ඔලියැන්ඩර් – 22

0
901
oleander Flower

” ආදරේ කියලවත් කිව්වෙ නැත්තං උඹලා දෙන්නා අතරෙ තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද බං ?” 

සඳැස්විගේ හදවත පුරා නැවත නැවතත් විමර්ෂාගේ පැනය දෝංකාර දුන්නේය. 

ඇත්තටම ඇයි එහෙම ? මොකක්ද අපි අතරේ තියෙන්නේ ?

ටීපෝව මත දිග හරින ලද සටහන් පොත් කිහිපය දෙස බලා පාඩම් කිරීමට කොතෙක් වේලා සිට උත්සාහ ගත්තද ඒ කිසිවක් නොමැතිව වරින් වර වතුරේ එබූ රබර් බෝලයක් සේ විමර්ෂාගේ වචන හදවතේ ඉහලටම මතුව එන්නේය. 

” සල්ලිකාරයෝ බහුතරයක් තමන් යටතේ වැඩ කරන ගොඩාක් ගෑනුන්ව තියාගන්නේ ඒ ඒ වෙලාවට ඕන කරන අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න විතරයි. සමහර මිනිස්සු ගැන තේරුම් ගන්න අපිට එක ජීවිතයක් මදි බං. රස්සාවලට කියලා ඇවිල්ලා අන්තිමේ එක එකාගේ අතින් අතට යන්න උනු වගේම ළමයි එක්ක තනිවෙච්ච ගෑනු ඕන තරම් මේ කොළඹ ඉන්නවා. ඒ නිසා පරිස්සමින්…”

යළි යළිත් සිහිවන විමර්ෂාගේ වචන වල එක් අතකින් වරදක් නොමැති බව ඇයට සිතෙයි. ඒ සැණින් හදවතේ අනෙක් පසින් ඔහු එලෙස වංචාකාරයෙක් නොවන බවද විසල් හඬකින් ඇසෙයි. ඒ සිතුවිලි ද්විත්වයම යටපත් කොට ඊලඟ මොහොතේ තමා හා ඔහු අතර ඇත්තේ කුමනාකාරයේ සම්බන්ධයක්දැයි හදවත තමාගෙන්ම ප්‍රශ්න කරමින් සිටියි. පාඩම් සටහන් මත සිත රඳවා ගැනීමට කෙතරම් උත්සාහ ගත්තද එකී උත්සාහයන් සියල්ලම ව්‍යර්ථ වී ගිය අතර ඈ දෑස ඔසවා බිත්ති ඔරලෝසුව දෙස බැලුවාය. රාත්‍රී එකොළහ පසුවී විනාඩි දහයක් ඉක්ම ගොසින්‍ ය. තව දුරටත් නිදි මරමින් සිටීමේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව වටහා ගත් ඈ ටීපෝව මත දිග හැර තිබූ සටහන් පොත් සියල්ල එකින් එක නවා තැබීමට පටන් ගත්තාය . මොහොතකින් ජංගම දුරකතනය වෙත කෙටි පණිවිඩයක් ලැබුණු අතර මේ මොහොතේ කවරෙකුදැයි යන ප්‍රශ්නාර්ථයෙන්ම ඈ දුරකතනය අතට ගත්තාය. 

” නිදිද ?” 

කෙටි පණිවිඩය ඔහුගෙනි. ඒ දුටු වහා හදවතේ තිබූ සියළු දෝමනස්සයන් දුරු වී ගොස් සැනසීමක් දැනුණු බව ඈ හොඳින් තේරුම් ගත්තාය. 

” නෑ.. පාඩම් කරනවා. “

ඇය ප්‍රති පිළිතුරු යවා දුරකතනය පසෙකින් තැබුවාය. ඉදින් සැණකින් ඔහුගෙන් ඇමතුමක් ලැබුණේය. 

” හෙලෝ !’ 

” පාඩම් කරනවද ?” 

” ඔව්.. “

” මහන්සි නෑ ? නිදාගන්නේ කීයටද ?” 

” තව ටිකකින් ඉවර කරන්න බැලුවේ “

” හ්ම්ම්.. විනාඩියකට බැල්කනි එකට එන්න. “

තරුණිය වහා වික්ශිප්ත දෑසින් බැල්කනිය දෙස බැලුවාය. 

” ඇයි ඒ ?” 

” එන්නකෝ “

” ඉන්න..”

ඈ වහා හිඳ උන් තැනින් නැඟිට වීදුරු ද්වාරය හැර බැල්කනිය වෙත පා තැබුවාය. බැල්කනියේ බරාඳයට බර වූ ඈ නිවසට මඳක් ඔබ්බෙන් අන්ධකාරයේ නවතා ඇති මෝටර් රථය දැක තිගැස්සී ගියාය.

” සර්..! ඔතන මොකද කරන්නේ ? “

” මහන්සියි ළමයෝ.. දැනුයි වැඩ ඉවර උනේ “

උවන මෙන්ම හදවතද ඔහුගේ හඬින් ශෝකයෙන් බර වී ගියේය .

” ඉතිං ඔතන ඉන්නැතුව ගෙදට්ට එන්නකෝ සර්  . තේ එකක් බොමු. “

ඈ කිසිදු පැකිළීමකින් තොරව පැවසුවාය .

” ම්ම්හ්.. දැන් බෑ. රෑ උනා වැඩියි. මට ඕන උනේ මූණ බලන්න විතරයි. දැන් ඒක හරි. මං යන්නං “

” අනේ සර්.. ගේ දොරකඩටම ආපු එකේ ඇයි නෑවිත් ඉන්නේ ?” 

” පහල මහීල් ඉන්නවා නේද ?” 

” ඉන්නවා සර්. “

” මේ වෙලාවේ එන එක ප්‍රශ්නයක් නෑ. ඒත් ඒක ඔයාට හොඳ නෑ. අනික මට මහන්සියි. දවසෙම දැක්කේ නැති නිසයි ආවේ . ම්ම්… මං යන්නං. ඇතුළට ගිහින් දොර වහ ගන්න. “

” අනේ සර්.. ! නැත්තං මං හිමින් සැරේ ගේට් එක ඇරන් පාරට එන්නද ?”

” ගුටියක් කන්න ආසද මගෙන් ?”  

ඔහු පිළිබඳව උපන් අනුකම්පාවෙන් ඇගේ සිත තව දුරටත් ශෝකයෙන් බර වූ අතර දෙනෙතින් කඳුළු බිඳුවක් කඩා වැටුණේය. 

” අඬනවද ? ” 

” ආ.. ? නෑ.. “

” ඇතුළට යන්න. “

ඔහු එසේ පවසා මෝටර් රථය යළි පණ ගන්වනු ඈ දුටුවාය. 

” සර්..!” 

” නිදාගන්න දැන්. හෙට හවසට මීට් වෙමු. “

” පරිස්සමට යන්න සර්. බුදු සරණයි !” 

” හ්ම්ම්.. බායි. “

මෝටර් රථය නොපෙනී යනතුරුම බලා සිටි ඈ විසල් සුසුමක් අත හැර යළි හැරුණාය. 

” එයා එහෙම නෑ විමූ.. ඇත්තටම එයා එහෙම නෑ..”

********************************************

තරු විසුල අහස මනරම්ය. එකදු වැහි වළාකුළක සෙවනැල්ලක් හෝ ඒ මත නැත . විසල් අහස පුරා නෙක රටා මවමින් විසිරී තිබූ තරු මල් ප්‍රීතියෙන් දිළිසෙමින් තිබුණේය. අලංකාර අහස් වියන මත රැඳි දිළිසෙන තාරකාවෝ බඳු වූ නේක වර්ණ විලාසිතාවන්ගෙන් පිරුණු ස්ත්‍රී පුරුෂ , බාල මහළු බොහෝ පිරිසක් RD foods ගොඩනැගිල්ලේ විවෘත වන නව රස විමන අවන්හලෙහි සමාරම්භක අවස්ථාවට එකතු වී එහි සතුට බෙදා ගනිමින් සිටියහ. 

කළු පැහැ අත් දිග කමිසයත් , එයට උඩින් හැඳි කළු පැහැ බ්ලේසරයත් , ඒ පැහැයම ගත් දිගු කලිසමකිනුත් හැඩව උත්සව සභාවට ඇතුළු වූ කඩවසම් දේහදාරියා තමන් වෙත යොමුව තිබූ බොහෝ දෑස් මඟ හරිමින් තම සොයුරියත් , මිතුරාත් , ලේකම්වරියත් අසුන් ගෙන සිටින මේසය කරා ප්‍රතාපවත් ගමනින් අඩි තැබුවේය. 

” ශාහ්…! අද නිකන් ෆිල්ම් ස්ටාර් කෙනෙක් වගේ..”

හිඳ සිටි අසුනෙන් නැඟිට ගත් පහන්‍යා වහා තම මළනුවන් වැළඳ ගත්‍තාය. 

” වගේ මොකක්ද ? “

පෙරළා ඈ වෙත විහිළුවක් කළ ඔහු ඇයට නැවත අසුන් ගැනීමට ඉඩ සලසා ඈ අසලම අසුනකට බර වූයේය .

” හැමදාම පාර්ටීස් මඟ අරින එකා. අද මොකෝ දන්නෑ නේද අක්කා ?” 

” හ්ම්ම්.. ඒක තමා මාත් බැලුවේ ?” 

මහීල්ගේ කතාවට ඔහු වෙත රකුසු බැල්මක් හෙළූ ඔහු උත්සව සභාව වටා දෙතුන් වරක් දෑස යවමින් මෙතෙක් නුදුටු හා අපේක්ෂිත රුව සොයන්නට පටන් ගත්තේය .

” උඹ කැරකි කැරකි කාවද බං හොයන්නේ ?” 

මිතුරාගේ හැසිරීම ගැන මනා සෝදිසියෙන් සිටි මහීල් සිහින් වූ දෑසින් ඔහුගෙන් විමසා සිටි අතර නැවතත් රකුසු දෑස ඔහු වෙත ගිනි පිට කළේය. 

” අක්කා වයින් එකක් බොනවද ?” 

” බෑ මහීල්. මට මේ දවස්වල අප්පිරියයි. “

” ඔයා ?” 

මහීල් ඊලඟට හැරුණේ ශාක්‍යා දෙසටය. ඇගේ පිළිතුරක් නොමැති උවන දුටු ඔහු වයින් වීදුරුවක් පුරවා ඈ වෙත දිගු කොට මේසය මත තිබූ මත්පැන් වීදුරුවට තට්ටුවක් දමා සියත්‍රට ඉඟි කළේය. මහපටැඟිල්ලත් , දබරැඟිල්ලත් එක් කොට කුඩා වීදුරුවක් පුරවන්නට සන් කළ ඔහු මහීල් වෙතින් එය ගෙන තොළ ගෑමට පටන් ගත්තේය . ඉන්පසු හිමින්සීරුවේ ජංගම දුරකතනය ගෙන ඈ හට කෙටි පණිවිඩයක් තැබුවේය .

” where are you ?” 

සිනා මුහුණක් පමණක් ලැබුණු ප්‍රති උත්තරයෙන් සෑහීමකට පත් නොවූ ඔහු යළිත් උත්සව සභාව පුරා දෑස විතැන් කළේය. ක්ෂණිකව තම මව පසුපසින් සිට ගෙන deep maroon පැහැ ගත් සාරියකින් සහ එයටම ගැලපෙන කළු පැහැ ජැකටයකින් සැරසී , ඉණ තෙක් දිගු කෙස් කළඹ විසිරුවා දමා මව හා තවත් කාන්තාවන් දෙදෙනෙකුට යමක් පැහැදිලි කරමින් සිටින තරුණිය දුටු වනම ඔහුගේ මුව මත ඔහුටත් නොදැනීම සිහින් සිනහවක් මතුව ගියේය. ඇගේ රන්පැහැ වතත් , උත්සව සභාවේ නෙක වර්ණ රටාත් , පිළිවෙළින් ගලපා ඇඳ ඇති සාරියත් මින් පෙර නුදුටු ආකාරයේ වෙනස්ම අලංකාරයක් ඈ වෙත ලබා දී තිබුණේය. වහා  ජංගම දුරකතනය අතට ගත් ඔහු යළිත් එහි කෙටි පණිවිඩයක් තැබුවේය.

” wow ..! you are soo beautiful today “

දිළිසෙන දෑසින් දුර උන් තරුණිය දෙස බලා හිඳින ඔහුගේ වත ක්ෂණිකව තම දෑසට හසු කර ගත් පහන්‍යා වහා ඔහු අසලට නැඹුරු වූවාය. 

” කෙල්ල සාරියට මාර ලස්සනයිනේ ?” 

සියත්‍ර තිගැස්සී තම සොයුරිය දෙස බැලුවේය. 

දෙබැම ඔසවා ” ඇයි ” යැයි ඉඟි කළ පහන්‍යා හට පිළිතුරක් නුදුන් ඔහු නැවතත් තමා ඉදිරියේ තිබූ මත්පැන් වීදුරුවක් ගෙන තොළ ගෑමට පටන් ගත්තේය. 

පැමිණෙන සියල්ලන්ම සමඟ සතුටු සාමීච්ජියේ යෙදෙමින් වෙහෙසට පත් ව සිටි උත්පලා රන්දෙණිගල සඳැස්විගේ අතින් අල්ලා ගනිමින් වහා තම දියණියත් , පුත්‍රයාත් හිඳ සිටි මේසය අසලට පැමිණ අසුනකට බර වූවාය. 

” Very tired. “

එසේ පැවසූ ඈ මේසය මත තිබූ වයින් වීදුරුවක් ගෙන බීමට පටන් ගත්තාය. ඈ පසෙක සිට ගෙන සිටි තරුණිය දෙස බැලූ සියත්‍ර තමා අසලින් අසුන් ගන්නා ලෙස දෑසින් ඇයට ඉඟි කළද ,දෑසින්ම එය ප්‍රතික්ශේප කළ ඈ උත්පලා රන්දෙණිගල දෙසට දෑස විතැන් කළාය. 

” ඔහ්… දේවනාරායනලා එනවා..”

උත්පලා හිඳ සිටි අසුනෙන් වහා නැඟී සිටි අතර උත්සව සභාවට පැමිණි අමාත්‍ය දේවනාරායනගේ බිරිඳ වහා ඈ ලෙන්ගතුව වැළඳ ගත්තාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here