍රි දෙතුන් වතාවක්ම කතා කරලා සර්ට ඒක මතක් කරන්න කිව්වා. “
” ශාක්‍යා ලඟ සඳැස්විගේ ෆෝන් නම්බර් එක තියනවද ?”
තමා පසුපස පැමිණි ශාක්‍යා ලිපි ගොනු එහා මෙහා කරමින් පැවසූ කිසිවකට අවධානය නුදුන් සියත්‍ර ආරක්ෂක කැමරා පද්ධතියේ කිසිදු දර්ශනයක ඈ නොමැති බව දැක කලබල වී සිටියේය. තමා පැවසූ කිසිවකට පිළිතුරු නොදෙමින් කිසිසේත්ම අදාල නොමැති කරුණක් විමසීම පිළිබඳව විමතියට පත් ශාක්‍යා මොහොතක් කලබල දෑසින් පරිගණක තීරය දෙස බලා සිටින තම ප්‍රධානියා දෙස ගල් ගැසී බලා සිටියාය .
” සර්…?”
” සඳැස්විගේ නම්බර් එක තියනවද ?”
” ආ.. ඔව්.. තියනවා සර්. “
” ගන්න කෝල් එකක් . අරන් අහන්න කොහෙද ඉන්නේ කියලා . “
ශාක්‍යා කිසිවක් නොවිමසා ඔහු පැවසූ අන්දමට තම ජංගම දුරකතනය ගෙන සඳැස්වි හට ඇමතුමක් ලබා ගත්තාය.
” speakers “
ඔහු ගොරහැඬි හඬින් වුවද මන්ද ස්වරයෙන් අණ කළේය.
දුරකතනයේ හඬ ඉහල දැමූ ශාක්‍යා එය ඔහුගේ කාර්‍යාල මේසය මතින් තැබුවාය. වරක් දෙවරක් හා තෙවරක් නාද දුන් දුරකතනයට සඳැස්වි අනෙක් පස සිට සම්බන්ධ වූවාය.
” කියන්න අක්කේ ”
ඇගේ කටහඬෙහි ස්වරය බොහෝ පහතට වැටී ඇත. විටින් විට සුරුස් හඬින් ඉහලට ඇදෙන නාසයේ හඬින් ඈ සිටින්නේ හඬමින් බව වටහා ගත් ශාක්‍යා දෑස ඔසවා තම ප්‍රධානියා දෙස බැලුවද ඔහුගේ රකුසු දෑස පතිත වී තිබුණේ ඇගේ ජංගම දුරකතනය මතටය .
” කොහෙද කෙල්ල ඉන්නේ ? “
” මං ගෙදර ආවා අක්කේ. “
” ඒ ඇයි ? උදේ ඔෆිස් එකට ආවා නේද ? “
” ආ.. ආවා අක්කේ. මගේ හිසේ කැක්කුමක් ගත්තා. ඒ නිසා මං ආයේ ආවා. ”
ඈ නැවත වරක් නාසය ඉහලට අදින ආකාරය දුරකතන ඇමතුම තුළින් ඇසුණේය .
” හරි කෙල්ල. එහෙනං ටිකක් නිදාගන්න. මං නිකන් බලන්න ගත්තේ. “
ශාක්‍යා එසේ පවසා ඇමතුම විසන්ධි කොට යළිත් තම ප්‍රධානියා දෙස බලා කිසිවක් සිදු නොවුණු ආකාරයට අත රැඳි ලිපි ගොනුව කාර්‍යාල මේසය මතින් තැබුවාය.
” සර් මේ ඩොකියුමන්ට්ස් වලට සයින් එක ඕනේ “
” ඕක තියන්න මං ඇවිල්ලා කරන්නම්. “
ඔහු වහා මේසය මත තිබූ තම ජංගම දුරකතනය රැගෙන සාක්කුවට දමා ගත්තේය. ඔහු මේ සැරසෙන්නේ පිටතට යාමට බව හැඟුණු ශාක්‍යා වහා නැවතත් තම අත රැඳි ලිපි ගොනු දෙසට දෑස යොමු කළාය.
” සර් දොළහට සේනානායක ගෲප් එකේ ඩිස්කශන් එක. “
” Cancel it. “
” සර් දෙකයි තිහට මිනිස්ට්‍රි එකේ…”
” Cancel that too. “
ඔහු එසේ පවසා වීදුරු ද්වාරය වේගයෙන් විවර කරමින් පිටතට අඩි තබා යන ආකාරය දුටු ශාක්‍යා දෙබැම ඉහලට නංවා තොල්පට තද කරමින් ඔහු දෙස බලා සිටියාය.
” මේ මොකද්ද මේ වෙන්නේ ?”
ඈ තනිවම මුමුණමින් කාර්‍යල මේසය මත තිබූ ලිපි ගොනුව නැවතත් අතට ගත්තාය.
********************************************
හදිසියේ ඇතිවූ කෝපය හා කලබලය හේතුවෙන් තම ප්‍රධානියාගේ කාර්‍යාල කාමරයේ සිදු වූ දේ පිළිබඳව හදවතින් දැවෙමින් හා ලැජ්ජා වෙමින් තව දුරටත් කාර්‍යාලයේ සිටීමට නොහැකි වූ සඳැස්වි යළිත් කුඩා නිවසට පැමිණ යහන මතට වැටුණාය. කිසිදු වග විභාගයකින් තොරව තමා ඔහුගේ කාර්‍යාලයේදී හැසිරුණු අන්දම ඉතා අශ්ලීලය. තව දුරටත් ඔහුගේ මුහුණ බැලිය නොහැක. ආත්මාභිමානයෙන් යුතුව යළි එහි රැකියාව කළ නොහැක. තම පුත්‍රයාගේ පපුවට තුරුළු වී හඬා වැටෙන තමාව උත්පලා රන්දෙණිගල අහම්බයකින් හෝ දුටුවානම් තමාට අත්වන ඉරණම පිළිබඳව සිතීමට හෝ ඈ බිය වූවාය. කිසිදු හැඟීම් පාලනයකින් තොරව ඔහුගේ පපුවට තුරුළු වූ තමා කෙරෙහිම උපන් ශෝකයත් , ලැජ්ජාවත්, කෝපයත් දරාගත නොහැකි වූ ඇගේ දෑසින් එක දිගටම වළක්වා ගත නොහැකි ආකාරයට කඳුළු බිඳු කඩා හැලෙන්නට පටන් ගත්තේය.
දෙතුන් වරක්ම එක දිගට නොදන්නා අංකයක් හේතුවෙන් කෑගසන ජංගම දුරකතනය අතට ගත් ඈ තම සිතෙහි තිබූ කෝපය ඒ හරහා පිට කරමින් හඬමින්ම එයට පිළිතුරු බැන්ඳාය.
” හෙලෝ…!”
” open the gate “
ගොරහැඬි කටහඬ ඇසුණු සැණින් තිගැස්සී ගිය ඈ යළි දුරකතනය තීරය දෙස බැලුවාය. ඉන් පසු වහා යහන මතින් නැඟිට ගොස් බැල්කනි ද්වාරය විවර කර කොන්ක්‍රීට් මාර්ගය දෙස බැලුවාය . නිවසේ ගේට්ටුව අසල නවතා තිබූ අධි සුඛෝපභෝගී මෝටර් රථය දුටු ඇගේ දෙපා ක්ෂණිකව හිරි වැටී ගිය අතර වේගයෙන් ඇසි පිය සැලූ ඈ යළි කුඩා ආලින්දය හරහා පැමිණ තරප්පු පෙළ බැස ගොස් ගේට්ටු පියන් ද්විත්වය විවර කළාය .
විවර වූ ගේට්ටුවෙන් ගෙමිදුලට පැමිණ නතර කෙරූ මෝටර් රථයෙන් බැස ගත් මාන්නක්කාරයා ඈ දෙසට බැල්මක් හෝ නොහෙළා තරප්පු පෙළ නඟමින් ඉහල මහලට ගමන් කළේය.
වහා සිහි එළවා ගත් සඳැස්වි කඳුළු වලින් තෙත් වී තිබූ දෙකොපුලද , අවුල් වී ගොස් තිබූ කෙස් කළඹද දෑතින්ම සකසමින් ඔහු පසුපසින් දුව ගොස් තරප්පු පෙළ නැංගාය .


