ඔලියැන්ඩර් – 60

0
3557
oleander Flower

” දිවයිනේ ප්‍රමුඛ ආහාර නිෂ්පාදන ආයතනයක් වන RD food හි මීට අවුරුදු පහකට පෙර නිෂ්පාදනය කර තිබූ කිරි ආහාර පැකැට්ටුවක් ආහාරයට ගැනීමෙන් මිය ගියා යැයි පැවසෙන විශ්ව විද්‍යාල සිසුවෙකුගේ මරණය සම්බන්ධව නැවතත් ඔහුගේ මව විසින් කැඳවන ලද නඩු කටයුත්තක් හේතුවෙන් මේ වන විට RD foods හී සභාපතිවරයාගේ පුත්‍රයා වන සියත්‍ර රන්දෙණිගල අත් අඩංගුවට පත් වී ඇති අතර ඔහුව අද දිනම අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර වැඩි දුර විමර්ෂණ සඳහා ඔහුව ලබන දහ තුන්වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කර තිබූ අතර RD foods හී සභාපතිවරයා වූ දැනට මෙරටින් පිටව ගොස් හිඳින දිනේන්ද්‍ර රණ්දෙණිගලත් , ඔහුගේ බෑණනුවන් වන අනුජ් රණබාහුවත් දිවයිනට පැමිණි මොහොතේම අත් අඩංගුවට ගැනීමට නියම කළේය. තවද සියළු විමර්ශන නිමවන තෙක් RD කර්මාන්තශාලාව වසා දැමීමටද අධිකරණයෙන් නියෝගයක් පනවා තිබෙනවා. “

එකා පිට එකා පොරකන අධිකරණ භූමියේ සිටි මිනිසුන්ද , මාධ්‍ය කරුවන්ද මඟ හරිමින් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඉක්මන් ගමනින් බන්ධනාගාර බස් රථය වෙත පැමිණි සියත්‍ර රන්දෙණිගල ඔහුව වට කොට ගත් බන්ධනාගාර නිලධාරීන්ට මැදිව ඉක්මන් ගමනින් බන්ධනාගාර බස් රථයට ගොඩ වූයේය. 

සියත්‍ර රන්දෙණිගලව කොටු කර ගත නොහැකි වූ මාධ්‍යකරුවන් ඉන් පසුව දඩයමකට ඉව අල්ලන හිවල් රැලක් සේ වහ වහා අධිකරණ භූමියෙන් පිටතට පැමිණි පණ්ඩුල චක්‍රවර්ති වෙත තම මයික්‍රෆෝන හා කැමරා ඔසවමින් දිව ගියහ .

” චක්‍රවර්ති සර්.. මොකද්ද මේ ඉඳලා ඉඳලා අවුරුදු පහකට පස්සේ වැහිලා ගිය නඩුවක් උඩට අරන් කරන්න හදන්නේ ?” 

” වැහිලා ගිය නඩුවක් ආයේ උඩට අරන් අපි ගරු අධිකරණයෙන් සාධාරණය ඉල්ලා සිටිනවා.  තමන්ගේ එකම දරුවා නැති වුණු වේදනාව හේදිලා යන්නත් කලින් ඒ දරුවගේ මිනීමැරුම් වලට වග කිවයුතු හැම එකාම බේරිලා නඩුවත් වැහිලා යන තරමට වැඩ සිද්ධ වෙලා අන්ත අසරණව තනිවුණු අම්මා කෙනෙක් වෙනුවෙන් සාධාරණය ඉල්ලන්නයි අපි අධිකරණයට ආවේ ?” 

පණ්ඩුල චක්‍රවර්ති බොහෝ ආඩම්බරයෙන් හා උඬඟු ස්වරයෙන් මාධ්‍යකරුවන් මතු කරන ප්‍රශ්න හමුවේ පිළිතුරු බඳිමින් සිටියේය . 

” RD එකට විරුද්ධව ඔබතුමන්ලා මතු කරන කාරණා මොනවද ? ඔය ප්‍රශ්නේ දෙදාස් විස්ස අවුරුද්දේදි මතු වෙච්ච වෙලාවෙ RD එක පැත්තෙන් වරදක් වෙලා  නොතිබුණත් එයාලා ඔය කිරි පැකට් එක නිෂ්පාදනය කරන එක නැවැත්තුවා. ?”

” ඉතිං ඒකම තමයි උත්තරෙත්  . කෝටි ගාණක් වියදම් කරලා පටන් ගත්තු product  එකක් ඇයි එයාලා නැවැත්තුවේ ? එදා නඩුව විභාග කරද්දි ඒ නඩුවෙ සම්පූර්ණ චෝදනාව ගියේ එදා කිරි පැකට් එක විකුණපු මනුස්සයට. RD එකට එහෙම ලොකු චෝදනාවක් ආවේ නෑ. ඒත්.. එයාලා එයාලගේ සම්පූර්ණ product  එකම නැවැත්තුවා. ඇයි ඒ.. චෝදනාව ලැබුණේ කිරි පැකට් එක විකුණපු මනුස්සයට උනාට වැරැද්ද තමන්ගේ අතේ කියන එක එයාලා දන්න නිසා. “

නේක වර්ණයන්ගෙන් සැදුම් ලත් , මාධ්‍ය නාම පුවරු සහිත මයික්‍රෆෝන බොහෝමයක් වෙත තම පිළිතුර ලබා දුන් පණ්ඩුල චක්‍රවර්ති එක දිගට , ඝෝෂාව සපිරි මාධ්‍යවේදීන් වෙතින් නැඟෙනා ප්‍රශ්න වලට බොහෝ අපහසුවෙන් කන් දෙමින් සිටියේය.

පණ්ඩුල චක්‍රවර්ති එවර තමන් වෙත නැඟුණු පැනය හමුවේ මඳ සමච්චල් සිනහවක් පෑවේය. 

” දෙදාස් විස්ස අවුරුද්දෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වෙච්ච රවිහාන් මරණයට පත් වුණේ තිබහට බීපු කිරි පැකට් එකක් නිසා. ඇයි ඒ කිරි පැකට් එක ඒ දරුවට විස උනේ ?  මේ කිරි නිෂ්පාදනය කරන යන්ත්‍ර, සූත්‍ර හරි හැටි නඩත්තු කරලා නැති නිසා. ඇයි එහෙම නොකරන්නේ ? මොකද ඒ මැෂින්ස් ක්ලීන් කරන්න සෑහෙන්න වියදමක් යනවා. අනික ආවට ගියාට ඒවා ක්ලීන් කරන්නත් බෑ , යම් යම් කාල සීමාවලදි ඒ ඒ මැෂින්ස් ගෙන්නපු කම්පැණි වලින්ම ඒවට අදාළ ඉන්ජිනියර්ස්ලා මෙහෙට ගෙන්නන්නත් ඕනේ. එතකොට ඒවටත් සෑහෙන ලොකු වියදමක් යනවා. හම්බ කිරිල්ල විතරක්ම කරන්න ඕන නිසා මුං හිතා මතාම මේ වගේ අමතර වියදම් වලට සල්ලි යොදවලා නෑ. ඒකෙන් අවසානේ ජීවිතෙන් වන්දි ගෙව්වේ කොහෙවත් හිටපු අසරණ දරුවෙක්. “

” සාමාන්‍යයෙන් මේ වගේ සිද්ධියකදි කෙලින්ම නීතිය ක්‍රියාත්මක වෙන්නේ production managers ලට , නැත්තන් Quality Control officersලට , එහෙමත් නැත්තන් මේ වගේ වැරදි දැන දැනම වහපු ෆැක්ට්‍රි එකේ ඉහල නිලධාරීන්ට. මේ කිසිම කෙනෙක්ට චෝදනා නොකර ඇයි මේ මහ පුටුවටම අත තිබ්බේ ?” 

 මහ පුටුවටම අත තිබ්බේ අත තියන්න ඕනේ එතනට නිසා. මේ රටේ කවද්ද හරි අපරාධකාරයෙක්ට නීතියෙන් දඬුවම් හම්බුණේ. ? වැරදි කරන මහ උන් ඔක්කොම එළියේ පොඩි පොඩි හෙංචයියෝ තමයි නීතිය ඉදිරියට ගේන්නෙත් , දඬුවම් විඳින්නෙත් . අපරාධකරන මහ උන් හැමදාම හැංඟිලා. අපිවත් මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. පොඩි පොඩි උන්ට දැල් එලන්නැතුව කෙලින්ම මහ උන්වම කොටු කරගත්තම මේක සුද්ධ කරන්න ලේසියි..” 

” ෆැක්ට්‍රීස් වල ඉහල නිලධාරීන් කරන්නේ අවශ්‍ය ප්‍රාග්ධනය ගිණුම් අංශය හරහා ඒ ඒ අංශ වලට යොදවන එක විතරනේ නීතීඥතුමා ? ඉහලින් පාස් වෙච්ච මුදල් පහල සේවකයෝ අවභාවිතා කරලා මෙහෙම තත්වයක් ඇති උනා කියලා හිතන්න බැරි ඇයි ?”

පණ්ඩුල චක්‍රවර්ති පැළැඳ සිට උපැස් යුවළ යටින් එකී පැනය ඇසූ මාධ්‍යවේදියා දෙස සමච්චල් බැල්මක් හෙළුවේය. 

” ඔබතුමා RD එක වෙනුවෙන් ආපු කෙනෙක්ද ? හරි . හරි කමක් නෑ. ප්‍රශ්නයක්නේ ඇහුවේ. මං ඒකටත් උත්තරේ දෙන්නම්කෝ. කර්මාන්තශාලාවක ඉහල නිලධාරීන් තමයි ගිණුම් අංශ හරහා ඒ ඒ අංශ වලට අදාල විය හියදම් යොදවන්නේ. හැබැයි මෙතන තියන ගැටළුව කෝ එහෙම වියදම් කරපු සල්ලි කියන එක ? කෝ ගිණුම් වාර්ථා. ? RD එකේ මීට අවුරුදු පහක් – හතක් ඇතුළත ආසන්න කාලය තුළ කිරි නිෂ්පාදනය සිදු කරපු යන්ත්‍ර සූත්‍ර වල අළුත් වැඩියා , නඩත්තු වෙනුවෙන් යොදවපු ගිණුම් වාර්ථා එකක්වත් නෑ. නෑ කියන්නේ එහෙම මුදලක් ඒකට යොදවලා නෑ. එතකොට කාගෙද වැරැද්ද ? මහ උන්ගේ නෙමෙයිද ? එහෙම දැන දැනම මාසේ පඩිය ගන්න පහල සේවකයොන්ව වැරදිකාරයෝ කරන්න ඕනෙද ?”  

මිනිත්තු , පැය කෙතරම් වේලාවක් ගත වූවා දැයි නොදත් තරුණිය යහන මත හිඳ ගත් අයුරින්ම විසල් කල්පනාවකට වැටී සිටියාය . තමා ඉදිරියේ ඇති ප්‍රශ්න , ගැටළු සියල්ල පැහැදිලි වී හමාරය. අතන මෙතන විසිරී පැවති පිළිතුරු ගොන්නද දැන් දැන් උඩට මතු වී හමාරය . ඉදින් දැන් සියල්ල ගැලපිය යුතුය. තමා ඉදිරියේ ඇති ගැටලුවත් , පිළිතුරත් සියල්ල එකිනෙකට ගැලපිය යුතුය. ජීවිත රැසක් උඩු යටිකුරු කෙරූ ප්‍රේහේලිකාවේ ගැටලුත් , පිළිතුරුත් දැන් තමා සතුය . ඉදින් දැන් ඇත්තේ අපහසුම කොටසය. සියලු ගැටලු වලට පිළිතුරු ගැලපිය හැකිය. අවැසි නම් ගැටළු ගැටළු ලෙසටත් , පිළිතුරු පිළිතුරු ලෙසත් එකිනෙකට සම්බන්ධ නොකොට මේ පවතින ආකාරයෙන්ම තැබිය හැකිය . නැතහොත් කර්කශ වූ සත්‍යයට පමණක් ඉඩ දී මේ සියල්ල ගලපා සියල්ල නිරාකරණය කළ යුතුය . කුමකින් කුමක් වුවද අවසානයේ කටුකම , අමිහිරිතම සිදුවීමට මුහුණ දීමට සිදුවන්නේ තමාටය. 

ඈ වේගයෙන් ඇසි පිය සැලුවාය. දුක් විඳින්නට හෝ පසුතැවෙන්නට කාලයක් නොමැත . සියල්ලේ අවසානය සටහන් කළ යුතුව ඇත . දෑසින් වැගිරී ගිය කඳුළු වැල් කොපුල් මතින් පිසදා ගත් ඈ එතෙක් නිහඬ කොට තිබු ජංගම දුරකතනය අතට ගෙන එක දිගට ඇමතුම් පැමිණ ඇති ශාක්‍යාගේ අංකයට යළි ඇමතුමක් ලබා ගත්තාය .

” අක්කේ..!” 

” නංගි .. ඔයා බෝඩිමට ගියා නේද ? මං ඔයාට කෝල් කීයක්නම් ගත්තද නංගි ? ඇයි ෆෝන් එක ආන්සර් කළේ නැත්තේ ?” 

” හතර වටින්ම කෝල් එනවා අක්කේ. දන්න කියන හැම කෙනෙක්ගෙන්ම. මං ඉන්නේ ඒ කිසි දේකට උත්තර බඳින්න පුලුවන් තැනක නෙමෙයි. “

” අයියෝ.. මටත් ඔය ප්‍රශ්නේ තියනවා නංගි. එක පැයකට කෝල් සීයක් විතර ආවා. මට තේරෙන්නෙත් නෑ මොනවා කරන්නද කියලා. ” 

” මහීල් අයියා මොකද අක්කේ කිව්වේ ?” 

” එයා එන්න හදන්නේ නංගි . ඒත් මොකක්ද මන්දා අවුලක් කිව්වා. තාම ඒක හදාගන්න ගමන් කිව්වා. මගේ ඔලුව පිස්සු වැටිලා වගේ නංගි. මහීල්වත් හිටියනම් මෙච්චර දෙයක් වෙන්නෑ. “

” පහන්‍යා අක්කා ..?” 

” ඔයා කතා කළාද ?” 

” නෑ අක්කේ.. මං මොනවද එයාට කතා කරලා කියන්නේ ?” 

” අක්කට කතා කරගන්න බෑ නංගි. එයා අඬනවා අඬනවා ඉවරයක් නෑ. මං දැන් බබාව ඩේ කෙයා එකෙන් අරන් අම්මලගේ ගෙදරට දාලා පහන්‍යා අක්කා ළඟට යනවා. ඔහොම හිටියට අක්කා අපේ සර්ට හරි ආදරෙයි. එයා හැමතිස්සෙම මට කියලා තියෙන්නේ අම්මටයි , තාත්තටයි කවදාවත් අපි වෙනුවෙන්  වෙලාවක් තිබ්බේ නෑ. මල්ලි උනාට මගේ අයියා වගේ හැමදාම හැමතැනදිම මාව බලාගත්තේ සියත්‍ර කියලා. ඔයා දන්නවද , පහන්‍යා අක්කා ශොක් වෙන්න තව කාරණයක් තියනවා. ඔය අපේ සර්ව ඇරෙස්ට් කරන්න ආව පොලිස් ඔෆිසර් මතකද ? එයත් එක්ක අපේ සර්ට ඉස්සර ඉඳන්ම ප්‍රශ්නයක් තිබිලා. ඒ ඉන්දීවර කියන ඔෆිසර් එක්ක පහන්‍යා අක්කට ඉස්කෝලේ යන කාලේ පොඩි එෆෙයාර් එකක් තිබිලා. ඒ දෙන්නා ක්ලාස්මේට්ස්ලා. මොකක් හරි ඉස්කෝලේ ඉවෙන්ට් එකක් තිබ්බ වෙලාවක ඒ දෙන්නා අතර තිබ්බ එෆෙයාර් එක නොදැන අපේ සර් අක්කට කරදර කළා කියලා හිතලා ඒ ඔෆිසර්ට ගහලා. එදා ඉඳන් එයයි  , අපේ සර් රුයි නයි වෛරයිලු. සර්ව ඇරෙස්‍ට් කළේ ඒ ඔෆිසර් කියලා කිව්වම අක්කා සෑහෙන්න ශොක් වෙලා. මොනවා උනත් මේ වෙලාවේ එයා එක්ක අපි ඉන්න ඕනේ නංගි . ඒ බඩ දරු අම්මා කෙනෙක්. මේ වෙලාවේ පහන්‍යා අක්කා ළඟ කවුරුත්ම නෑ.. “

ශාක්‍යා සමඟ වූ දුරකතන ඇමතුමට සමු දුන් තරුණිය හිඳ උන් තැනම යළිත් කල්පනාවට වැටුණාය. මඳ වේලාවක් දිගටම සිටි ඈ සෙමින් නැඟිට ගොස් නිදන කාමරයේ පසෙක තිබූ කබඩයක් විවර කොට එහි තිබූ ලිපි ගොනුවක් අතට ගත්තාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here