ආදර මල්වල පාට කියන්නද? – 37

0
1414

“අපේ තාත්තා කියන්නෙ මාර ස්ට්‍රෝන්ග් මනුස්සයෙක් ආකර්ෂා. මේ දැන් ඉන්න විදියයි තාත්තා ඉස්සර උන්න විදියයි දෙකම මම දැකලා තියෙන හන්දා වෙලාවකට මටම හිතාගන්න බෑ මේ ඉන්නෙ අපේ තාත්තමද කියන එක. තාත්තා කවදාවත් මෙහෙම පිස්සු නටපු මනුස්සයෙක් නෙවි. හරිම කෙලින් තීරණ ගත්ත, කිසිම දේකට බය නැති මනුස්සයෙක්.

එහෙව් මනුස්සයෙක්ට මෙහෙම තත්ත්වෙකට වැටෙන්න ඔලුවට වෙච්ච ඩැමේජ් එක කොච්චර ලොකුයි කියලද ඔයා හිතන්නෙ” කියලා උණු කිරි එක හෙමින් සැරේ හුලං පිඹින ගමන් නිවන අතරවාරෙ වික්‍රමසිංහ මහත්තයට පොවපු කවීන් උන්නෙ හිත් වේදනාවට අඬන ගමන්ම කියන එකත් ආකර්ෂා කල්පනා කරේ නැතුව නෙවෙයි.

“ඔයා තාත්තා එක්ක ගොඩක් ක්ලෝස් ද?” කියලා ආකර්ෂා ඇහුවෙ වෙන අහන්න දෙයක් කෙල්ලට තිබ්බෙම නැති හන්දා.

“සාමාන්‍යයෙන් තාත්තලා එක්ක යාලු දුවලා කියලා කිව්වට මමයි අපේ තාත්තයි උන්නෙම හරියට යාලුවො වගේ ආකර්ෂා. තාත්තට මෙහෙම වෙද්දිත් මම පොඩි, ඒලෙවල් කරන කාලෙ වගේ. අම්මත් නැතුව ඔයා කියන්නෙ තාත්තා තමයි මාව බලාගත්තෙ. කොච්චර වැඩ තිබ්බත් තාත්තා ඉස්සර හැමදාම උදේට මාව ඉස්කෝලෙට දාන්නයි දවල්ට ඉස්කෝලෙ ඇරුණම ගන්නයි එනවමයි. ඒ එද්දි තාත්තා මාව කෑම කන්න එක එක තැන්වලට අරගෙන යනවා. අපේ අම්මා මාව දාලා ගිහින් තියෙන්නෙ කියන එක, මම අම්මා නැති දරුවෙක් කියන එක කවදාවත් මට මතක් වෙන්න, අඩුවක් දැනෙන්න තාත්තා ඉඩක් තිබ්බෙ නෑ.

ලොකු වෙද්දි ඒ තාත්තව මට කොච්චර මිස් වුණාද කියලා දන්නෙ මම ආකර්ෂා. මුල් කාලෙ තාත්තා ඇඳේමයි හිටියෙ ඇස් දෙක පියාගෙන හරියට සිහිය නෑ වගේ. ඔලුව කරදර දවස්වලට ඔයා දන්නෙ නෑ මම සමහර වෙලාවට තාත්තගෙ ඇඳ ලඟට ඇවිත් එයාගෙ අත අල්ලන් හිතේ තියෙන ඔක්කොම වේදනාවල් කියලා දානව. තාත්තා අහගෙන ඉන්නවද, එයාට මං කියන ඒවා තේරෙනවද කියලවත් මං කවදාවත් හිතුවෙ නෑ. මොකෝ මට ඒව කියන්න වෙන මනුස්සයෙක් හිතවත් කියලා උන්නෙ නෑ ආකර්ෂා. මගෙ ලෝකෙ උන්න එකම කෙනා තාත්තා. මට කියලා, මං වෙනුවෙන් උන්න එකම කෙනා තාත්තා.

ඔයා දන්නෙ නෑ ආකර්ෂා ගෑනු අය හිතනවනෙ ඔය ප්‍රශ්න තියෙන්නෙ, ප්‍රශ්න කතා කරන්න ඕන ගෑනුන්ට. පිරිමින්ට පුලුවන් ඒවා කතා නොකර දරාගන්න කියලා. එහෙම දෙයක් නෑ ආකර්ෂා පිරිමින්ටත් කම්ෆර්ට් වෙන්න කෙනෙක් ඕන. ගොඩක් වෙලාවට ගොඩක් ගෑනුන්ට තව පිරිමියෙක්ව අඳුරගන්න බැරි හන්දා තමයි පිරිමි තම තමන්ගෙ ප්‍රශ්නෙ නොකියා තමන්ම ඔලුව අස්සෙන් විසඳගන්න හදන්නෙ. සයිලන්ට් වෙන්නෙ. එහෙම නැතුව එයාට කා එක්කවත් ඒක කියන්න ඕන නැති හන්දා නෙවෙයි” කියලා කවීන් දිගම දිග කතාවක් එක හුස්මට කියලා ඉවර කරද්දි දන්නෙම නැතුව උණු තේ එකත් ඉවර වෙලා තිබුණා. ආකර්ෂා උන්නෙ එක අතකින් කවීන්ගෙ උරහිස හෙමින් අතගාන ගමන්.

“ප්‍රශ්න නැති මිනිස්සු නෑනෙ කවීන්. ඔයා වගේම ප්‍රශ්න ගොඩක තමයි මාත් උන්නෙ. දුවෙක් විදියට මම තාත්තා එක්ක සෑහෙන ක්ලෝස් බව ඇත්ත. ඒ වුණාට ගෑනු ළමේකට ජීවිතේ එන සමහර ප්‍රශ්න තාත්තා එක්ක කියන්න බැරි ඒවනෙ. එහෙම තැන්වල අම්මා නැතුව මම ඒව තනියෙං කරගත්ත විදිය මතක් වෙද්දි ඔයා කොල්ලෙක් විදියට කොච්චර හිත්වේදනාවකින් හැමදේම දරාගත්තද කියන එක මට ආයෙ අමුතුවෙන් පහදලා දෙන්න ඕන නෑ” කියා ආකර්ෂා කිව්වේ නින්ද ගිය වික්‍රමසිංහ මහත්තයාගේ ඇඟ උඩින් බෙඩ් ශීට් එකක් පොරවන අතරවාරයේය. මේ ගෙවිච්ච පොඩි කාලේ ඇතුලත ආකර්ෂා උන්නෙ කවීන්ගේ තාත්තව තමන්ගේ තාත්තා හා සම තැනක තියන ගමන් “මේ ගෙදර ඉන්නකං මං මේ මනුස්සයව බලාගන්න කවීන්ට උදව් වෙනවා” කියලා තමන්ගෙම හිතට කියාගන්න ගමන්.

“තාත්තව පෙන්නපු ඩොක්ටර්ස්ලා කිව්වෙ නැද්ද සනිප කරන්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියලා?” ආකර්ෂා අහද්දී තාත්තට සුව සේ නිදාගන්න උදව් වෙන්න නයිට් ලෑම්ප් එක පත්තු කරපු එක.

“තාත්තට ගොඩක්ම ඕන හියුමන් ඉන්ටරැක්ශන් එක කියලා තමයි ඩොක්ටර්ස්ලා කිව්වෙ. එකත් එක්ක එන මානසික විවේකය උඩ සමහරවිට තාත්තට අතීතේ ආයෙ මතක් වෙන්න ඉඩක් එන්න පුළුවන් කියලා කිව්වට ඒක සීයට සීයක්ම එහෙම වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැරි බවත් ඩොක්ටර්ස්ලා කිව්වා”

“ඉතින් ඔයාලා ඒක ට්‍රයි කරේ නැද්ද?”

“මට තාත්තා ළඟ පැය විසි හතරෙම ඉන්න පුලුවන්කමක් නැති හන්දා අපිට කරන්න තිබිච්ච එකම දේ උනේ තාත්තා ලඟ කාවහරි තියෙන එක. එහෙම කීප දෙනෙක්ම තිබ්බට තාත්තා ඇවිදින්න පටන් ගත්තට පස්සෙ ඒ මිනිස්සු තාත්තට හරියට වද දෙන්න ගත්තා. දවල්ට අපි කවුරුත් නැති වෙලාවට ගැටගහලා තියන්නයි, කිරි එකට ස්ලීපින් පිල්ස් දාලා නින්ද යවන්නයි වගේ දේවල්. සල්ලි වියදම් කරලා තාත්තව බලාගන්න ගේන මිනිස්සු එහෙම කරනවා කියලා දැනගත්තම මට මල යකා නැග්ගා කියන එක මං ආයෙ ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ආකර්ෂා. අන්තිමට උන්න මනුස්සයා ගියයින් පස්සෙ අපිට කාවවත් හොයාගන්න උනේ නෑ තාම.

අනික ආච්චි අම්මා හරි බයයි තාත්තගෙ කන්ඩිශන් එක එලියෙ මිනිස්සු දැනගත්තොත් අපිට ලැජ්ජ වෙයි කියලා. එයාට හැමදේටම වඩා පරිස්සම් කරන්න ඕන පවුලෙ නම්බුව”

“පවුලට හෙන ගහන්න කියලා පවුලෙ නම්බුව පරිස්සං කරල වැඩක් නෑනෙ” කියලා දෙන්නම කිව්වෙ හරියට නිකන් කතාකරගෙන වගේ. ඒ කතාව ඉවරවෙද්දි දෙන්නටම එක පාරටම හිනා ගියේ ඒක හන්දා.

කවීන් කිරි කෝප්පෙ හෝදන්න කුස්සියට යද්දි හරිනං තමන් යන්නෝන නිදාගන්න කාමරේට වුනාට ආකර්ෂගෙ හිතේ දෙයක් ඉතුරුවෙලා තිබුනා කවීන්ගෙන් අහන්න. කෙල්ල අන්න ඒකයි කවීන් පස්සෙන්ම කුස්සිය දිහාවට ඇවිදගෙන ගියේ.

“මං ඔයාගෙන් දෙයක් අහන්නද?” කියලා අහද්දිත් කෙල්ල උන්නෙ දාහක් දේවල් හිත අස්සෙන් කල්පනා කරන ගමන්. කවීන් ඉස්සෙල්ලා කිව්ව වගේ එයාගෙ තාත්තට මෙහෙම දෙයක් උනේ තමන්ගෙ තාත්තා බිස්නස් වල කරපු හොරයක් හන්දා කියලා, ඒක ඇත්ත නම් තාත්තාගෙ අකවුන්ට් එකට බැර වෙලා තියෙන පව් වලින් කොටසක් ඒ තාත්තගෙ දුව වෙච්ච තමන්ගෙ අකවුන්ට් එකට බැර නොවී තියෙන්න බෑ නේද ආකර්ෂාට ඒ අස්සෙ නොහිතුනා නෙවෙයි.

“මොකද්ද?”

“ඔයා ඉස්සෙල්ලා කිව්වනෙ ඔයාගෙ තාත්තට මෙහෙම දෙයක් උනේ අපෙ තාත්තා බිස්නස් වල කරපු හොර වැඩක් එක්ක වෙච්ච පාඩුවක් හන්දා කියලා”

“මං එහෙමම නෙවෙයි කිව්වෙ. මං එවෙලෙ අර ආවේගෙට එහෙම කිව්වට ඇත්තටම ඒ වෙච්ච පාඩුව හන්දා තමයි තාත්තාට පොඩ්ඩක් ශොක් වෙලා තියෙන්නෙ. අනික මේකත් මම අහපු කතාවක් මිසක මම ඇත්තටම විට්නස් කරපු කතාවක් නෙවෙයි.

ඇයි ඔයා එකපාර එහෙම ඇහුවෙ?”

“මොන දේ හරි හන්දා ඔයාගෙ තාත්තට මෙහෙම දෙයක් වෙන්න ට්‍රිගර් වෙච්ච පොයින්ට් එක මගෙ තාත්තා නම් ඒ තාත්තගෙ දුව විදියට මම ඒ වගකීමෙන් කොටසක් හරි භාරගන්න ඕන නේද?” කියලා ආකර්ෂා කියද්දි කවීන් හෝදපු කෝප්පෙ එහෙමම පැන්ට්‍රි ටොප් එක උඩ තියලා ආකර්ෂා ලඟට දුවගෙන ආවෙ ආකර්ෂා දැන් අඬාවි කියන බයට වගේ.

“ප්ලීස් එහෙම කියන්න එපා, මෙතන ඔයාගෙ කිසිම වරදක් නෑ අපේ අම්මල තාත්තලා කරපු වැරදිවලට අපිට දුක් විඳින්න වෙච්ච එක ඇත්තක් වුණත් ඒ පව් අපේ කර පිටින් අරගෙන යන්න කිසිම උවමනාවක් නෑ ආකර්ෂා.

මේ අපේ තාත්තාගෙ ලැබීම වෙන්නැති. ඒ ලැබීම එයාට ලැබිය යුතු දෙයක්නම් අපිට කිසිසේත්ම විදියක් නැ නේද ඒක වෙනස් කරන්න? ඔයා මේ ගෙදෙට්ට ආවෙ මට උදව්වෙන්න. ඒ උදව්ව මට හොඳටම ඇති. වැඩිත් එක්ක. ඔයා මේ අනිත් ප්‍රශ්න ඔලුවට කරදර කරගන්න එපා”

“අමෝ අමෝ පොඩ්ඩක් ඇත්තන් හෙන දාර්ශනික පඬි ටෝක්නෙ දෙන්නෙ” කියලා ආකර්ෂා කිණ්ඩියට වගේ හිනාවෙද්දි කොල්ලට ඇත්තටම හිතාගන්න පුළුවන් උනේ නෑ ඇයි ආකර්ෂා එහෙම දෙයක් එකපාර කිව්වෙ කියලා.

“ඒ කිව්වේ?”

“ඒ කිව්වෙ ඉංග්‍රීසි හෝඩියෙ මුල් අකුර. මං  ඔයාගෙන් අහන්න ගියේ ඔයා කිව්වනෙ ඔයාලයි තාත්තට ගොඩක් හියුමන් ඉන්ටරැක්ශන් ලැබෙනවා නම්, එයා එක්ක කතා කර කර ඉන්න කෙනෙක් හම්බුවෙන එකෙන් එයාගෙ ඉම්පෘමන්ට් එකක් දකින්න ලොකු ඉඩක් තියෙනවා කියලා”

“ඔව්”

“ඉතින් අපි ඒක කරමු”

“මං කිව්වෙ ආකර්ෂා මට ඒක කරන්න බැරි රස්සාවට යන්….”

“හෝව් හෝව් හෝව්. කවුද අනේ ඔයාට කරන්න කිව්වේ”

“එහෙනම්?”

“මං මුලු දවසෙම නිකන් ගෙදර ඉන්න එකේ මට පුළුවන් නේද ඔයාගෙ තාත්තා ළඟට වෙලා ඉන්න?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here