ඔලියැන්ඩර් – 28

0
417
oleander Flower

” කීයටද ලෙක්චර් එක ඉවර වෙන්නේ ?” 

ග්‍රහලෝකාගාරය ආසන්නයේ රථ ගාලෙහි මෝටර් රථය නතර කළ සියත්‍ර ඈ වෙතට හැරුණේය. 

” දොළහමාරට “

” මං එක්කන් යන්න එන්නං “

” එපා.. “

” ඇයි ?” 

” එකට අර බෝඩ් මීටින් එක කිව්වා නේද ? දොළහමාර කිව්වට පහු වෙන්නත් ඉඩ තියනවනේ. මං හිමීට එන්නං “

” හ්ම්ම්…”

” සර්..!” 

පිටව යාමට වේලාව පැමිණියද ළතැවෙමින් උන් ඈ තවත් කිසිවක් පැවසීමට උත්සාහ දරමින් සිටියාය. 

” මොකෝ..?” 

” කියන්න දෙයක් තියනවා “

” මොකද්ද ?” 

” මේ ලඟකදි , පාරෙදි තර්ඩ් එකේ… “

” ශාන් කියලා කොල්ලෙක් ? ඌ ආයේ මාස ගාණට කැම්පස් එන එකක් නෑ “

ඈ කෙඳිරිලි ස්වරයෙන් පවසන්නට සූදානම් වූ දෙයට අකුල් හෙළූ ඔහු එසේ පැවසූ අතර වික්ශිප්ත වූ ඈ විසල් කරගත් දෙනෙතින් ඔහු දෙස බලා සිටියාය .

” ඒ… ඒ.. ඔයාද ?” 

පැළැඳ සිටි ආසන පටිය ගලවා දැමූ ඔහු ඇගේ උවන වෙත බර වූයේය. 

” මට අයිති දේවල් වලට කාටවත් අත තියන්න දෙන්න බෑ. “

ඈ වහා ඔහුගේ තුරුළේ මුහුණ සඟවා ගත්තාය .

” මං හින්දා කරදර දාගන්න එපා දෙයියනේ ” 

” පණ්ඩිත වෙන්න එපා හොඳේ .”

ඔහු සෙමින් කොඳුරා ඇගේ නළල මත හාදුවක් තැවරුවේය. 

” සර්..!” 

” ම්ම්..?” 

” ආයේ ඔෆිස් එකේ වැඩ මඟාරින්න එපා. “

” එක ප්‍රොජෙක්ට් එකක් නැති උනා කියලා RD එක බංකොලොත් වෙන්නෑ. “

” ඒ උනාට මට හිතට හරි නෑ.”

ඈ සෙමින් නමුත් ශෝකයෙන් පැවසුවාය. 

” මට කොහොමත් මේ බිස්නස් එකට ආසාවක් නෑ සඳ… තාත්තගේ වදේටයි මං මේක ගැන බලන්න ගත්තේ. මං මේක ලඟදිම අක්කටම බාර දෙනවා. “

” මොකද්ද කිව්වේ ?” 

ඈ තිගැස්සුණු දෙනෙතින් ඔහු දෙස බැලුවාය. 

” මොකද්ද ?” 

” ඔයා සඳ කියලාද කිව්වේ ?” 

” ඔව්.. ඇයි ?” 

උවන පුරා සිහින් සිනහවක් මතු කර ගත් ඔහු යළිත් ඇගේ මුහුණට එබුණේය. 

” නෑ.. ඒක ලස්සනයි. ඉස්කෝලේයි , කැම්පස් එකෙයි යාලුවෝ සඳා කියනවා ඇරෙන්න සඳ කියලා නෑ. ඒකයි “

රතු කර ගත් මුහුණින් මන්ද ස්වරයෙන් එසේ පැවසූ ඈ යළිත් ඔහුගේ පෙර කතාවට මතකය ගෙන ගියාය. 

” අක්කට බිස්නස් එක දීලා ? ඊට පස්සේ ?” 

” මං කැමති හොටෙල් ෆීල්ඩ් එකට. මට ඒවගේ වැඩ ටික කරගත්තම ඇති . මං ආස නෑ මේ වගේ එක තැනකට කොටු වෙලා ඉන්න. “

ඈ තවත් තදින් ඔහුට තුරුළු වූවාය .

” පරක්කු වෙන්නැද්ද ? ම්ම්ම් ?” 

මඳ වේලාවක් ගත වූ තැන ඔහු නැවතත් ඇගේ උවනට බර වී ඇසුවේය. 

” තව චුට්ටක් ඉන්න දෙන්න “

එසේ පවසමින් ඈ යළි යළි ඔහුගේ තුරුළට ළං වූවාය .

” රෑ එළි වෙනකන් ලඟට වෙලා හිටියා මදිද ? ම්ම්ම් ?” 

කේන්තිකාරයාගේ ස්වරය ඉතා පහත් මන්ද ස්වරයක් ගෙන තිබුණේය. 

” මදි “

ඇගේ හඬ සියුම් කෙඳිරිල්ලක් බඳුය . හේ තවත් තදින් ඈ තුරුළු කර ළං කර ගත්තේය. 

” අද රෑටත් එනවද ?” 

” ම්ම්හ්හ්.. බෑ..”

” ඇයි ?” 

” රෑට තාත්තා එක්ක බිස්නස් පාට්නර්ස්ලගේ පොඩි පාටි එකකට යන්න තියනවා. එන්න දොළහවත් එයි. “

” කමක් නෑ මං බලන් ඉන්නං “

” හිතුවක්කාරියෙක් මහා…”

ඈ සෙමින් උවන ඔහු වෙතට එසවූ අතර ඔහු වහා එකී දෙතොල මත හාදුවක් තැවරුවේය. 

මොහොතකින් ඔහුගේ දෙතොලේ ග්‍රහණයෙන් මිදුණු යුවතිය  මඳක් ඉහලට එසවී ඔහුගේ ගෙල මත හාදුවක් තැබුවේය. වරක්, දෙවරක් නොනැවතී ඔහුගේ සිරුරට බර වී ඔහුගේ ගෙල පුරා තදින් හාදු තවරන ඇගේ බඳ වටා යැවූ අත තවත් තද කර ගත් ඔහු අනෙක් අතින් ඇගේ නිකටින් අල්ලා තම උවන දෙසට හරවා ගත්තේය. 

” අවුස්සගන්නෙපා මාව.., දැන් ලෙක්චර් එකක් නැත්තන් මං දන්නවා කරන්න ඕනේ වැඩේ..”

” ම්ම්ම්ම් ..” 

සිහින් කෙඳිරියක් නැඟූ ඈ යළිත් ඔහුගේ තුරුලේ මුහුණ සඟවා ගත්තාය .

” පරක්කු වෙනවා නේද ? “

” මං අද නොගිහින් ඉන්නද ?” 

” මොකද්ද ?” 

වහා තිගැස්සුණු ඔහු ඇගේ උවන යළි තමා වෙතට හරවා ගත්තේය. 

” එහෙම කරාම හරිද ඔක්කොම ? “

” ප්ලීස්..!” 

” වහාම දොර ඇරගෙන බැහැලා යන්න. “

ඇඹුල් කර ගත් මුහුණින් යුතුව ඔහු දෙස හිස ඔසවා බැලූ ඈ ඔහුගෙන් මෑත් වී වහාම උකුළ මත තිබූ ගමන් මල්ල අතට ගෙන කිසිවක් නොපවසාම මෝටර් රථයේ දොර විවර කරමින් පිටතට බසින්නට සැරසුණද ඔහු වහා ඇගේ අතකින් අල්ලා ගත්‍තේය. 

” ඔය ඉතිං , තරහා වෙලානේ යන්න හදන්නේ ?  , හොඳ ළමයා වගේ දැන් ලෙක්චර් එකට යන්න . මං රෑට එන්නං “

” එපා ඕන්නෑ “

ඔහුගේ අත ගසා දැමූ ඈ ක්ෂණිකව මෝටර් රථයෙන් බැස විශ්ව විද්‍යාලය දෙසට දිව ගියාය. 

” හිතුවක්කාරි .. අල්ල ගන්නම්කෝ මං පස්සේ “

දිව යන ඈ දෙස බලා සිට මිමිණූ ඔහු මඳ සිනහවක් නඟමින් මෝටර් රථය පණ ගන්වා ඉදිරියට ඇදුණේය. 

දේශනයට කෙතරම් හොඳින් සවන්දීමට උත්සාහ ගත්තද එහා මෙහා දුවන හිත ඊට ඉඩක් නුදුන්නේය. 

” ගෑනු දරුවෙක් ඉන්නෝනේ සුදු පිරුවටයක් වගේ. පිරිසිදුවට , පිළිවෙළට. අත පය බැරි උනාට කමක් නෑ සුද්දියේ .. කවදාවත් හිත බැරි කරගන්න එපා. ගෑනියෙක්ගෙ හිත බැරි උනොත් ඒ ගෑනිට ඒ ගෑනිවම නැති වෙලා යන්න පුලුවන් .”

කලකට පෙර මව විසින් තමා හා පැවසූ යමක් සිහිවීමෙන් සඳැස්විගේ තොල් පට නොපිටට පෙරළී ගියේය. ඔහු ඉදිරියේ දැන් ඉතිං රකින්නට අමුතු ශීලයක් නැතත් තමා මීට වඩා කල්පනාකාරී විය යුතු නොවේදැයි දේශනය අතරතුර ඈට තනිවම සිතුණි. ඔහු තමා පිළිබඳව කුමනාකාරයේ චිත්තරූපයක් මවා ගත්තා දැයි සැක සහිතය . නමුදු දිවියේ ප්‍රථම වතාවට හදවත තුළ ආදරයක් , ප්‍රේමයක් ඉපැද්දවූ සහ ඒ හැඟීමේ පරිපූර්ණ අයිතිකාරයා වූ ඔහු හමුවේ මවාගත් චරිතයක් නඩත්තු කිරීම අනවශ්‍ය බව හදවතේ එක් පසෙකින් පවසයි. මේ සියළු තර්ක විතර්ක වලට එහා මෙහා දෝලනය වෙමින් දේශනයට සම්බන්ධ වී සිටි ඈ එහි අවසානයේ කඩිනමින් රස විමන කරා දිව යනු රිසියෙන් මාර්ගයට අවතීර්ණ වී ජංගම දුරකතනය අතට ගත්තාය . මඟ හැරුණු ඇමතුම් පහකි. ඒ සියල්ල ගමෙන් වීම යුවතියගේ හදවත අවුළුවා දැමුවේය. වහ වහා පෙරළා ඇමතුමක් ලබා ගත් ඈ ගැහෙන හදවතින් දුරකතනය සවනට තබා ගත්තාය.

” සුද්දියේ…”

” අ.. අක්කේ කෝල් ගොඩක් තිබ්බා. මං ලෙක්චර් එකක හිටියේ  “

” පොඩි ප්‍රශ්නයක් වෙලා සුද්දි. ඉස්කෝලේ කැන්ටින් එකෙන් දවල්ට කෑම කාපු ළමයි මහ ගොඩක් අසනීප වෙලා ඉස්පිරිතාලේ ගෙනිහිල්ලා. අපේ චූටිත් ඉස්පිරිතාලේ සුද්දි. “

” දෙයියනේ.. අක්කේ !” 

සඳමාලි පවසන කිසිවක් විශ්වාස කරගත නොහැකි වූ සඳැස්වි සිටි තැනම ගල් ගැසී පපුව මත අතක් තබා ගත්තාය .

” චු.. චූටිට මොකද අක්කේ ? ගොඩක් අමාරුද ?” 

” චූටි නං කතා බහ කරලා ඉන්නවලු නංගි. හැබැයි බඩේ අමාරුවයි , දිගටම වමනේ යනවයි . තව ළමයි කීපදෙනෙක්ටම සිහියක් නෑලු. අම්මා ඉස්පිරිතාලේ . මාත් මේ දැන් දරුවාත් අරන් යන්න හදන්නේ . සුද්දි එනවද ?” 

” මං .. මං දැන් එනවා අක්කේ.. “

” හරි හරි සුද්දි මං අම්මට කියන්නං “

ඇමතුම විසන්ධි කළ සඳැස්වි වහා මහා මාර්ගයට දිව ගොස් ලඟ ලඟම ආ ත්‍රී රෝද රථයක් නවතා එයට ගොඩ වුණාය. 

*****************************************

සවස තුනත් පසුවන තුරු කාර්‍යාලයේ පැවති හදිසි රැස්වීම් ද්විත්වයකටම සහභාගී වූ සියත්‍ර රැස්වීම් ශාලාවෙන් පිට වී තම නිල කාර්‍යලය වෙත පා නඟමින් ශාක්‍යා දෙසට හැරුණේය. 

” ශාක්‍යා ..! සඳැස්විට රූම් එකට එන්න කියන්න “

” අද තාම ආවේ නෑ සර්. “

” මේ හිතුවක්කාරි නම්…”

එසේ පැවසූ ඔහු වහා අක්‍රිය කර තිබූ තම ජංගම දුරකතනය අතට ගෙන එය නැවත සක්‍රිය කළේය. 

” සර්.. ! සඳැස්වි මට කතා කළා. පොඩි කරදරයක් වෙලා. “

ඔහු තිගැස්සුණු දෑසින් ශාක්‍යා දෙස බැලුවේය. 

” මොකද්ද ප්‍රශ්නේ?” 

” සඳැස්විගේ නංගි හොස්පිට්ල් ඇඩ්මිඩ් කළා කියලා ගමෙන් කතා කරලා සර්. සර්ගේ ෆෝන් එක ඕෆ් නිසා සඳැස්වි ගමේ යනවා කියලා සර්ට මැසේජ් එකක් දෙන්න කිව්වා. “

” ශිට්…!” 

සියත්‍ර මහපටැඟිලි තුඩ මතින් නළල පිරිමදිමින් සඳැස්වි වෙත ඇමතුමක් ගත්තේය. 

” හෙලෝ..! කොහෙද ඔයා ඉන්නේ ?” 

” ගමේ යන ගමන් සර්. “

” මොකද්ද වෙලා තියෙන්නේ ? මොකද්ද ප්‍රශ්නේ ?” 

” නංගිගේ ඉස්කෝලේ කැන්ටින් එකේ කෑම වල මොකක් හරි ප්‍රශ්නයක් වෙලා සර්. ළමයි සීයක් විතර දැනට හොස්පිට්ල් ඇඩ්මිඩ් කරලා. නංගිත් එක්කම. “

” කලබලේ දුවන්නැතුව ඔයාට කෙලින්ම ඔෆිස් එකට එන්න තිබ්බනේ ?” 

හිතුවක්කාරියගේ ක්‍රියා හේතුවෙන් කලබලයට පත් ඔහු මඳ කෝපයකින් පැවසුවේය. 

” පුලුවන් ඉක්මන්ට ගමේ යන්න ඕනේ කියන එක විතරයි සර් ඔලුවට ආවේ. “

” ඔෆිස් එකට ආවනං මං යන්න ක්‍රමයක් ඇරේන්ජ් කරලා දෙනවා. කෙරෙන්න දෙයක් තියනවනං මං ඒ ඔක්කොම කරලා දෙනවනේ. ඔහොම තනියම ගාල  කඩා ගත්තා වගේ දිව්වම හරිද ? “

” මං මීට කලිනුත් ගමේ ආවේ ගියේ තනියමනේ සර් .”

” පණ්ඩිතකම නං තියනවා වෙන මොනවා නැතත්. “

යුවතිය වහා තොල් පට තද කරමින් නිහඬ වූවාය. 

” මං මහීල් එක්ක එන්නද ?” 

” එපා සර්. , මං ගිහින් බලලා සර්ට කෝල් එකක් දෙන්නං “

” දැන් කොයි හරියෙද ඉන්නේ ? “

” තව පැය භාගෙකින් විතර බස් එකෙන් බහිනවා සර්  “

” මං සල්ලි ටිකක් ට්‍රාන්සර් කරන්නං. නංගිව කොළඹ එක්කන් ඕනෙනං කියන්න. මං ඒ දේවල් මෙහෙ ලෑස්ති කරන්නං “

” සල්ලි එපා සර්. මං ලඟ සල්ලි තියනවා “

” පණ්ඩිත වෙන්න එපා සඳැස්වි , මගෙ යකා අවුස්සගන්නැතුව කියන දේ කරනවා. “

සිතෙහි පැවතියා වූ කෝපය තව දුරටත් දෙගුණ තෙගුණ වූ සියත්‍ර කාර්‍යාල කාමරයේ සිට මහ හඬින් කෑගැසුවේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here