ඔලියැන්ඩර් – 56

0
4010
oleander Flower

” ගුඩ් මෝනින් කෙල්ල !” 

සිනාමුසු මුහුණින් රෝහල් කාමරයට පිවිසි ශාක්‍යා දුටු තරුණියගේ මුව මත සිහින් සිනා රැල්ලක් ඇඳුණි .

” ඔෆිස් යන ගමන්ද අක්කේ ?” 

” හ්ම්ම්.. ඔව්. කෑවද ඔයා ? මං පැස්ටා එකක් හදන් ආවා “

” කෑවා. “

” හා.. ටෝන් එකේම තියනවා කාපු හැටි. ඒකට කමක් නෑ මේකත් කන්න. ” 

” අනේ.. අක්කේ !” 

” නෑ.. නෑ ..කටවල් දෙක තුනක් හරි කන්න. මන් උණුවෙන්මයි අරන් ආවේ “

” අක්කේ..!” 

” ම්ම්ම් ?” 

පැන්ට්‍රිය මත තබා ආහාර බඳුන සූදානම් කරමින් උන් ශාක්‍යා තරුණිය දෙස නොබලාම හූමිටි තැබුවාය. 

” කෝල් එකක් අරන් දෙනවද ?” 

” ආහ්..? කාටද ?” 

” ස්.. සර්ට.. මගෙ නම්බර් එක බ්ලොක් කරලා. “

ශාක්‍යා කනස්සල්ලෙන් පිරි දෑසින් තරුණිය දෙස බලා දුරකතනය ඇය වෙතට දිගු කළාය. 

”  ශාක්‍යා !” 

ගැඹුරු ස්වරය අනෙක් පසින් ගලා එද්දී දුරකතනය සවන මත තද කර ගත් ඈ ආයාසයෙන් වචන ගැලපුවාය. 

” ස්..සර්.. මං ශාක්‍යා අක්කා නෙමෙයි. “

” ඇයි ?” 

රළු ස්වරය නැවත වාරයක් ඇගේ දෑස තෙත් කරනු ලැබීය. 

” කො.. කොහෙද ඉන්නේ ?” 

” මොකටද ?” 

” මං.. මං.. සොරි සර්. ආ..ආයේ අතින් වත් අල්ලන්නෑ. ලඟට වත් එන්නෑ. ඒ උනාට එක පාරක් ඇවිත් යන්න එන්නකෝ. මං මූණ විතරක් බලන්නම් “

තරුණිය හඬමින් පවසන සියල්ල අසා සිටි ශාක්‍යා දැවෙන සිතින් සුසුමක් හෙළුවාය. 

” සඳැස්වි . තමුන් තමුන්ගේ සීමාව අමතක කරනවා හැම තිස්සෙම. අඩු තරමේ තමුන් නිසා කීදෙනෙක් කරදරේද කියලාවත් හිතන්න බැරිද ?  ඔය ශාක්‍යාට ඊයෙත් හරියට රස්සාව කරගන්න නෑ. අදත් ඔය ඉන්නේ ෂෝට් ලීව් දාලා. ඔයයි , එයයි  දෙන්නම ඔතන ඉද්දි ඔෆිස් එකේ ඔය දෙන්නා අතින් කෙරෙන අනිත් වැඩ කරන්නේ කවුද ?  ඔෆිස් එකේ වැඩ හිර වෙලා හැමදේම අවුල් වෙලා. අරහෙන් මගේ අක්කා හොස්පිට්ල් එන්න විදිහක් නැතුව නහයෙන් අඬ අඬ ඉන්නවා. ඔයාගේ යාලුවො උනත් අනිත් වැඩ ඔක්කොම පැත්‍තකට දාලා ඊයේ මහ රෑ වෙනකන් ඔතන ඉඳලා නේද ගියේ. එක්කෙනෙක්ගේ හිතුවක්කාර වැඩ නිසා කීදෙනෙක් කරදර වෙනවද කියලා තේරෙනවද ?  මොළයක් තියනවා නේද ? ඇයි මේ වගේ පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැරි ? ඔය ෆෝන් එක දෙනවා ශාක්‍යාට “

ගැහෙන හදින් යුතුව තමා දෙස බලා සිටි ශාක්‍යා වෙතට දුරකතනය දිගු කළ තරුණිය දෑසින් ගලා ගිය කඳුළැලි පිස දැමුවාය. 

” සර්.. ආ…? අහ්. ඔ.. ඕකේ සර්.. “

එසේ පැවසූ ශාක්‍යා ඇමතුම විසන්ධි කර යළිත් තරුණිය දෙස බලා සිටියාය. 

” ඇයි අක්කේ ?” 

” නෑ. මුකුත් නෑ..”

” සර් මොකද්ද කිව්වේ ?” 

” කන්න දෙන්න කිව්වා. කෑවේ නැත්තන් ගෙදරට කතා කරලා අම්මට එන්න කියලා ඔයාව බාර දෙන්න කිව්වා “

බිදුණු හඬින් එසේ පැවසූ ශාක්‍යා නැවතත් නිහඬ වූ අතර තරුණිය කඳුළු පිරි දෑසින් එක එල්ලේ රෝහල් කාමරයේ දොර දෙස බලා සිටියාය. 

තව දුරටත් වචන පිට කර ගත නොහැකි වූ අසරණ මුහුණින් එක දිගට කල්පනාවේ නිරත වූ ඈ සෙමින් දෑස පියා ගත්තාය. 

********************************************

” ශාක්‍යා ..!” 

විවර වූ රෝහල් කාමරයේ දොරින් ඇතුළට පිවිසි පහන්‍යා යහන මත නින්දට වැටී උන් තරුණිය දෙස බලා ඈට නෑසෙන්නට පසෙක සෝපාවේ හිඳ උන් ශාක්‍යා ඇමතුවාය. 

” අක්කේ.. එන්න..!” 

” කෙල්ල නිදිද ?” 

” හ්ම්ම්.. නින්ද ගියා. “

” කාලා , බෙහෙත් එහෙම බීලද ?” 

” මං පැස්ටා ටිකක් හදන් ආවා. ඒකෙන් ටිකක් කෑවා. “

” හ්ම්ම්.. මං මුකුත් අරන් ආවේ නෑ. සඳැස්වි නැඟිට්ටම අපි තුන්දෙනාටම ලන්ච් ඕඩර් කර ගමු. කෝ අපේ මල්ලි ? ආවේ නැද්ද ?” 

පහන්‍යාගේ පැනයට ශාක්‍යා පළමුව හිස දෙපසට සලා නැත යැයි සන් කළාය .

” ඊයේ රෑ මොකද වෙලා තියෙන්නේ ?” 

” සඳැස්වි ෆේන්ට් උනා කියන එක විතරයි දන්නේ “

” ඊයේ රෑ මල්ලි උදේ වෙනකන් ඉන්නවා කියලා හිතන් ඇවිත් තිබුණේ. “

” මොකක් හරි වෙලා තියනවා අක්කේ. එක්කෝ දෙන්නා රණ්ඩු උනාද දන්නෙත් නෑ. සමහරවිට ඒ නිසා වෙන්නැති සඳැස්වි ආයෙම ෆේන්ට් වෙන්නැත්තේ. “

පහන්‍යා දිගු සුසුමක් හෙළා අනෙක් පස හැරී නිදා සිටින තරුණිය දෙස බැලුවාය. 

” මං ප්‍රනීෂ්ට කතා කළා. ඊයේ රෑ සඳැස්වි ෆේන්ට් වෙච්ච වෙලෙත් මල්ලි සෑහෙන්න බය වෙලා. සිහිය ඇවිල්ලා ආයෙම සඳැස්විට නින්ද යනකන්මත් ඉඳලා. “

” ඔෆිස් එකේදිත් සර් සඳැස්වි ෆේන්ට් වෙලා වැටිච්ච වෙලේ මහ සද්දෙන් කෑගැහුවා අක්කේ. ඒ වෙච්ච දේ හැටියටනම් දැනටම උත්පලා මැඩමුත් දැනගෙන ඇති. “

” හ්ම්ම්.. අම්මා දන්නවා. මට කතා කළා. “

ශාක්‍යා බියපත් වූ මුහුණින් පහන්‍යා දෙස බැලුවාය. 

” ඉතිං ?” 

” බැන්නා හොඳටම. එයා ඉතිං දන්නේ එච්චරනේ . මේ දෙන්නා මෙහෙම දෙපැත්තකට වෙච්ච එකෙත් කොහේ හරි තැනක එයා අනිවාර්‍යෙන්ම ඇති. “

” සර් ගැන වෙලාවකට තරහයි අක්කේ. ඒත්.. අනිත් පැත්තට සර් හැසිරෙන විදිහෙනුත් පව් කියලා හිතෙනවා. උදේ ඉඳන් මට දහ පාරකට වැඩිය කෝල් කලා. අද දවසම නිවාඩු අරන් සඳැස්වි ලඟ ඉන්න කිව්වා. කොටින්ම මේ රූම් එකේ ඩෝ එක ඉස්සරහට ආපු වෙලෙත් සර්ට කතා කරලයි මං ඇතුලට ආවේ. ඊට පස්සේ සඳැස්වි මගේ ෆෝන් එකෙන් සර්ට කෝල් කළාම කෙල්ලට හොඳටම බැන්නද කොහෙද . ආයේ මට කතා කරලා සැරෙන් කිව්වා කන්න බොන්න බෑ කිව්වොත් ගෙදර අම්මට කතා කරලා බාර දෙන්න කිව්වා කියලා සඳැස්විට කියන්න කියලා. ඒක අහපු වෙලේ ඉඳන් මේ කෙල්ල හිටියාටත් වැඩිය ඩවුන් උනා අක්කේ.  මේ බලන්න.. “

එසේ පැවසූ ශාක්‍යා තම ජංගම දුරකතනය ගෙන එයට පැමිණ තිබූ කෙටි පණිවිඩ කිහිපයක් පහන්‍යා වෙත පෑවාය. 

” රූම් එකට ආවාට පස්සේ සැරින් සැරේට මැසේජ් එව එව සඳැස්වි ගැන විස්තර ඇහුවා. නිදි කියලා කිව්වම ආයේ මැසේජ් කරල කිව්වා ෆෝන් එක අරන් එළියට යන්න කියලා. ඊට පස්සේ මම එළියට ගිහින් කතා කළා. සර්ට ඕනේ සඳැස්විට හොරෙන් සඳැස්විව බලාගන්න. “

” මට තේරෙන්නෑ ශාක්‍යා. අපේ එකා මූණේ හිනා පොදක් තිබ්බ එකෙක් නෙමෙයි. එහෙම එකා මේ කෙල්ල එක්ක කට පුරා හිනා වෙනවා මං ඇස් දෙකට දැකලා තියනවා. අපි ලඟ කොච්චර පුපුර පුපුර හිටියත් , සඳැස්වි ලඟ එයා පොඩි එකෙක් ගාණට හැසිරෙන හැටි මං දැකලා තියනවා. එහෙම හිටපු එකා මෙහෙම මේ කෙල්ලට නපුරු උනේ කොහොමද මන්දා. ?” 

යහන මත අනෙක් පස හැරී නිදා උන් තරුණියට කිසිවක්ම නෑසෙන ලෙස පසෙක හිඳ සිටි තරුණියන් දෙදෙනා රහසින් මෙන් කතා කළද ඔවුන් දෙදෙනා පවසන සියලු දේ අසා සිටි කුඩා යුවතිය දෑසින් ඉනූ කඳුළු සෙමින් පිසදා නින්දෙන් අවදි වූවාක් මෙන් නැඟී සිටියාය. 

” නංගි.. ! කොහොමද දැන් ඔයාට ?” 

” ඊයෙට වඩා හොඳයි අක්කේ.  දැන්ද ආවේ ?” 

” දැන් ටිකක් වෙලා. “

පහන්‍යා එසේ පවසමින් යහන මත හිඳ උන් තරුණියගේ හිස සෙමින් පිරිමැද්දාය. 

දහවල් ආහාරය රෝහල් කාමරයේ සිටම ගත් පහන්‍යා හා ශාක්‍යා රෝගී යුවතිය හට පිරිසිදු වීමට උදව් වී ඈ වෙත සියල්ල සකසා දී නැවත පැමිණෙන පොරොන්දුව පිට රෝහල් කාමරයෙන් පිටව ගියහ. 

” මිස්.. ! මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද ? ” 

සැඳෑවේ යුවතියගේ රුධිර පීඩනය හා ශරීර ගත ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කිරීම උදෙසා රෝහල් කාමරයට පැමිණි හෙදිය ඇමතූ තරුණිය ඇගෙන් උපකාරයක් බලාපොරොත්තු වූවාය. 

” කියන්න මොකද්ද වෙන්න ඕනේ ?” 

” දවස් ගණන් මට මෙහෙම හොස්පිට්ල් එකේ ඉන්න අමාරුයි මිස්. කැම්පස් එකේ වැඩ ගොඩ ගැහිලා , මං ජොබ් එක කරන තැනිනුත් නිවාඩු ගන්න අමාරුයි. ඩොක්ටර් රෙස්ට් කරන්න කිව්වනේ. ඒත් .. එක එක්කෙනා සැරින් සැරේට මාව බලන්න මෙහෙම එද්දි මට රෙස්ට් කරන්න අමාරුයි. මට ඉක්මණට සනීප වෙන්න ඕනේ මිස්. ඒ නිසා මගේ රූම් එකට විසිටර්ස්ලා එන එක නතර කරන්න පුලුවන්ද ? කවුරු ආවත් නාවත් හදිස්සියක් උනොත් මට මිස්ලට කතා කරන්න පුලුවන්නේ. ? “

හෙදිය මඳ වේලාවක් නිහඬව ඈ දෙස බලා සිටියාය. 

” හොඳයි අපි ඒක කරන්නම්. ඒක ඔයාගේ කැමැත්තනේ. හැබැයි ඔය කිව්වා වගේම වෙන දේවල් ගැන කල්පනා නොකර රෙස්‍ට් කරන්න ඕනේ. “

හෙදිය පැවසූ කරුණට මඳ සිනහවක් නැඟූ තරුණිය යන්තමින් හිස දෙපසට සලා ඈ පැවසූ දේ අනුමත කළාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here