” සඳා…! Recordings ටික ලැබුණා නේද ?”
” අනේ ඔව් විමූ. ඒ ටික හරි . උඹට පින් හොඳේ. “
” හා.. හා . තියාගනින් . පින් අරන් මං නිවන් යන්නයෑ.. ? මේ ඒක නෙමෙයි නංගිට කොහොමද දැන්. ?”
” දැන් අසනීප නම් හොඳටම හොඳයි විමූ. ඒ උනාට එයා ඉන්නේ හොඳින් නෙමෙයි. අර නැති උනු ළමයි තුන් දෙනා අතරේ ඉන්න ගෑනු ළමයා අපේ චූටිගේ හොඳම යාළුවා. එයා ඉන්නේ සෑහෙන්න හිතේ අමාරුවෙන්. “
” අප්පාහ්.. එහෙමද ? පව් පොඩි කෙල්ල. “
” හ්ම්ම්.. මට දවස් දෙක තුනක් මෙහෙ එක්කන් එන්නත් හිතුණා. ඒත් මං කැම්පස් ආවමයි , ඔෆිස් ආවමයි චූටි තනියමනේ. ඒ නිසා ඒක කරන්නත් බෑ. “
” එහෙමත් එකක් තියනවා නේද ?”
” සඳා…!”
කිරිහලට මෑතින් වූ ගල් පඩිපෙළ එකින් එක බැස ආ තරුණයෙක් අත තිබූ බෑගය පසෙකින් තබා තරුණියන් දෙදෙනා ඉදිරියෙන් අසුන් ගත්තේය .
” සයුල් ..! කොහොමද ?”
” අවුලක් නෑ. නංගිට කොහොමද සඳා “
” දැන් හොඳයි සයුල්. “
” ඒ ටිකේම නිවුස් වලට ගියේ ඔය කේස් එක. “
” හ්ම්ම්… ! ළමයි තුන් දෙනෙක් නැති උනානේ සයුල් . ඒකයි ඒක ඔච්චර ලොකුවට පැතිරුණේ. ”
” සිද්ධ උනේ මොකද්ද කියලා හරියට දන්නවද ?”
” තාම නෑ. ඉස්කෝලේ කැන්ටින් එක කරපු මාමයි , නැන්දයි හිරේ. “
සඳැස්වි එසේ පවසා කණගාටුව පිරි සුසුමක් අත අත හැරියාය.
” උඹ ඒක කියපු ටෝන් එක මට ඇල්ලුවේ නෑ. උන් හිරේ ගිහින් මදි මේ කරපු වැඩේට. “
සඳැස්වි දෑස හරවා මිතුරිය විමර්ෂා දෙස බැලුවාය.
” මට ඒක පිළිගන්න අමාරුයි විමූ. “
” ඒ කිව්වේ ?”
” එවර විමර්ෂාගේ මෙන්ම සයුල්ගේද පුදුමයෙන් පිරි සිව් නෙත් ඈ වෙතට වැටුණේය.
” ගමේ ඉස්කෝලේ කැන්ටින් එක කළේ අපේ ගමේම පවුලක් විමූ. ඔය ලොකු ඉස්කෝල වල වගේ ටෙන්ඩර් දාලා අවුරුද්දෙන් අවුරුද්ද කැන්ටින් එකේ අය මාරු උනේ නෑ. ඒ මිනිස්සු මං දන්න කාලේ ඉඳලා කැන්ටින් එකේ හිටියා. වචනෙකින්වත් කාටවත් වැරැද්දක් නොකරන හරි අහිංසක මිනිස්සු දෙන්නෙක් ඒ. දරුවොත් නෑ. ඉස්කෝලේ කොයි ළමයද බඩගින්නේ ඉන්නේ කැන්ටින් එකට ගියොත් සත පහක් ගන්නැතුව බත් කටක් හරි දෙනවා විමූ. වැඩිය ඕන්නෑ. මේ මාත් එහෙම කාලා තියනවා. තාත්තා නැති උනත් හරි අපි සෑහෙන්න අමාරුවෙන් ජීවත් උනේ. සඳැස්වි දරුවෝ..! කාලාද ඉන්නේ කියලා අහලා බනිස් ගෙඩියක් හරි ඒ මිනිස්සු මට දීලා තියනවා විමූ. ඒ තරම් අහිංසක මිනිස්සු දෙන්නෙක් සල්ලි වලට වහ වැටිලා නරක් වෙච්ච කෑම හරි , බාල බඩු දාපුව හරි , මොනවමහරි ක්‍රමේකින් ලාබ හොයන්න කෑම වික්කා කියන එක මට විශ්වාස කරන්න බෑ. “
සඳැස්වි එසේ පවසා නෙතු අගට ඉනූ කඳුළක් පිස දැම්මාය.
” පාවිච්චි කරන වතුර වලින් ප්‍රශ්නයක් උනා වෙන්න බැරිද ?”
” ම්ම්හ්හ්.. වතුර තමයි මුලින්ම චෙක් කරලා තියෙන්නේ. ඒත් වතුරේ මුකුත් තිබිලා නෑ. කෑම වල තමයි ප්‍රශ්නයක් තිබිලා තියෙන්නේ. “
” හරියටම හේතුව මොකද්ද කියලා දැනගෙනද සඳා ?”
” තාම නෑ සයුල්. මං හිතන්නේ විස්තර පිටට දෙන්නෙත් නෑ. මොකද නඩුවක් යනවනේ. “
” වතුරෙත් නෙමෙයි නම් ප්‍රශ්නේ , ඒ මිනිස්සු හිතා මතා ඔය වගේ දෙයක් කරා වෙන්නත් බැරි නම් කෑම හදන්න ගත්තු දේවල් වල මොනාහරි තිබුණා වෙන්න බැරිද ?”
” ඒ කිව්වේ ?”
සඳැස්වි මෙන්ම විමර්ෂාද කුතුහලයෙන් සයුල් දෙස බැලුවාය.
” මෙහෙම හිතන්නකෝ.. මේ රට තරම් කෑම බීම වලට වංචා කරන රටක් මේ ලෝකේ වෙන කොහෙවත් නෑ බං. කැන්ටින් කරන , කෑම බිස්නස් කරන මිනිස්සු විතරක් නෙමෙයි බං මේ අපි උඹලා උනත් ගෙවල් වලට අරන් එන තුනපහ පැකට් එක , පිටි පැකට් එක , සීනි , පරිප්පු , හාල් ටිකේ ඉඳන් මේවා විකුණන මාෆියා කාරයෝ ගහන ගේම් උඹලා දන්නවද ? Expire වෙච්ච කෑම බීම කොච්චරක් නම් ආයේ ආයේ අලුතින් දින ගහලා දවස ගාණේ මාකට් වලට එනවද ? නිකමට කඩේකට ගිහින් මිරිස් , තුනපහ කහ පැකට් එකක් අරන් කඩලා සුවඳ බලපන්. කොත්තමල්ලි , උළුහාල් , රම්පේ , කරපිංචා බැදිච්ච සුවඳක් එනවද කියලා ? හැම එකම නිකන් පාන්පිටි වලට කලරින් දාලා වගේ බං. කිසිම සුවඳක් නෑ , රහක් නෑ , ගුණක් නෑ පාට විතරයි. පොඩි උන් බොන පිටි පැකට් එකේ ඉඳලා තියෙන්නේ වංචාව බං. “
තරුණියන් දෙදෙනා වික්ශිප්තව තමන් ඉදිරියේ උන් තරුණයාගේ පැහැදිලි කිරීම් දෙස බලා සිටියහ.
” මේක අද ඊයේ පටන් ගත්තු දෙයක් නෙමෙයි.
ටින් වල , පැකට් වල එන කෑම වල කල් ඉකුත් වීමේ දිනේ වෙනස් කරලා ආයේ පැකට් කරලා මාකට් එකට දාන තැන් ඕන තරම් තියනවා බං . ඒවගේ වැඩ වලටම හදපු තැන් මේ රටේ ඕන තරම් තියනවා.
නරක් වෙච්ච පුස් බැඳිච්ච පාන් , බිස්කට් ආයේ කුඩු කරලා බිස්කට් කුඩු කියලා ආයෙම මාකට් එකට දානවා.
පිටරටවලින් තොග පිටින් අයින් කරන කල් ඉකුත් වෙච්ච කෑම කන්ටේනර් ගණන් ගෙනල්ලා ආයේ පැකින් කරලා මාකට් එකට දානවා.
බොන කිරි එකට යූරියා , ඩිටර්ජන්ට් දානවා. මොකටද ප්‍රමාණේ වැඩි කරලා පෙන්නන්න .
පාවිච්චි කරලා අයින් කරපු තේ කොළ , කෝපි දෙකම මහා පරිමාණ හෝටල් වලින් ආයෙම අරන් පාට දාලා , වේළලා , මොනාහරි සුවඳක් එකතු කරලා ආයෙම පැකට් කරලා විකුණනවා.
පොල්තෙල් කියලා පාම් ඔයිල් ව්කුණනවා. ඒවායේ තනිකරම ඇෆ්ලටොක්සින් තියනවා.
ගුණයි , ගුණයි කිය කිය පොඩි උන්ට දෙන පළතුරු වලටයි , එළවලු වලටයිත් කරන්නේ ඔය ටිකමයි.
පොඩ්ඩක් හිටහන් තව කියන්නම් මං. “
එසේ පැවසූ ඔහු තමා ගෙනා බෑගය තුළ වූ කඩදාසි කිහිපයක් ගෙන තරුණියන් දෙදෙනාත් , ඔහු අතරත් තිබූ මේසය මත දිග හැරියේය.
” මේ බලහන් ..,
ෆෝමල්ඩිහයිඩ් (Formaldehyde) – අපි කතාවට ෆෝමලින් කියන්නේ මේවට. මස් , මාළු , පලතුරු නරක් නොවී තියාගන්න අපේ රටේ මහා පරිමාණෙන් මේවා පාවිච්චි කරනවා. අක්මාවේ , පෙනහළු වල , ආමාශෙ කැන්සර් වලට ප්‍රධාන හේතුවක් මේක. “
එසේ පැවසූ ඔහු එහි තිබූ තවත් පිටුවක් පෙරළුවේය.
.කැල්සියම් කාබයිඩ් (Calcium Carbide)පලතුරු ඉක්මන්ට ඉඳවන්න. මේකේ තියන ‘ආසනික්’ , ‘පොස්පරස්’ දෙක නිසාම ස්නායු පද්ධතිය දුර්වල වෙලා මතකය ටික ටික අඩුවෙනවා. දොස්තරලටවත් හොයාගන්න බැරි නිදන් ගත ඔලුවේ කැක්කුම් හැදෙනවා.
එරිත්‍රොසීන් (Erythrosine / Red 3) පැණිරස කෑම , ජෑම් වර්ගවලට වගේ රතු පාට ගන්න මේවා පාවිච්චි කරනවා. තයිරොයිඩ් වල ප්‍රශ්න ඇති වෙන්න මේක එක හේතුවක්.
මෙටැනිල් යෙලෝ (Metanil Yellow)කහ කුඩු, පරිප්පු , බූන්දි වගේ කෑම කහ පාට කරන්න මේක දානව. කාලයක් යද්දි මොළයේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති වෙනවා.
ඒ වගේම සත්තු යොදා ගෙන කළ පරීක්ෂණ වලදී වඳභාවයට පවා පත් වෙන්න මේක හේතුවක් කියලා දැනට හොයාගෙන තියනවා.
ඇෆ්ලටොක්සින් (Aflatoxins)පරණ වෙච්ච ධාන්‍ය වර්ග වලයි , බාල පොල්තෙල් වලයි හොයාගන්න පුලුවන් . ලෝකේ දරුණුම අක්මා පිළිකාකාරකය මේක.
මෙලමයින් (Melamine)කිරිපිටි වල ප්‍රෝටීන් ප්‍රතිශතය බොරුවට පෙන්නන්න මෙලමයින් යොදාගන්නවා. වකුගඩුවල ගල් ඇති වෙන්න මේකත් හේතුවක්. වකුගඩු සම්පූර්ණයෙන්ම අක්‍රිය වීමට ප්‍රධානම හේතුවක් .”
මේ කෑම බීම වල මෙච්චර ප්‍රශ්න තිබිලත් මේවා මහා පරිමාණයෙන් එළියට එන්නැත්තේ ඇයි දන්නවද ? මෙහෙම කෙමිකල්ස් දාපු කිරි වීදුරුවක් අද බිව්වා කියලා කවුරුවත් මැරෙන්නෑ. හැබැයි එක දිගට අවුරුදු දහයක් , පහළොවක් මේවා පාවිච්චි කරන්න කරන්න ඊට පස්සේ එන පරම්පරාවට හැදෙන ලෙඩ අඳුරගන්න බැරි තරමට ලොකු වෙනවා. මේක හරියට කාලයක් තිස්සේ චුට්ට චුට්ට වස දෙනවා වගේ වැඩක්. “
” දෙයියනේ සයුල් ! ඔයා මේවා කොහෙන්ද මෙහෙම හොයාගත්තේ ?”
සඳැස්විගේ පැනය හමුවේ විසල් හුස්මක් අත හැරි තරුණයා පෙර තිබූ ආවේගය මඳකට පාලනය කර ගත්තේය.
” මේවා මං හොයාගත්තුවා නෙමෙයි සඳා. අපේ අයියා නැති වෙන්න කලින් මොනාහරි දේකට මේ ගැන සෑහෙන්න හොයලා තිබ්බා. දවස් ගාණක් තිස්සේ එයා මොකක් හරි රහසෙන් දෙයක් කරලා තිබ්බා. අපේ අම්මා කියන විදිහට අයියා ලඟ ලොකු ෆයිල්ස් දෙක තුනක් තිබිලා තියනවා. එක දවසක් අයියා කලබලෙන් ගෙදරට ඇවිල්ලා අම්මා එක්ක කියලා තියනවා එයාගේ ජීවිතේ නැති උනත් කවදාවත් ඒ ෆයිල් ටික කාගෙවත් අතකට යනන් දෙන්න එපා කියලා. ඕවා ඔක්කොම මං දැනගත්තේ මේ ඊයේ පෙරේදා. අම්මායි , මායි ඊට පස්සේ මුළු ගේම අනිත් පැත්ත පෙරළ පෙරළ ඔය ෆයිල් ටික හෙව්වා. ඒත් .. හොයාගන්න උන්නෑ. කොටින්ම මං වත්තේ මිදුලෙත් සැක හිතිච්ච තැන් හාරලත් බැලුවා. මේ පොඩි විස්තර ටික ඇරුණම වෙන කිසිම දෙයක් නෑ. අයියා මොකක් නමුත් ලොකු දෙයක් දැනගෙන හිටියා. බොහෝ දුරට එයාගේ ජීවිතේ පවා නැති වෙන්න ඇත්තේ ඒ හේතුව උඩ. “
කඩවුණු දෑසින් අවසාන වාක්‍ය කිහිපය පෙරටත් වඩා මන්ද ස්වරයෙන් තරුණයාගේ මුවින් පිට වද්දී තරුණියන් දෙදෙනා යළිත් වරක් මුහුණට මුහුණ බලා ගත්හ.


