ආදර මල්වල පාට කියන්නද? – 29

0
58

පස්සෙන්දට උදේ උනේ හරිම හෙමින් වගේ. 

ඉර පායගෙන ආවෙත් වෙනදට වඩා පරක්කු වෙලාද මන්දා, මුළු වලව්වම තවමත් යාන්තම් අන්ධකාරෙකින් වැහිලා තිබුණා. ඊයේ රෑ වෙච්ච දේවල් එක්ක මුළු පරිසරයම තාමත් මළානික, ගුප්ත නිශ්ශබ්දතාවයක ගිලිලයි තිබුණේ. වලව්ව වට කරලා තියෙන මහා විසාල ගස්වල අතු පතරින් හීන් සැරේ බේරිලා ආපු දවසේ පළවෙනි ඉර එළිය, ඝන මීදුම් පටලෙක හැපිලා තැනින් තැන බොඳ වෙලා ගියා.

කාමරේ ජනේලෙ රෙදි අස්සෙන් ඇතුළට ගලාගෙන ආවේ මළානික ලා පාට එළියක් විතරයි. ඒ හීනියට වැටුණු ලා කහ පාට ආලෝක ධාරාව, කාමරේ බිත්ති පුරාම දිග හෙවනැලි මවන ගමන් කාමරේ අස්සෙ, වලව්ව අස්සෙ තිබිච්ච ගුප්ත බව තවත් වැඩි කරා. රෑ පුරාම හිත වෙලාගත්තු මහා බයයි පාලුවයි තාමත් ඒ මළානික එළිය අස්සේ දියවෙලා නොගිහින් ඉතුරු වෙලා තියෙනවා වගේ ආකර්ෂාට දැනුණෙ අන්න ඒ හන්දා. මුළු වලව්වම හරියට තවමත් ගැඹුරු, අභිරහස් හීනයකින් ඇහැරෙන්න අකමැතිව කල් මරනවා වගේ මාරම මන්දගාමී පාලුවක් මුළු වලව්ව පුරාම පැතිරිලා තිබුණා.

රෑ දැකපු බය හිතෙන දර්ශනේ හින්දා හිත ඇතුළෙන් ගැස්සිලා, ආකර්ෂා එකපාරටම ඇස් ඇරියේ මහා ලොකු කලබලයකින්. හැබැයි කෙල්ලට එක අඟලක්වත් හෙලවෙන්න පුළුවන් වුණේ නැහැ. මොකද, කෙල්ලගෙ මුළු ශරීරෙම මාරම උණුසුම්, ශක්තිමත් දෑතකට මැදි වෙලයි තිබුණේ.

ආකර්ෂා හුස්ම ගන්න එකත් නතර කරලා හෙමින් සැරේ එහා පැත්ත බැලුවා. 

කවීන්!

 මිනිහා තවමත් තමන්ව එයාගේ පපුවට තද කරලා, මාරම ආදරෙන් තුරුළු කරගෙන සුව නින්දක උන්න බව කෙල්ල තේරුං ගත්තෙ අන්න එවෙලෙ. කවීන්ගේ එක කකුලක් ආකර්ෂාගේ කකුල් උඩින් වැටිලා, කෙල්ලගෙ ඉණ වටා එතිලා තිබුණු මිනිහගේ ශක්තිමත් අත හරියට කෙල්ලව කාටවත්ම දෙන්නැති විදිහේ අයිතිවාසිකමකින් බදාගෙන තිබුණා. කවීන්ගේ උණුසුම් හුස්ම පොදවල් කෙල්ලගේ බෙල්ල පිටිපස්සට වදිද්දී, ආකර්ෂාගේ මුළු ඇඟම එකපාරටම හිරිවැටිලා ගියා වගේ කෙල්ලට දැනුනෙ.

කෙල්ල ඒ උණුසුමෙන් ගැලවෙන්න හිතලා, යාන්තමට ගැස්සිලා ඇඳෙන් නැගිටින්න හැදුවා විතරයි ඒ ගැස්සිල්ලට කවීන්ගේ වහගෙන උන්න ඇහි පියන් හෙමින් සැරේ බුරුල් වුණා. මිනිහටත් එකපාරටම ඇහැරුණා.

හැබැයි, ඇහැරුණා කියලා කවීන් තමන්ගේ ඇඟ වටේ එතිලා තිබුණු ඒ බර අත මුදවගන්න පොඩ්ඩක්වත් උත්සාහ කරේ නැහැ කියලා ආකර්ෂාට නොතේරුණා නෙවෙයි. ඒ වෙනුවට මිනිහා තමන්ගේ ඇස් දෙක යාන්තමට ඇරලා, මූණට මාරම කපටි, ඒ වගේම හීනියට ඇඳිච්ච රොමෑන්ටික් හිනාවක් දාගත්තා. ආකර්ෂා ඈත් වෙන්න හදද්දීම, කවීන් තමන්ගේ අත තවත් තද කරලා, කෙල්ලව සම්පූර්ණයෙන්ම තමන්ගේ පැත්තට ඇදලා පපුවේ රස්නෙ අස්සෙ තුරුළු කරගත්තා.

“මොකෝ කලබලේ? කොහෙද යන්නෙ? මෙන්න මෙහෙට වෙලා ඉන්නවා” කවීන් තමන්ගේ බර, නිදිමත පිරිච්ච කටහඬින් මාරම ආදරෙන් මිමිණුවේ ආකර්ෂාගේ ඔලුව තමන්ගේ නිකට යටින් තද කරගන්න ගමන්.

කවදාවත් නැති මේ හදිසි ළං වීම හන්දා ආකර්ෂාගේ පපුව ඩග් ඩග් ගාලා ගැහෙන්න ගත්තේ රෑ බයට ගැහුණු සද්දෙටත් වඩා හයියෙන්. කෙල්ල කවීන්ගේ පපුවට තද වෙලා ඉන්න ගමන්ම, දඟලලා මූණ විතරක් උස්සලා මිනිහා දිහා බැලුවා. කවීන් තමන්ගේ ඇස් දෙක දිහාම බලාගෙන, කිසිම ගාණක් නැතුව ඉන්න හැටි දැක්කම කෙල්ලගේ මූණ මාරම විදිහට රතු වුණා.

“අනේ කවීන්… අත හරින්නකෝ… මේ… මේ උදේ වෙලානේ…” ආකර්ෂා තමන්ගේ අත් දෙකෙන්ම කවීන්ගේ පපුවට පොඩි තල්ලුවක් දාන්න හැදුවේ හිත ඇතුළෙන් මාරම ලස්සන හැඟීමක් මතු වෙද්දීමයි. හැබැයි ඒ ලස්සන හැඟීමට කවීන් ඉස්සරහා එළියට එන්න දෙන්න කෙල්ලට උවමනාවක් තිබ්බෙ නෑ.

“අනේ කවීන්… මේ අත හරින්නකෝ. කවුරුහරි මේ වෙලාවේ කාමරේට ආවොත් වැරදි විදියට හිතාවි” ආකර්ෂා තිගැස්සිලා වගේ කවීන්ගේ පපුවෙන් තල්ලු වෙලා ඈත් වෙන්න උපරිම උත්සාහයක් කරා.

හැබැයි කවීන් කෙල්ලව නිදහස් කරන්න පොඩ්ඩක්වත් ලෑස්ති වුණේ නැහැ. මිනිහා තවමත් නිදිමත පිරිච්ච, හැඟීම්බර ඇස් දෙක යාන්තමට ඇරලා ආකර්ෂා දිහා බලාගෙන, “මොන වගේ වැරදි විදියටද හිතන්නෙ?” කියලා ඇහුවේ මාරම අහිංසක පාටක් මූණට දාගෙන.

කවීන්ගේ ඒ සෙල්ලක්කාර බැල්ම ඉස්සරහා ආකර්ෂාගේ මූණ තවත් රතු වුණා. කෙල්ල ටිකක් රවාගෙන මිනිහා දිහා බලලා, “තමුසෙයි මමයි මෙහෙම එකට තුරුල් වෙලා ඉන්නවා දැක්කම ඕනම කෙනෙකුට හිතාගන්න පුළුවන්නේ වැරැද්ද මොකක්ද කියලා” කිව්වේ තමන්ගේ හිත ගැහෙන සද්දේ කවීන්ට ඇහෙන්න නොදී වහගන්න හදන ගමන්.

ඒ වචන ටික ඇහුවා විතරයි, කවීන්ගේ තොල් අතරට මාරම කපටි, ඒ වගේම ලස්සන හිනාවක් ආවා. මිනිහා ආකර්ෂාගේ ඉණ වටේ තිබ්බ අත තවත් පොඩ්ඩක් තද කරලා, කෙල්ලව තමන්ගෙ මුණ දිහාවට ඇදගෙන ඒ මූණට එබුණා.

“ආ… එහෙමද? රෑට එක එක ඒවට බොරුවට බයවෙලා, පණ එපා කියලා දුවගෙන ඇවිත් මගේ පපුවේ හැප්පිලා මට තුරුල් වෙන්න හොඳයි නේද? එතකොට වැරදි පෙනුණේ නැද්ද?” කවීන් රෑ වෙච්ච සිද්ධිය මතක් කරලා ඇහුවේ මාරම රොමැන්ටික් විදිහට. 

“දැන් උදේට මං පොඩ්ඩක් ළඟට ඇදලා ගත්තම නේද ඔයාට ඔය හරි වැරැද්ද එකපාරටම මතක් වෙන්නෙ?”

කවීන් රෑ වෙච්ච දේ කිව්වම ආකර්ෂාට ලැජ්ජාවේ බෑ. ඇත්තටම රෑ බය වුණු පාර තමන්මනේ දුවගෙන ඇවිත් මිනිහගේ ඇඟේ හැප්පුණේ කියලා මතක් වෙද්දී කෙල්ලට උත්තර නැති වුණා. හැබැයි ඒ ලැජ්ජාව වහගන්නයි, මේ මාරම රොමෑන්ටික් පටලැවිල්ලෙන් බේරෙන්නයි බැරිම තැන, ආකර්ෂා තමන්ගේ අන්තිම තුරුම්පුව ඇදලා ගත්තා.

“ඒක වෙනයි මේක වෙනයි. අනික ඔයාට මතකනෙ අපේ ඩීල් එක? මොන දේ වුණත් ඇඟට අත තියන්න බෑ කියලා කොන්දේසියක් තිබුණා නේද?” කෙල්ල කවීන්ගේ ඇස් දෙක දිහා බලලා පරණ ඩීල් එක මතක් කරේ, දැන්වත් මිනිහා තමන්ව අතහරියි කියලා හිතාගෙනයි.

ආකර්ෂා අර ඩීල් එක ගැන මතක් කරපු ගමන් කවීන්ගේ මූණට ආවේ මාරම රොමෑන්ටික්, ඒ වගේම උපරිම කපටි හිනාවක්. මිනිහා කෙල්ලව අත අරිනවා වෙනුවට තමන්ගේ මුහුණ ආකර්ෂාගේ මූණට තවත් හොඳටම ලං කරා. කෙල්ලගේ හුස්ම වැටෙන සද්දේ පවා කවීන්ට ඇහෙන තරමට ඒ මූණවල් දෙක එකිනෙකට ළං වෙලයි තිබුණෙ.

“අත තියන්න බෑ… ඒක ඇත්ත,” කවීන් ආකර්ෂාගේ ඇස් දෙක දිහාම බලාගෙන මාරම හීන් සැරේ, හැඟීම්බර කටහඬකින් මුමුණන ගමන් ආකර්ෂාව තමන්ගෙ බර ඇඟට හීන්  සැරේ යට කරගෙන ආයෙ වතාවක් ඒ මූණට හීන් සැරේ එබුණා.

“හැබැයි අත නෙවෙයි මං තියන්නෙ කට”

ඒ වචන ටික කියල ඉවර වෙන්නත් කලින්, ආකර්ෂාට හිතාගන්නවත් බැරි වෙද්දී කවීන් තමන්ගේ උණුසුම් තොල් පෙති ආකර්ෂාගේ ලා රෝස පාට තොල් උඩ තද කරා. 

ඒක මාරම ගැඹුරු, මුළු සර්වාංගයම හිරිවැටිලා යන විදිහේ හාදුවක්!

 කෙල්ලගේ මුළු ලෝකයම ඒ තත්පරේට නතර වුණා වගේ කෙල්ලට දැනුණෙ. කවීන්ගෙන් බේරෙන්න හදපු ආකර්ෂාගේ අත් නිරායාසයෙන්ම මිනිහගේ උරහිස් උඩ නතර වුණේ ඒ ආදරණීය මොහොතට තමන්වත් නොදැනීම සරෙන්ඩර් කරන ගමන්.

ඒ හිතුවක්කාර, ඒත් ආදරණීය හාදුවෙන් ආකර්ෂාව සම්පූර්ණයෙන්ම ගොළු කරපු කවීන්, හෙමින් සැරේ කෙල්ලගෙ තොල්වලින් ඈත් වුණා. කෙල්ල මාරම විදිහට ලැජ්ජා වෙලා, ඇස් දෙකත් පියාගෙන, මූණ රතු කරගෙන ඉන්න හැටි දැක්කම කවීන්ට ආයෙමත් ලස්සන හිනාවක් ආවා.

මිනිහා හෙමින් සැරේ ඇඳෙන් නැගිටලා, තමන්ගේ අවුල් වුණු කොණ්ඩය එක අතකින් හදන්න ගත්තා. මූණ පුරා ලැජ්ජාවයි, හිත ඇතුළේ පිරුණු මහා ලොකු සතුටයි එක්ක ඇඳ රෙද්ද අස්සේ මූණ හංගගන්න හදන ආකර්ෂා දිහා කවීන් ආයෙමත් වතාවක් මාරම ආදරණීය බැල්මකින් බැලුවා.

“දැන් ඉතින් ලැජ්ජා වුණා ඇති නැගිටලා ලෑස්ති වෙන්න” කවීන් එහෙම කියලා කාමරේ දොර ඇරගෙන එළියට ගියේ, මුළු දවසම මාරම ලස්සන කරපු ඒ රොමෑන්ටික් මෝමන්ට් එක ආකර්ෂාගේ හිතේ සදාකාලිකවම තැන්පත් කරන ගමන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here