RD foods හී ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ රථ ගාලේ තම මෝටර් රථය නතර කළ කඩවසම් ප්‍රධානියා කිසිවෙකු දෙස දෑස විතැන් නොකරම ගොඩනැගිල්ලේ ප්‍රධාන ද්වාරයෙන් ඇතුළු වී විදුලි සෝපානයට ගොඩ වූයේය.
” සඳැස්වි කෝ ?”
ශාක්‍යාගේ මේසය මතට බරව උන් ප්‍රධාන කාර්‍යාලයේ කළමනාකරුවෙකු වූ හේෂාන් හා ඔහු අත රැඳි පාර්සලයක් දැක ශාක්‍යා වහා දෑස සිහින් කර ගත්තාය.
” ඇයි මොකටද ?”
” කේක් පාර්සල් එකක් දෙන්න. “
ක්ෂණිකව විවර වූ විදුලි සෝපානයෙන් පිටතට පිවිසි ප්‍රධානියා දුටු ශාක්‍යා කාර්‍යාලයේ අනෙක් අයවලුන් සේම හිඳ උන් අසුනෙන් නැඟී සිටියාය.
” මිස්ටර් හේෂාන්ටත් කේක් දෙන්න මතක් වෙන්නේ සඳැස්විවම විතරයි නේද ? නිකමටවත් අපිව මතක් වෙන්නෑ “
” අයියෝ.. මේක මේ අපේ නංගි සඳැස්විට එව්වේ “
” ගුඩ් මෝනින් සර් !”
පිටුපා යන ප්‍රධානියා හට උදෑසන සුබ පැතුම් පිරි නැමුවද සුපුරුදු ලෙසම නෑසූකන්ව බර අඩි තබමින් ඇවිද ගිය ඔහු වීදුරු ද්වාරය හැර කාර්‍යාලය තුළට පිවිසියේය.
” ඉන්ස්ටා එක දැක්කද ? ”
” හ්ම් හ්ම්ම්.. ෆේස් බුක් එකෙත් තියනවා. “
” ඒ මදිවට යූ ටියුබ් කාරයොයි , පේජ් කාරයොයි ඕක මඩේ දදා හෝදනවා. “
” ෂෙනාර්‍යා මිස් ගැන නම් කතා කරලා වැඩක් නෑ , ඒත් මං හිතුවේ නෑ අපේ සර්ත් ඔහොමයි කියලා “
” කට.. කට… ජොබ් එකත් ගහලා යන කතා ඕවා. “
ප්‍රධාන කාර්‍යාලයේ උදෑසන ආරම්භ වූයේම පෙර දින සමාජ මාධ්‍ය අවුළුවා තිබූ රන්දෙණිගල පුත්‍රයාගේත් , දේවනාරායන දියණියගේත් ජායාරූප කිහිපය හේතුවෙන් තටු ලැබුණු ඕපාදූප ගැන කතා බස් කරමින්ය. හදවත තුළ උතුරා ගලා යන කෝපය පිටතට පෙන්විය නොහැකි වූ ශාක්‍යා කිසිදු ඕපාදූප කතාවකට මැදිහත් නොවී තමා ඉදිරියේ තිබු ලිපි ගොනුවකට උවන බර කර ගත්තාය.
වැඩි වෙලාවක් යාමට පෙරම ප්‍රධාන කාර්‍යාලය තුළින් පැමිණි දුරකතන ඇමතුමට සවන් දීමට ඈ රිසිවරය සවනේ තබා ගත්තාය.
” සර්..!”
” සේනානායක ගෲප් එකේ ඇග්‍රිමන්ට් එක රෙඩිද ?”
” රෙඩි සර් . සර් සයින් කරන්න විතරයි තියෙන්නේ. “
” අරන් එන්න. “
අඳුරු කර ගත් උවනින් ලිපි ගොනුවද රැගෙන හිඳ උන් අසුනෙන් නැඟිට ප්‍රධාන කාර්‍යාලය තුළට පිවිසි ශාක්‍යා නිහඬවම ලිපි ගොනුව ප්‍රධානියා ඉදිරියෙන් තැබුවාය. ඈ දෙසට දෑස විතැන් නොකර ලැප් ටොප් පරිගණකයේ ආරක්ෂක කැමරා වලට ගැඹුරු දෑස යොමු වී තිබුණද තම ලේකම්වරියගේ අඳුරු මුහුණත් , එයට හේතුවත් ඔහු ඒ වනවිටත් අනුමාන කර තිබුණේය.
නිහඬවම තම මේසය මත තිබූ ලිපි ගොනුවෙහි පිටුවෙන් පිටුව පෙරළමින් එයට තම අත්සන තැබූ සියත්‍ර රන්දෙණිගල අපහසුවෙන් කතාව ආරම්භ කළේය.
” හේෂාන්ගේ නංගි කොහොමද සඳැස්විව දන්නේ ?”
දුර සිට බලා විඳින ලද ඊතලය පඳුරට නොමැතිව හාවාටම වැදී ඇති බව වැටහුණු ශාක්‍යාගේ හදවත සන්තෝසයෙන් ඉපිළෙමින් තිබුණි.
” සඳැස්වි හේෂාන්ගේ නංගිට ටියුශන් දෙනවා සර් “
මේසය මත තිබූ නහර ඉලිප්පී ගිය දෑත මිට මෙළවුණු අතර ගැඹුරු දෑසද රත් පැහැ ගැන්වී ගියේය.
” හේෂාන්ගේ ගෙදරට ගිහිල්ලා ?”
” ඔව් සර් . සතියට දවස් දෙකක්ද කොහෙද ”
රත් පැහැ ගැන්වූ ගැඹුරු දෑස ක්ෂණිකව ශාක්‍යා දෙසට හැරුණු අතර එකී දෑසේ කෝපය මඟ හැරීමට ඈ වහා හිස බිමට බර කර ගත්තාය .
” ඇයි එයාට මෙතන සැලරි එක මදි වෙලාද ?”
” ඒක නං දන්නෑ සර් “
එක්වරම වේගයෙන් විවර වූ ප්‍රධාන කාර්‍යාලයේ වීදුරු ද්වාරයෙන් ඇතුළට පැමිණි මහීල් අමරවංශ දඩාස් හඬින් මිතුරා ඉදිරිපිට තිබූ අසුන පසුපසට ඇද එහි අසුන් ගත්තේය. පුපුරා හැළෙන කෝපයෙන් යුතුව ඉන් ඉදිරියට විත් මේසයට බර වූ ඔහු එක එල්ලේ මිතුරා දෙස බැලුවේය .
” ශෝක් බයිස්කෝප් එකක් පෙන්නලා තියෙන්නේ දෙන්නත් එක්ක. “
” දැන් කෝ ?”
මහීල්ගේ කතාව මායිම් නොකළ ඔහු ශාක්‍යා හා ඔහු අතර ගොඩ නැඟී තිබූ කතාව නැවත ආරම්භ කළ අතර නැවතත් ඔහුගේ දෑස ආරක්ෂක කැමරා දර්ශන මතින් නොපෙනෙනා ඇගේ රුව සෙව්වේය.
” සඳැස්වි ලීව් එකක් දැම්මා සර් දවස් තුනකට “
” හේතුව ?”
යළිත් තමා වෙතට හැරවුණු ප්‍රධානියාගේ ගැඹුරු දෑස මඟ හැරීමට නොහැකි වූ ශාක්‍යා විසල් හුස්මක් අත හැර මහීල් දෙසද බැලුවාය.
” ගමේ යනවා කිව්වා. ගේයි ඉඩමයි කාටහරි විකුණන්න ඕනේ කිව්වා. “
” හේතුව ?”
” කම්පැණි එකට දෙන්න ඕන ලක්ෂ දොළහා ගෙවලා ඉක්මනට අයින් වෙන්න ඕනේ කිව්වා සර් “
අත රැඳිව තිබූ පෑන මේසය මතට විසි කළ ප්‍රධානියා හිඳ උන් අසුනේ පසුපසට බරවී එක් අතකින් තම නළල තෙරපවා ගත්තේය . කිසිවක්ම නොපැවසූ මහීල් මුව ඇද කර යළි අසුනේ පසුපසට බර වූයේය.
” ඇයි බං මේ කෙල්ල මෙච්චර හිතුවක්කාර ?”
ඔහුගේ හඬ පෙරට වඩා බොහෝ බාල වී ගොස් තිබූ අතර එහි තිබූ තේජසද අතුරුදහන් වී ගොස් තිබූ බවක් ශාක්‍යාට දැනුණාය.
” සමහරවිට සඳැස්විගේ තැන මම හිටියත් මමත් ඒ දේම කරයි සර්. සඳැස්වි ඉන්නේ පණ තියන මළ මිනියක් ගාණට. “
තමා ඉදිරියේ හිඳ සිටිනා තරුණයින් දෙදෙනා දෙසටම දෑස විතැන් නොකර බිමට බර කර ගත් දෙනෙතින් ශාක්‍යා මන්ද ස්වරයකින් පැවසුවාය.
” මං හොඳින් ඉන්නවා කියලද හිතන් ඉන්නේ ? එයා හිතන් ඉන්නේ මං හොඳින් ඉන්නවා කියලද ශාක්‍යා ? “
තිගැස්සුණු නෙතින් ප්‍රධානියා දෙස බැලූ ශාක්‍යා කිසිවක්ම පවසාගත නොහැකිව ගොළු වී සිටියාය.
” ගේයි , ඉඩමයි විකුණලා කම්පැණියේ සල්ලි දීලා එයා අර අම්මයි , නංගියි එක්ක කොහේ යන්නද ? ආයේ අර අක්කා ගාවට යන්නද ? එතන ඉඳන් විඳපු දුක් මදිද ? නොදන්න ගෙවල් අස්සේ ගිහිල්ලා එක එකාට ටියුශන් දෙන්න යන්නේ ඔය ගෙවල් වල කවුරු ඉන්නවද කියලා දන්නවද ? කරදරයක් උනොත් කාට කියන්නද ? දැන්.. දැන් ඔය ගේයි ඉඩමයි විකුණලා , ඒ සල්ලි කම්පැණි එකට ගෙවලා එයා ජොබ් එකෙන් අයින් වෙලා මොකද කරන්නේ ? “
ශාක්‍යා නිහඬ වූවා මිස කිසිවක්ම නොපැවසුවාය.
යළිත් වරක් දෑතෙහිම වැළමිට මඟින් මේසයට බර වූ ඔහු එකී දෑතින්ම තම හිස බදා ගත්තේය.
විසල් සුසුමක් හෙළූ මහීල් එතෙක් පැවති කෝපය දිය කර හැර යළිත් වතාවක් මේසය ඉදිරියට විත් දෝතින්ම හිස අල්ලා ගෙන සිටින තම මිතුරා වෙතට ළං වූයේය.
” මචං…!”
වික්ශිප්ත දෑසින් තරුණයින් දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බැලූ ශාක්‍යා කොතැනක හෝ තමා මෙන්ම සඳැස්විද නොදන්නා කුමක් හෝ කරුණක් තිබිය හැකි බව ඉවෙන් මෙන් තේරුම් ගත්තාය.
” සර්..! සඳැස්විට කතා කරන්න සර්. මෙහෙම ඉඳලා සර් හිතනවනං සඳැස්විට හොඳක් වෙයි කියලා ඒක කවදාවත් වෙන්නැති වැඩක්. ඒ කෙල්ල පිටතින් පේන්නෙ නැති උනාට ඇතුළින් සෑහෙන්න බිඳිලා ඉන්නේ “
ශාක්‍යාගේ කතාවට පිළිතුරක් නොලැබුණද බිමට බර කර තිබූ හිසින් නොපෙනෙනා මුහුණෙන් ඔහු සුරුස් හඬින් නාසය ඉහලට අදිනු ඇසුනු ශාක්‍යා තිගැස්සී මහීල් දෙස බැලුවාය.
” සර්.. මට තව දෙයක් කියන්න තියනවා. “
කිසිදු දිනක සඳැස්වි පැවසූ කාරණයක් කුමන හේතුවකටවත් මහීල්ට හෝ පවසා සිටීමට තීරණය නොකර සිටි ශාක්‍යා මේ මොහොතේ එය තම ප්‍රධානියා වෙත පැවසීම ඉතා උචිත බව වටහා ගනිමින් සිටියාය.
” සඳැස්වි හදන්නේ ලංකාවෙන් යන්න”
ක්ෂණිකව හිස ඔසවා බැලූ ගැඹුරු දෑසේ මතු වූ රත් පැහැය හදවතේ තිබූ අප්‍රමාණ දුක් කන්ද පිළිබඳව සංඥාවක සේයාවක් ශාක්‍යා ඒ තුළින් දුටුවාය.
” මොකද්ද කිව්වේ ?”
සියත්‍රගේ වෙව්ලන හඬත් , මහීල්ගේ වික්ශිප්ත දෑසත් දෙස බලා සිටිය නොහැකි වූ ඈ යළිත් වතාවක් මුහුණ බිමට බර කර ගත්තාය.
” ශාක්‍යා..?”
” ස්.. සර්.. ස.. සඳැස්වි ගේයි ඉඩමයි ලක්ෂ විස්සකට විතර විකුණලා , ඒකෙන් දොළහක් කම්පැණි එකට දීලා ඉතුරු අටෙන් ටිකක් අම්මට දීලා , අනිත් එකෙන් ජෝර්දාන් යනවා කිව්වා. “
” what ? එතකොට කැම්පස් ? ඉගෙන ගන්න එක ? . අනිත් එක ඔය මිඩ්ල් ඊස්ට් ගිහිල්ලා මොනා කරන්නද ?”
එවර ගොළු වූ වතින් ශාක්‍යා දෙස බලා සිටි ප්‍රධානියාට ප්‍රථම හඬ අවදි කළ මහීල් එක දිගට ශාක්‍යා හමුවේ ප්‍රශ්න වැලක් තැබුවේය.
ශාක්‍යා අපහසුවෙන් කෙළ පිඬක් ගිල්ලාය. කෙතරම් ඇවිටිලි කළද තමා කියන කිසිවකට ඇහුන්කම් නුදුන් තරුණිය වෙත කුමක් හෝ යහපතක් සිදු කිරීමට බොහෝ උවමනාවෙන් සිටි ශාක්‍යා සියල්ල තරුණයින් දෙදෙනා හමුවේ තැබීමට සිතා ගත්තාය.
” සඳැස්වි දැන් ඉන්න බෝඩිමේ අයිති ගෙදර ගෑනු කෙනාගේ දුවෙක් ජෝර්දාන් ඉන්නවලු සර්. එහෙ ගාමන්ට් එකකලු වැඩ කරන්නේ. ලක්ශ තුනක් ඉල්ලලා ජෝර්දාන් යන්න. ගාමන්ට් එකේ වැඩටම තමයි. ගේ විකුණලා ගන්න සල්ලි වලින් කැම්පස් ගමන නතර කරලා රට යනවා කිව්වා. ඒ අතරේ අම්මවයි , නංගිවයි රෙන්ට් එකට ගේක නතර කරනවා කිව්වා. මං පුලුවන් තරම් ට්‍රයි කළා සර් ඒ කෙල්ලගේ ඔය තීරණේ වෙනස් කරන්න. ඒත් හරි ගියේ නෑ. මේ හිතුවක්කාරී පෙරේදා ගිහිල්ලා පාස් පෝට් එකත් හදාගෙන. “
” මැරෙන්නද බං කියන්නේ ? මොකද්ද මේ කරුමේ ?”
” ඒ.. ඒ මචං.. මේ අහපන්කෝ.. මොනාහරි කරමු. අපි මෙහෙම දේවල්ද කරලා තියෙන්නේ ?”
මහීල්ගේ වචන හමුවේ වහා හිස ඔසවා බැලූ ඔහු තමා ඉදිරියේ තිබූ දුරකතනය ගෙන වහා ඇමතුමක් ගත්තේය.
” ගන්කන්ද .. ඔෆිස් එකට එන්න…!”


