මලක් වී යළි පිපෙන්නම් – 04

0
793

සිත රිද වූ සියලු දුක් වේදනා සැක සංකා අතහැර චාරුකට කාර්යාලයට යාම සඳහා ඇඳුම් තෝරා දුන්නේත් නුලාරාමය. අම්මාගේ නිවසෙහි ඔවුන් වෙනුවෙන් පිළියෙල කර තිබූ උදෑසන ආහාරය සිතාරා කෑම පෙට්ටිවලට දමා දුන්නේ වදෙන් පොරෙන්ය. චාරුක අම්මා සාදා දුන් කිරි වීදුරුව රැගෙන කාමරයට පැමිණෙද්දීත් නුලාරා වූයේ තම නිවසට යාමට සූදානමින්ය. එතැන් සිට ඇයට ආපසු යාමට වූයේ පැමිණියාටත් වඩා වැඩි හදිසියකි. 

“ඩ්‍රයිවර් කෙනෙක් එවන්න මම ලන්ච් එක හදලා තියන්නම්.”

සැමියා සමඟ ආලින්දය තෙක් ආ නුලාරා එසේ පැවසූයේ ඔහුගේ ටයිපටිය සකස් කරමින්ය. 

“මහන්සි වෙන්න එපා බබා. මං අද ලන්ච් එක පිටින් ගන්නම්. ඔයාට ඕන දෙයක් සෝමට කියලා හදවගන්න.”

“හැමදාම එහෙම කරන්න හොඳ නෑ. දන්නවද එතකොට අපි අතරේ තියෙන ආදරේ අඩු වෙනවලු. සෝම කෑම හදන්නේ එයා දන්න විදිහට. හැබැයි මම කෑම හදන්නේ ආදරෙත් දාලා…”

“අම්මෝ මගේ පුංචි කෙල්ල දන්න දේවල්. හ්ම්..එහෙනම් ගොඩක් මහන්සි වෙන්නෙ නැතුව සෝමවත් හවුල් කරගෙන පොඩි දෙයක් විතරක් හදන්න. මම පුළුවන් උනොත් දවල්ට ඇවිත් යන්න එන්නම්.”

“මාව ඔයාගේ වැඩ වලට බාධාවක් කරගන්න එපා.”

“මොනවද මේ කියන්නේ. ජීවිතය මොන දේ තිබුණත් අංක එක ඔයා.”

චාරුක තම බිරිඳව සිප ගත්තේ එසේ පවසමින්ය. ඉන් පසු හැරී බලා මඳක් එහාට වන්නට වූ මෙහෙකාරියට පැවසූයේ “නෝනව හොඳට බලා ගන්න ඕනේ සෝමා” යනුවෙන්ය. ඊයේ පෙරේදා ඔහු ඇගේ මාසික වැටුප තවත් රුපියල් තුන් දහසකින් වැඩි කළේත් “සෝම හැම වෙලාවකම නෝනගෙ පස්සෙන්ම ඉන්න ඕනේ..” යනුවෙන් පවසමින්ය. නුලාරා ආපසු හැරුනේ ස්වයංක්‍රීයවම විවර වූ ගේට්ටුව යළිත් ඒ අයුරින්ම වැසී යද්දීය. 

අනතුරුව ඈ  ආලින්දයේම පුටුවකට බර වූයේ සෝමා ලවා ගෙන්වාගත්  තමාගේ ජංගම දුරකථනයත් අත තබා ගෙනය. උදෑසන තමාගේ නිවසේ සිට යළි පැමිණෙද්දි ගත් සෙල්ෆි ඡායාරූපය මුහුණු පොතට එක් කළ ඈ තත්පර කිහිපයක් ඒ දෙස බලා සිට යළි මකා දැමුවාය. හත් මසක් පසුව සිටි නිසාවෙන්දෝ නුලාරාගේ  සිරුර මඳක් මහත්වී තිබිණ. දෙකොපුල්වල පවා වූයේ වෙනදාට වඩාත් පිරුණු ගතියකි. ගෙල ප්‍රදේශය මදක් කලුව තිබිණ. තමාගේ ලස්සනෙහි අඩුවක් වී ඇතැයි ඇයට සිතුනේ එනිසාය. චලකගේ කඩවසම් රුව හා සසඳද්දී තමාගේ රුවෙහි වන ඒ වෙනස්කම් පිළිබඳව ඇය තැවුණාය. ඒවා ලෝකයා වටහාගනු ඇතැයි බිය වූවාය.

“වෙනද වගේම මං ගැන හිතන්න ඕනේ. මං මෙහෙම මහත්වෙලා ගියොත් චාරුකට  උනත්  මාව එපා වෙන්න පුළුවන්.”

සෝමා කොළ කැඳ වීදුරුවක් රැගෙන ආලින්දයට පැමිණියේ ඕ එසේ සිතමින් සිටියදීය. කොළ කැඳ වීදුරුවත් කිතුල් හකුරු කැබැල්ලත් තම ස්වාමිදුව අසලින් තැබූ ඈ නික්ම යන්නට සැරසුණේ සෝදන්නට දමා තිබූ රෙදි බේසම සිහිවය. 

“සෝමා චුට්ටක් ඔහෙන් වාඩිවෙන්නකෝ…”

සෝමා නිවසට ඇතුළු වන්නට එක් පසෙකින් තනා  තිබූ පඩි කිහිපයෙන් පහළම පඩියේ අසුන් ගත්තේ නුලාරාට එකඟවය. 

“සෝමට ගෙදර හැම වැඩක්ම කරන්න අපහසුනම් අපි තව කවුරුහරි උදව්වට ගමු. සෝමා පුළුවන් නම් දවල්ට ටිකක් නෝනා  එක්ක මොනවා හරි කතා කර කර ඉන්න. එයා ඉන්නෙ පාළුවෙන්.”

චලක මහතා එසේ පැවසූයේ මින් දින කිහිපයකට ඉහතදීය. 

“අනේ මහත්තයා මේ මොනවා කියනවද? තව කවුරුත් අරගෙන කරන්න තරම් වැඩක් මේ ගෙදර නැහැ. බබා හම්බ උනාට පස්සේ නම් ඒවා ගැන දන්න කෙනෙක්ගේ  උදව් ගත්තට කමක් නෑ. මං නෝනව බලා ගන්නවා මහත්තයා,  පුළුවන් හැම වෙලාවකම නෝන ළඟට වෙලා කතා කර කරත් ඉන්නවා.”

සෝමා එසේ පැවසූයේ ඇත්තටමය. දැන් මේ නිවැසියන් ඇයට ඇයගේම දරුවන් හා සමානය.

“මං මහත් වෙලා නේද සෝමා…”

“ටිකක්..කොහොමත් දරුවෝ හම්බෙන්න ඉන්නකොට අම්මල ටිකක් පිරෙනවා. ඒ කාලෙට හරි අමුතු ලස්සනක් අම්මලාගේ තියෙනවා නෝනා. හරි නිවුණ තැම්පත්කමක්”

“ඒ උනාට මං දිගටම මේ වගේ මහත් වෙලා ඉඳීද සෝමා..”

“බබාලට කිරි දෙන කාලෙත් ටිකක් මහත් වෙනවා කියලා මං අහලා තියෙනවා. ඊට පස්සේනම් ඉතින් එහෙම නෑ. කැඳ එක නිවෙන්න කලින් බොන්න නෝනා.”

“සෝමයි, මහත්තයයි දෙන්නම මට සැරින් සැරේ එක එක දේවල් කවලා මාව මහත් කරවනවා.” 

“අනේ නෑ නෝනා මේ දවස්වල නෝනගෙයි බබාගෙයි දෙන්නගෙම පෝෂණය ගැන හිතන්න ඕනනේ.”

“මහත්තයා ළඟ ඉඳිද්දි මං දැන් කැතට පේනවද සෝමා. මහත්තයා ඉතින් කවදත් ලස්සනයිනේ”

“මොනවද මේ අපේ පුංචි නෝනා අහන කතා. දැන් නෝනා මහත්තයා ලඟ ඉදිද්දී  වෙනදටත් වඩා ලස්සනයි. හරි පිරුණු ගතියක් දැනෙනවා”

“ඔය නං සෝමා මාව මුරුන්ගා අත්තේ තියනවද කොහෙද. සෝමට හිතෙනවද මහත්තයා මට ගොඩක් ආදරෙයි කියලා.”

“අනේ… හිතෙනවද නෙමෙයි දෙයියනේ මහත්තයා අපේ නෝනට ගොඩක් ආදරෙයි තමයි. ඒ තරං ආදරය කරන මහත්තයෙක් මං මේ දැක්කමයි. හැම තිස්සෙම නෝනා ගැනම විතරයි හිතන්නේ. නෝනා හරිම වාසනාවන්තයි. ඉස්සර අපේ පුංචි මහත්තයාගේ අම්මයි තාත්තයි මේ ගෙදර ඉඳිද්දිත් එහෙමයි. ඇමරිකාවට යනකම්ම කවදාවත් නෝනා නැතුව මහත්තයවත් මහත්තය නැතුව නෝනවත් රෑ කෑම මේසෙට වාඩි වුණේ නෑ. ඒ දෙන්නත් හරිම සමඟියි.

“මට චාරුක අම්මයි තාත්තයි ගැන ගොඩක් විස්තර කියලා තියෙනවා. දරුවෝ හම්බවෙලා දරුවෝ ලොකු කරලා මෙච්චර කල් ගිහිල්ලා ඒ දෙන්නගෙ ආදරේ වෙනස් වුණේ නෑ කියන්නෙ හරි පුදුමයි නේද සෝමා.”

“අනේ නෑ..ඔය ඇමරිකාවට යන්න දවස් දෙකකට කලිනුත් මම දැක්කා ලොකු මහත්තයා ගෙදරින් පිට වුණේ ලොකු නෝනගේ නළල ඉඹලා. ගොඩක් දවස් වලට ලොකු නෝනා ලොකු මහත්තයාට දණගහලා වඳිනවත් මම දැකලා තියෙනවා. අපේ පුංචි මහත්තයට තියෙන්නෙත් ඒ ගතිගුණම තමයි නෝනා. මං මෙහේ වැඩට එනකොට අපේ පුංචි මහත්තයයි, පුංචි නෝනයි දෙන්නම ඉස්කෝලෙ යනවා. කොහොම මොන වැඩේ මොන විදිහකට තිබුණත් ලොකු මහත්තයා සිය සැරයක් ගෙදරට කතා කරලා ලොකු නෝනා කෑවද කියලා හොයලා බලනවා, චූටි මහත්තයයි චූටි නෝනයි ඉස්කෝලේ ඇරිලා ආවද කියලා හොයලා බලනවා. බයවෙන්න එපා! අපේ චූටි නෝනටත්  ඒ ආදරේ ඒ විදිහටම ලැබෙයි. දැනටමත් මහත්තයා එහෙමයිනේ”

“සෝමා එහෙම කියනකොට මගේ හිතට හරි සතුටක් ඇතිවෙනවා.”

“නානාප්‍රකාර මිනිස්සු මේ ලෝකේ ඉන්නවා අපේ නෝනා. හැම කෙනෙක්ම නෝන වගේ අහිංසකත් නෑ හැම කෙනෙක්ම අපේ චූටි මහත්තයා වගේ අවංකත් නෑ. ඒ අතින් නෝනා ගොඩක් පින් කරලා තියෙනවා.” 

“මටත් එහෙම හිතෙනවා සෝමා..සෝම දැන් යන්න තියෙන වැඩක් කරගන්න. ආ දවල්ට උයන්න මට පොල් ගාලා තියන්න. මහත්තයා ආසයිනේ තෝරා මාළු කිරට උයලා කැරට් සම්බෝල හදලා බෝංචියි අඹරැල්ලයි එක්ක බත් කන්න. සෝමා සිකියුරිටි  අංකල්ට කියන්න හන්දියේ එළවලු කඩේට ගිහිල්ලා අබරැල්ල ටිකක් අරන් එන්න කියලා.”

“කෑම උයන්න ගියොත් නෝනට පිරියක් ඇතුව කන්න බැරිවෙයි.”

“ඒ උනාට ඉඳලා හිටලා මහත්තයට කෑම ටිකක් හදලා දෙන්න ඕනේ සෝමා. මං ආසයි වයිෆ් කෙනෙක් විදිහට එයාගේ යුතුකම් වගකීම් හරියට ඉෂ්ඨ කරන්න. මට චලක කියලා තියෙනවා අම්මත් ඉස්සර කිචන් එකට ගිහිල්ලා කෑම බීම ගැන  හොයලා බලනවාලු.”

“ඒක ඇත්ත නෝනා. අපේ ලොකු මහත්තයා කන්න කැමති ටිකක් සැරට. චූටි නෝන කන්න කැමති කිරට. ඔය ඔක්කොටම හපන් ඒ දවස්වල අපේ චූටි මහත්තයාට බැදුමක් අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් මේ තුන් හතර දෙනාටම කැමති විදිහට ගලපල තමයි ලොකු නෝනා මෙනු එක එක කියන්නේ. එහෙම කරලත් ඉතින් උයනකං කුස්සියට වෙලා ඒවා ගැන හොයලා බලනවා.” 

සෝමා යළි නික්ම ගියේ එසේ පවසමින්ය. නුලාරා  ජංගම දුරකථනය මත තම ඇඟිලි තුඩු එහෙටත් මෙහෙටත් යැව්වේ අඹරැල්ලා මාළුව සාදන්නට හැකි අලුත් ක්‍රමයක් ගැන සොයා බලන්නටය. ඉස්සර අම්මා කාන්තා පුවත්පත්වල පළවෙන කෑම වට්ටෝරු කපා එකතු කර සාදාගත් පොත් කිහිපයක්ම නිවසේ විය. දැන් කෑම වට්ටෝරුව  පමණක් නොව එය සාදන ආකාරය පවා දෑසින් දැක බලා ගැනීමට හැකි ක්‍රම ඕනෑ තරම්ය. 

Hi..

යනුවෙන් සඳහන් වූ මැසේජර් පණිවිඩය දුරකථන තිරය මත සටහන් වූයේ එවේලෙහිය. සංකල්පනී නවෝදා ගුරුසිංහ ඇගේ මතකයේ හොඳින්ම වූ චරිතයකි. උසස් පෙළ පන්තිවල සිටි සමහර යෙහෙළියන් අද කොහේ සිටිනවාදැයි නොදනී. සංකල්පනී නවෝදා යනු පසුගිය සමයේ එසේ අතුරුදහන්ව සිටි යෙහෙළියකි. ඇය මුහුණු පොතට යළි  එක්ව සිටියේ ඊයේ පෙරේදාය. එතරම් සමීප හිතවත් කමක් නොවුනත් සංකල්පනීව ඒ සිතෙහි හොඳින්ම සටහන්ව තිබුණේ දඟකාර මිතුරියක ලෙසින්ය. පාසලේ යහළුවන් එක්ව සාදාගත් වට්ස්ඇප් ගෘපයට ඇය ඇතුළත් වූයේත් ඊයේ පෙරේදාය. නුලාරා දෙවරක් නොසිතා “hi කොහොමද ඔයාට…”  යනුවෙන් අසා කෙටි පණිවිඩයක් තැබුවාය. ඒ කෙටි පණිවිඩයට පිළිතුරු පණිවිඩය පැමිණියේ ඇය මඳක් එහාට වන්නට තිබූ කැඳ වීදුරුව අතට ගනිද්දීය. කොළ කැඳ බීමට එතරම් ප්‍රියතාවයක් නොදැක්වුවත් නුලාරා එය උගුරට දෙකට ගිල දැමුවේ කුසෙහි වැඩෙන දරුවා ගැන සිතමින්ය. චලක නිතරම උපදෙස් දුන්නේ පෝෂදායි කෑම ලබා ගත යුතු බව පවසමින්ය. 

“මම හොඳින් ඔයාට කොහොමද ඔයත් හොඳින් ඇති කියලා හිතනවා. කතා කරන්න ආසයි. ගෘප්  එකේ තියෙන ඔයාගේ වට්ස්ඇප් නම්බර් එකට කෝල් එකක් ගත්තට කමක් නැද්ද…”

“කමක් නෑ ගන්න…”

ජංගම දුරකථනය නාද වූයේ නුලාරා එසේ පිළිතුරු පණිවිඩය යවා තත්පර කිහිපයක් ගතව යද්දීය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here