ආදර මල්වල පාට කියන්නද? – 52

0
2312

සෙනසුරාදා ආවෙ කෙල්ලගෙ හිත ඩිග් ඩිග් ගාලා තිගස්සවන ගමන්.

බය හිතෙන එක සාධාරණයිනෙ ඉතින් මේ ගේ අස්සෙ වෙන දේවල් එක්ක කියලා කෙල්ල කියාගත්තෙ තමන්ටමයි. එදත් සුපුරුදු විදියට උදේ ඉඳන් ගෙදර වැඩ කර කර, වික්‍රමසිංහවයි කවීන්වයි බලාගෙන කෙල්ල උන්නට මොකෝ තමන්ගෙ වගේම සෙලීනගෙ හිතත් අද රෑ වෙන්න යන දේ සම්බන්ධයෙන් එකම ටෝන් එකට රින්ග් වෙන විත්තිය කෙල්ල දැනගෙන උන්නා. හැබැයි සෙලීනා තමන් මේ විත්තියක් පොඩ්ඩක්වත් දන්නෙ නෑ කියලා ඔප්පු කරවන්න වගේ කෙල්ල හරිම පරිස්සමෙන් තමයි එදා දවස ගේ අස්සට වෙලා ගත කරේ. වෙනදා වගේම වික්‍රමසිංහලගෙ කාමරේට වෙලා පොත් කියවන ගමන්, චිත්‍ර අඳින ගමන් කෙල්ල කාලෙ ගෙව්වෙ ඕනවට වඩා සෙලීනට ෆේස් කරන්න ගියොත් මූණෙන් ඒකි මොනාහරි දෙයක් දැනගනීවි කියන බය හන්දා.

වෙනදා වගේම ආකර්ෂා හදල දුන්න උණු කිරි එක බීලා කවීන් කිසිම සිහියක් පතක් නැතිව ඇඳ උඩ වැටිලා හිටියේ හරියට මළ කඳක් වගේ. මිනිහා මේ ලෝකෙක නෙවෙයි ඉන්නේ කියලා ෂුවර් කරගත්තට පස්සේ, ආකර්ෂා හැමෝටම පේන්න කාමරේ ලයිට් නිවලා, නිදාගන්න යනවා වගේ ඇඳට වැටුණා. හැබැයි කෙල්ලගේ හිත තිබ්බේ උපරිම ඇලර්ට් එකේ. හදවත ඩග් ඩග් ගාලා ගැහෙද්දී, රෑ දොළහේ කණිසම පහු වෙනකම් කෙල්ල බලන් උන්නේ බකමූණෙක් වගේ ඇස් දෙකත් ඇරගෙන.

මුළු වලව්වම බය හිතෙන විදියට සයිලන්ට් වෙලා, රෑ කුරුල්ලන්ගේ සද්දේ විතරක් පාළු හුළඟත් එක්ක ඇහෙන්න ගනිද්දී කෙල්ල හීන් සැරේ ඇඳෙන් බැස්සා. සෙලීනා අද රෑ නටන්න ලෑස්ති වෙන ඒ හොර මගඩිය  තමන්ගේම ඇස් දෙකෙන් බලාගන්න ඕන හන්දා, ආකර්ෂා හුස්ම පොදක්වත් පිට නොකර, පූසෙක් වගේ අඩි තියලා හොරෙන්ම කාමරේ පොත් රාක්කෙ පිටිපස්සෙන් ඔෆිස් රූම් එකට එන්ටර් වෙන්න තිබ්බ රහස් දොර අද්දර හැංගිලා ඉන්නයි ප්ලෑන් කරගෙන උන්නෙ. හැබැයි ඊට කළින් සෙලීනා මේ පැත්තට එනවද කියලා බලාගන්න බෙඩ් රූම් ඩෝ එක ලාවට ඇරලා කෙල්ල කොරිඩෝ එක දිහා බලාගෙන උන්නා.

කෙල්ල කොරිඩෝ එකේ ඝන අන්ධකාරෙට මුවා වෙලා, ඇස් දෙකත් ලොකු කරගෙන බලා ඉද්දී, හරියටම කෙල්ල හිතපු විදිහටම සෙලීනා තමන්ගේ කාමරේ දොර හිමින් සීරුවේ ඇරගෙන එළියට ආවා. වටපිට බල බල හොරෙක් වගේ, පඩිපෙළ දිගේ පල්ලෙහාට බහින සෙලීනාගේ පස්සෙන්ම ආකර්ෂගෙ ඇස් දෙකත් ඇදිලා ගියා.

සෙලීනා පල්ලෙහාට බැස්සේ පූසෙක් බිත්ති දිගේ බඩගානවා වගේ මෙලෝ සද්දයක් නොඇහෙන්න වුණාට, ගෑනිට තිබ්බ නොඉවසිල්ලයි කලබලෙයි කොරිඩෝ එකේ කළුවර අස්සෙනුත් ආකර්ෂාට හොඳටම මීටර් වුණා. කෙල්ලත් තමන්ගේ හුස්ම සද්දෙ පවා කන්ට්‍රෝල් කරගෙන, බිත්තියට හේත්තු වෙලා බලාගෙන උන්නෙ සෙලීනා එක්ක මේ ගේම් එකට සෙට් වෙච්ච අනිත් එකත් ගේමට එන්ටර් වෙනකම්. සෙලීනා කෙළින්ම ගියේ කවීන්ගේ ඔෆිස් කාමරේ පැත්තට. ගෑනි වටපිට බලලා ඔෆිස් කාමරේට එන්ටර් වෙන්න කලින් එතන තිබ්බ පිලර් එකකට මුවා වෙලා ෆෝන් එකේ ටෝච් එක පත්තු කරලා ජනේලෙන් එළියෙ උන්න කාටහරි සිග්නල් එකක් දෙනවා කෙල්ල දැක්කා. ඒ එක්කම ඔෆිස් කාමරේ පැත්තේ තියෙන ලොකු වීදුරු ජනේලෙ ළඟට ගිය සෙලීනා, ඒකේ ලොක් එක ඇරලා ජනේලේ ලාවට ඇරියා.

ඒ ඇරපු ජනේලේ අස්සෙන්, කළු පාට ජැකට් දාගෙන මූණවල් වහගත්ත මනුස්සයෙක් ගේ ඇතුළට රිංගුවෙ ඒ විදියට. කවීන්ලගෙ ගෙදර ඔෆිස් රූම් එක තිබ්බෙ ගෙදර වත්තෙ පිටිපස්ස පැත්තට ෆේස් කරලා හන්දා කොහොමත් ඉස්සරහා ඉන්න සිකියුරිටි සද්දයක් ආවොත් මිසක මේ පැත්ත බලන්නෙ නෑනෙ කියන එක කෙල්ලට මතක් උනෙත් අන්න එවෙලෙ. “අනික කවුද දන්නෙ සිකියුරිටිත් දැනගෙනද මේවා වෙන්නෙ කියලා” කෙල්ල කියාගත්තෙ ඇත්තටම මේ වෙන දේවල් හැටියට මේ ගෙදර ඉන්න මෙලෝ යකෙක්ව විශ්වාස කරන්න බැරි හන්දා. ආකර්ෂා ඇස් දෙක පුංචි කරලා බලද්දී කෙල්ලට තේරුණා මූ තමයි අර සෙලීනාගේ ෆෝන් එකට සෙනසුරාදා රෑට එන්නම් කියලා මැසේජ් දැම්ම එකා කියලා. හැබැයි කෙල්ලව මාරම විදිහට ෂොක් කරවන ගමන් ඒ මිනිහගේ පස්සෙන්ම තව උස මහත මනුස්සයෙක් ඇතුළට ලෙස්සලා ආවා කියලා දැක්කම නම් කෙල්ලටත් හිතාගන්න බැරි වුණා මේ මොකද මේ වෙන්නෙ කියලා.

 “යකෝ… මූ තනියම නෙවෙයිනේ ඇවිත් තියෙන්නේ. තව එකෙක්ව ඇදගෙන ඇවිල්ලා නේද” කියලා කෙල්ල තමන්ටම කියාගත්තෙ අන්න ඒ හන්දා.

 තුන්දෙනාම එක වචනයක්වත් කතා නොකර, අඩි සද්දයක්වත් ඇහෙන්නෙ නැති වෙන්න කෙළින්ම ඔෆිස් කාමරේ ඇතුළට වැදුණා. සෙලීනා ටක් ගාලා වීදුරු දොර වහලා ලොක් කරලා, අර ආපු මිනිස්සු දෙන්නත් එක්ක එකතු වෙලා බිත්තියේ තිබ්බ ලොකු පින්තූරයක් අයින් කරලා ඒක පිටිපස්සේ තියෙන රහස් ලොකර් එකක් මාරම කලබලෙන් අවුස්සන්න පටන් ගත්තා. මුන් තුන්දෙනාගේම අරමුණ වුණේ ලොකර් එක ඇතුළේ තියෙන මොකක් හරි ලොකු දෙයක් හොයාගන්න එක විතරයි කියන එක කෙල්ලට තේරුණේ අන්න එවෙලෙ.

මේ වෙද්දී ආකර්ෂා හිටියේ ඔෆිස් කාමරේට පිටිපස්සෙන් තියෙන, අර පරණ පොත් රාක්කෙන් වැහිලා තිබ්බ රහස් කාමරේ දොර අස්සේ හැංගිලා. මේ කාමරේ ගැන සෙලීනාවත්, අර ආපු හොරු දෙන්නවත් දැනගෙන උන්නේ නෑ කියන එක කෙල්ලට තේරුණේ කිසිම වෙලාවක උන් තුන් දෙනා ඒ දිහා ඇහැක්වත් ඇරලා බැලුවෙ නැති හන්දා. සමහරවිට ඇත්තටම මේ දොර ගැන දන්නවා ඇත්තෙ කවීනුයි, වික්‍රමසිංහයි, ලේඩි කලම්බු සෙවනුයි තමනුයි විතරක් වෙන්නත් පුළුවන් කියන එක කෙල්ලට ඒ අස්සෙ හිතුණා.

“තව ඉක්මනට ඕක හොයපන්! කාටහරි මේක මීටර් වෙන්න කලින් මේ ඔප්පු ටිකයි බිස්නස් ෆයිල් ටිකයි අපේ අතට ගන්නම ඕනේ අනික් එක අර ඇත්තටම අපි සයින් කරපු ඩොකියුමන්ට් එක. මම අවුරුදු ගාණක් පුරාවටම ඒ ඩොකියුමන්ට් එක එක එක තැන්වල හෙව්වට මට ඒක හම්බුණේ නෑ. ඒක නැතුව වික්‍රමසිංහලගේ සේසතම අපේ නමට හරවගන්න බෑ” අර නන්නාඳුනන මිනිහා කියපු වචන ටික ඇහුණු ගමන් ආකර්ෂාගේ මුළු ඇඟම සීතල වෙලා ගියා.

“එතකොට මුන් මේ ලෑස්ති වෙන්නේ වික්‍රමසිංහ පවුල හූරං  කන්න විතරක් නෙවෙයි, මුළු වලව්වමයි බිස්නස් ටිකයි තමන්ගේ නමට ලියාගන්න”

 කෙල්ලට එකපාරටම හිතුණේ මේ මිනිහා සෙලීනාගේ කවුරු හරි පරණ පටලැවිල්ලක් වෙන්න ඇති කියන එක. මුන් දෙන්නා එකතු වෙලා මේ කරන මහා පරිමාණ මංකොල්ලය ගැන අහගෙන ඉද්දී ආකර්ෂාගේ හිතට ආවේ මාරම කේන්තියක්. අනික මුං මේ පණ දාගෙන හොයන්නෙ තමන්ට එදා තාත්තා ළඟ තිබිලා හම්බෙච්ච ඩොකියුමන්ට් එකද කියන එකත් කෙල්ලට නොහිතුනා නෙවි.

ඒ කේන්තිය එක්ක එළියට පැනලා ගිහින් තුන්දෙනාගෙම බෙල්ලෙන් අල්ලගන්න කොච්චර උවමනාව තිබ්බත් තනි ගෑනියෙක් වෙච්ච තමන්ට මේ පිරිමි දෙන්නෙකුයි තව ගෑනියෙකුයි එක්ක හැප්පෙන්න විදියක් නෑනෙ කියන එක මතක් වෙච්ච හන්දා කෙල්ලට කරන්න පුළුවන් වුණේ ඔතන හැංගිලා බලාගෙන ඉන්න එක විතරයි. අනික් අතට කෙල්ලට ලොකුවටම උවමනාව තිබ්බා මේ කවුද කියන එක බලාගන්න. සෙලීනා එක්ක මේ ගේම් එකට සෙට් උනේ කවුද කියන එක දැනගත්තොත් මේ විත්තිය කාට උනත් කියන්න පුළුවන් නෙ කියලයි කෙල්ල හිතුවෙ.

අන්න එහෙම හිත හිත කෙල්ල දිගටම බලාගෙන ඉද්දි තමයි හිතුවෙවත් නැති විදියට එකපාරටම කාමරේ පුරාවටම ලයිට් එක පත්තු වුණේ.

කිසිම කෙනෙක් හිතුවෙවත් නැති විදිහට, මුළු ඔෆිස් කාමරේම වහගෙන තිබ්බ ඝන අන්ධකාරෙ එක පාරටම කඩා බිඳගෙන ටක් ගාන සද්දෙත් එක්කම ලොකු ලයිට් එකක් පත්තු වුණා. මුළු කාමරේම දවල් කාලේ වගේ එළිය වෙලා යද්දී, ලොකර් එක අස්සේ අත් ඔබාගෙන හිටපු සෙලීනයි, අර හොරු දෙන්නයි විදුලි සැර වැදුණා වගේ ගැස්සිලා දොර පැත්තට හැරුණා.

උන් තුන් දෙනාව වගේම ආකර්ෂත් ෂොක් වුණේ දොර ඉස්සරහා හිටගෙන උන්න අයව දැකලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here