ලෙමන් ග්‍රීන් පාට දිග ගවුම අතට ගත්ත ආකර්ෂා ට්‍රයල් රූම් එක ඇතුළට රිංගලා විනාඩි පහක් විතර යනකම්ම කිසිම සද්දයක් තිබුණේ නැහැ. එළියට වෙලා අත් දෙකත් බැඳගෙන, සේල්ස් කෙල්ලෝ දිහා බල බලා හිටපු කවීන්ගේ හිතටත් මොකක්දෝ නොසන්සුන්කමක් දැනෙන්න ගත්තෙ අන්න එවෙලෙ.
“බක පණ්ඩිත ගෑනි, ෆිටෝන් රූම් එක ඇතුලෙ වැටිලද දන්නෙ නෑ” කියලා කවීන් හිතින් හිත හිත හිටියේ.
ඇතුළෙන් ලොක් එක ඇරෙන සද්දේ ඇහුණා විතරයි කවීන් එකපාරටම දොර පැත්ත බැලුවා.
ට්‍රයල් රූම් එකේ ලී දොර හෙමින් සැරේ ඇරගෙන ආකර්ෂා අඩියක් ඉස්සරහට තිබ්බෙ අන්න එවෙලේ.
අන්න ඒ මොහොතේ…
කවීන්ගේ කටින් පිටවෙන්න ගිය වචන ටික උගුරේම හිරවුණා.
හැමතිස්සෙම රවන, කට කැඩෙන කතා කියන කණ්ණාඩි පොළඟාගේ ඇස් එකපාරටම මාරම විදිහට මොළොක් වෙලා, කෙල්ල දිහා බලාගෙන හිටපු විදිහටම ගල් ගැහුණා.
කෙල්ල තෝරගෙන තිබුණේ මාරම සරල, හැදියාවක් තියෙන දිග ගවුමක්. ඒ ලෙමන් ග්‍රීන් පාට කෙල්ලගේ තලෙලු හමට මාරම ලස්සනට ගැලපුණා. හැමදාම කඩා දාගෙන හිටපු අවුල් කෙස් කළඹ එක පැත්තකට කරලා දාලා, කිසිම මේකප් එකක් නැතුව තමන් ඉස්සරහට වෙලා ඉන්න ආකර්ෂා දිහා බලන් ඉද්දී කවීන්ගේ හිත ඇතුළේ අමුතුම ලෝකයක් මැවුණා. ඒ ෂොපින් මෝල් එකේ සද්ද බද්ද, සේල්ස් කෙල්ලන්ගේ හිනා හඬවල් ඒ හැමදේම එකපාරටම සයිලන්ට් වෙලා, මුළු පරිසරයම මාරම සුරංගනා ලෝකයක් වුණා වගේ කවීන්ට දැනුණෙ. කවීන්ට දැනුණෙ නිකන් හිතේ කොනකින් එකපාර බැක්ග්‍රවුන්ඩ් සෝන්ග් එකක් ප්ලේ වෙනවා වගේ.
හසරැලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාද දී
නිල්වන් නෙත් විලේ.. කැල්මකි ආදරේ..
මුවරද රේණු රොන් පිරී උතුරා සුවඳට හාදු දී
පුබුදයි ජීවිතේ.. කැකුළකි ආදරේ..
ගිනියම් වූ.. සිහිනෙක මා..හා..
දැවටී ආවා.. ඔබේ සේයා…
කවීන්ගේ පපුව ඇතුළෙන් මහා අමුතුම ගැස්මක් එක්ක ඒ සින්දුවේ පද පේළි ටික කියවෙද්දී, එයාටත් නොදැනිම එයා කණ්ණාඩි කුට්ටම පහත් කරලා ආකර්ෂා දිහා බලාගෙනම හිටියා.
ආකර්ෂා කණ්ණාඩියෙන් තමන් දිහා බලන ගමන්, කණ්ණාඩිය ඇතුළෙන් තමන් දිහා මාරම අමුතු බැල්මකින් බලන් ඉන්න කවීන්ගේ ඒ ඇස් දෙක අල්ලගත්තා. ආකර්ෂා උන්නෙ ඒ ඇස් බැල්ම ඉස්සරහා තිගැස්සිලා ගිහින් වගේ. කරකියාගන්න දෙයක් හිතාගන්න බැරුව, ඒ ඇස් බැල්ම මග ඇරගන්න බැරුව තප්පර ගාණක් කණ්ණාඩියෙන් එකිනෙකාගෙ ඇස්වල පැටළිලා උන්න දෙන්නට දෙන්නා අන්තිමේ බොහොම අමාරුවෙන් ඒ ඇස් පැටළවිල්ල ගලවගත්තා. හිත ඇතුළෙන් ලැජ්ජාවක් වගේ එකක් ආවත්, ඒක වහගන්න කෙල්ල වෙනදා වගේම මූණට ලොකු ලයින් එකක් දාගත්තා. කෙල්ල එකපාරටම හැරිලා කවීන් දිහා බැලුවේ ඉණට අත් දෙක තියාගෙන.
“මොකද නිකන් කන්න වගේ බලන් ඉන්නෙ? කැතයිද? කැතයි නම් කියනවා මං ගිහින් වෙන එකක් ගන්නම්” කෙල්ල වෙනද වගේම කිණ්ඩි ටෝක් එකක් දැම්මේ කවීන්ගේ බැල්ම දරාගන්න බැරිම තැන.
කෙල්ලගේ කටහඬින් තමයි කවීන් ආයෙත් පියවි ලෝකෙට ආවේ. එයා ඉක්මනට තමන්ගේ කණ්ණාඩි කුට්ටම උඩට කරලා, මූණ සිරා කරගෙන, උගුර පාදලා මූණ වෙනස් කරගත්තා. තමන්ගේ හිතේ ඇති වුණු ඒ ලස්සන හැඟීම කෙල්ලට පෙනෙයි කියන බයටම මූණට ආයෙත් බොරු ලොකු ලයින් එකක් ආරූඪ කරගත්තා.
” නරකම නෑ. මොක ඇන්දත් උපන් කැත යවන්න බෑ ඉතින්.” කවීන් කිව්වේ හිතින් කෙල්ලගේ ලස්සනට ලකුණු සීයම දෙන ගමන්.
“අනේ මේ තමුසෙගේ ඔය කොළඹ ලයින් මට දාන්න එන්න එපා හරී මට මේක හොඳයි,” කෙල්ල රවාගෙන ආයෙත් ට්‍රයල් රූම් එක ඇතුළට රිංගුවේ දොර ඩෝං ගාලා වහන ගමන්.
කෙල්ල දොර වහගත්ත විතරයි, කවීන්ගේ මූණට මාරම ලස්සන, අවංක හිනාවක් ආවා. එයා සේල්ස් කෙල්ලෝ ළඟට ගිහින් කාඩ් එක දික් කළේ හිත ඇතුළෙන් මාරම සන්තෝසෙකින්.
“මේකයි, තව මෙයාට ගැලපෙන හොඳ ඇඳුම් කීපයකුයි පැක් කරන්න” කියලා බිල ගෙවලා දැම්මේ ආකර්ෂා වගේ අමුතුම කෙල්ලෙක් තමන්ගෙ ජීවිතේට කොහෙන් කඩා පාත් වුනාද කියලා හිතන ගමන්.
ෂොපින් මෝල් එකෙන් ඇඳුම් බෑග් ටිකත් අරන් එළියට බහිද්දී දවල් දොළහට කිට්ටු වෙලා තිබුණ හින්දා මුළු කොළඹටම පායලා තිබුණේ මාරම සැර පෑවිල්ලක්. වාහනේට නැග්ග වෙලාවේ ඉඳන් ආකර්ෂා හිටියේ බඩගින්නේ. හැබැයි ඒක කවීන්ට අඟවන්න උවමනාවක් ආකර්ෂට තිබ්බෙ නෑ. හැබැයි නොකිව්වට දැන් ආකර්ෂාගෙ මූණෙන් කියවෙන දේවල් දැනටමත් තමන්ට තේරෙනව වගේ කවීන් වාහනේ ඩ්‍රයිව් කරගෙන ඇවිත් නැවැත්තුවේ කොළඹ හත පැත්තේ තිබුණ ලොකු සල්ලිකාරයෝ විතරක් ගැවසෙන පට්ටම පොෂ් කැෆේ එකක් ඉස්සරහා.
වචනයක්වත් කියන්නෙ නැතුව කවීන් වාහනෙන් බැහැලා කැෆේ එක ඇතුලට යද්දි ආකර්ෂාත් ඒ පස්සෙන් ගියා. ඇතුළට යද්දීම ඒසි හුළඟයි, එක එක ජාතියේ බේක් කරපු කෑමවලයි කෝපිවලයි සුවඳයි මුළු කැෆේ එක පුරාම විහිදිලා තිබුණ හන්දා ආකර්ෂගෙ බඩගින්න තව වැඩිවෙච්ච එකයි වුණේ. වටපිටේ හිටපු හැමෝම හෙන සයිලන්ට් එකේ ලැප්ටොප් දිග ඇරගෙන, නැත්නම් හෙන ඩිප්ලෝමැටික් විදිහට කතා කර කර ඉන්නවා දැක්කම ආකර්ෂාට පොඩ්ඩක් විතර බයත් හිතුණා.
දෙන්නත් එක්ක වීදුරුව අයිනේ තිබුණ මේසෙකින් වාඩි වුණාම, වේටර් කෙනෙක් ඇවිත් හෙන ලොකු මෙනු දෙකක් දෙන්නගේ අතට දුන්නා. ආකර්ෂා මෙනු එක දිග ඇරලා බලපු වෙලාවේ ඉඳන් කෙල්ලගේ මූණේ තිබුණේ මාරම අමුතු එක්ස්ප්‍රෙෂන් එකක්.
එස්ප්‍රෙසෝ… ඇමරිකානෝ… කැපුචිනෝ… මැකියාටෝ… මොන මල ඉලව්වක්ද මන්දා. ඒවයි නම් කලින් අහලා තිබ්බට කවදාවත් ඒව බීල තිබ්බෙ නැති හන්දා ආකර්ෂා තමන් අරගන්න ඕන මොකද්ද කියලා හිතාගන්න බැරුව තුශ්නිම්භූත වෙලයි උන්නෙ. ආකර්ෂා උන්නෙ කරකියාගන්න දෙයක් නැතුව කියලා තේරිච්ච හන්දද මන්දා කවීන්ම ආකර්ෂටත් එක්කම ඕඩර් එක දැම්මා.
“ඕකට තමයි කියන්නේ කතාව දෝලාවෙන් ගමන පයින් කියලා. තමුන් දන්නේ නැති වුණාට ඕවා ඉන්ටර්නැෂනල් කෝපි ජාති. නිකන් අර හන්දියේ කඩෙන් බොන හරිස්චන්ද්‍ර කුඩු කෝපි වගේ නෙවෙයි. මං ඔය ඕඩර් කරපු ජාතියට තමුන් කැමති වෙයි” කවීන් කිව්වේ හෙන ලොකු ලයින් එකෙන්.
“අනේ මේ නිකන් කිරි තේ එකකුයි, බඩගින්නට කන්න පරාටා කපලා හොදි දාලා වගේ දේකුයි තිබ්බා නම් හොඳටම ඇති”
කවීන් කෙල්ල දිහා ඇස් ලොකු කරලා බලන් හිටියෙ කෙල්ල එහෙම කිව්වම. කැෆේ එකේ හිටපු හෙනෙම සෙස්සි කෙල්ලෝ දෙන්නෙක් වටපිට බලන ගමන් කවීන්ලා දිහා බලලා හිනාවෙද්දී කවීන්ට මල පැන්නා.
“පිස්සුද ආකර්ෂා? මේක කොළඹ තියෙන හොඳම කැෆේ එකක්. මෙතන කොහෙන්ද හලෝ පරාටා? අනික වැදගත් විදිහට හැසිරෙනවා. ඔය පරාටා කතා මෙතන කියන්න එපා ලැජ්ජාවේ බෑ,”
“ලැජ්ජා වෙන්න මං නිකන් කන්න ආවෙ නෑනෙ හලෝ. කෑමක්නේ ඉල්ලුවේ. හරි හරි මං කතා කරන එකනෙ අවුල. මං කට වහගෙන ඉන්නංකො. ඉවරනෙ වැඩේ” කියලා ආකර්ෂා මූණ පුම්බගෙන අහක බලාගත්තේ, වටපිටේ ඉන්න උන් ඉස්සරහා කවීන් තමන්ව කිසි වැදගැම්මකට නැති ගොඩයෙක් ගාණට දාලා කතා කරපු පාරට හිත රිදුණු හින්දා. කෙල්ලගේ ඒ එකපාරටම සයිලන්ට් වෙච්ච මූණ දැක්කම කවීන්ගේ හිතටත් මොකක්දෝ වුණා. වැඩියක්ම රණ්ඩු කරලා පුරුදු කෙල්ල මෙහෙම සයිලන්ට් වෙද්දී කවීන්ටත් ඒක දැන් නිකන් පුරුදු නෑ වගේ.
ඒ එක්කම වේටර් ඇවිත් කෑම ටික මේසෙන් තිබ්බා. මාරම සුවඳ කැරමල් මැකියාටෝ කෝපි කෝප්පෙයි, ලොකු චිකන් සබ්මැරින් සැන්ඩ්විච් දෙකයි දැක්කම ආකර්ෂාගේ බඩ ඇතුළෙන් දඟලන ගතිය වැඩි වුණත්, කෙල්ල හිතුවක්කාරකමට මේසෙ දිහා බැලුවේවත් නැහැ.
“දැන් ඉතින් ඔය හපුටු මූණ දාගෙන ඉන්නේ නැතුව කනවා. බඩගින්නේ ඉන්නේ කියලා මං දන්නවා” කවීන් සැන්ඩ්විච් පිඟාන කෙල්ල පැත්තට තල්ලු කරන ගමන් හෙමින් කිව්වා.
“මට එපා.. තමුසෙගේ වැදගත් කෑම තමුසෙම කනවා,” කෙල්ල ජනේලෙන් එළිය බලාගෙනම කිව්වා.
කවීන් එකපාරටම තමන්ගේ පුටුව ආකර්ෂාගේ පැත්තට ඩිංගක් කිට්ටු කළා. කණ්ණාඩි කුට්ටම පහත් කරලා, කෙල්ලගේ මූණට එබුණු කවීන් මාරම අමුතු, සිරා කටහඬකින් මෙහෙම කිව්වා.
“ආකර්ෂා මං කිව්වේ මෙතන ඉන්න මිනිස්සු ගැන විතරයි. නැතුව තමුසෙට ලැජ්ජ කරන්න නෙවෙයි. මේ ඩීල් එක ඇතුළේ තමුසෙට රිද්දන්න මට උවමනාවක් නැහැ. ඒක හින්දා ඔය කට වහගෙන ඉන්න එක නතර කරලා ඕක කනවා.
මොකද අපිට මීළඟට යන්න තියෙන තැන මීට වඩා දරුණුයි. ඒ නිසා හොඳට කාලා බීලා වෙඩි වගෙ රෙඩි පිට ඉන්නවා”
අන්න ඒ කතාවට ආකර්ෂා එකපාරටම හැරිලා කවීන්ගේ ඇස් දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ මාරම අමුතු බරපතළකමක්.
“ඇයි? මීළඟට අපි කොහේද යන්නේ?” කෙල්ල ඇහුවෙ බයෙන්.
කවීන් තමන්ගේ බ්ලැක් කෝපි එකෙන් උගුරක් බොන ගමන්, ආකර්ෂා දිහාවට බය හිතෙන හිනාවක් පා කරලා එව්වා.
“අපි මේ යන්නේ අපේ ආච්චි අම්මා තමුසෙව පරික්ෂා කරන්න බලාගෙන ඉන්න, වික්‍රමසිංහ පවුලේ රහස් හැංගිච්ච වලව්වට”


