ඔලියැන්ඩර් – 16

0
935
oleander Flower

” ඒයි.. ඒයි.. එක අපි ප්ලෑන් කරලා කරපු එකක් නෙමෙයි.  මාත් ඒ වීඩියෝ එක මුලින්ම දැක්කේ ෆේස් බුක් එකෙන් හරිද ? “

පහන්‍යා නැවතත් මඳ සිනහවකින් මුව සරසා ගෙන සිටින සඳැස්වි දෙස බලා නැවතත් මව දෙසට හැරුණාය. 

” But she is a very beautiful girl. And she is also very smart. එයා හරි ලස්සනට එතන කතා කරනවා. ඇත්තමයි මං හිතුවේ නෑ ඔයා මෙතන වර්ක් කරනවා කියලා. ?” 

පහන්‍යා නැවතත් සඳැස්වි දෙසට හැරුණාය. 

” මං තාම ඉගෙනගන්නවා මැඩම්. පාර්ට් ටයිම් වලට තමයි රස විමනට එන්නේ “

සඳැස්වි ඉතා ලෙංගතු තරුණියක් වූ පහන්‍යා වෙත දැඩි ආචාරශීලී බාවයකින් යුතුව පැවසුවාය. 

” එහෙමද ..? අනේ… ! “

” මොකද්ද අම්මා කියන්න තියනවා කිව්වේ ?” 

හදවත තුළින් මුව මත හසරැල්ලක් පීදීමට කැළඹිල්ලක් ඇති කරද්දී එය එතැනම අසීරුවෙන් සඟවා ගන්නට උත්සාහ දරමින් මාන්නක්කාරයා මව වෙතට හැරී ඇසුවේය. 

 ” සඳැස්වි ලඟ පොඩි අයිඩියා එකක් තියනවා. ඔයාම කියන්නකෝ දරුවෝ..”

උත්පලා නැවතත් සඳැස්වි දෙසට හැරුණාය. 

“මැඩම්.. මං ..?” 

” කියන්න අනේ කියන්න. මොනවද ඔයාට කියන්න තියෙන්නේ ?” 

කලක පටන් ආස්‍රය කරන ලඟම මිතුරියක සේ තවමත් ඇගේ අතින් අල්ලාගෙන සිටින පහන්‍යා ලෙංගතුව පැවසුවාය. 

” කියන්න දරුවෝ. ඕක ඔයාම කියන එක හොඳයි.. “

උත්පලාගේද ඉල්ලීම අනුව සඳැස්වි ඔවුන් දෙදෙනාගෙන්ම දෑස ඉවත් කර ගනිමින් ආයතන ප්‍රධානියා වෙත දෑස යොමු කළාය. හදවත වේගයෙන් තිගැස්සුණද එය මින් පෙර නොවූ ලෙසට නොව නුපුරුදු ආකාරයක ගැස්මක් බව හොඳින්ම වැටහුණු ඈ ආයාසයෙන් මවාගත් ධෛර්‍යයකින් කතාව ආරම්භ කළාය. 

” සර්.. ! රස විමනේ අපි මේ වෙනකොට ප්‍රධාන ඩෙසර්ට්ස් ජාති කීපයක්ම හදනවා. වටලප්පන් , පුඩිං වර්ග කීපයක් , ඊට අමතරව ෆෘට් පීසස් එකතු කරලා හදන සැලඩ් ජාති කීපෙකුත් . ඊට අමතරව අපි ෆ්ලේවර්ස් කීපෙකින් අයිස් ක්‍රීම් වර්ගත් ඩෙසර්ට්ස් වලට ගන්නවා. ඒ වගේම අපි හදන අනිත් ඩෙසර්ට්ස් හදන්නත් , ගානේෂ් වලටත් අපි ගන්නේ එහෙම පිටින් ගන්න අයිස් ක්‍රීම්. එතකොට සර් , ඩෙසර්ට්ස් ගැන බැලුවම අනිත් හැමදේටම වැඩිය අපිට අයිස් ක්‍රීම් ඕන වෙනවා. අපි මෙහෙ සප්ලයර්ස්ලගෙන් වගේම රටින් පිට සප්ලයර්ස්ලගෙනුත් අයිස් ක්‍රීම් ගෙන්න ගන්නවා. හැබැයි ඒ දෙකට යන කොස්ට් එක එක සමාන නෑ. ලෝකල් සප්ලයර්ස්ලගෙන් ගන්න යන අයිස් ක්‍රීම් වල කොස්ට් එකට වඩා දෙගුණයක් හෝ තුන් ගුණයක් අපිට ඉම්පෝටඩ් ඒවට දෙන්න වෙනවා. එතකොට ඒවා සේල්ස් කරද්දිත් ප්‍රයිසස් එකින් එකට වෙනස් වෙනවා. පොඩි ගණන් වලින් නෙමෙයි ටිකක් ලොකු ගණන් වලින්. “

සියත්‍ර කිසිදු කලබලයකින් තොරව ඉතා කල්පනාවෙන් තරුණියගේ වචන කෙරෙහි අවධානය යොමු කරමින් සිටියේය .

” එතකොට සර් එතනදි අපිට ප්‍රශ්න කීපයක්ම ඇති වෙනවා. මොකද අපි ඩෙසර්ට්ස් වලට ප්‍රයිස් කරද්දි ඒ එකින් එක කස්ටමර්ස්ලට පැහැදිලි කරන්න ඕනේ. මොකද එකම ඩෙසර්ට් එක ප්‍රයිසස් දෙකකින් තියනකොට කස්ටමර්ස්ලා සමහර වෙලාවට ඒවා ගැන ප්‍රශ්න කරනවා. ඒක එක කාරණයක්. එතකොට තව එකක් තියනවා සර් ගොඩක් ලෝකල් සප්ලයර්ස්ලගේ අයිස් ක්‍රීම් වල අපි බලාපොරොත්තු වෙන ටේස්ට් එක නෑ. එහෙම උනාම අපි ඒ අයිස් ක්‍රීම් යූස් කරලා හදන අපේ ඩෙසර්ට්ස් වලත් රස වෙනස් වෙනවා. රස විමනේ චෙෆ්ලා වගේම අපි කීප දෙනෙක් එකතු වෙලා ඒක හරියටම බැලුවා. ඇත්තටම අපිට අවශ්‍ය රස අපේ ගොඩක් ලෝකල් සප්ලයර්ස්ලා ලඟ නෑ. ඒක ලොකු අඩුපාඩුවක් සර්. මොකද කස්ටමර්ස්ලා ඉල්ලන ටේස්ට් එක, ෆ්ලේවර් එක අපි කොච්චර උත්සාහ කළත් සමහර වෙලාවට අපිට දෙන්න බැරුව යනවා ඒ නිසා. අපි ඉම්පෝටඩ් අයිස් ක්‍රීම් හැම වෙලාවෙම යූස් කරන්නත් බැහැ මොකද ඒකට යන කොස්ට් එක සෑහෙන්න වැඩියි. 

ඒ නිසා සර් මං යෝජනා කරනවා , RD foods වල මේ වෙනකන් නිෂ්පාදනය කරලා නැති අයිස් ක්‍රීම් පැත්ත ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න කියලා. මොකද ලංකාවේ ගොඩාක් මිනිස්සු අයිස් ක්‍රීම් කියලා ගන්නේ ලෝකල් බ්‍රෑන්ඩ් වල ඒවා. එක එක ජාතියේ ෆ්ලේවර්ස් ඒවයෙ තියනවා කිව්වට සීයට අනූවකට වඩා ලෝකල් බ්‍රෑන්ඩ් වල ඒ දේ නෑ. මිනිස්සු අයිස් ක්‍රීම් කියන නමටයි , ඒකට තියන ආසාවටයි අයිස් ක්‍රීම් අරන් කෑවට මිනිස්සු දන්නෑ ඒවල තියන හරිම ටේස්ට් එක. පාටයි , එකතු කරන අමතර ෆෘට්ස් , නට්ස් , සෝස්  වගේ දේවල් විතරක් එකින් එකට වෙනස් වුණාට රසේ හැම එකේම එක හා සමානයි සර්. RD foods  වලට මේ වෙද්දි ලංකාවේ මාකට් එකේ තියන තැන ගැන බැලුවම මේ පැත්තටත් අවධානය දීලා හරිම  ටේස්ට් එකට මේ වැඩේ කළොත්  මං හිතනවා මේක ගොඩක් සාර්ථක වෙයි කියලා . සහ අපේ රස විමනටත් ඒක ගොඩක් ලාබදායී වෙයි. “

” ශාහ්.. thats good idea මල්ලි. ඔයා මේක ගැන හිතලා බලන්නකෝ. “

මෙතෙක් වේලා සාවධානව තරුණියගේ කතාව අසමින් , තවමත් ඇගේ අත අත් නොහැර සිටින පහන්‍යා වහා සියත්‍ර දෙසට හැරී එසේ පැවසුවාය. 

” හ්ම්ම්.. ඔයාට පුලුවන්ද මේකට ප්‍රපෝසල් එකක් හදලා දෙන්න ?” 

” ශුවර් සර්..!” 

” හ්ම්ම්.. පුලුවන් වෙලාවක ඒක හදලා දෙන්නකෝ බලන්න. “

” පුලුවන් වෙලාවක නෙමෙයි සඳැස්විට ඒක ඉක්මනට කරන්න පුලුවන් වෙයි. නේද දරුවෝ ?” 

උත්පලාගේ සෑම දෙයකටම ඇති ඉක්මන මේ මොහොතේදීත් ඉදිරියට ආවාය. 

” මං කරන්නං මැඩම්.. “

එසේ පැවසූ සඳැස්වි තිදෙනාටම හිස නමා යළි හැරී භෝජනාගාරයේ පසුපසට අඩි තැබුවාය .

මවගේත් , පහන්‍යාගේත් දෑස් වලින් මිඳුණු සියත්‍ර වහා ජංගම දුරකතනය අතට ගෙන එහි කෙටි පණිවිඩයක් තැබුවේය .

” ලන්ච් ගත්තද ?” 

සුදු පැහැ අත් දිගු බ්ලවුසයත් , ලා නිල් පැහැ ගත් කෙටි සායත් වුණු රස විමන නිල ඇඳුමෙහි සාක්කුවක් තුළ  තිබූ ජංගම දුරකතනය කෙටි පණිවිඩයේ අවසානය සටහන් කරමින් නාද දුන්නේය.  දුරකතනය අතට ගත් කුඩා යුවතිය එහි සඳහන් වූ කෙටි පණිවිඩය දැක වහා කුඩා දෑස කාටත් රහසේම ඔහු වෙත විතැන් කළේය. පහන්‍යා හා කතා බස් කරමින් සුප් බඳුන තොල ගාන ඔහු දුටු ඈ මඳ සිනහවක් නඟා කෙටි පණිවිඩයට පිළිතුරු බැන්ඳාය. 

” තාම නෑ. තව විනාඩි විස්සකින් විතර ඕෆ් වෙනවා. ලෙක්චර් එකක් තුනට. ඕෆ් වෙලාම කන්නං “

” කීයට ගියත් කමක් නෑ කාලා යන්න ඕනේ. එච්චරයි “

පහන්‍යා හා කතාව අතර මැදම ලැබුණු කෙටි පණිවිඩයට පිළිතුරු යැවූ ඔහු නැවතත් සුප් බඳුන තොළ ගෑමට පටන් ගත්තේය. 

” ඒ ළමයට වේටර් ජොබ් එක ඇරෙන්න වෙන දෙන්න පොසිශන් එකක් නැද්ද අම්මා ? එයා හරි ස්මාට් ළමයෙක්. “

පහන්‍යා නැවතත් මව දෙසට හැරුණාය. 

” සඳැස්වි හරි ටැලන්ටඩ් ගර්ල් කෙනෙක් තමා. මට වෙලාවකට හිතෙනවා රස විමනේ ඉන් චාර්ජ් කෙනෙක් විදිහට කෙල්ලට ප්‍රමෝශන් එකක් දෙන්න. ඒත් මේ කෙල්ල වැඩ කරන්නේ පාට් ටයිම් නේ දරුවෝ. ඒක නිසා මටත් හිතාගන්න බැරුව ඉන්නේ මොකද කරන්නේ කියලා. “

” අම්මා..! මට සඳැස්විව ඕනේ .”

උත්පලා මුවට ළං කළ සුප් හැන්ද ඇයටත් නොදැනීම සුප් බඳුන තුළටම වැටුණ අතර ඈ ගල් ගැසී සියත්‍ර දෙස බැලුවාය. 

” ඇයි ?” 

තමා දෙස විසල් කර ගත් දෑසින් යුතුව බලා සිටින මව දෙස බැලූ සියත්‍ර පුදුමයෙන් ඇසුවේය. 

” මො.. මොකද්ද ඔයා කිව්වේ ?” 

” රස විමන දැන් නෙක්ස්ට් වීක් RD බිල්ඩින් එක ඇතුළේ ඕපන් උනාම අපිට රස විමනයි , RD foods එකයි දෙකේම Procedures එකට ගෙනියන්න කෙනෙක් ඕනේ වෙනවා. ඒවා පිළිවෙළට ප්ලෑන් කරන්න කෙනෙක් ඕන වෙනවා. ඒකට මේ බිස්නස් දෙක ගැනම දන්න කෙනෙක් ඕනේ. ඒකට හරියන්නේ සඳැස්වි. ඒ නිසා එයාව වේටර් ජොබ් එකෙන් රිලීස් කරලා ඒ පෝස්ට් එකට දාන්න ඕනේ. ඒක කරන්න ඔය පාර්ට් ටයිම් කතාව එච්චර බලපාන එකක් නෑ. එයාට දවස ගාණේ අපේ Procedures ටික හදලා ප්ලෑනින්ග් වලට දෙන්න මුළු දවසම අවශ්‍ය නැති වෙයි “

” අහ්.. ඒක මිසක්. මගෙ පපුවත් මොකද්ද උනා එක පාරට…”

උත්පලා වමත ගෙන තම පපුව මත තබා ගත් අතර ඒ දුටු පහන්‍යා චිරිස් හඬක් නඟමින් සිනහ සුණාය… 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here