ඔලියැන්ඩර් – 82

0
242
oleander Flower

ජනශුන්‍ය පරිසරයක , විසල් පොල් වතු වගාවක් මැද ඉදිව තිබූ පැරණි වලව්වක ශ්‍රීවිභූතිය රැගත් නිවසක බිම් මහලේ විශේෂිතව තැනූ කුටියක තමා ඉදිරියේ පුටුවක හිඳ මුහුණ කටින් රුධිරය වගුරවමින් කෙඳිරි ගෑමට පවා ශක්තියක් නොමැතිව අඩපණව සිටිනා පුද්ගලයා දෙස රෞද්‍ර බැල්මක් හෙළූ දේහදාරියා තම අතැඟිලි මත තැවරී තිබූ රුධිරය දෙතුන් වරක් ගසා දමා නාද වන ජංගම දුරකතනය ගෙන පිළිතුරු බැඳීමට පටන් ගත්තේය. 

” සඳ.. ! කියන්න. “

” සර් කොහෙද ඉන්නේ ?” 

” මීටින් එකක සඳ..”

” ආහ්.. එහෙනං මං පස්සේ ගන්නද ?” 

” ම්හ්හ්.. එපා. දැන් කියන්න. මොකෝ මාව මතක් උනේ ?” 

” හවසට එනවද ?” 

” ම්ම්ම්… කියන්න අමාරුයි. ආවත් ටිකක් රෑ වෙයි අද “

” මං උයන්න හැදුවේ “

” එපා.. ආවොත් මං මොනාහරි අරන් එන්නං. “

” අනේ ඉතිං කඩෙන් කන්න ඕනෙ නෑ. මං මොනාහරි ගෙදර හදන්නම්කෝ . රෑ උනත් කමක් නෑ සර් එන වෙලාවක එන්නකෝ. “

” හ්ම්ම්.. “

ඇමතුම විසන්ධි කළ ඔහු නැවත වතාවක් පුටුව මත කඩා වැටී උන් පුද්ගලයා දෙස බැලුවේය .

” නලියා..! මූට වතුර එකක් ගහපන්. “

**********************************************

” අද නම් මට  මේ  ‘Principles of Management’ වල Organizing (සංවිධානය කිරීම) කොටස ඉවර කරගන්නම ඕනේ බං. ඊට පස්සේ ඊගාව දවස් තුන හතර වෙනකොට Accounting වල Tutorial ටික කරන්න පටන් ගන්න පුලුවන් . “

” මට මේ Span of Control (පාලන පරාසය) කියන කෑල්ල පොඩ්ඩක් පටලැවෙනවා. ” 

“‘Tall Structure’  එකකයි  ‘Flat Structure’ එකකයි වෙනස ආයෙත් බලාගනින් . සඳා.. ඒක ආයේ කියහන්කෝ “

” ඒකේ මහ ලොකු දෙයක් නෑ.  මෙහෙම හිතන්නකෝ, ලොකු hierarchy (ධුරාවලියක්) තියෙන තැනක, ඒ කියන්නේ මැනේජර්ස්ලා ගොඩක් ඉන්න තැනක පාලන පරාසය ‘Narrow’ (පටුයි). ඒක තමයි Tall Structure එක. හැබැයි Flat Structure එකකදී එක මැනේජර් කෙනෙක් යටතේ සේවකයෝ ගොඩක් ඉන්නවා. එතන ‘Wide Span of Control’ එකක් තියෙන්නේ. හැබැයි ඉතිං ඔය දෙකෙන් හොඳ මොකද්ද කියලා ඇහුවොත් හරියටම උත්තරයක් දෙන්න අමාරුයි. ඒක තීරණය වෙන්නේ ආයතනයේ ස්වභාවය අනුව කියලා තමයි කියන්න වෙන්නේ “

” ඉතිං  සේවකයෝ හරි දක්ෂ නම්, මැනේජර්ට වැඩිය බලන්න ඕනේ නැති නිසා ‘Wide Span’ එකකට යන්න පුළුවන් නේද ?” 

” හ්ම්ම්… ඒකට තමයි අපි කියන්නේ Empowerment කියලා. සේවකයන්ට වගකීම් දෙන එක.”

කිසිදු ප්‍රාණවත් බවක් නොමැතිව සඳැස්විගෙන් පිටවන පිළිතුරු හමුවේ අමාවී අත රැඳි පෑනේ උඩු කොටස සපමින් මිතුරිය දෙස මඳ වේලාවක් බලා සිටියාය. 

” මොකෝ සඳා නිකන් දාහට අරන් සීයට දීලා වගේ ?” 

” මුකුත් නෑ බං. දැන් වෙලාව කීයද ?” 

” දොළහට විස්සයි. මොකෝ අද ආවේ නැති නිසාද ?” 

විමර්ෂාගේ පැනය හමුවේ සඳැස්වි මුව බෙරි කර ගත් අතර අමාවී විසල් කර ගත් දෙනෙතින් ඈ දෙස බලා සිටියාය. 

” මොන මංගල්ලයක්ද බං මේ ? පුදුම ගෑනු මුං නම්. ? දවාලේ අම්මා කතා කරපු එකකට තැවි තැවී ඉද්දි මං හිතුවේ ආයේ අර කොල්ලා දිහා පැත්ත හැරිලා බලන එකක් නෑ කියලා . පෙනේද මේකිගේ තියන විසේ. අදත් ඉන්නැත්තේ දත කට මැදගෙන ඇවිල්ලා එක්කන් යයි කියලා වෙන්නැති “

” අනේ.. මේ..” 

බොරු තරහක් මවා ගත් සඳැස්වි වහා ඉදිරියට පැන අමාවිගේ අතට පහරක් ගැසුවාය. 

” කෝල් එකක් දීලා බලපන්කෝ ඉතිං ” 

විමර්ෂාගේ යෝජනාවට පිළිතුරු ලෙස කිසිවක් නොපැවසූ ඈ දුරකතනය ගෙන ඔහු වෙත ඇමතුමක් ලබා ගත්තාය. පළමු ව‍රත් , දෙවන වරත් නාද වී අවසන් වූ ඇමතුම අවසන් වර යැයි සිතා ගත් තෙවැනි වරට ඔහු පිළිතුරු දුන්නේය. 

” සර්. .. කොහෙද ඉන්නේ ?” 

” ස්.. සඳ..හ්…!” 

ඇමතුම හරහා ඇසෙන වේග රිද්ම ගී හඬද ඔහුගේ ස්වරයේ ඇති වෙනසද ක්ෂණිකව හඳුනා ගත් ඇගේ උවන තව දුරටත් මැළවුණු මලක් මෙන් විය. 

” සර්.. ! ඔ.. ඔයා ක්ලබ් එකේද ?” 

” ම්ම්.. සඳ..හ්.. යා.. යාලුවෙක් එක්ක ආවා..”

” බීලා නේ?” 

” සඳ..හ්…!” 

” ඔයා එනකන් මං බලන් හිටියා..” 

” සො.. සොරි.. සඳ.. මට අද එ.. එන්න වෙන්නෑ.. “

” ඔයා බීලද සර් ඉන්නේ ?” 

” ටිකක්…” 

” මො.. මොනවද ? ” 

සඳැස්විගේ කටහඬේ වෙව්ලීමත් , මුහුණේ මතුව ඇති කෝපයත් දුටු අමාවී නිහඬවම විමර්ෂා දෙස බැලූ අතර ඈ ද නිහඬවම දෙතොල සපමින් සිටියාය. 

” ඔයා.. මට ප්‍රොමිස් උනා සර් . “

” සඳ..හ්.. මං පොඩි එකෙක් නෙමෙයි. මට කියලත් ප්‍රශ්න තියනවා. ක්ලබ් එකකට එන්නැතුව මං පන්සලකට යන්නද ?” 

වේගයෙන් සුසුම් ළූ ඈ ඇමතුම විසන්ධි කර දමා දුරකතනයද ක්‍රියා විරහිත කොට දැමුවාය. 

********************************************

මධ්‍යම රාත්‍රිය ගෙවී ගොස් හිමිදිරියට ළං වන්නට ඇත්තේ ස්වල්ප මොහොතකි . ගත වූ කාලය තුළ ශාරීරිකව මෙන්ම මානසිකවද බිඳ වැටී සිටි පහන්‍යා දරු ගැබට මාස අටක් පමණ  සපිරෙන මොහොත වන විට සියල්ල උපේක්ෂාවෙන් දරා ගනිමින් ජීවිතයට මුහුණ දීමට පුරුදු වෙමින් සිටියාය. එක පිට එක සිදු වූ සිදුවීම් මෙන්ම අවශ්‍යම කාලය තුළ මිල මුදල් පමණක් අත රැඳිව තමන්ගේම උන් ගෙන් තනීවීම හා වෙන්වීම පිළිබඳ අපමණ පාඩම් ඈ තනිව උගෙන ගෙන සිටියාය. කෙතරම් අදූරදර්ශී හා වංචා සහගත මෙන්ම රැවටීම් බොහෝ ගණනකට තනිවම මුහුණ දෙමින් මතුවූ බොහෝ ගැටළු නිවසේ ප්‍රධාන ද්වාරයෙන්  පිටට යා නොදී තම කුටුම්භය රැක ගැනීමට ඉතා පරිශ්‍රමයක් දැරූ ඈ ඒ වන විට ලෝකයා හට පෙනෙන්නට පමණක්  පවත්වන්නාවූ බැඳීම් වල ඵල රහිත බව තේරුම් ගනිමින් සිටියාය. බොහෝ තැන් හීදී ජීවිතයේ හිස් තැන්ද , තනිකම්ද මඟ හරවා ගැනීමට නොයෙක් නොයෙක් ක්‍රම වල පිහිට සෙවූවද තමා තුළ වැඩෙනා කුඩා ජීවියා පමණක්ම දිවියේ ප්‍රථම රාජකාරිය කොට ගත් ඈ එකී නූපන් කුඩා සිඟිත්තිය වෙනුවෙන් සියළු දෝමනස්සයන් , ශෝකයන් පළවා හැර ජීවිතයට තනිව මුහුණ දීමට තීරණය කර සිටියාය. 

බොහෝ වංචා සහගත හා රැවටීම් ගණනාවකට පසු තව දුරටත් ඔහු සමඟ එකම නිදන කාමරයක විසීම පිළිකුල් කළ ඈ ඔහුගේ ආගමනයත් සමඟම තරප්පු පෙළ ඉහල පහල නැඟීමේ අවදානම නිදහසට කාරණාවක් ලෙස පෙන්වා දෙමින් තම නිදන කාමරය අත හැර පහත මහලේ නිදන කාමරයක් තුළ තනිව දිවි ගෙවීම ආරම්භ කළාය. පෙර දිනක මළණුවන් හා ඉන්දීවර අතර වූ කතාබහ හේතුකොට ගෙන ඔහුගේම හිත සුව පිණිස ඈ ඔහුගේ සියළු දුරකතන මාර්ග අවහිර කර දැමුවාය. වතාවන් කිහිපයකදීම ඉන්දීවර ඈ හමුවන්නට බොහෝ උත්සාහ කළද ඒ සියල්ල ව්‍යර්ථ කළ ඈ  ඔහුගේ දීප්තිමත් අනාගතය වෙත තම එකදු අඳුරු සෙවනැල්ලක් හෝ වැටීම වළක්වාළමින් ඒ සෑම විටම ඔහු මඟ හැරියාය. 

විටින් විට එකම ඉරියව්වෙන් හිඳීම අපහසු වීම හේතුවෙන්ම කඩින් කඩ බිඳී යන නින්ද හමුවේ හිමිදිරියට ආසන්නව නින්දට වැටුණු ඈ තිගැස්සී අවදි වූයේ ගෙමිදුලේ නතර කළ ජීප් රථ හඬකටය. හෙමින් සීරුවේ නැඟිට ප්‍රධාන ද්වාරය වෙත ගොස් එය විවර කළ ඈ ඉදිරියේ සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනා දෙස විමතියෙන් බලා සිටි අතර පසුපස සිට ඉදිරියට පැමිණි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැක තවත් මඳක් පුදුමයට පත් වූවාය. 

” මිසිස් රණබාහු ..! මිස්ටර් රණබාහු ගෙදර ඉන්නවද ? අපි ආවේ ඇරෙස්ට් වොරන්ට් එකක් අරගෙන. “

ඔහුගේ වදන් ඇගේ දෑස දෙස නොබලා වූ අතර හනික නිවසට ඇතුළු වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනා පළමුව පහත මහලේ නිදන කාමර කිහිපය පරීක්ෂා කළහ. 

” මිස්.. මේ රූම් එකේ කවුද ඉන්නේ ?” 

පහන්‍යාගේ නිදන කාමරයට හිස පෙවූ එක් පොලිස් නිලධාරියෙකු තවමත් තුෂ්නිම්භූතව බලා සිටි ඈ දෙස බලා ඇසුවේය. 

” ම.. මං ” 

” එතකොට හස්බන්ඩ්  ?” 

” උ.. උඩ . බෙඩ් රූම් එකේ. ” 

” හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් රූම් දෙකකද ඉන්නේ ?” 

” අරුණජිත් ..! ආපු වැඩේ කරහන් “

කිසිසේත්ම අදාල නොවන පෞද්ගලික කාරණයක් ඇසූ පොලිස් නිලධාරියා හට ගිගිරූ ප්‍රධානියාගේ හඬට මඳක් තිගැස්සුණු ඔහු අනෙක් නිලධාරීන් සමඟ වහා තරප්පු පෙළ නැඟ ඉහල මහලට දිව ගියහ. 

” තමුසෙලට පිස්සුද ? මොකද්ද මේ කරන්නේ ? මට මගේ ලෝයර්ට කතා කරන්න ඕනේ ? කොහොමද මෙහෙම අනුන්ගේ ගෙවල් වලට ඇතුල් වෙන්නේ ? “

මොහොතකින් අනුජ්ගේ කෑගැසීම ඇසුණු අතර ඔහුගේ බලවත් විරෝධය මැදම පොලිස් නිලධාරීන් කිහිප දෙනා වහ වහා ඔහු පොලිස් ජීප් රථයට ගොඩ කර ගත්හ. 

 ” සියත්‍රට කියලා තියෙන්නේ. කවුරුහරි එනකන් පරිස්සමට ඉන්න. “

තමාගේ මඟහැරීම් රාශියකට පසු ඔහුගේ හැසිරීම පිළිබඳව පුදුම නොවූ ඈ එකදු බැල්මක් හෝ තමා දෙසට නොහෙළා නික්ම යන ඔහු දෙස  බලා සිට වහා දුරකතනය වෙතට ඇවිද ගියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here