” ලිමිට් ? නෝ මචං. ලිමිට් කරන්න නෙමෙයි. කෙලින්ම නතර කරන්න. එයා කිව්වේ එහෙමයි. “
ජංගම දුරකතනය සවනට තද කර ගත් දේහදාරියාගේ කමිස අත යටින් ඉලිප්පී පෙනෙන නහර ඔහුගේ සිතෙහි ඇතිව තිබූ කෝපයත් , පීඩාවත් මනාවට පෙන්නුම් කළේය.
” ඒක පේශන්ට් විසින්ම කරපු ඉල්ලීමක් නිසා අපිට ඒක කරන්නම වෙනවා. “
” බලලා හොඳ දෙයක් කරහන් ප්‍රනීෂ්. හැබැයි මට සැරින් සැරේට update එකක් ඕනේ “
” එනිවේ.. ”
ඇමතුම විසන්ධි කළ තරුණයා දුරකතනය පසෙකට දමා තමා ඉදිරියේ උන් මහීල් දෙස බැලුවේය.
” මං කිව්වේ . ශාක්‍යාට කතා කරලම කියලා බලන්න එන්න එපා කියලා. “
මහීල් ටීපෝව මත තිබූ මත්පැන් වීදුරුව අතට ගෙන යළි හිඳ උන් සෝපාවේ පසුපසට බර වුණේය.
” බලහන්.., අඩි පහක් උස නෑ ඒ උනාට තියන උද්දච්චකම. හැමදේම තනියම කරගන්න පුලුවන් කියලා හිතන් ඉන්නේ. “
” වෙන්න එපැයි. නැත්තන් උඹ වගේ එකෙක් එක්ක ඉහ ගහයි යෑ..?”
නිහඬ බැල්මක් හෙළුවා විනා මහීල්ගේ සරදමට පිළිතුරක් නොලැබුණේය.
” දැන්වත් ඒකි එක්ක කතා කරහන්. “
එවර මහීල් දෙස නිහඬවම බලා සිටි ඔහු හිස දෙපසට සළමින් එසේ කළ නොහැකි යැයි පැවසුවේය.
” මුලින් මේ වැඩේ ඉවර කරලා ඉමු . ඊට පස්සේ මං එයා ගැන වෙනම බලාගන්නම්. “
එසේ පැවසූ ඔහු තමා ඉදිරියේ තිබූ මත්පැන් වීදුරුවද අතට ගත්‍තේය.
” උඹ යන්න ලෑස්තිනේ ?”
” හ්ම්ම්..”
පිළිතුරු ලෙස හූමිටි තැබූ මහීල් හිසද ඉහල පහල සෙලවූවේය.
” මචං .. මං මේ උඹෙන් අන්තිම පාරට අහන්නේ ? මේක මේ විදිහටම කරන්න ඕනෙද ?” මේක පට්ට රිස්ක් එකක් යකෝ.. ?”
මුවඟින් යන්තමින් සිනහවක් නැඟුවා විනා සියත්‍ර රන්දෙණිගල මහීල් අමරවංශ හට කිසිදු පිළිතුරක් නුදුන්නේය.
” එක්ස්කියුස් මී සර්..! සර්ගේ විසිටර්ස්ලා ඇවිත්. “
සේවකයෙකු පැමිණ ලබා දුන් පණිවිඩය හමුවේ හිඳ උන් සෝපාවෙන් නැඟී සිටි තරුණයා අත් දිගු කමිසයේ එක් අතක් වැළමිට තෙක් නවමින් තරප්පු පෙළ බැසීමට පටන් ගත්තේය.
” මං සියත්‍ර …. සියත්‍ර රන්දෙණිගල… දැන් ඉතිං හැමෝම මගේ විදිහට සෙල්ලම් කරමු. ”
***************************************
දින දෙකකට පසු …
” අපරාදේ අක්කේ මහන්සි උනේ “
” ගුටි කන්නෙපා මගෙන්. අපිට බලන්නවත් එන්න බැරි කරලා. හොස්පිට්ල් එකට කතා කර කර විස්තර අහ ගත්තේ. ඩිස්චාර්ජ් කළා කියලවත් අඩුම ඔයාට කෝල් එකක් දීලා කියන්න බැරි උනාද ?”
පහන්‍යා දිගින් දිගටම නෝක්කාඩු පවසමින් සිටි අතර ශාක්‍යා තරුණිය සතුවූ බඩු බාහිරාදිය යළි අසුරමින් සිටියාය.
” ඇත්ත. අපි සෙවිල්ලෙන් හිටිය නිසා හොඳයි. “
” කරදර වෙන්න ඕනේ නෑනේ අක්කේ ඕගොල්ලො හැමෝම මං නිසා දැන් මාස දෙකක් තිස්සේ දුක් විඳිනවා. ඩොක්ටර් ප්‍රනීෂුයි , සර්යි කිව්ව කතා දෙකම හරි . මං හැමතැනම හැසිරිලා තියෙන්නේ හරි මෝඩ විදිහට. “
භාවිතා කළ ඇඳුම් සියල්ලම එක බෑගයකට දමා එය වසා දැමූ සඳැස්වි එය යහන මතින් තැබුවාය.
” මොකද්ද ප්‍රනීෂුයි , මල්ලියි කිව්වේ ?”
” ඩොක්ටර් ප්‍රනීෂ් කිව්වා කොච්චර බේත් බිව්වත් වැඩක් නෑ මං හිත ඇතුලෙන් සනීප වෙන්න උත්සාහ ගත්තෙ නැත්තන් කියලා . එතකොට සර්ත් කිව්වා අසනීප උනේ එක්කෙනෙක් උනාට කරදර විඳින්නේ හැමෝම කියලා. තනියම ඉඳලා ටිකක් කල්පනා කරනකොට තමයි ඒ කතා දෙකම ඇත්ත කියලා තේරුණේ. “
සඳැස්වි දෙස බලා මුව ඇද කළ පහන්‍යා නොරිස්සුම් සහගත ලෙස ඉවත බලා ගත්තාය .
” ඔයා හරි හිතුවක්කාරයි නංගි. ඒකයි මේ ඔක්කොම “
පහන්‍යාගේ අත අල්ලා සිනාසුණා ඇරෙන්න තරුණිය එයට පිළිතුරු ලෙස කිසිවක් නොපැවසූවාය .
” අපි යමුද ? වීල් එක ආවා ”
රෝහල් කාමරය තුළට පැමිණි අමාවි එසේ පවසමින් ඇසුරුම් කර තිබු බෑග් මළු ද්විත්‍වයක් දෙවුරේ එල්ලා ගනිමින් තවත් මළු ද්විත්වයක්ම දෑතට ගත්තාය.
” අයියෝ. .. දරුවෝ පොඩ්ඩක් ඉන්න. ඔයාට ඔය ඔක්කොම ගන්න බෑ. “
පහන්‍යා හිඳ උන් යහනෙන් නැඟිට අමාවී දෙස බලා එසේ පැවසුවාය .
” අයියෝ.. මේවා මොනාද මිස්. ? ගෙදර ඉද්දි කොච්චර වී මිටි , හාල් මිටි කර තියලා තියනවද මං ? බර උස්සලා හොඳට පුරුදුයි. “
එසේ පැවසූ අමාවි කිසිදු අපහසුවක් හෝ නොපෙන්වා බෑග් මළු සතරම ගෙන ඉදිරියෙන් ගමන් කිරීම ආරම්භ කළාය.
දින කිහිපයකට පසු රථ ගාලේ සුඛෝපභෝගී ජීප් රථයට පිටදී සිටි රුව දැක හදවත මඳක් සසැලුණද එය පිටතට නොපෙන්වූ තරුණිය අමාවි පසුපසින් ගොස් ඇය රැගෙන ආ ගමන් මළුද තම අත තිබූ බෑගයද නවතා තිබූ ත්‍රී රෝද රථයට දැමීමට උදව් වූවාය. ඉන් පසුව යළි හැරී පහන්‍යාත් , ශාක්‍යාත් ,ඔහුත් නැවතී සිටි ජීප් රථය දෙසට ඇවිද ආවාය.
” මං ගිහින් එන්නං අක්කේ.. “
” ආහ්.. ? ඔයා කොහේ යන්නද ? අපි ආවේ ඔයාව ගෙදරට ඇරලවන්නත් එක්ක. “
පහන්‍යා කලබල වී ශාක්‍යා දෙසත් ඔහු දෙසත් බලමින් පැවසුවද සිහින් සිනහවක් නැඟූ කුඩා යුවතිය හැඳ සිටි ලා නිල් පැහැ ඩෙනිම් කලිසමේ සාක්කුවක තිබු යමක් අතට ගත්තාය.
” අසනීප වෙච්ච වෙලාවේ මේ වගේ හොස්පිට්ල් එකක නවත්තලා හොඳටම හොඳ වෙනකන් බෙහෙත් කලාට ගොඩාක් ස්තූතියි සර්. හොස්පිට්ල් බිල් එක මාසයක් ගාණේ මගේ සැලරි එකෙන් අඩු කරගන්න “
විමතියෙන් බර වූ ගැඹුරු දෑස එක එල්ලේ ඈ වෙතට පතිත වුවද එකී පිරිමි උවන දෙස මොහොතකට හෝ තම දෑස විතැන් නොකළ තරුණිය වහා පහන්‍යාගේ අතින් අල්ලා ඈ අත මත ලිපි කවරයක් තැබුවාය.
” අක්කේ.. බෝඩිමේ ඇන්ටි ඉන්නකන් අපි එයාට මාසෙට 15 000 ක් ගාණෙ දුන්නා. මෙතන මගෙයි , අමාවිගෙයි , හිරුකිගෙයි තුන් දෙනාගෙම මේ මාසේ සල්ලි තියනවා. “
” සඳෝ… !”
” එනවා… !”
ත්‍රී රෝද රථයේ සිටි අමාවී නැවත වරක් මහ හඬින් කෑගැසූ අතර මේ පසින් සිටි යුවතිය ඈ හට පිළිතුරක් දී නැවත පහන්‍යා දෙසට හැරුණාය.
” ගිහින් එන්නං අක්කේ. , යන්නං ශාක්‍යා අක්කේ. මං ඔය දෙන්නට කෝල් කරන්නං . ගිහින් එන්නං සර්. ආයෙත් කියන්නේ ගොඩක් ස්තූතියි .. ගොඩක් පින් ”
එසේ පැවසූ යුවතිය වහා යළි හැරී ත්‍රී රෝද රථය වෙත දිව්වාය.
” න.. නංගී…!”
” අක්කා.. !”
තුෂ්නිම්භූතවී මඳ වේලාවක් තරුණිය දෙස බලා සිටි පහන්‍යා නැවතත් ඈ වෙත අඬ ගෑමට සැරසුණද වහා එය නතර කළ හැඩි දැඩි වංශවත් තරුණයා තම වැඩිමහලු සොයුරිය දෙස බලා එපා යැයි අඟවමින් හිස දෙපසට සැලුවේය.
රෝහල් රථගාලෙන් පිටව ගිය තරුණිය රැගත් ත්‍රී රෝද රථය ඉන් නොපෙනී යනතුරුම ඒ වෙත දෑස දල්වා බලා සිටි ඔහු පෙර කිසි දිනක දැක නොමැති අලුත්ම තරුණියක් ඈ තුළින් දුටුවේය . එකී උවන තුළ මෙන්ම එකී දෑස තුළද මෙතෙක් නොවිරූ ආකාරයේ දීප්තිමත් බාවයක් සටහන් වී තිබුණු අතර එතෙක් පැවති මළානික හා අසරණ පෙනුම සම්පූර්ණයෙන්ම දුරස් වී ගොස් තිබිණි.
” ම.. මල්ලී…! ”
නිහඬ බැල්මක් සොයුරිය වෙත හෙළුවා විනා ඔහු මුවින් කිසිවක් පිටවූයේ නැත .
” ඒ කෙල්ල හදන්නේ ඔයාව සඳහටම දාලා යන්න මල්ලි. මෙච්චර කල් අඬලා , දොඬලා, කල්පනා කරලා මැළවිලා තිබ්බ ඇස් දෙක දැන් ඒ කෙල්ල ලඟ නෑ. එයා හිත හදාගෙන. ඒ ඇස් දැන් දිළිසෙනවා. මෙච්චර කල් ඔයා දිහා කෙලින් බලපු නැති කෙල්ල දැන් ඔයා දිහා කෙලින්ම බලනවා මල්ලි. එයා ටිකෙන් ටික ඔයාගෙන් ඈත් වෙන්න හදන්නේ. “
” වෙන්න ඕනෙත් ඒකමනේ.. අපි යමුද ? ”
එසේ පැවසූ ඔහු ජීප් රථයේ රියදුරු අසුනේ ද්වාරය විවර කළ අතර ඔහු දෙස කළකිරීමක් සහිත වික්ශිප්ත දෑසින් බලා සිටි පහන්‍යා රථ ගාලෙන් නික්ම යන්නට සැරසෙන ත්‍රී රෝද රථයකට අත දිගු කර එය නතර කළාය.
” හයර් යනවද ?”
” කොහෙට යන්නද මිස් ?”
” කිරුළපනට. “
” යං. “
” ශාක්‍යා නඟින්න “
” අක්කා..!”
එවර පහන්‍යා කෙරෙහිද ගෝරනාඩුවක් පිටවූ අතර එය මායිම් නොකළ පහන්‍යා ත්‍රී රෝද රථයට ගොඩ වීමට පය ඔසවා යළි ආපසු මළනුවන් දෙසට අඩි කිහිපයක් ළංවී ඔහුගේ වමත ගෙන ඒ මත තරුණිය විසින් ලබා දුන් ලිපි කවරය තැබුවාය.
” ගෙවල් අයිති ගෑනු කෙනාට එක ගේකට ගෙවල් දෙකක් ගන්න දෙගුණයක් සල්ලි දීලා මගෙ නමට ගේ අරන් දුන්නේ ඔයානේ. මෙන්න මේ මාසේ බෝඩිම් ෆී එක. “
එසේ පැවසූ ඈ වේගයෙන් අඩි තබා ගොස් ත්‍රී රෝද රථයට ගොඩ වූ අතර එයද නොපෙනී යන තුරු බලා සිටි හැඩි දැඩි තරුණයගේ අත මත ඈ තැබූ ලිපි කවරය පොඩි වී මිරිකී ගියේය.
” ඒ මගේ සඳ අක්කා. .. කොහෙන් කොහොම ගියත් , මොන දේ සිද්ධ උනත් එයාට බෑ මාව අමතක කරන්න. “
විවර කර ගත් ද්වාරයෙන් රියදුරු අසුනට ගොඩ වූ ඔහු එය පණ ගන්වා ගත්තේය.


