මුළු කාමරේම දවල් කාලේ වගේ එක පාරටම එළිය වෙලා යද්දී, ලොකර් එක අස්සේ අත් ඔබාගෙන හිටපු සෙලීනයි, අර හොරු දෙන්නයි විදුලි සැර වැදුණා වගේ ගැස්සිලා දොර පැත්තට හැරුණා. උන් තුන්දෙනා විතරක් නෙවෙයි, රහස් කාමරේ දොර අස්සේ හැංගිලා හිටපු ආකර්ෂාගේ පපුවත් හොල්මන් වෙලා, හාට් බීට් එක නතර වුණේ ඒ වෙලාවේ ලයිට් එක දාපු දොර ඉස්සරහා හිටගෙන උන්නු අයව දැකලයි.
දොර ළඟ තමන්ගෙ බස්තමත් තියාගෙන මාරම නපුරු හිනාවක් දාගෙන ලේඩි කලම්බු සෙවන් හිටගෙන උන්නා විතරක් නෙවෙයි එයාගෙ එහා පැත්තෙන් හිටගෙන උන්නෙ වෙන කවුරුවත් නෙවෙයි මෙච්චර දවසක් හැමෝම “ලෙඩ වුණා, ඇඳට වැටුණා” කියලා හිතාගෙන උන්න කවීන්.
“දෙවියනේ… කවීන් කොහොමද මෙතන ඉන්නෙ?” කියලා සෙලීනට කියවෙද්දි ඒකිගෙ මූණ තිබ්බෙ ලේ පොදක් නැතුව සුදුමැලි වෙලා කියන එක කෙල්ල දැක්කා. දවසෙන් දවස ඇඟ දිය වෙලා පණ ඇද ඇද හිටපු ලෙඩෙක් කොහොමද එකපාරටම මෙතන මේ විදිහට පණ ඇතුව, සිංහයෙක් වගේ කෙළින් හිටගෙන ඉන්නේ කියලා හිතාගන්න බැරුව සෙලීනා මාරම විදිහට ෂොක් වෙලා තිබ්බා.
ඇත්තටම රහස් දොර අස්සේ හිටපු ආකර්ෂාටත් තමන්ගේ ඇස් දෙක අදහාගන්න බැරි වුණා කවීන්ව එතන දැකලා.ආකර්ෂා ආයෙ වතාවක් ටක් ගාලා තමන්ට පිටිපස්සෙන් තිබ්බ කාමරේ ඇඳ දිහා හැරිලා බැලුවේ තමන්ට වැරදීමක්වත් වුණාද කියලා ෂුවර් කරගන්න. හැබැයි ඇඳ උඩ ඇත්තටම කවීන් හිටියේ නෑ. එච්චර වෙලා කවීන් පොරවගෙන උන්න බෙඩ් ශීට් එක විතරක් ගුලි ගැහිලා ඇඳ උඩ තියෙද්දි තමන්ටත් හොරා කවීන් කොහොමහරි කාමරෙන් පැනගෙන කියන එක කෙල්ලට තේරුණා.
කාමරේ ඇතුළේ තිබ්බෙ මහ අමුතු සයිලන්ස් එකක්. අන්න ඒ සයිලන්ස් එක අස්සෙ තමයි සෙලීනා එක්ක ආව අනිත් මිනිස්සු දෙන්නා කවුද කියන එක ආකර්ෂා දැක්කා. ඒ එක්කෙනෙක් වෙන කවුරුවත් නෙවෙයි කවීන්ගෙ කසින් බ්‍රදර් සජිත් කියලා දැක්කට වඩා කෙල්ල ශොක් වුණේ අනිත් මිනිහා වෙන කවරුවත් නෙවෙයි කවීන්ගෙම ලෝයර් වෙච්ච මිස්ටර් ලියනගේ කියලා දැනගත්තම.
“එහෙනම් උඹලා අපිව අල්ලගත්තා නේද?” කියලා ලියනගේ කිසි ගාණක් නැතුව අහද්දි කවීන් උන්නෙ මෙලෝ දෙයක් කියන්නෙ නැතුව එක එල්ලේ මාරුවෙන් මාරුවට සෙලීනයි, සජිතුයි, ලියනගේයි දිහාවට ඇස් බැල්ම මාරු කරන ගමන්. තමන් වගේම කවීනුත් ශොක් වෙලා විත්තිය කෙල්ලට තේරුණාට කවීන් ඒ ශොක් වීම එළියට මතුවෙන්න නොදී කන්ට්‍රෝල් කරගන්න උත්සහ කරනවා කියන එක කෙල්ලට තේරුණා.
ලෝයර් තමන්ගේ මූණ වහගෙන හිටපු කළු රෙද්ද එකපාරටම ගලවලා දාලා හීන් සැරේ හිනාවුණේ මේ හැමදේම තමන්ගේ කන්ට්‍රෝල් එක යටතේ තියෙනවා වගේ ලොකු ලයින් එකකින්. හැබැයි සජිත් නම් බය වෙච්ච පාර ලොකර් එක ළඟම ගල් වෙලා වටපිට බැලුවේ පැනලා යන්න පාරක් ඇත්තෙම නැද්ද කියලා බලන්න වගේ.
“මිස්ටර් ලියනගේ… තමුසේ? තමුසේ මගේ තාත්තාගෙ කාලේ ඉඳන් මේ පවුලේ හැමදේම බලාගත්ත ලෝයර් නේද?” කවීන් තමන්ගේ දත්මිටි කන සද්දේ රහස් දොර අස්සේ හිටපු ආකර්ෂාටත් මාරම පැහැදිලිව ඇහුණා.
“ඔව් කවීන්… ඔව්! මං තමයි,” ලෝයර් කිසිම ගාණක් නැතුව කතාව පටන් ගත්තේ අත් දෙකත් කලිසම් සාක්කුවට දාගන්න ගමන්. “වික්‍රමසිංහලගේ සේසතම මගේ නමට හරවගන්න මං මේ ගේම් එක ප්ලෑන් කරේ අද ඊයේ නෙවෙයි, අවුරුදු ගාණක ඉඳන්. හැබැයි උඹ මෙච්චර කල් සිංහයා වගේ මේ වලව්ව අස්සෙ උන්න හන්දා තමයි මගේ ප්ලෑන් එක මෙච්චර කල් පරක්කු වුණේ. උඹව වට්ටන්න මට ලොකුම චාන්ස් එකක් ලැබුණේ මේ සජිතුයි සෙලීනයි දෙන්නව මගේ පැත්තට නමාගත්තට පස්සේ.”
ලෝයර් කියපු වචන ටික ඇහෙද්දී රහස් දොර අස්සේ හිටපු ආකර්ෂාගේ මුළු ඇඟම එකපාරටම හිරිවැටිලා ගියා. කෙල්ල ඇස් දෙකත් ලොකු කරගෙන, හුස්ම හිරකරගෙන උන් කියන දේ දිගටම අහගෙන උන්නා.
“ඒ විතරක් නෙවෙයි කවීන්… උඹලා තාමත් හිතන් ඉන්නේ වික්‍රමසිංහගේ බිස්නස් විනාස කරලා, සල්ලි වංචා කරලා හැමදේම නැති කරේ අර විජේන්ද්‍ර කියලා නේද?” ලෝයර් මාරම සවුත්තු විදිහට හිනාවෙවී කියද්දී, විජේන්ද්‍ර කියන නම ඇහුණු ගමන් ආකර්ෂාගේ පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙන්න ගත්තේ ලොකු ශොක් එකකින්.
“ඇත්තටම එදා විජේන්ද්‍ර කිසිම වරදක් කරේ නෑ. ඒ මනුස්සයා වික්‍රමසිංහගේ දකුණු අත වගේ උන්න හිතවතා හන්දා, ඌව මේ වලව්වෙන් වගේම බිස්නස් ලෝකෙන් එළියට ඇදලා දාන්න ඕන හන්දා විජේන්ද්‍රගේ අත්සන් හොරට ගහලා, ඒ ඔක්කොම බොරු ෆයිල් හැදුවේ වෙන කවුරුත් නෙවෙයි, මෙන්න මේ මං!” ලෝයර් තමන්ගේ පපුවට අත තියාගෙන ඒ ඇත්ත කාමරේ මැද දිග අරිද්දී ආකර්ෂාගේ ඇස්වලින් කඳුළු කැට කඩාගෙන වැටුණේ මහා වේදනාවකින් වගේම වෛරයකින්. තමන්ගේ තාත්තා කිසිම වරදක් නොකරපු, මේ නරුමයන්ගේ ගොදුරක් වෙච්ච අහිංසකයෙක් විත්තිය කෙල්ලට එවෙලෙ තහවුරු වුණා වගේම තමන්ගෙ තාත්තට හැමදේම නැතිවෙච්ච ලෙඩෙක් වෙන්න වුණෙත් මුං හින්ද කියන එක කෙල්ලට ඒ වෙලාවෙ හොඳටම ඒත්තු ගියා.
“අන්න ඒ වගේම තමයි, විජේන්ද්‍රව අයින් කරලා මේ ගේ අස්සට රිංගගන්න මට මේ සජිත්ගෙයි සෙලීනගෙයි උදව්ව ගන්න සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වුණා. සෙලීනා මාර ලස්සනට උඹේ ඇස් වහලා මේ වලව්වේ ලොකර් එකේ යතුර තියෙන තැන හොයාගත්තා. දැන් ඉතින් මේ ඔප්පුයි ෆයිල් ටිකයි සේරම මගේ අතේ. උඹලට දැන් කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ කවීන්” ලෝයර් සජිත් අතේ තිබ්බ ෆයිල් ටික උදුරලා අරන් කවීන්ගේ මූණටම දික් කරලා සද්දෙන් හිනා වුණා.
ලෝයර් තමන්ගේ හිනාව මුළු කාමරේම දෙදරුම් කන විදිහට පතුරවද්දී, කවීන්ගේ මූණේ තිබ්බේ කිසිම කලබලයක් නැති, මාරම කූල් පෙනුමක්. මිනිහා තමන්ගේ කලිසම් සාක්කුවට අත් දෙකත් දාගෙන, අඩි කිහිපයක් ඉස්සරහට තියලා ලෝයර් ලියනගේ දිහා බැලුවේ මහ කිණ්ඩියට වගේ.
“තමුසේ හිතුවද ලියනගේ මං මෙච්චර දවසක් ඇඳට වෙලා හිටියේ තමුසෙලගේ මේ ප්ලෑන් එක ගැන මෙලෝ හසරක් දන්නෙ නැතුව, ඇස් කන් පියාගෙන කියලා?” කවීන්ගේ කටහඬේ තිබ්බ මොකද්ද ෆීලින්ග් එකක් ලෝයර්ගේ මූණේ තිබ්බ ජයග්‍රාහී හිනාව එකපාරටම නැති කරලා දැම්මා. සෙලීනයි සජිතුයි එකිනෙකාගේ මූණවල් බලාගත්තේ කවීන් ඒ කිව්ව කතාව තේරුණේ නෑ වගේ.
“විජේන්ද්‍ර අංකල් කියන්නේ මගේ තාත්තා පණ වගේ විශ්වාස කරපු, මේ පවුල වෙනුවෙන් ලේ, දාඩිය, කඳුළු හලාපු මනුස්සයෙක්. ඒ මනුස්සයා කවදාවත් අපිට ද්‍රෝහී වෙන්නේ නෑ කියන එක මං විතරක් නෙවෙයි, ආච්චි අම්මා පවා හොඳටම දැනගෙන උන්නා. තමුසේ හොර අත්සන් ගහලා ඒ අහිංසක මනුස්සයව අල්ලන්න දාපු උගුල ගැන හැම සාක්කියක්ම මං මීට මාස ගාණකට කලින්ම හොයාගෙන, ෆයිල් කරලා ඉවරයි ලියනගේ. මං මෙච්චර කල් බලන් උන්නේ, මේ වලව්ව අස්සේ ඉන්න සෙලීනයි, මගේම ලේ නෑයෙක් වෙච්ච සජිතුයි, තමුසෙයි එකට අල්ලගන්න දවසක් එනකම්. තමුසෙලා දන්නෙ නැති උනාට මම මේ කාමරේ අස්සෙ මීට මාස කීපෙකට කලින් කැමරාස් පවා හයි කරා”
කවීන්ගේ ඒ වචන ටික ඇහෙද්දී රහස් දොර අස්සේ හිටපු ආකර්ෂාගේ පපුව මාරම විදිහට ගැහෙන්න ගත්තා. කෙල්ලගේ ඇස්වලින් ගලාගෙන ආපු කඳුළු අස්සේ තිබ්බේ තමන්ගේ තාත්තා වෙනුවෙන් කවීන් මෙච්චර දේවල් රහසින් කරා නේද කියන මහා කම්පනයක්.
“දැන් ඉතින් තමුසෙලාගේ රඟපෑම ඉවරයි. වත්ත වටේටම පොලිසියෙන් වට කරලා ඉන්නේ. තමුසෙලා තුන්දෙනාටම යන්න වෙන්නේ කෙළින්ම හිරගෙට”
සෙලීනයි සජිතුයි බය වෙච්ච පාර බිම දණින් වැටෙද්දී, ලෝයර් ලියනගේට කරන්න කිසිම දෙයක් ඉතිරි වෙලා තිබ්බේ නෑ. මේ හැමදේම මෙහෙම වෙද්දි ආකර්ෂා රහස් දොර අස්සේ ඉඳන් සැනසුම් හුස්මක් හෙළුවා. කෙල්ලට හිතුණේ තමන්ගේ තාත්තාගේ නමට ඉස්සරහින් වැටිච්ච කළු පැල්ලම දැන් හේදිලා ඉවරයි කියන එක විතරයි.
හැමදේම ඉවරයි කියල කෙල්ල හිතාගෙන උන්නට හැමදේම ඉවර නෑ කියලා කියන්න වගේ තමයි කිසිම කෙනෙක් හිතුවෙවත් නැති විදිහට කවීන් එකපාරටම තමන්ගේ ඇස් දෙක ඔෆිස් කාමරේ පිටිපස්සේ තිබ්බ, අර පරණ පොත් රාක්කෙන් වැහිලා තිබ්බ රහස් දොර පැත්ත බැලුවෙ.
මිනිහා කට කොනකින් හීන් හිනාවක් දාන ගමන්,
“ආකර්ෂා… දැන් ඔයත් ඔය හැංගිලා උන්නු තැනින් එළියට ආවා නම් හොඳයි නේද?” කියද්දි එතන උන්නු හැමෝම ඇත්තටම තව පාරක් ශොක් වුණා.


