” සඳා..!”
විමර්ෂාගේ හඬින් තිගැස්සුණු සඳැස්වි වහා කොපුල් දිගේ රූරා වැටුණු කඳුළු බිඳු කිහිපය පිසදා දැමුවාය .
” උඹ අඬනවද බං ?”
ඈ අසලින්ම ගල් බංකුවේ පසෙකින් වාඩි වූ විමර්ෂා මිතුරිය දෙස අනුකම්පා සහගතව බලා විමසුවාය. හිස දෙපසට සලා නැත යැයි පිළිතුරු දුන්නද මිතුරියගේ කඳුළු හොඳින්ම දුටු විමර්ෂා ඉන් එහා කිසිවක් නොවිමසා ඉවත බලා ගත්තාය.
” විමූ..!”
” සයුල් එන්න..”
” ඊයේ කීයද උඹලා දෙන්නා ගෙදර යනකොට ? ”
” එකොළහා උනා. “
” අවුලක් නෑ. සඳාගේ යාලුවා ආවනේ නේද ?”
සයුල් ඇසක්ද ඉඟි මරා පැවසූ දෙයට තරුණියන් දෙදෙනා මුහුණට මුහුණ බලා ගත්හ.
” ඒ කිව්වේ ?”
” උඹලා දෙන්නා ගෙදර ගියේ අර ඊයේ හවස සඳා වඩේ දීපු ජීප් එකේ නෙමෙයිද ?”
” ඈහ්.. මොකද්ද බං කියන්නේ ? තේරෙන්න කියහන්කෝ. ඊයේ රෑ අපේ අයියා ඇවිල්ලා එයා එක්ක අපි දෙන්නා ගෙදර ගියේ. “
” ආහ්.. ඊයේ රෑ නමයේ විතර ඉඳන් ස්ටේඩියම් එකට එහා පැත්තේ පාරේ අර හවස සඳා වඩේ දීපු ජීප් එක නතර කරන් හිටියා. දෙතුන් පාරක්ම එක එක ඒවට එළියට ගිය නිසා මං දැක්කේ . මං හිතුවේ උඹලා දෙන්නා එක්කන් යන්න ඇවිල්ලා කියලා. කොහොමහරි අපි ඉවෙන්ට් එක ඉවර වෙලා එළියට එද්දිත් ඒ ජීප් එක තිබ්බා. “
සඳැස්වි ක්ෂණිකව විමර්ෂාගේ අත අල්ලා ගත් අතර ඇය සයුල් හට නොපෙනෙන්නට එකී අතටම සිහින් තට්ටුවක් දමමින් කලබල නොවන ලෙස සංඥා කළාය.
” හරි.. ඒක වැඩක් නෑ. මං මේ අලුතින් දැනගත්තු ආරංචියක් කියන්න ආවේ .”
” ඒ පාර මොකද්ද ?”
” මීට අවුරුදු පහකට කලින් ඒ කියන්නේ 2020 දි මේ අපේ කැම්පස් එකේම ළමයෙක් මැරිලා තියනවා. ඒකට හේතුව විදිහට පෝස්ට්මෝටම් එකේ කියලා තියෙන්නෙ කෑම විස වීමක් කියලා. ඒත් කොයි කෑමෙන් කොහොම ඒක උනාද කියලා හොයාගෙන නෑ. මොකද ඒ මරණේ වෙන වෙලාවේ කැම්පස් එකේ ඉවෙන්ට් එකක් තිබිලා තියනවා. ඒත්.. සැක කරපු විදිහට බීපු කිරි පැකට් එකක අවුල තිබිලා කියලා සැක පිට කිරි අවුට්ලට් එකේ හිටපු මනුස්සයව ඇරෙස්ට් කරලා. ඒ මනුස්සයා අවුරුදු එකහාමාරක් හිරේ ඉඳලා. ඔප්පු කරගන්න සාක්ශි නැති කම නිසා නඩු වාර කීපයක් යද්දි පොර නිදහස් වෙලා. “
” ඒ මනුස්සයව හොයාගන්න නැද්ද ?”
විමර්ෂා මහත් ඕනෑකමින් සයුල් දෙස බලා විමසුවාය.
” නෑ.. ඒ මිනිහා ආගිය අතක් නෑ. “
“දැන්.. දැන් ඔයාලා ඇයි මේ මෙහෙම දෙයක් පස්සේ පන්නන්නේ ? මොකද්ද හේතුව ?”
කිසිවක් සිතා ගැනීමට නොහැකි වූ සඳැස්වි විමර්ෂා දෙසත් සයුල් දෙසත් මාරුවෙන් මාරුවට දෑස යවමින් ඇසුවාය.
” සඳා.. තේරෙන්නැද්ද මේකත් ඔයාලගේ ගමේ ඉස්කෝලේ සිද්ධිය වගේමයි. හොඳම වැඩේ කියන්නේ එදා ඒ නැති උනු පිරිමි ළමයා එක්ක ළමයි දහ අට දෙනෙක් කෑම විස වීමක් නිසා හොස්පිට්ල් ඇඩ්මිඩ් කරලා තියනවා. බොහොම අමාරුවෙන් තමයි අනිත් අයවත් බේරන් තියෙන්නේ. උඹම නේද එදා කිව්වේ කැන්ටින් එකේ මනුස්සයයි , ඒ පවුලයි හරි අහිංසකයි කියලා. ඒ මිනිස්සු අහිංසකයි නම් අපි යන්න ඕනේ එතනිනුත් එහාට බං. කෑම කාපු එකා මැරුණා කියන්නේ මුලින්ම අල්ල ගන්නේ ඒ කෑම හදපු මිනිහව. ඒ මිනිහත් වැරදි නැත්තන් ප්රශ්නේ තියෙන්නේ ඒ මනුස්සයා පාවිචිචි කරපු වතුර වල හරි කෑම හදන්න ගත්තු බඩු වල හරි . වතුරෙන් ප්රශ්නයක් උනානම් එදා කැම්පස් එක ඇතුළෙ සිය ගාණක් ලෙඩ වෙන්න තිබ්බා. ඒත්.. එහෙම වෙලා නෑ. ප්රශ්නේ වෙලා තියෙන්නේ කෑම එකේ. උඹලගේ ගමේ සිද්ධිය වගේම මේකෙත් අන්තිමට අහු වෙලා තියෙන්නේ අහිංසකයෙක්ව. හිරෙන් ආවට පස්සේ ඒ මනුස්සයා ආගිය අතක් නෑ. අද මේ වෙන කනුත්. උඹට මං කියන දේ තේරුම් ගන්න පුලුවන්ද ? මේවයේ යට මහා පරිමාණෙන් මාෆියා ගේම් යනවා බං. මේ රටේ ඉන්න ලොකුම සල්ලි කාරයෝ , දේශපාලනේ කරන උන් ඔක්කොම ඉන්නේ මේකේ යට. “
සඳැස්වි සිහින් කර ගත් දෑසින් සයුල් දෙස බලා නැවතත් විමර්ෂා දෙස බැලුවාය.
” හරි.. මේ අහපන්කෝ. දැන් උඹලෑ ගමේ සිද්ධියක් උනානේ. ? අඩුම එක නඩු වාරයක්වත් අහන්න ඇතිනේ ? උඹ දන්නවද ඒවයේ වෙච්ච දේවල් ?”
” ආහ්.. මේ.. නඩුව කතා කරන්න අරන් නෑ සයුල්. කල් ගිහිල්ලා. මං දන්නේ එච්චරයි. අනික මේ දවස්වල මට එක දිගට වෙච්ච දේවල් නිසා මට ඒ ගැන හොයන්න , අහන්න බැරි උනා “
සඳැස්විගේ පිළිතුරට සයුල්ගේ උවන පුරා කෝපයක් පැතිර ගිය අතර ඔහු රත් පැහැ ගැන්වුණු දෑසින් ඈ දෙස බැලුවේය.
” යකෝ.. ! කරදරේ උනේ උඹේ නංගිට. නංගිගේ හොඳම යාලුවාට වෙච්ච දේ උඹේ නංගිට උනානම් එදාටත් උඹ ඔහොම සද්ද නැතුව ඉන්නවද ?”
” සයුල් ..!”
මහ හඬින් කෑ ගැසූ සඳැස්වි හිඳ උන් ගල් බංකුවෙන් නැඟිට්ටාය.
” කට පරිස්සම් කරගන්න. “
දබරැඟිල්ල දිගු කොට ඔහු වෙත තර්ජනාත්මක බැල්මක් හෙළූ ඈ තව දුරටත් එහි නොරැඳ පිටව යාමට බංකුව මත තිබූ තම බෑගය අතට ගත්තාය.
” හහ්.. කේන්ති යනවනේ ? දුක හිතෙනවා නේ ? වෙන්න තියා හිතන්නවත් අකමැති කාරණා තමයි ඕවා. හැබැයි අද වෙච්ච නැති දේ හෙට උනත් වෙන්න පුලුවන් . “
කෝපාවිශ්ට වූ සයුල්ද හිඳ උන් බංකුවෙන් නැඟිට කෑ ගැසූ අතර දෙදෙනා අතරට මැදි වූ විමර්ෂා තුෂ්නිම්භූතව බලා සිටියාය.
” සයුල්..! මේක හොඳටම වැඩියි. ඔයාගේ අයියා ලඟ විස්තර වගයක් තිබ්බය කියලා ඔයා හදන්නේ මොකක් හරි ක්රමේකින් අයියගේ මරණෙට හේතුවක් හදාගන්න. “
“ඔව්.. මං හදන්නේ ඒක තමයි. මං කරන්නේ ඒක තමයි. මගේ අයියා නිකන් මැරිලා ගියේ නෑ සඳැස්වි. එයා සෑහෙන්න ලොකු දෙයක් ගැන විස්තර එළියට දෙන්න හැදුවා. ඒ නිසයි එයාට එහෙම උනේ. “
” එහෙනං ඒවට අදාල දේවල් විතරක් කරගන්න සයුල්. නිකරුණේ මාවයි , මගේ නංගිවයි මේකට ඇදලා අර ගන්න එපා. “
” ඇයි බැරි සඳැස්වි ? ඇයි බැරි. ? ඇයි ඔයාවයි , නංගිවයි මේකට ඇඳලා අර ගන්න බැරි. ? බැරි නෑ පුලුවන් . මොකද මේකේ පිටිපස්සේ ඉන්න උන් කරන්නේ මහා පරිමාණ වංචාවක්. ලාබ ප්රයෝජන වලට උන් ටිකෙන් ටික මේ රටේ මිනිස්සුන්ට වස කවලා ඒ මිනිස්සුන්ව මරණෙටයි ගෙනි යන්නේ. මනුස්ස ශරීරේට දරාගන්න බැරි වස ජාති කෑම වලට දාලා උන් මේ රටේ පොඩි උන් ටිකව දවස ගාණේ ලෙඩ්ඩු කරවනවා. ඒකෙන් ගන්න පුලුවන් උපරිම සතේම අරන් ඊලඟට හැදෙන ලෙඩ වලටත් උන්ම බෙහෙත් ගෙනල්ලා ඒවත් ගිනි ගණන් වලට මේ රටේ අහිංසක මිනිස්සුන්ට විකුණනවා. ඔයා.. ඔයා බලලා තියනවද සූර්යා ඉන්න බෝධිධර්ම කියලා චරිතයක් කරන දෙමළ ෆිල්ම් එක. ඒකේ කරන්නේ උන් මිනිස්සු අතරෙ වයිරස් එකක් යවලා උන්ම ඒවට බෙහෙත් හොයලා කෝටි ප්රකෝටි ගණන් වලින් සල්ලි හොයන හැටි ගැන. “
“අනේ.. සයුල් ! මට මොනවටද ඕවා ? මට මොනවටද දෙයියනේ ? ඕගොල්ලෝ ඕන දෙයක් කරගන්න. මාව මේවට ගාවගන්න එපා. මං ඉන්නේ සෑහෙන්න ප්රශ්න ගොඩක සයුල්. මට මේ තියන ප්රශ්න ඇති. මට වෙන ඒවා ඕන්නෑ. මාව අතාරින්න. පින් සිද්ධ වෙයි ”
එසේ පැවසූ ඈ වේගයෙන් අඩි තබා එතැනින් නික්ම ගිය අතර කෝපයෙන් විමර්ෂා දෙස බැලූ සයුල් නැවතත් දුරස් වී යන යුවතිය දෙස බැලුවේය.
” ඔයාට ඔය ප්රශ්නේ දාපු එකාම තමයි සඳැස්වි මේකේ පස්සේ ඉන්නේ. ඔයා දෙවියෝ වගේ වැඳගෙන ඉන්න ඔය ඉලව් රස්සාව කරන තැන උන්ම තමා මේකේ පිටි පස්සේ ඉන්නේ . “
සඳැස්වි ඉහලට ගත් පය බිම තැබීමට නොහැකිව ගල් ගැසී ගියාය. බොහෝ වේලාවකට පසු වේගයෙන් හුස්මක් ගත් ඈ යළිත් පසුපස හැරී වේගයෙන් පැමිණ සයුල් දෙස එක එල්ලේ බැලුවාය .
” මොකද්ද කිව්වේ ? සයුල් ..! දැන් ඔයා මොකද්ද කිව්වේ ?”
” මේ ඔක්කොම පිටිපස්සේ ඉන්නෙ RD එක. වස විස නැති අති පිරිසිදු කෑම කිය කිය උන් මේ රටේ පොඩි එකාගේ ඉඳන් මහ එකාට වෙනකන් වහ කවනවා. තුනපහ පැකට් එකේ ඉඳන් කිරි පැකට් එකෙ ඉඳන් උන් කරන්නේ වස විකුණන එක. “
” වි.. විකාර කතා කියන්න එපා සයුල්. ඔයාට පිස්සු. “
සයුල් දෙස මොහොතක් විමතියෙන් බලා සිටි සඳැස්වි එසේ පවසා යළිත් හැරී ආපසු යෑමට අඩි තැබුවාය.
” මගේ අයියා නැති වෙන්න කලින් අන්තිම මොහොතේ එයාට කෝල් එකක් අරන් තියෙන්නේ ඔයාගේ මහ ලොකු සර් සියත්ර රන්දෙණිගල සඳැස්වි. මගේ අයියා ලඟ ෆයිල්ස් වගයක් තියනවා කිව්වා නේද ? ඒ ඔක්කොගෙම තිබිලා තියෙන්නේ RD එකේ සිද්ධ වෙන අපරාධ ගැන විස්තර. ඒක දැනගත්තු රන්දෙණිගලගේ පුතා මගේ අයියව කොහෙටහරි ගෙන්නලා අයියව මරලා දැම්මා. මගේ අයියගේ මිනීමරුවා ඌ. “
විමර්ෂා වහා අඩි දෙක තුනක් ඉදිරියට පැමිණ සඳැස්විගේ අතකින් අල්ලා ගත් අතර ඇසි පිය හෙළීමට හෝ අමතක වූ සඳැස්වි එක දිගට සෙල් රුවක් සේ සයුල් දෙස බලා සිටියාය.


