ඔලියැන්ඩර් – 51

0
349
oleander Flower

මඟ හැරුණු දින කිහිපයේ සටහන් රාශියක ජායා පිටපත් ගෙන පාලනාධිකාර ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි කුඩා යුවතිය මාර්ගය අසලට වන්නට හිඳ කතා බස් කරමින් උන් සයුල් හා විමර්ෂා දැක ඔවුන් වෙතට ඉක්මන් අඩි තැබුවාය. 

” එහෙනං මං ගිහින් එන්නං “

විමර්ෂා වෙත එසේ පැවසූ සයුල් එක් අතක පමණක් දවටා සිටි අත් බෑගය දෙවුරින්ම දමා ගනිමින් පැමිණි සඳැස්වි දෙස බැලුවේය. 

” සයුල් කොහෙද යන්නේ ?” 

” පොඩි ගමනක්. “

කෙලින් මුහුණ දෙස නොබැලුවද අමනාපයක් නොමැතිව ඔහු යුවතිය ඇසූ දේට පිළිතුරු ලබා දුන්නේය. 

” තරහින් නේ ?” 

” එහෙම එකක් නෑ සඳා. පරක්කු වෙනවා ගිහින් එන්නං. “

” මේ.. පරිස්සමට හොඳේ. කෝල් එකක් දෙනවා හරිද ?” 

විමර්ෂා මඳක් බෙරි කර ගත් මුහුණින් සයුල් දෙස බලා පවසා ඒ බැල්මෙන්ම සඳැස්වි දෙසද බැලුවාය. 

” කොහෙද යන්නේ කියලා කියන්නකෝ “

යුවතිය නැවතත් මිතුරිය දෙසත් , මිතුරා දෙසත් මාරුවෙන් මාරුවට බලමින් ඇසුවාය. 

” අර අවුරුදු පහකට කලින් කැම්පස් එකේ ළමයෙක් නැති උනේ. ඒ ළමයගේ ගෙදර. දැනට ගෙදර අම්මා ඉන්නවලු. ඒ අම්මා පෙන්ශන් ගිය ටීචර් කෙනෙක්. මට හිතුණා මුණ ගැහිලා ටිකක් කතා කරලා බලන්න. “

” කොහෙද ගෙවල් ?” 

” පන්නිපිටියෙලු. “

” දැන් යන්න දන්නවද ?” 

” ඇඩ්‍රස් එක හම්බුණා. 138 නැග්ගම එක බස් එකනේ. “

” යං මාත් එන්නං “

අතෙහි තිබූ සටහන් සහිත ලිපි ගොනුව ගමන් මල්ල තුළට දමා  ගනිමින් එසේ පැවසූ සඳැස්වි දෙස සයුල් හා විමර්ෂාද පුදුමයෙන් බලා සිටියහ. 

” ඇයි ?” 

” උඹ හිටහන්. මං ගිහින් එන්නං. නොදන්න තැනකටනේ බං යන්නේ. “

” ඇයි දැන් ඔයා හිතන් ඉන්නේ ඔයා මහා ලොකු එක්කෙනෙක් කියලද ? “

සඳැස්වි තරවටු බැල්මක් පා කරමින් සයුල් දෙස බැලුවද ඔහු පිළිතුරක් නොදී බිම බලා ගත්තේය. 

” යං ද ?” 

” හ්ම්ම්.. “

” මේ දැන් උඹලා දෙන්නම ගියාම මං තනියෙන් ඉන්නද ? ඔහොම හිටහන් මාත් එනවා. “

කිසිවක්ම නොපැවසූ සයුල් මුව ඇද කර විමර්ෂා දෙස බලා ඉදිරියට අඩි තැබුවේය. 

” කොයි පැත්තෙන්ද යන්නේ ?” 

” තුම්මුල්ල හන්දියට ගිහින් 138 එකක යං. “

කාර්‍යබහුල නොවන උදෑසන දහය කණිසම පමණ වන විට විනාඩි හතළිස් පහක පමණ කාලයකින් පන්නිපිටියට පැමිණි තිදෙනා ධර්මපාල විද්‍යාලය අසලින් බස් රථයෙන් බැස ක්‍රිස්තුරාජ විද්‍යාල මාර්ගය දිගෙහි තවත් විනාඩි දහයක් පමණ දුරක් ගෙවා පයින් ඇවිද යන්නට වූහ. 

” මේ හරියෙද බං ?” 

” ඔව්. නොම්මර 23 , අරලිය පෙදෙස “

” කාගෙන්හරි අහන්න වෙයිද ?” 

” අතන කඩෙන් අහමුද ?” 

සයුල් වහා අරලිය පෙදෙස මාර්ගයට හැරෙන ස්ථානයේ ඇති කුඩා වෙළඳ සැලක් අසලට ගොස් තමන් සොයන නිවස පිළිබඳව නිවැරදිම තොරතුර ගෙන යළි දුව ආවේය. 

” හරි..  ටිකක් ඉස්සරහට යද්දී වමට පාරක් තියනවා කිව්වා , එතනින් හැරුණාම දෙවෙනි ගේලු. “

මං සළකුණු දිගෙහි පැමිණි තිදෙනා අදාල නිවසේ ගේට්ටුව අභියස නතර වී එහි තිබූ සීනුව නාද කර කිසිවෙකු හෝ පැමිණෙන තුරු බලා සිටියහ. 

” ඇයි ?” 

වැඩිමහලු කාන්තාවක් ගේට්ටු පියන් විවර නොකරම එහි තිබූ කුඩා කවුළුවකින් හිස පොවා ඇසුවාය. 

” ආ.. මිසිස් වීරසුන්දර ..?” 

” ඔව් මං තමයි. “

” මිසිස් වීරසුන්දර. අපි කොළඹ කැම්පස් එකෙන්. රවිහාන් වීරසුන්දර ගැන තොරතුරු ටිකක් දැනගන්න ආවේ. “

සයුල් එසේ පවසා තමා පසුපස උන් මිතුරියන් දෙදෙනාටද බැල්මක් හෙළුවේය. 

” රවිහාන් නැති වෙලා දැන් අවුරුදු පහක් වෙනවා දරුවෝ. ආයේ ආයේ එයා ගැන මොනවා අහන්නද ?” 

” මිසිස් වීරසුන්දර . අපිට ඕන තොරතුරු ටිකක් දැනගන්න විතරයි. “

” කරන ප්‍රොජෙක්ට් එකක් වෙන කාගෙහරි උදව් අරන් කරගන්න ළමයෝ. මගේ කොල්ලව ඒවට ගාව ගන්න එපා. “

ඈ නොරිස්සුම් සහගත ලෙස වචන පිට කළ අතර තිගැස්සුණු සයුල් නැවතත් මිතුරියන් දෙදෙනා දෙස බැලුවේය .

” මිසිස් වීරසුන්දර , අපි අපේ වැඩකට නෙමෙයි මේ විස්තර අහන්නේ .” 

සයුල්ට පෙර එවර ඉදිරියට පැමිණි විමර්ෂාද කෙසේ හෝ තමන් පැමිණි කාරණය ඉෂ්ට කර ගැනීමේ අරමුණින් යුතුව නැවතත් වැඩිමහලු කාන්තාව වෙත පවසා සිටියාය. 

” කාගේ වැඩක් උනත් මට මේ වෙලාවේ කරන්න පුලුවන් දෙයක් නෑ ළමයෝ “

එසේ පැවසූ ඈ කුඩා කවුළුවෙන් මෑත් වූවාය. ඈ හැරී ආපසු නිවස බලා යෑමට සැරසෙන බව වටහා ගත් කුඩා යුවතිය බලාපොරොත්තු කඩ කර ගත් මුහුණින් යළි හැරුණු සයුල් හා විමර්ෂා පසු කර ගොස් වහා ගේට්ටුවේ එල්ලුණාය. 

” මිසිස් වීරසුන්දර…!  මං සඳැස්වි ආරණ්‍යා සෝමතිලක. රංජිත් සෝමතිලකගේ දුව. “

තත්පර කිහිපයක් නිහඬව ගෙවුණේය. සඳැස්වි පැවසූ කාරණයේ තේරුම වටහා නොගත් සයුල් හා විමර්ෂා ඈ දෙස එක එල්ලේ බලා සිටි අතර විවර වූ ගේට්ටු පියන් ද්විත්වය තුළින් පිටතට පැමිණි වැඩිමහලු කාන්තාව කුඩා යුවතිය දෙස බලා විසල් සුසුමක් හෙළුවාය. 

” එන්න ළමයෝ ගෙට.. “

” යං “

සයුල්ගෙන් හෝ විමර්ෂාගෙන් පැනයක් නැඟෙන්නට පෙර ඔවුන් දෙදෙනා දෙස බලා එසේ පැවසූ සඳැස්වි වහා නිවස වෙතට අඩි තැබුවාය. 

” වාඩි වෙන්න ළමයිනේ..” 

” ඔය ළමයත් කැම්පස් එකේද ? කීවෙනි අවුරුද්දද මේ ?” 

” තාම පළවෙනි අවුරුද්ද මිසිස් වීරසුන්දර . “

” හ්ම්ම්.. මොනවද ළමයෝ මගෙන් දැනගන්න තියෙන්නෙ ?” 

තරුණිය නිහඬව සයුල් දෙස බැලූ අතර ඔහු වහා අත තිබූ ගමන් මල්ල හිඳ සිටි පුටුව අසල බිම තබා ඒ තුළ වූ ලිපි ගොනුවක් අතට ගත්තේය. 

” මිසිස් වීරසුන්දර  ..! අපි ආවේ රවිහාන් ගැන දැනගන්න. “

” අර ඉන්නේ රවිහාන් “

ආලින්දය කෙළවරෙහි තිබූ කුඩා කැබිනෙට්ටුවක් මත තිබූ ජායාරූපයක් දෙසට අත දිගු කළ කාන්තාව එසේ පැවසූ අතර සියල්ලන්ගේම දෑස් ඒ මතට විහිදී ගියේය. 

” රවිහාන්ගේ තාත්තා නැති වෙද්දි රවිහාන් ඕලෙවල් කරනවා. තාත්තා නැති උනේ කැන්සර් එකකින්. දැනගෙන වැඩි කලක් නෑ. අපි ඒ ගැන දැනගන්නකොටත් ඒක ඇඟ පුරා පැතිරිලා ගිහිල්ලා. අන්තිම මොහොතෙත් එයා රවිහාන්ට කිව්වේ මොන දේ උනත් කැම්පස් යන්නම ඕනේ කියලා. ඒ උනාට මගේ කොල්ලත් කැම්පස් එක ඇතුළෙදිම එයාගේ තාත්තා ලඟට ගියා. “

පැළැඳ සිටි උපැස් යුවළ මඳකට ගලවා දැමූ කාන්තාව දෙනෙතින් රූරා වැටෙන කඳුළු බිඳු පිස දැමුවාය. 

” රවිහාන් බීපු කිරි පැකට් එකක් ඇලර්ජි වෙලා හොස්පිට්ල් ඇඩ්මිට්  කළා කියල මට පණිවිඩේ එද්දි මං හිටියේ ඉස්කෝලේ. රවිහාන් විතරක් නෙමෙයි එතන ළමයි දහ අට දෙනෙක් හිටියා. මට මුලින්ම කිව්වේ කිරි පැකට් එකේ expiry date එක පහුවෙලා ඒක විකුණපු මනුස්සයා ඒක හංගලා ඒකට උඩින් වෙන දිනයක් ගහලා ආයෙම කිරි පැකට් ටික විකුණලා කියලා. නඩු වාර දෙකක් , තුනක් වගේ යද්දි අවුරුද්දකින් එකහාමාරකින් විතර ඒක විකුණපු මනුස්සයා එළියට ආවා ඇප පිට. ඊලඟට මට කිව්වේ කිරි පැකට් වල කිසිම විසක්  නෑ , අහිතකර දෙයක් නෑ මේ ළමයි වෙන මොනාහරි කන්න ඇති කියලා. ඒ දවස්වල කැම්පස් එකේ ඉවෙන්ට්ස් වගයක් තිබ්බ නිසා මේගොල්ලෝ කොහෙන් මොනවා කෑවද කියලා අපිට හිතාගන්න බැරි උනා. “

” නෑ.. නෑ.. නෑ.. මේක උනේ RD එකේ කිරි පැකට් එක නිසා. වෙන කොහෙන් හරි කෑවා නම් ඔය වගේ තව අය කීප දෙනෙක්ම අසනීප වෙන්න තිබ්බා. ඔය හොස්පිට්ල් නතර කරපු දහ අට දෙනාගෙන් හැමෝම අර අවුට්ලට් එකෙන් කිරි පැකට් අරන් තියනවා. ඒක වෙලා තියෙන්නේ එදා එතන ඉඳලා තියනවා තමන්ගේ උපන්දිනේ තිබ්බ ළමයෙක්. හැමෝම හිටියෙ තිබහින් නිසා එයා තමයි හැමෝටම කිරි පැකට් අරන් දීලා තිබ්බේ . ඒ කිසිම දේකට වෙන කෑමක් සම්බන්ධ නෑ. “

බොහෝ සෙයින් කලබලයට පත් වී සිටි සයුල් රවිහාන්ගේ මව පවසනා කාරණය අසත්‍ය බව පවසමින් RD ආයතනය වෙත වැරදි පටවමින් සිටියේය. 

” මං දන්නවා ළමයෝ. සෝමතිලක මට ඔය හැමදේම පැහැදිලි කරලා කිව්වා. අනිත් දහ අට දෙනාට ජීවිත හානියක් තිබ්බෙ නැති නිසා මේ නඩුව ඇදගෙන යන්න උවමනාවක් තිබ්බේ මට විතරයි. ඒත් හරි හමන් දෙයක් , තොරතුරක් නැතුව මාත් අසරණ වෙලා ඉන්න වෙලාවේ තමයි සෝමතිලක මාව හොයන් ආවේ. “

” සඳා..! ඒ ඔයාගේ තාත්තද ?” 

සයුල්ගේ පැනයට නිහඬ බැල්මක් ඔහු වෙත හෙළූ සඳැස්වි හිස දෙපසට සලමින් ඔව් යැයි පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here