කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව නිවස තුළට පැමිණි මාන්නක්කාරයා කුඩා සෝපාවේ හිඳ ගෙන දෙදණ මත දෑත තබා ගත්තේය. සිදුවන කිසිවක හරිහැටි තේරුමක් නොමැති තරුණිය පසෙකට වී ඔහු දෙස බියෙන් මෙන්ම කුතුහලය පිරි දෑසින් බලා සිටියාය.
” එක පාරක් , දෙපාරක් කෝල් එකක් ආවම ආන්සර් කරන්න බැරිද ?”
” ස්.. සර්.. මං මේ.. නොදන්න නම්බර් එකක් නිසයි ආන්සර් නොකළේ..”
” දැන් දන්නවනේ කාගෙද කියලා. සේව් කරගන්න. “
කිසිවක් නොපැවසූ යුවතිය හිස බිමට බර කරගෙන සිටියාය .
” ගෙදට්ට මනුස්සයෙක් ආවම තේ එකක් වත් දෙන්න පුරුද්දක් නැද්ද ? “
” ආ..? තේ..?”
සියත්‍රගේ හඬින් කලබලයට පත් වූ තරුණිය වහා කුඩා මුළුතැන්ගෙය වෙත දිව ගියාය. ඇගේ හදවත නොනවත්වා වේගයෙන් ගැහෙමින් තිබූ අතර කලබල දෙපා සහ දෑතද වෙව්ලමින් තිබුණාය . පුරවා ගත් කේතලය ලිප තබා එය දල්වා බිත්ති කැබිනෙට්ටුව තුළ තිබූ කුඩා තේ කුඩු කවරය ගෙන එහි තිබූ අවසාන තේ කුඩු ස්වල්පයත් වීදුරුවකට දැමූ ඈ කුඩා සීනි බෝතලයේ තිබූ අවසාන සීනි හැඳි දෙකත් එයටම දැම්මාය. ශාක්‍යාගේ කුඩා නිවසේ එක් අයෙකුට ගැලපෙන පරිදි සියලුම ගෘහ භාණ්ඩත් , විදුලි උපකරණත් තිබීම ඈට මහඟු පහසුවක් වී තිබුණත් ආහාර සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඈ සතුව නොතිබුණාය. නිවස තුළ තිබූ ගෑස් උඳුනත් , කුඩා සිලින්ඩරයත් නොවන්නට හදිසියේ නිවසට ගොඩ වූ ප්‍රධානියාට වතුර වීදුරුවකින් පමණක් සෑහෙන්නට තිබුණේය.
කහට දැමූ කෝප්පය තුළ සීනි දිය කරමින් සිටි ඇගේ දෑසින් නැවත වරක් කඳුළු බිඳුවක් කඩා හැලෙන්නට පටන් ගත්තේය. මාන්නක්කාරයාගේ ගති පැවතුම් පිළිබඳව තරමක වැටහීමක් තිබූ ඇයට ඔහු කහට කෝප්පයකින් නොසෑහෙන බව දැනී තිබුණාය. පහත මහලේ ශාක්‍යා සිටින වේලාවක් වූවා නං කිරිපිටි ස්වල්පයක් හෝ ඉල්ලා ගැනීමට තිබුණාය. සුදුසු වීදුරු කෝප්පයක් හෝ ඉල්ලා ගැනීමට තිබුණාය . නිවසට පැමිණි අයෙකුට තේ කෝප්පයක් හෝ දීමට නොහැකි තරමටම තමා අන්ත අසරණබාවයට පත් වී ඇති බව දැනී ඈටත් නොදැනීම තවත් කඳුළක් ඇගේ කොපුල දිගේ ගලා ගියේය .
ආලින්දයට එක් පසෙකින් විවර වූ කුඩා මුළුතැන්ගෙහි කලබලයෙන් තේ සාදනා යුවතිය කුඩා තේ කුඩු පැකැට්ටුවක අවසාන තේ කුඩු ස්වල්‍පය වීදුරුවක් තුළට දමන ආකාරයත් , සීනි බඳුන සූරන ආකාරයත් , වරින් වර දෑසින් ගලා යන කඳුළු බිඳු පිසලන ආකාරයත් යටැසින් බලා හිඳි ඔහු අවසානයේ හිඳ සිටි සෝපාවෙන් නැඟී සිට කුඩා මුළුතැන්ගෙය වෙත පා තැබුවේය.
” ස්.. සර්..!”
කුඩා වීදුරුවකට දැමූ කහට කෝප්පය ඔහු වෙත දිගු කළ යුවතියගේ දෑස සේම උවනද ලැජ්ජාවෙන් මෙන්ම අසරණබවින්ද බරව බිමට නැඹුරුව තිබුණේය. ඇගේ අතින් කහට වීදුරුව ගත් ඔහු එය මඳක් තොළ ගා වීදුරුව යළිත් පැන්ට්‍රිය මතින් තබා එයට බර වී ඈ දෙස බැලුවේය.
” ගෙදර කෑම උයන්නැද්ද ? “
කුඩා මුළුතැන්ගෙය පුරාවටම දෑස කරකවමින් එසේ ඔහු ඇසූ පැනයත් සමඟම තවත් තිගැස්සී ගිය යුවතිය විසල් කරගත් දෑසින් යුතුව ඔහු දෙස බලා වහා පහත් වී පැන්ට්‍රි කබඩය තුළ තිබූ කුඩා බිස්කට් පැකට්ටුවක් ගෙන පිඟනක් මතින් තබා ඔහු අසලින් තැබුවාය .
” සොරි සර්.. අමතක උනා.. “
බිස්කට් පැකැට්ටුවත් , ඇය දෙසත් බලා නැවත වතාවක් මුළුතැන්ගෙය දෙසත් දෑස කැරකවූ ඔහු කහට වීදුරුව හිස් කර නැවතත් එය පැන්ට්‍රිය මත තැබුවේය .
” ඔෆිස් එකෙන් උදේට බ්‍රෙක්ෆස්ට් අරන්ද ආවේ ?”
ඇය නැත යැයි පැවසීමට හිස දෙපසට සැලුවාය.
” දැන් කන්නේ මොනවද ?”
” කැම්පස් එකට ගිහිල්ලා කැන්ටින් එකෙන් මොනාහරි කනවා “
” ලෙක්චර්ස් කීයටද තියෙන්නේ ? “
” දෙකයි තිහට. “
” ඒ වෙනකන් නොකා ඉන්නවද දැන් ?”
” නෙක්… නෙක්ස්ට් වීක් සැලරි ලැබෙන්නේ සර්. එතකොටම ගෙදට්‍ට බඩු මොනාහරි ගේනවා .”
ඈ අපහසුවෙන් වුවත් සත්‍යයම පැවසුවාය. අතේ බැඳ තිබූ ඔරලෝසුව දෙසට හිස හරවා බැලූ ඔහු අඩි තබමින් කුඩා ආලින්දය වෙත ආවේය. ඇයද ඔහු අනුව සෙමින් සෙමින් අඩි තබා ඔහු පසුපසින් පැමිණ සිට ගත්තාය .
විසල් සුසුමක් අත හැරි ඔහු නැවතී නැවත ඇය දෙසට අඩියක් තබා ළං වූයේය. තම ළමැඳ මට්ටමට පමණක් උස වූ කුඩා යුවතිය දෑතේම ඇඟිලි පොඩි කරමින් උවන බිමට බර කරගෙන සිටින ආකාරය දෙස ඔහු හොඳින් බලා සිටියේය.
” are you nervous ?”
ඔහුගේ පැනයට ඇගෙන් පිළිතුරක් ලැබුණේ හෝ ඔහු පිළිතුරක් බලාපොරොත්තු වූයේද නැත.
තවත් අඩියක් ඈ දෙසට තැබූ ඔහු සෙමින් ඇගේ දෑතින්ම මිරිකෙන ඇගේ දෑතේ ඇඟිලි මත තම දකුණත තැබුවේය . එක් වරම කලබලයෙන් මිරිකෙමින් තිබූ දෑත නිෂ්චල වුවද ඈ හිස එසෙව්වේ නැත.
” I am bit nervous too “
ඔහු තවත් තත්පර කිහිපයක් නිහඬව බිම බලා සිටින ඈ දෙසම බලා සිටියේය.
” මං ඔයා වගේ හිනාවෙන්න දන්නෑ සඳැස්වි. සමහර විට ඒක මගේ ආඩම්බරකම වෙන්නැති . මෙච්චර කාලෙකට මගෙන් වෙන කෙනෙක්ට දෙයක් උනා මිසක් වෙන කාගෙන්වත් මට උදව්වක් ලැබිලා නෑ. මං කාගෙන්වත් එහෙම බලාපොරොත්තු වෙලත් නෑ. මගේ ලෝකේ හිටියේ මං විතරයි. මනුස්සයෙක් එක්ක හිනා වෙන එක , ළං වෙලා කතා කරන එක මගේ රෙපියුටේෂන් එකට හොඳ නෑ කියලා මට දැනෙන්න පටන් ගත්තේ කවද්ද කියන්න මට මතක නෑ. හැමෝම මගේ යටතේ ඉන්න ඕනේ වගේම ඒ කාගෙන්වත් මට වැඩක් නෑ කියන එක තදින්ම හිතේ තිබ්බ නිසා මට කාත් එක්කවත් හිනා වෙලා , කතා කරලා වැඩක් නෑ කියලා මං හිතන් හිටියේ. “
ඔහු එසේ පවසමින් සෙමින් තම ඇඟිලි තුඩු මතින් ඇගේ නිසසල වූ අතැඟිලි පිරිමැද්දේය.
” අනික බොරුවට මවාගත්තු හිනාවලින් , බොරුවට මවාගත්තු යාලු මිත්‍රකම් වලින් කාවවත් රවට්ටන්න මට ඕනේ උනෙත් නෑ. මගේ වටේ ඉන්න අය කොච්චර වැදගත් ,සල්ලි තියන ලොකු අය උනත් ඒ හැමෝම අනුන්ට හිනාවක් හරි දෙන්නේ තමන්ට වාසියක් වෙනවනං විතරයි. ඒක මං ඒ කාලේ ඉඳන්ම දැනගෙන හිටියේ. හැබැයි මං දැන් දන්නවා මනුස්සයෙක්ගේ හිනාව කියන එක එළියට එන්න ඕනේ තමන්ටත් නොදැනීම කියලා. එහෙම හිනා වෙද්දි මිනිස්සු හරි ලස්සනයි. ඒක මං දැක්කේ ඔයාගෙන් . තේරුම් ගත්තේ ඔයාගෙන්. ඔයාගේ හිනාවේ කිසිම බොරුවක් නෑ. ඒක ආපහු කිසිම දෙයක් බලාපොරොත්තු නොවීම ලැබෙන දෙයක්. ඇස් වහගත්තු වෙලාවට ඔයාගේ මූණ මතක් උනාම මං වත් දන්නෙම නැතුව මගේ මූණේ මැවෙන හිනාව තමයි මට ඒක කියලා දුන්නේ . “
ලැජ්ජාවටත් , අසරණබවටත් , ශෝකයටත් මෙතෙක් බරව තිබූ හදවත ඔහුගේ වචන හමුවේ ඔහු කෙරෙහි උපන් අනුකම්පාවක් , ශෝකයක් , කැමැත්තක් යැයි වර්ග කර පෙන්විය නොහැකි හැඟීම් ගොන්නකින් හදවත බර වී ගොස් දෑසට අලුතින් කඳුළු එකතු වෙමින් පැවතියේය. බිමට බර කරගත්තා වූ දෑසින් ගිලිහී වැටුණු කඳුළු බිඳුවක් තම දෑත මත තිබූ ඔහුගේ අත මතට වැටෙනු දුටු ඈ තොල් පට තද කරගනිමින් ඒ දෙස බලා සිටියාය.
” මං දන්නෑ මට රිදෙනවා. වෙන කවුරුහරි ළං වෙලා ඔයා එක්ක හිනා වෙද්දි , කතා කරද්දි , විහිලු කරද්දි මට රිදෙනවා. ඒ ඇයි කියලා කියන්න මං දන්නෑ. මං දන්නවා එහෙම හිතෙන එක වැරදියි. මං වගේ කිසි කෙනෙක් එක්ක හිනාවක් නැතුව ඉන්න කෙනෙක් නෙමෙයි ඔයා. ඒ උනාට එහෙම දැක්කම මගෙ දෙයක් වෙන කවුරුහරි උදුරගන්න හදනවා වගේ කියලා දැනෙනවා.. “
ඔහු තොල් පට සපාගෙන අපහසුවෙන් හුස්මක් පහත හෙළුවේය . ඇගේ දෑසින් ගිලිහී ගිය කඳුළු බිඳුවක් නැවතත් ඔහුගේ අත මතට වැටුණේය . ඔහු වහා ඇගේ නිකටෙන් අල්ලා තමා වෙතට ඇගේ උවන හරවා ගත්තේය .
” ඇයි දැන් මේ අඬන්නේ ?”
කිසිවක් නොපැවසූ ඇය තවත් කඳුළු ගලා යාම වළක්වා ගනු පිණිස තොල් පට තද කර ගත්තාය .
” මාව පිස්සෙක් වගේ පේනවද ?”
එවර ඈ නැවත වාරයක් තිගැස්සී ගියාය.
” අනේ නෑ සර්. එහෙම නෑ. මං එහෙම හිතුවේ නෑ. “
” හිතුණත් පුදුමයක් නෑ. අද දවසට මං කරපු වැඩ මීට කලින් හිටපු මං කවදාවත් කරපු වැඩ නෙමෙයි. ඒවා මතක් වෙද්දි මටම හිතෙනවා මට පිස්සු හැදිලද කියලා. “
ඔහු මුව අඟින් සිනහවක් පා නැවත වරක් අත බැඳි ඔරලෝසුව දෙස බැලුවේය .
” පරක්කු වෙනවා. මං යන්නං . “
ඔහු එසේ පවසා සෙමින් ඇගේ දෑත මත තිබූ තම දකුණත ඉවතට ගෙන ආපසු යන්නට හැරුණේය.
” පරිස්සමට සර්.. බුදු සරණයි !’
ඉදිරියට යන්නට අඩි තැබූ ඔහු නැවත වතාවක් ආපසු හැරී ඈ දෙස බැලුවේය . කලාතුරකින් දකින්නට ලැබෙන මානක්කාරයාට හෝ විශ්වාස කළ නොහැකි සිහින් මඳ හසරැල්ලකින් ඔහුගේ මුව සැරසී තිබුණේය.


