ඔලියැන්ඩර් – 29

0
526
oleander Flower

” අම්මේ.. ! අම්මේ..!” 

රෝහල් පරිශ්‍රය පුරාත් , ඇතුළතත් අතුරු සිඳුරු නොමැතිව පිරී ඉතිරී ගොස් තිබූ පාසල් දරුවන්ගේ පවුල් වල සාමාජිකයන් , ඥාති හිතමිත්‍රාදීන් ඇතුළු සෙනඟ මැදින් ඉක්මන් අඩි තබා ඇවිද ගිය සඳැස්වි අපහසුවෙන් වුවද මව සමීපයට ළඟා වුණාය .

” සුද්දියේ….!” 

” මොකද අම්මේ උනේ ?” 

” කැන්ටින් එකෙන් දීපු බත් එක විස වෙලා සුද්දියේ. “

වැඩිමහලු දියණියව එක වර දැකීමේ සතුටත් , බාල දියණියට සිදුවූ බලාපොරොත්තු නොමැති කරදරයත් සියල්ලම කැටික‍ර ගත් මුහුණින් සඳැස්විගේ මව හේමමාලි පිළිතුරු දුන්නාය. 

” චූටිට ගොඩක් අමාරුද අම්මේ ?” 

” නෑ සුද්දියේ , අනිත් දරුවෝ එක්ක බලද්දි අපේ සුද්දිට ලොකු අමාරුවක් නෑ. දරුවෝ විස්සකට විසි පහකට විතර සෑහෙන්න අමාරුයි. හැමෝම වමනේ දානවා. සමහරුන්ට බඩේ අමාරු. අපේ චූටිත් බඩ රිදෙනවා කියල කෑගැහුවා මෙතන. දැන් නං ටිකක් අඩුයි. යාලුවෝ එක්ක කද්දි කැන්ටින් එකෙන් බත් එකක් ගත්තු යාලුවෙක්ගෙන් මෙයත් කටක් දෙකක් කාලා. චූටි කියනවා වැඩිම උනොත් කටවල් තුනක් කන්න ඇතිලු. බේත් වලට චූටිට නං ටිකක් අඩු උනා. ඒත් .. තාම කෙඳිරි ගානවා. දැන් නං නින්ද ගිහිල්ලා. ඇතුළට යන්න දෙන්නෑ පුතේ. අමාරු දරුවන්ගේ අම්මලා , තාත්තලා ඔක්කොම ඇතුලේ. චූටිට ලොකු අමාරුවක් නැති නිසා මං එළියට ආවේ. “

හේමමාලිගේ පිළිතුරු බැඳීම අවසන් වනවාත් සමඟම කලබලයෙන් ඔවුන් අසලින් හෙදියන් තිදෙනෙකු හා වෛද්‍යවරයෙකු දිව ගියහ.

” ඒ පාර මොකද ..?” 

” අනේ.. දෙයියනේ.. ! මගේ දරුවා…!” 

වාට්ටුව ඇතුළතින් ඇසුණු කන් බිහිරි කරවන හඬ එක් වරම මවගේත් , දියණියගේත් සිරුරු එක හා සමානවම අඩපණ කොට දැමුවේය. 

” මොකද්ද උනේ..?” 

සඳැස්වි වහා හේමමාලිගේ අත තදින් අල්ලා ගත් අතර නැවත වතාවක් රෝහලේ හෙදියන් කිහිප දෙනෙකු මෙන්ම වෛද්‍යවරුන් කිහිප දෙනෙකුද කලබලයෙන් එහා මෙහා දිව ගිය අතර රෝහලේ රැස්ව සිටි පිරිසද කඩි ගුළක් ඇවිස්සුවාක් මෙන් යළිත් කලබල වූහ. 

” එක දරුවෙක් නැති වෙලා. “

” දෙයි හාන්දුරුවනේ…!” 

දෝතම පපුවට තබා ගනිමින් බිය වූ හේමමාලි වහා තම දියණිය දෙස බැලූ අතර සඳැස්වි තව දුරටත් මවට වාරු වූවාය. 

” චූටි .. ඔයාට අමාරුවක් නෑ නේද ? ” 

” ආ……”

බොහෝ වේලාවකට පසු නැඟණිය අසලට යා හැකි වූ තරුණිය එක් අතකින් ඇගේ අතකින් අල්ලා ගනිමින් අනෙක් අතින් ඇගේ හිස හෙමිහිට පිරි මැද්දාය. කෙඳිරිලි හඬක් නැඟූ සඳසි දෑස සෙමින් විවර කර වැඩිමල් සොයුරිය දෙස බැලුවාය. 

” සුද්දි අක්කේ… ඔයා කොයි වෙලේද ආවේ ?” 

” දැන් ටිකක් වෙලා වෙනවා චූටි. ඔයාට කොහොමද ? තාම අමාරුද ?” 

” කලින් තරම් නම් බඩ රිදෙන්නෑ සුද්දි අක්කේ. ඒත් පපුව ටිකක් රිදෙනවා. ඇඟට පණ නෑ වගේ..”

ඈ කෙඳිරිලි හඬින් වුවද සොයුරිය හමුවේ පිළිතුරු බැන්ඳාය. 

” අක්කේ.. ලිතුනිට කොහොමද ? එයාගේ බත් එකෙන් මං කටවල් දෙක තුනක් කෑවේ. එයානං මුළු බත් එකම කෑවද කොහෙද. ලිතුනිට කොහොමද අක්කේ ? අනේ පොඩ්ඩක් බලලා කියන්නකෝ ” 

” දෙයිහාන්දුරුවනේ ….!” 

හිස මත අකුණක් පුපුරා ගිය හැඩය. හෝරාවකට පමණ පෙර මියගිය නැඟණියගේ හොඳම මිතුරිය පිළිබඳව දැන දැනම සත්‍යය පැවසිය නොහැකිය. සඳැස්වි අපහසුවෙන් දෙනෙතට ඉනූ කඳුළු නවතා ගත්තාය. 

” ලිතුනි හොඳින් චූටි. ප්‍රශ්නයක් නෑ. “

” කෝ.. ? කොහෙවත් පේන්න නෑනේ ?” 

” මේ වාට්ටුවෙ කට්ටිය වැඩියිනේ චූටි. ඉතිං එහා පැත්තේ වාට්ටුවෙත් ළමයි ඉන්නවා. ලිතුනි ඒ පැත්තේ ඉන්නේ. ඔයාට දැන්ම ඇඳෙන් බහින්න එපා කිව්වනේ. ඇවිදින්න කිව්ව ගමන් අපි ලිතුනිව බලන්න යං. “

” ඇත්තටම මට ඇඳෙන් බහින්න එපා කියලා කිව්වද සුද්දි අක්කේ ? ” 

” ඔව් නේ ඩොක්ටර් එහෙම කිව්වා. “

මුවට ආ වචන ඔහේ නැඟණිය හමුවේ අතහැරි සඳැස්වි මේ මොහොතේ ඇගේ සැනසීම මිස වෙනත් කිසිවක් අපේක්ෂා නොකළාය. 

” සුද්දියේ…!” 

කලබලයෙන් ආ හේමමාලි අවදිව සිටින සඳසි දැක මඳකට තම කලබලය සඟවා ගත්තාය. 

” චූටියෝ.. දැන් කෝමද මයේ අම්මා..?” 

” බඩ රිදෙනවා අම්මා. එච්චරයි. “

” කොච්චරවාත් කියනවා ලුණුයි , බතුයි හරි ගෙදරින් ගෙනියන එක මිසක් කඩචෝරු කන්නෙපා කියලා. ඔය කරගත්තේ කියන දේ අහලා ?” 

එවර හේමමාලි තම කුඩා සිඟිත්තිය වෙත බැණ වැදුණාය. 

” හරි අම්මා.. චූටිට ලොකු අමාරුවක් නෑනේ . ඔයා තව ටිකක් නිදාගන්න චූටි. එතකොට ඔය ඇඟට පණ නැති ගතිය ඇරිලා යයි. “

දෑසින් සඳැස්වි හට ඉඟි කළ හේමමාලි වාට්ටුවෙන් පිටතට විත් එහි වූ කොට කොරිඩෝ බිත්තියට වාරු වූවාය. 

” ඇයි අම්මේ..?” 

” අර මැරිච්ච මනුස්සයා මේ කෙල්ලව බේර ගෙනද කොහෙද සුද්දියේ . අනිත් වාට්ටුවෙ හිටපු පිරිමි ළමයි දෙන්නෙක්මත් නැතිවෙලා. “

” දෙයියනේ අම්මේ..!” 

සඳසිගේ රෝගී යහන දෙස බලමින් රහසින් මෙන් පැවසූ හේමමාලිගේ අත සඳැස්වි වහා තදින් අල්ලා ගත්තාය .

” චූටි ලිතුනි ගැන ඇහුවා අම්මේ. කියන්න දෙයක් නැති කමට මං කිව්වා එහා වාට්ටුවේ ඉන්නවා කියලා. “

” සුද්දියේ… ! නැති වෙලා තියන පිරිමි ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් ධරණිගේ මල්ලි ” 

නැවත වතාවක් හිස මත අකුණු සැරයක් පුපුරා ගියේය . ගල් ගැසුණු දෙනෙතින් මව දෙස බලා සිටි තරුණිය අපහසුවෙන් සිහි එළවා ගත්තාය. 

” අම්.. අම්මේ.. මොනාද මේ කියන්නේ ?” 

” ඔව් සුද්දියේ. “

” අනේ.. අම්මේ මං ගිහින් බලලා එන්නං “

තවත් තත්පරයක් හෝ ප්‍රමාද නොවූ සඳැස්වි කොරිඩෝව දිගෙහි වේගයෙන් දිව ගියාය. එසේ නම් දුක්ඛදායක ඛේදවාචකයට මුහුණ පා ඇත්තේ නැඟණියගේ හොඳම මිතුරිය පමණක් නොව තමා කුඩා කල සිටම එකම පාසලේ එකම පන්තියේ එකට ඉගෙන ගත් තම ළඟම මිතුරියකගේ කුඩා සහෝදරයෙකුත්ය. 

එක දිගට වේදනාවෙන් හා ශෝකයෙන්  කෑ මොර දෙන කිහිප දෙනෙකුගේම කටහඬ සවනට වැකුණු සැණින් සඳැස්වියගේ ගමනේ වේගය බාල වූයේය. නෙතින් කඳුළු කැට ගලා ගියේ නොදැනුවත්වමය. නැඟණිය අසනීපයෙන් යැයි පණිවිඩය කන වැකුණු සැණින් සියල්ල හැර දමා දිව ඒමට තරම් සහෝදර ප්‍රේමය තමා අසල  බලවත් වූවා සේම ධරණි අසලද එසේ වනු ඇතිය. කලබලයෙන් දිව ආවාට දැන් දැන් ඉදිරියට තබන පය පසුපසට ඇදෙන වේගය වැඩිය . 

කොරිඩෝවේ කෙටි බිත්තියක් අසල තිබූ යකඩ පුටු කිහිපයක් මත වැටුණු ධරණීත් , ඇගේ මවත් රෝහල දෙදරා යන තරමට විලාප දෙමින් උන්නහ. 

” අනේ.. සඳා…!” 

පැරණි මිතුරිය දුටු ධරණි හිඳ උන් පුටුවෙන් අපහසුවෙන් නැඟිට සඳැස්විගේ දෑතෙහි එල්ලී නැවතත් විලාප තැබුවාය. 

” අනේ.. මගේ කොල්ලා. බලපන් බං මේ වෙච්ච අපරාදේ. මං ඒකාව හැදුවේ මල්ලියෙක් වගේ නෙමෙයි දරුවෙක් වගේ බං. අනේ.. උඹ දන්නවා නේද සඳා. මගේ පණ ටික ගියා බං. මාව දාලා යන්නම ගියා. “

තමාට වාරු වූ ඈ එලෙස ශෝකයෙන් කෑගසද්දී තව දුරටත් කඳුළු වැගිරවූ සඳැස්වි නිහඬවම ඇගේ දෑත තදින් අල්ලා සිටියාය. 

” දරාගන්න වෙනවා ධරණි. මල්ලි ගෙනාපු ආයුෂ ඔච්චරයි වෙන්නැති “

බොහෝ වේලාවක් තමාට වාරු වී හඬා වැටුණු මිතුරියගේ හිස පිරි මදිමින් ඈ අවසානයේ එසේ පැවසුවාය. 

” කැන්ටින් එක සීල් කරලා. 

ගුණසෝමයි , ගෑනියි පොලීසියෙන් අරන් ගිහිල්ලා.

ඉස්කෝලෙ වතුර පවා අරන් පරීක්සන වලට ඇරලය කියන්නේ. 

පොඩි එවුන් කට ඇරියොත් කැන්ටින් එකේ බත් එක රහයි කියනවා. එහෙනං මූ එක එක ඒවා දාලා තමා කෑම දීලා තියෙන්නේ. 

කාලකණ්නියා.. ඕකගේ ගෙවල් දොරවල් ඉඳන් හරි නං කුඩු කරලා දාන්න ඕනේ පොඩි එවුන්ට කරපු මේ අපරාදෙට…”

රෝහලේ සෑමතැනම කසුකුසුය. බොහෝ විට ඇත්තේ මවා ගත් අසත්‍ය කටකතා පමණක් වූ අතර සත්‍ය වැරැදිකාරයෝද වැරදි ක්‍රියාද එකින් එක වැඩි වෙමින් තිබුණේය. යමෙකුට අනුව සියල්ලට වගකිව යුත්තේ පාසල් ආපනශාලාවේ හිමිකරුය. තවත් අයෙකුට අනුව වැරදිකරු පාසලේ විදුහල්පතිවරයාය. එකින් එක එකින් එක පාසලේ නොයෙක් ගුරුවරුද , නිසි ලෙස තම රාජකාරී ඉටු නොකළ බවට චෝදනා ලත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාද , ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු හුදු මහත් ආණ්ඩුවමත් වැරදි කාරයින් වද්දී තලතුණා පිරිසක් දරුවන්ගේ දෙමව්පියන්ද අවසානයේ වැරදි කරුවන් කරමින් සිටියහ. 

” උදේකට නැඟිටලා බතල අලයක් තම්බලා , බත් ඩිංගක් හදලා , සම්බෝලයක් කොටලා දෙන්න බැරි උන් දරුවන්ට දවස ගාණේ කඩචෝරු කවලා කාට සාප කළත් වැඩක් නෑ දැන් “

බොහෝ කතාන්දර හමුවේ සවන පිරී යද්දී පුරා වසර පහකට වැඩි කාලයක් පාසලේ ආපනශාලාව පවත්වාගෙන ගිය ගුණසෝම හා ඔහුගේ බිරිය මතක් වීමෙන් සඳැස්විගේ හදවත යළි ශෝකයෙන් පිරුණි. ඉතා සාධාරණව හා පිරිසිදුව තමාගේ රාජකාරිය පිළිවෙළට ඉටු කළ ඔවුන් දෙදෙනා කිසිවිටකත් මේ තරම් සාපරාධී ක්‍රියාවකට අත නොගසනා බව ඇගේ යටිසිත පුන පුනා පැවසුවේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here