එක් අයෙකුට වුවත් අපහසුවෙන් වැඩ කළ හැකි කුඩා මුළුතැන් ගෙය තුළ උන් සංකල්පනී යහමින් කිරිපිටිත් තේ කොලත් යොදා සාදාගත් තේ එක රැගෙන ධනුක සොයා ගියේ වටින් ගොඩින් හිරු එළිය වැටෙද්දීය. සාමාන්‍යයෙන් ඔහු නිවසේ සිටින දිනවලට නැගිටින්නේ නවයට දහයටය.
“උදේ මට ඇහැරවන්න සංකල්පි හෙට උදේට වෙඩින් එකක් තියෙනවා..”
යනුවෙන් ඔහු පැවසූයේ පෙරදා රාත්‍රියේ නින්දට යද්දීය. එනිසා උදෑසනම ඇහැරුණු සංකල්පනා බතක් උයා පොල් සම්බෝලයක් සාදා කරවල බැඳුමක්ද සෑදුවාය. පෙරදා රාත්‍රියේ නුලාරාගේ නිවසේ සිට එද්දී මධ්‍යම රාත්‍රියත් පසුව හෝරාවක් පමණ ගතව තිබිණ. ඔවුන් හා කතා කරමින් සිටියදී වේලාව යනවා දැනුනේ නැත. ධනුකත්, චාරුකත් කතා කරමින් සිටියදී සංකල්පනී නුලාරා හා ඔවුන්ගේ නිදන කාමරයට ගියාය. විසල් යුගල යහනාවත්, එක් වරක් ඇලවුවහොත් යළි නොනැගිටින්නට සිතෙන සුවපහසු මෙට්ටයත් සිහිව ඇයට හෙළුනේ දිගු සුසුමකි. ඒ කාමරයේ වූ සුව පහසුවෙන් දශමයක්වත් තමාගේ නිදන කාමරයේ නොමැති බව සංකල්පනීට සිහි වූයේත් එවේලෙහිය. අඩු මුදලට මොරටුවෙන් මිලදී ගත් ලෑලි ඇඳ දැනටමත් කිරි කිරි හඬ නංවන්නේ දෙදෙනෙකුගේ බර දරන්නට තමා අසමත්යැයි පවසන්නාක් මෙනි. වටිනාකමින් අඩු මෙට්ටය මත ධනුක වැතිර සිටියේ ඇඳ රෙද්දත් අකුලාගෙනය. තමා ධනුක සමග පැමිණෙද්දී ඔහු සිටියේ බෝඩිං කාමරයකය. කුරුණෑගලින් කොළඹ පැමිණි ඔහුට තමාට කියන්නට යමක් වූවානම් ඒ ඇඳුම් පැළඳුම් කිහිපය දැමූ ගමන් බෑගයත්. ගිටාරයත්, යතුරුපැදියත් පමණි. ඔහු සංකල්පනීව මුලින්ම කැඳවාගෙන පැමිණියේත් ඒ බෝඩිං කාමරයටය. මුළුතැන් ගෙයකට අවශ්‍ය උපකරණ කිහිපයක්, ප්ලාස්ටික් පුටු දෙක තුනක්, වානේ අල්මාරියක් සහ ඇඳක් මිල දී ගත්තේ බෝඩිං කාමරයෙන් කුඩා ඇනෙක්සියකට පා තබද්දීය. බෝඩිමේ හිමිකාරිය දවස තිස්සේම ආඩපාලි නොකියූවේනම් තමා තවමත් ඒ බෝඩිං කාමරයේය. ධනුක ආදරනීය මිනිසෙකි. සැහැල්ලුවෙන් ජීවිතය ගෙවා දමන මිනිසෙකි. එහෙත් ඔහු දියුණු වන්නට උත්සාහ දරනා අයෙකු නොවේ. අද දින ජීවත් වෙනවා මිසක හෙට ගැන සිතනා අයෙකුද නොවේ.
“නැගිටින්න ධනුක..ඔයාට අද වෙඩින් එකක් කිව්ව නේද..?”
ධනුක දෑස් ඇරියේ සංකල්පනී දෙවරක් තුන්වරක්ම කතා කළාට පසුවය.
“අද යන්න බෑ වගේ කියලා හිතෙනවා. මං ඒක ගයාන්ට සෙට් කලා”
“එහෙම කොහොමද. අතේ තිබුණු සල්ලි ටිකත් නුලාරගේ කෑම වලට වියදම් වුණා. ගෙදර බඩුත් නෑ.”
“අද සල්ලි වගයක් හම්බවෙන්න තියෙනවා. මෙහෙම මේක කරලා හරියන්නෙ නෑ සංකල්පී. අතට දැනෙන ගාණක් එන වැඩක් හොයාගන්න ඕනේ.”
“ඒක තමයි මමත් ඔයාට හැමතිස්සෙම කියන්නෙ.”
“ඔයා යාළුවට කතා කළාද?”
“කාටද…”
“නුලාරට…”
“කතා කළේ නං නෑ. ඊයේ රෑ අපි පරිස්සමට ආව කියලා මැසේජ් එකක් විතරක් තිබ්බා.”
“උදේට කතා කරන්න. මිස්ටර් රඹුක්වැල්ලත් ගෙදර නෑනේ. ඒවගේ කෙනෙක් යාළුවෙක් වෙලා ළඟ ඉන්න එකෙන් අපිට වරදක් වෙන්නෙ නෑ.”
ධනුක එසේ පැවසූයේ සංකල්පනී ගෙන ආ වතුර වීදුරුවෙන් කට සේදූ වතුර ජනේලයෙන් එපිටට විසිකරමින්ය. ඔහු නුලාරා ගැන දක්වන උනන්දුව පුදුම සහගත එකක් යැයි සංකල්පනීට සිතුනේ ඊයේ පෙරේදාය.
“ඔය නුලාරා කියන්නේ ඉස්සර ඉඳලම සල්ලි තියෙන කෙනෙක්ද..?”
එවර ඔහු ඇසුවේ සංකල්පනී දිගු කරගෙන උන් තේ කෝප්පය තම දෝතින් ගෙන ඇඳෙහි පසෙක අසුන් ගන්නා ගමන්ය.
“ලොකුවට කියන්නත් බැහැ. එයාගේ අම්මයි තාත්තයි දෙන්නම වැඩ කලේ බැංකුවල. ඒ නිසා ඉතින් කොහොමත් අපිට තරං අඩුපාඩුවක් එයාට තිබුණෙේ නෑ. ඔයා මොකටද මේ තරම් නුලාරා ගැන අහන්නේ.”
“මං එයා ගැන අහන්නේ බම්බුවකටද අනේ. මං බලන්නේ ඔයාවයි ඒ ගෑනිවයි කොහොමහරි ලං කරවන්න. මට ඒ ගෑනිගෙන් ඇති වැඩක් නෑ. මට ප්‍රයෝජනයක් තියෙන්නේ රඹුක්වැල්ලගෙන්.”
“ඒ කිව්වේ? මට තේරුන් නෑ..”
“ඔන්න ඕකට තමයි අපේ පුරාණ පඬිවරු කියලා තියෙන්නේ ගෑනුන්ගේ නුවණ හැඳි මිටේ කියලා..”
“අනේ මේ….ගෑණු නැති උනානං පිරිමි කොරල ගනියි මේන් කියලා.”
“අනේ මේ නෙමෙයි සංකල්පි…”
ඔහු එසේ පැවසූයේ තමා අසලින්ම අසුන්ගෙන උන් බිරිඳගේ කර වටා අතක් යවමින්ය. ඒ හා සමගම ඔහු අඩක් බ්ව් තේ කෝප්පය ඇගේ දකුණත මත තැබුවේය. මේ සංකල්පනී ඔහුගේ කැමතිම පුරුද්දකි. එසේ ඔහු ඉතිරි කර දෙන තේ උගුරු කිහිපය ඇයට අමෘතයක් බඳුය.
“චාරුක රඹුක්වැල්ල කියන්නේ දැන් ඇඩ්වර්ටීස්ට්මන්ට් ෆීල්ඩ් එකේ විතරක් නෙමෙයි ඉන්ටර්නැෂනල් ෂෝස් ඕගනයිෂේශන් වලත් අංක එකේ ඉන්න පොරක්. අපිටත් හැමදාම මෙතන මේ විදිහටම ඉන්න බෑනේ. කොහොම හරි චාරුකට ළං වෙන්න ඕනේ. ඒකට හොඳම පාලම තමයි නුලාරා. උගේ උදව්වෙන් මේ මියුසිස් ෆීල්ඩ් එකේ තැනකට ඔලුව දා ගන්නවා කියන්නේ අපි ගොඩ තමයි. මගේ හිතෙන් කාලයක් තිස්සේ තිබ්බ හීනෙ හැබෑ කරගන්න හොඳම කෙනා තමයි සංකල්පි මේ හම්බ වෙලා ඉන්නේ. නුලාරා කියන්නේ අපිට අහම්බෙන් හම්බවෙච්ච කෙනෙක් නෙමෙයි දෙයියෝ එවපු තෑග්ගක්.”
“ආ ඔයා ඒකයි මේ…”
“මතක නැද්ද අර කෑම ටිකට රුපියල් අටදාහක් යනවා කියලා ඔයා ලෝභ වෙද්දි මං කිව්වේ ඕව අනාගත ආයෝජන කියලා.”
“මටත් ඊයේ ඒකි දකිද්දී මාර ලෝභකමක් ඇතිවුණා ධනුක. ඒකනම් ගෙයක් නෙමෙයි එහෙම් පිටින්ම මාළිගාවක්. මං හිතන්නේ අර අපි වාඩිවෙලා ඉඳපු පුටු ඒවා ලංකාවේ ඒවා නෙමෙයි. ඒක මං ෆේස්බුක් එකේ දැකලා තියෙනවා. ඉතාලි වගේ රටක ඩිසයින් එකක් වෙන්න ඕනේ. අර ලයිට් සිස්ටම් එක…මං දන් නෑ මට හිතා ගන්න බෑ අපිත් එක්ක ඉඳපු කෙල්ලෙක් ඒවගේ සැප විඳිනවාද කියලා..මම එච්චරම දෙයක් බලාපොරොත්තුවෙන් ගියේ නෑ ධනුක”
“රඹුක්වැල්ලට පට්ට සල්ලියක් මැණික තියෙන්නේ. උන් ඇවිල්ලා පරම්පරා හත අටකට සල්ලි හම්බ කරගතපු මිනිස්සු.”
“ඒ උනාට ඒ මනුස්සයා ගාව ලොකු කමක් ගෑවිලාවත් නෑ. අනිත් එක නුලාරට මාර ආදරෙයි.”
“හ්ම්…ඒකනම් මමත් නෝට් කළා.”
“දැන් ඔයා මොනවද චාරුක ලවා කර ගන්න යන්නේ.”
“එකක්, දෙකක්, මේකයි කියලා නෑ. මගේ ෆීල්ඩ් එකේ හැටියට චාරුක රඹුක්වැල්ල කියලා කියන්නේ මට සල්ලි ගහක්. හරියට සෙට් උනොත් මට තියෙන්නේ මගේ අත් දෙකෙන් ඒ සල්ලි ගහ හොල්ලලා කොළ කඩා ගන්න එක විතරයි.”
“අනේ මන්ද ධනුක ඔයා වෙලාවකට කියන දේවල් මට තේරෙන්නෙම නෑ”
“එච්චර දුර හිතන්න ඕනේ නෑ. මං මේ හැමදේම කරන්නේ අපි දෙන්න වෙනුවෙන්. සමහරවිට අපිට දවසක චාරුකලටත් වඩා වැඩියෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් වෙයි. ඔයාට දැනට තියෙන්නෙ තියෙන්නෙ නුලාර එක්ක බොහෝම ළඟින් ආශ්‍රය කරන එක විතරයි. මම එන්න ඕනේ නෑ. ඔයාට පුළුවන් වෙලාවට ගිහිල්ලා නුලාරට උදව් කරන්න ටිකක් කතා කර කර ඉන්න, දෙන්නත් එක්ක කොහේ හරි ඇවිදින්න යන්න. ඔයා නුලාරට නැතුවම බැරි කෙනෙක් විදිහට සමීප වෙන්න. මං ඊයේ තව දෙයක් නෝට් කළා.”
“ඒ මොකක්ද අනේ ඒ…”
“මට හිතුණා කොච්චර සල්ලි තිබුනත් නුලාරා ටිකක් කම්මැලිකමෙන් ඉන්න ගෑනියෙක් කියලා. චාරුකට උනත් හැමතිස්සෙම එයාගේ ළඟට වෙලා ඉන්න ඉඩක් නැතුව ඇතිනේ. යාළුවෙක් විදිහට ඔයාට පුළුවන් අන්න ඒ හිස්තැන පුරවන්න.”
“ඔයා කියන දේ මට තේරෙනවා….”
“සමහරවිට අපිට ගොඩ යන්න තියෙන එකම ක්‍රමය මේක විතරක් වෙන්න පුළුවන්. ඒක හින්දා මගේ හොඳ නෝනා වගේ පුළුවන් තරම් නුලාරාට එකතු වෙන්න. එතකොට අපිට පුළුවන් අපිට ඕන වැඩේ නුලාරා ලව්වා චාරුකටවත් නොදැනෙන්න කරගන්න. අද අපි දෙන්නා දවසෙම හොඳ රවුමක් ගහමු…”
ධනුක එවර පැවසූයේ සංකල්පනීව තුරුළු කරගෙනය.
“රවුම් ගහන්නේ කොහොමද අනේ බයික් එකට ප්‍රෙටෝල් ගහන්නවත් සල්ලි නැතුව.”
“මං කිව්වේ සල්ලි වගයක් හම්බවෙන්න තියෙනවා කියලා. හෙට දවස සැපවත් කරගන්න අද දුක් විඳින්නම ඕනේ.”
එසේ පැවසූ ධනුක සංකල්පනීව ඇඳෙහි පෙරලා ගත්තේය. මුළු නිවසටම වූයේ මේ කාමරයත් කුඩා මුළුතැන් ගෙයත් නාන කාමරයත් පමණි. එනිසාම ධනුක නිවසේ සිටින වේලාවට සංකල්පනීගේ දවස ගත වෙන්නේත් මේ ඇඳ මතමය. බොහෝ විට එවන් දිනවල අසල හෝටලයකින් ගෙන්නා ගන්නා ෆුල් රයිස් එක දෙදෙනාට ඕනෑවටත් වඩා සෑහේ.
රන්දික අදටත් දික්කාසාදය නොදී සංකල්පනීට අලුත් ජීවිතයක් අරඹන්නට කතා කරමින් සිටී. සංකල්පනීට හැර දා ආ කිසිවක් ගැන ලෝබකමක් නොදැනෙන්නේද ධනුකගේ වන මේ ආදරය නිසාය.
“ඔය එතනින් මෙතනට මෙතනින් අතනට පනින මිනිස්සුන්ට ජීවිතයක් නෑ කියන එක ඔයා මුලින්ම තේරුම් ගන්න සංකල්පනී. මං දන්නෙ නැහැ මොනවද මගෙන් ඔයාට අඩුපාඩු උනේ කියලා. අන්තිමට ඔයාට වෙන්නෙත් මහ පාරට වැටෙන්න. අදටත් මං මේ අවට ගෙවල්වල මිනිස්සුන්ට කියලා තියෙන්නේ ඔයා ටික කාලෙකට මහ ගෙදර ගියා කියලා. ඔයාගේ අම්මා අසනීපෙන් නිසා. මං එහෙම කිව්වෙත් ඔයා ඇත්ත තේරුම් අරගෙන ආපහු එයි කියන බලාපොරොත්තුවෙන්. මගෙන් ඔයාට අඩුපාඩුවක් උනා නං අපි ඒ දේවල් හදාගෙන ආපහු එකතුවෙලා ගමනක් යමු. ඔයා ඒ ගැන ටිකක් හිතලා බලන්න…”
ඊයේ පෙරේදාත් රන්දික එවා හඬ පණිවිඩය ඇය ඇසුවේ ධනුකට හොර රහසේය. ඉන්පසු මකා දැමුවාය. රන්දිකගෙන් තමාට අඩුපාඩුවක් නොවූ බව හැබෑය. එහෙත් ධනුකගේ මේ ආදරය ඇබ්බැහියකි. පහන් දැල්ලට ආශක්ත වූ පළගැටියෙකු සේ තමා එහි බැඳෙමින් සිටින බව සංකල්පනී නොදන්නවා නොවේ. අම්මා පවසන පරිදි එය තමාගේ කරුමයදැයි ඇය බොහෝ වර සිතුවාය. තවමත් ඇයට ධනුකගේ අයිතිය ලැබී තිබුනේ නැත. ඔහු එයට උත්සාහ දරන්නේද නැත. කෙසේ වෙතත් ඔහුගේ මේ ආදරයට නතුව දවස ගෙවා දමන්නට ඈ දැන් සිත හදාගෙන අවසන්ය. තම ජීවිතයේ හෙට දවස මෙසේ ගත නොවෙනා බවට සිත මත ඔහු තැවරූ බලාපොරොත්තුවට පියාසර කරන්නට අවකාශ ලබා දෙමින් ඕ ධනුකට තුරුළු වී දෑස් වසා ගත්තාය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්…)


