” සඳැස්වි ..! අපි තව 10 minutes වලින් ඔතනට එනවා. “
සඳැස්වි වෙත කෙටි පණිවිඩයක් තැබූ පහන්‍යා ශාක්‍යාගේ ගමන් මළු සියල්ලම වෑන් රථයට දමා ඉන් අනතුරුව ඈද ඊට ගොඩ වන තුරු හිඳ ගන්කන්ද වෙත ඇමතුමක් ලබා ගත්තාය.
” අන්කල් ගන්කන්ද ..! ඔව් අපි පිටත් වෙනවා. “
” පරිස්සමින් නෝනා. දෙයියන්ගේ පිහිටයි. “
” මල්ලි මුකුත් දන්නෑ නේද ?”
” නෑ නෝනා මං මුකුත් කිව්වේ නෑ. හැබැයි මට මඟින් මඟටම කිව්වා නැති දවස් දෙකේ සඳැස්වි ගැන හෙවිල්ලෙන් ඉන්න කියලා “
පහන්‍යාගේ මුව පුරා සතුටු සිනා රැල්ලක් ඇඳී ගියේය.
” අපි සඳැස්විට කිව්වෙත් නෑ. සඳැස්වි දන්නේ මායි , ශාක්‍යයි , එයයි විතරයි මේ ගමන යන්නේ. , ගාල්ලෙන් මහීල් නඟිනවා කියලා. එච්චරයි. “
” බය වෙන්නෙපා නෝනා. නෝනලා ගිහින් එනකන් මං මෙහෙ වැඩ ටික බලාගන්නම් “
” හොඳයි අන්කල් ගන්කන්ද . තියන්නං “
ගන්කන්දට සමුදුන් පහන්‍යා සිනහව පිරි උවනින්ම ශාක්‍යා දෙසට හැරුණාය.
” ඔයාගේ ප්ලෑනින් තමයි මරු. මල්ලිට ගාල්ලේ මීටින් එක තියන දවස අල්ලලම මේක දාගත්ත එක හොඳයි. ගමන මඟක් දුර ගිහින් නිසාම සඳැස්විට බැහැලා යන්නත් බෑ. මල්ලිට මඟ අරින්නත් බෑ. “
” ඒ උනාට සර්ව නං සත පහකට විශ්වාස කරන්න බෑ අක්කේ. කොයි අතරමඟදි නැග්ගත් බැහැලා යයිද කියලා මට ශුවර් නෑ. “
” අහ්.. ඒවා කොහෙද. ඔයා ඉන්නකෝ. එහෙම උනොත් මං බලාගන්නම්කෝ. ”
ශාක්‍යාගේ අතට තට්ටුවක් දැමූ පහන්‍යා ඉඟියෙන් කලබල නොවන ලෙස පැවසුවාය.
” අක්කේ..!”
” ම්ම්ම් ..?”
” සර් අඬනවා දැකලා තියනවද ? අඩුම ඇස් දෙකේ කඳුළු තියනවා ?”
පහන්‍යා වික්ශිප්ත දෑසින් ශාක්‍යා දෙස බැලුවාය.
” කවුද මේ අපේ මල්ලි ?”
ශාක්‍යා නිහඬවම පහන්‍යා ඇසූ පැනට ඔව් යැයි පැවසීමට හිස සැලුවාය.
” පිස්සුද අනේ.. ! ඔය යකා එච්චර හිත උණු වෙන එකෙක් නෙමෙයි. මං ජීවිතේට ඔය මිනිහගේ ඇස් වල කඳුළු දැකලා නෑ. ඇස් වල කඳුළු තියා මූණේ හිනා පොදක්වත් තියන මිනිහෙක්ද ඔය ?”
” ඒත්.. මේ ලඟදි අර ජෝර්දාන් කතාවයි , සඳැස්වි ඉඩම විකුණන්න ගමේ ගිය කතාවයි කිව්වම සර්ගේ ඇස් වල කඳුළු පිරුණා. “
” What ?”
පහන්‍යා මොහොතක් විසල් කර ගත් දෑසින් ශාක්‍යා දෙස බලා සිටියාය.
” මේකේ කොනක අපේ අම්මා ඉන්නවා ශාක්‍යා. මල්ලිට ඒකයි මුකුත් කරන්න බැරි. ඒ උනාට කමක් නෑ. මම අක්කනේ. මං උන් දෙන්නට කීයටවත් ඈත් වෙන්න දෙන්නෑ. “
පහන්‍යා එසේ පවසා විසල් සුසුමක් අත හැරියාය.
” ගුඩ් මෝනින් කෙල්ල ..”
වෑන් රථයකට ගොඩ වූ සඳැස්විව වහා සිප වැළඳගත් පහන්‍යා ඈ තමා අසලින්ම වාඩි කරවා ගත්තාය.
” අපි තුන්දෙනා විතරද ? මහීල් අයියා කෝ ?”
” මහීල් ගාල්ලේ හොටෙල් එකේ නංගි. එයා මඟට ඇවිත් නඟීවී. “
” ආ..! “
වෑන් රථයට ගොඩ වූ මොහොතේ ඉදිරිපස අසුන මත තැබූ පාර්සලයක් ගෙන පහන්‍යා දෙසට දිගු කළ සඳැස්වි මඳ සිනහවක් නැඟූ අතර පාර්සලයට ඉව ඇල්ලූ පහන්‍යා නැවතත් දිළිසෙන නෙතින් කුඩා යුවතිය දෙස බැලුවාය.
” සීනි සම්බෝලද ? සුවඳේ බෑ.. “
” හ්ම්ම්.. ශාක්‍යා අක්කා උදේට කන්න පරිප්පුයි , මාලුයි ගේනවා කිව්ව නිසා මං ඕක හැදුවා. “
” ඔය දෙන්නටනං පිස්සු අනේ. මොකටද මහන්සි උනේ. අපිට හොටෙල් එකකින් බ්‍රෙක්ෆස්ට් ගන්න පුලුවන්නේ.. “
” ඒ උනාට ට්‍රිප් එකක් යද්දි ගෙදරින් හදන් යන පරිප්පුවයි , සීනි සම්බෝලෙයි නැතුව කිසි ගතියක් නෑ නැද්ද සඳැස්වි . ?”
ශාක්‍යාගේ ඇමතුමට චිරිස් ගා සිනාසුණා මිස සඳැස්වි කිසිවක් නොපැවසුවාය.
” දයාරත්න..! මහීල්වත් ගත්තට පස්සේ හොඳ තැනක නතර කරන්න නිදහසේ කන්න. “
” ආ.. ඊට කලින් අපි කොහෙන්හරි පාන් ගමු . නැත්තන් හොඳි ටික විතරක් තියෙයි උදේට කන්න. “
නැවත වතාවක් තරුණියන් තිදෙනාගේ සිනා හඬ සුඛෝපභෝගී වෑන් රථය පුරා විහිදී ගියේය.
” බබාව අම්මලා ගත්තේ උදේද අක්කේ. ?”
” අනේ ඔව් සඳැස්වි . මං එන්න ලෑස්ති වෙද්දිමයි අපේ අම්මයි , තාත්තයි ආවේ. මාත් එක්ක යන් කිව්වට වඩා එයා ආස ආච්චි සීයයි එක්ක ඉන්න. ඇයි ඉල්ලන ඉල්ලන දේ ලැබෙනවනේ. “
දක්ෂිණ අධි වේගී මාර්ගයේ වේගයෙන් ඉදිරියට ඇදී යන වෑන් රථය තුළ සිටි තරුණියන් තිදෙනා එක දිගට නොනවත්වා කතා බස් කරමින් , සිනහ නඟමින් දිගටම ගමන් කළ අතර ඔවුන්ගේ බොහෝ විහිළු වලට රියදුරු දයාරත්නට බොහෝ අවස්ථාවන්වල සිනහව නතර කර ගැනීමට නොහැකි වූයේය .
” අක්කා කියන්නේ උයන්න හරිම කම්මැලියි. අපි තුන්දෙනාගෙන් කවුරුහරි එනකන් ඉන්නවා රෑට උයාගන්න. උදේටත් අපි උයනවනේ. ඒ ඉතුරු වෙන එකක් දවල්ටත් කාලා ශේප් එකේ ඉන්නවා. රෑට තමයි. මේ ලඟදි අමාවි රෑ නූඩ්ල්ස් එකක් හදද්දි මෙයා කාත් එක්කදෝ ලොකු කතාවක්ලු ෆෝන් එකෙන්. අමාවි කේන්තියෙන් බැනගන්න බැරුව ඉඳලා තියෙන්නේ. ඇයි ඉතිං කැම්පසුත් ගිහිල්ලා , එයා අර ටියුශන් දෙන්න යන ගෙදරත් ගිහින් ඇවිල්ලා හරිම මහන්සියෙන් ඉඳලා තියෙන්නේ. ඇන්ටි එහාට මෙහාට ඇවිද ඇවිද ෆෝන් එක කනේ තියන් ලොකු කතාවක්ලු. අමාවි කම්මැලි කමට ප්ලාස්ටික් භාජනේකට වතුර ටිකක් අරන් එළවලු ඔක්කොම ටික ඒකෙන් හෝදලා තියෙන්නේ. ඊට පස්සේ බීපු තේ කෝප්පේ හෝදලා ඒ වතුර ටිකත් අර භාජනේටම දාලා. අපේ ගම් වල ඔහොම හෝදන වතුර එහෙම්මම සින්ක් එකට හළන්නෑනේ අක්කේ. පිළිකන්න පැත්තෙන් ගහක් මුලට දානවා ඇරෙන්න . අමාවිත් ඉතිං උයලා ඉවර වෙලාම වතුර භාජනේ විසි කරනවා කියලා හිතන් ඉඳලා තියෙන්නේ. ඇන්ටි ෆෝන් එකත් කනේ ගහන් එක පාරට ආවලු. හැන්දක් අරන් එක පාරට අර භාජනේට දාලා ඒකෙන් වතුර ටිකක් අරන් බීලා කිව්වලු මේකට ලුණු මදි දරුවෝ. තව ලුණු ටිකක් දාන්න කියලා. ඔයාලට කියන්න එදා රෑ එළි වෙනකන් අපේ රූම් එක ඇතුළේ අමාවි ඕක කර කර පෙන්නුවා. මටයි , හිරුකිටයි හිනා වෙලා පණ නෑ. ඇයි ඉතිං හයියෙන් හිනා වෙන්නත් බෑනේ. ඇහුනොත් දුවගෙන ඇවිල්ලා අහනවා ඇයි හිනා වෙන්නේ කියලා. අපි දෙන්නා ඇඳන් උඩ කොට්ට වල මූණ ඔබාගෙන පුදුම අමාරුවෙන් එදා රෑ අමාවිගෙ විහිළු වලට හිනා උනේ. “
සඳැස්විගේ බෝඩිම් කතාවකට එක දිගට සිනාසුණු පහන්‍යා අවසානයේ දෑසින් ඉනූ කඳුළු බිඳුද පිස දැමුවාය.
” සර්ලා පින්නදූව එක්සිට් එකේද නෝනා ඉන්නවා කිව්වේ ?”
” ඔව් දයාරත්න.. “
” හරි නෝනා. අපි එක්සිට් එක ඉස්සරහා ඉන්නේ. “
දයාරත්න එසේ පවසමින් වෑන් රථයේ වේගය බාල කළ අතර පහන්‍යා දෙස බැලූ ශාක්‍යා වෙත කලබල නොවන ලෙසට දෑසින් ඉඟි කළ ඈ නැවතුමේ සිටි තරුණයින් දෙදෙනා වෙතට අත වැනුවාය .
වෙනදා හුරු පුරුදු කලිසම් , කමිස , බ්ලේසර් වෙනුවට අත් රහිත තද නිල් බැනියමකින් හා කළු පැහැ බොටම් කලිසමකින් සැරසුණු දේහධාරී තරුණයා මහීල්ට පසු පසින් වෑන් රථයට ගොඩ වූ අතර ඔහුව දැක ගල් ගැසී බලා සිටින යුවතිය දැක වහා ඔහු තම ගැඹුරු දෑස තම සොහොයුරිය වෙත හරවා බැලුවේය. ඔහුගේ දෑස් බැල්ම මායිම් නොකළ පහන්‍යා තවමත් වික්ශිප්තව උඩ බිම බලමින් සිටින මහීල්ගේ බාහුවට පාරක් ගසා ඔහු වෙත හැරුණාය.
” ගොඩක් වෙලාද මහීල් ඇවිල්ලා. “
“නෑ.. අක්කා. Two minutes වගේ. “
” එහෙනං අපි වෙලාවටම ඇවිල්ලා. “
” දයාරත්න අපි කොහෙන් හරි පාන් අරන් කන්න නතර කරමුද ? සඳැස්විගේ සීනි සම්බෝලෙ සුවඳටම මට දැන් බඩගිනියි “
වෑන් රථය තුළ ගල් ගැසී උන් කිසිවෙකුගේ හෝ බැල්මක් මායිම් නොකළ පහන්‍යා වහා දයාරත්න ඇමතුවාය.
” අක්කේ.. ! මං මඟින් බහින්නද ?”
එතරම් කාලයක් වෑන් රථය තුළ සිනා සයුරක ගිලී උන් තරුණිය කඳුළු පිරුණු දෑසින් පහන්‍යා දෙස බලා මන්ද ස්වරයකින් විමසුවාය.
” ඒ මොකටද ?”
පහන්‍යාගේ හඬ තරවටු වූ අතර එහි දැඩි බවක් තැවරී තිබුණි. එකී පැනයට පිළිතුරු දෙනු වෙනුවට එකී ස්වරයටම තිගැස්සී ගිය යුවතිය තොල් පට සපා ගනිමින් හිස බිමට බර කර ගත්තාය.
” දයාරත්න..! ඊලඟ ඉමදූව එක්සිට් එකෙන් මාව බස්සවන්න. “
පහන්‍යාගේ හඬට වඩා ගොරෝසු වූත් , රළු වූත් පිරිමි ස්වරය ක්ෂණිකව රියදුරු හට උපදෙස් ලබා දුන්නේය.
” කිසිම කෙනෙක් බහින්නෑ. දයාරත්න..! කවුරු හරි වෑන් එකෙන් බැස්සොත් ආයෙම හරවන් කොළඹ යනවා මිසක් වෙන කොහෙවත් යන්නෑ. ලඟින් ඉන්න ඕනෙම කාලේ අම්මා , තාත්තත් මං ලඟ නෑ. කසාද බැඳපු මනුස්සයත් නෑ. ඇස් ඇරලා වත් නැති දරු පැටියෙක් බඩේ තියාගෙන මං නිකන් අනාථයෙක් ගාණට වැටිලා. මගෙයි කියලා ලඟ ඉන්න උඹලටත් ඕනේ මාව දාලා යන්න නං ඕන එකෙක් පලයල්ලා. හැබැයි ආයේ මගේ මූණක්වත් බලන්න ලෑස්ති වෙන්න එපා. අනිත් අය මට ඕන වෙලාවේ මගේ ලඟ නෑනේ කියලා හිත හදා ගත්තා වගේ උඹලත් මාව දාලා ගියා කියලා මං හිත හදා ගන්නං “
එසේ පැවසූ පහන්‍යා දෙකොපුල් දිගේ රූරා වැටෙන කඳුළු බිඳු පේළියක් වහ වහ පිස දැමූ අතර මිට මෙළවූ අතින් ඉලිප්පී ගිය නහර මතින් හදවත සනසා ගැන්මට වෙර දරන දේහධාරියා නිහඬවම ජනෙල් තීරයෙන් පිටත බලා සිටියේය .


