” ඔයා පරක්කුයි මැණික්..”
දේවනාරායන බිරිඳ සිප වැළඳ ගත් උත්පලා ඇගේ දෑතින්ම අල්ලා එසේ පැවසූ අතර අමුත්තිය සිනහවක් දල්වා ගනිමින් තමා අසල සිටි දිගු රතු පැහැ tube frock ඇඳුමකින් සැරසී සිටි තම දියණිය දෙසට හැරුණාය.
” මෙයාව එළියට ගන්න බැරුව හිටියේ උත්පලා. කොහෙද mother- in low ගේ function එකට නිකන්ම යන්න බෑ කිය කිය පැය ගාණක් තිස්සේ හැඩ වෙනවා. “
මැණික් දේවනාරායනගේ බසින් ෂෙනාර්‍යා දේවනාරායන දෙසට හැරුණු උත්පලා ඇගේ දෙකම්මුල් ආදරයෙන් සිප වැළඳ ගත්තාය.
” නැතුව නැතුව. එහෙම තමා ලස්සනට ඉන්න ඕනනේ නේද ? බලන්නකෝ අද ෂෙනාර්‍යාගේ ලස්සන. හරියට රෙඩ් රෝස් එකක් වගේ.. “
උත්පලා එසේ පවසමින් මැණික් දේවනාරායන හා ෂෙනාර්‍යා සමඟින් සිනා සුණද පසෙක සිටි රුවැත්තියගේ හදවත බොහෝ සෙයින් තමාට ඇසුණු වදන් වලින් සසැලී ගොස් තිබුණි.
” කෝ… පුතා.. එන්නකෝ “
උත්පලාගේ හඬින් අත රැඳි මත්පැන් වීදුරුව පසෙක තැබූ සියත්‍ර හිඳ සිටි අසුනෙන් නැඟී සිටි අතර මැණික් දේවනාරායන වහා ඔහුවද සිප වැළඳ ගත්තේය.
” කොහොමද පුතා ?”
” හොඳයි ආන්ටි.”
” කොහොමද ඩාලින් ?”
මැණික්ගෙන් මිදුණු වහා ෂෙනාර්‍යා විගසින් සියත්‍රව සිප වැළඳ ගත් අතර කිසිදු වෙනසක් නොපෙන්වූ ඔහුද පෙරළා ඈ වැළඳ ගත්තේය. සියත්‍රව වැළඳ ගැනීමෙන් නතර නොවුණු ෂෙනාර්‍යා වහා ඔහුගේ බාහුවක වෙළෙමින් තවමත් හිඳ සිටින පහන්‍යා දෙසට පහත් වී ඇගේ කොපුලක් සිප ගත්තාය.
” කොහොමද අක්කා ?”
ඉන් පසුව මහීල් දෙසත් බලා සිනහවක් නැඟූ ඈ ශාක්‍යාව සිතා මතාම මඟ හැරියාය.
” දැන් මාස කීයද දූ..?”
පහත් වී හිඳ සිටි පහන්‍යාව සිප ගත් මැණික් දේවනාරායන හිස ඔසවන ඇසිල්ලේ ඈ පසුපසින් සිටි හුරුබුහුටි තරුණිය දැක මඳක් කල්පනාවෙන් ඈ දෙස බැලුවාය.
” උත්පලා.. මේ අර වීඩියෝ ඒකේ …?”
” ආ.. ඔව්.. මේ සඳැස්වි . මගේ රස විමන මේ තරමට උඩට ගේන්න ප්‍රධාන හේතුව මෙයා. “
සිනහවන්නට උවමනා වුවද මෙතෙක් ඇසුණු වචනද , තවමත් ඔහුගේ බාහුව සිරවී තිබෙන දඟකාර තරුණියගේ දෑතද අතර අතරමංව සිටි සඳැස්වි බොහෝ ආයාසයක් ගෙන අමාත්‍ය බිරිය වෙත හිස නමා ආචාර කළාය.
” සියත්‍ර පුතා… !”
මව් සංගමයේ කතා බහට බාධා කළ RD foods අධිපති දිනේන්ද්‍ර රන්දෙණිගල පැමිණ සිටින තවත් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් හා කතා බස් කිරීම උදෙසා සියත්‍රව වහා ඉන් එපිටට කැඳවනු ලැබුවේය.
” මහීල් වරෙන්..!”
ෂෙනාර්‍යාගෙන් හා ඇගේ මවගෙන් ගැලවීමේ පස්වනක් ප්‍රීතිය හේතුවෙන් සියත්‍ර මහීල්ද කැටුව වහා තම පියා වෙත ඉක්මන් අඩි තබා පිටව ගියේය.
” සඳැස්වි , මේ ඉන්නේ මිනිස්ටර් දේවනාරායනගේ වයිෆ්. එතකොට මේ දුව ෂෙනාර්‍යා . අපේ සියත්‍රගේ ෆියුචර් වයිෆ්. ඒ දෙන්නා එන්ගේජ් වෙලා ගොඩක් කල්. මං රස විමනෙන් අයින් උනු දවසට ඔයාට වැඩ කරන්න වෙන්නේ මේ මැඩම් ෂෙනාර්‍යා එක්ක. “
එක වර අකුණු දහසක් හිස මත පුපුරන්නේ යම් සේද එලෙසම තිගැස්මක් හදවතත්, හිසත් පුරා එක වර හිරි වට්ටමින් පැතිර ගිය අතර උත්පලා පැවසූ කතාව විශ්වාස කර ගත නොහැකි වූ සඳැස්වි සිටි වනම ගල් ගැසී සිටියාය.
” ෂෙරීන්ලා එහා පැත්තේ , අපි ඒ පැත්තට යං “
තරුණිය මත ගිනි කන්දක් අත හැරි උත්පලා මිතුරිය හා ඇගේ දියණිය සමඟ තවත් අමුත්තන් පිරිසක් සොයා ගියාය.
” නංගි.. ! සඳැස්වි.. කෙල්ල…!”
සඳැස්වි පියවි සිහියට පැමිණියේ හිඳ උන් තැනින් නැඟිට ඈ අසලටම පැමිණ උරහිසට තට්ටුවක් දමමින් ඇමතූ ශාක්‍යා හඬටය . පියවි සිහිය ලත් සැණින් වේගයෙන් ඇසි පිය සැලූ සඳැස්විගේ දෙනෙතින් පාලනය කර ගත නොහැකි ආකාරයට කඳුළු බිඳු ගලා යාමට පටන් ගත්තේය .
” ඇයි .. දරුවෝ ..මොකෝ උනේ ?”
සඳැස්විගේ දෑසින් වැටෙන කඳුළු දුටු පහන්‍යා අපහසුවෙන් වුවද නැවතත් හිඳ සිටි පුටුවෙන් නැඟී සිටීමට උත්සාහ කළ අතර වහා ඈ වැළැක්වූ සඳැස්වි ඇගේ අතින් අල්ලා ගත්තාය.
” මු.. මුකුත් නෑ මැඩම්. ඇහැට.. ඇහැට රොඩ්ඩක් යන්නැති. මං සෝදන් එන්නං. මැඩම් වාඩිවෙලා ඉන්න. “
එසේ පැවසූ ඈ හනික ගොඩනැගිල්ල තුළට දිව ගියාය.
සඳැස්වි දිව යන ආකාරය බලා සිටි පහන්‍යා සියල්ල වටහා ගත් අයුරින් ශාක්‍යා දෙස බැලුවද ඇගේ උවන දෙස බලා සිටිය නොහැකි වූ ශාක්‍යා වහා බිම බලා ගත්තාය.
ගොඩනැගිල්ල තුළට දිව ආ සඳැස්වි එහි සේවකයන්ගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් තනවා තිබූ කුඩා කාමරයක් තුළට පැමිණි අතර එහි වූ පුටුවකට බර වී තම දෑතම පපුව මත තෙරපවා ගනිමින් එක දිගට හඬා වැටුණාය.
දරාගත නොහැකි වේදනාව හමුවේ ඈට වරින් වර විමර්ෂාගේ වචන දෝංකාර දෙන හඬක් ඇසුණි. එසේම මිනිසෙකු වටහා ගැනීමට එක් ජීවිතයක් මදි බව ඈ පැවසූ කාරණාවද ඇගේ සවන මත යළි යළි ඇසෙන්නට පටන් ගත්තේය.
තමා විසල් රැවටීමකට හසු වීමටත් වඩා ඇගේ හදවත ක්‍රම ක්‍රමයෙන් එකී රැවටීමට හේතු වූයේ ඔහු බව තේරුම් ගැනීමෙන් තව තවත් වේදනාවට පත් වූයේය. ගත වන කාලය පිළිබඳව හෝ ගොඩනැගිල්ලේ ඉදිරිපස පැවැත්වෙන ප්‍රිය සම්භාෂණය පිළිබඳව සහ මුලින්ම අමතකව ගිය ඈ කුඩා කාමරය තුළට වැද එක දිගටම හඬමින් උන්නාය.
එක් වරම කාමරයේ දොර විවර වූ හඬට තිගැස්සී කඳුළු පිරි උවනින් ඒ දෙස බැලූ තරුණිය ඉන් ඇතුළු වූ රුව දැක වහා ඉවත බලා ගත්තාය .
” මොකද්ද උනේ ? අරහේ මං හැමතැනම හොයනවා. මොකද මෙතනට වෙලා අඬන්නේ ආ..? “
හිඳ සිටි පුටුවට බර වූ සියත්‍ර ඇගේ එක් අතකින් අල්ලා එසේ විමසු විගස වහා ඔහුගේ අත ගසා දැමූ තරුණිය හිඳ සිටි පුටුවෙන් නැඟී කාමරයෙන් පිටතට යෑමට අඩි තැබුවාය. වහා ඇගේ වැළමිටකින් අල්ලා තමා අසලට ඇද ගත් ඔහු එකී අත අතනොහැරම ඇගේ කඳුළු මතින් පෙඟී ගොස් තිබූ උවනට බර වූයේය.
” මං දැන් දෙයක් ඇහුවා . මට උත්තර දෙන්න. මොකද්ද උනේ ? “
එවරද ඔහුගේ හස්තයට මැදිව තිබූ තම අත වේගයෙන් ගසා ඉවතට ගත් ඈ එම අතින්ම කොපුල් පුරා බේරා වැටෙන කඳුළු බිඳු පිස දැමුවාය.
” ඇයි සර් ? සර්ට මොකද්ද තියන ප්‍රශ්නේ ? සෑහෙන්න ලොකු මිනිස්සු ගොඩක් අච්චර අර ඉස්සරහා ලොකු function එකක ඉද්දි මං වගේ කොහෙවත් යන කෙල්ලෙක් ගැන හොයන්න මෙහෙම කාලේ නාස්ති කරන්න එපා. සර්ගේ ෆියුචර් වයිෆ් , එයාගේ ෆැමිලි එක ඔක්කොම ඉස්සරහා ඉන්නවා. ගිහින් ඒ මිනිස්සුත් එක්ක ඉන්න. අර සර් මේන් ටේන් කරන reputation එකට මෙහෙම කාමරයක් අස්සේ පොඩි කෙල්ලෙක් එක්ක ඉන්න එක හොඳ නෑනේ ?”
ඈ වේගයෙන් පවසමින් යන කාරණාව තොල්පට තද කරමින් අසා සිටි සියත්‍ර සිදුව ඇති දේ හොඳින් වටහා ගත්තේය. සියල්ල පැහැදිලි කළ යුතුව ඇතද එය කෙසේ ආරම්භ කළ යුතු දැයි ඔහුට සිතා ගත නොහැකි විය. කෙසේ නමුත් සියල්ලටම වඩා කෝපයෙන් රතු වී සිටිනා ඈ සන්සුන් කර ගත යුතුය. ඔහු නැවතත් ඇගේ අතක් අල්ලා තමා අසලට ඇද ගෙන යළිත් එකී උවනට එබුණු අතර ඈ වහා ඔහුගේ වතින් ඇගේ මුහුණ ඉවතට ගත්තාය.
” මුලින්ම ඔය කේන්තිය පොඩ්ඩක් අඩු කරගන්න. තරහා ගියාට පස්සේ ප්‍රශ්න කතා කරන්න බෑ. First of all, stay calm. Please ..!”
” නෑ සර්. මට සර් එක්ක කතා කරන්න කිසිම දෙයක් නෑ. මාව අතාරින්න. මට යන්න ඕනේ. “
ඈ තව දුරටත් ඔහුගේ දෑසින් ඇගේ උවන ඉවතට ගනිමින් පැවසුවාය.
” ඒයි… මේ අහන්න. හරි.. එහෙම එකක් තියනවා තමයි . හරි ඒක ඇත්ත. හැබැයි ඔයා හිතන තරම් ඒක ලොකු දෙයක් නෙමෙයි “
එවර බොහෝ සන්සුන් ලීලාවෙන් ඔහු නැවතත් ඇගේ මුහුණ දෙස බලා පැවසුවේය. මෙතෙක් විශ්වාස කරගත නොහැකිව තිබූ සියල්ල ඔහුගේ මුවින්ම පිට වීම අදහාගත නොහැකි වූ ඇගේ හදවතේ තව දුරටත් තමා කෙරෙහිම උපන් අසරණභාවය හේතුවෙන් නැවතත් එක දිගට කඳුළු ගලා යාමට පටන් ගත්තේය.
” ආයේ ආයේ අඬන්න එපා. ප්ලීස්…! “
අල්ලා ගෙන සිටි ඇගේ අත අත නොහැරම අනෙක් අතින් ඇගේ මුහුණ තමා වෙතට හරවා ගත් සියත්‍ර මහත් වූ අනුකම්පාවෙන් ඈ දෙස බලා පැවසුවේය.


