ආදර මල්වල පාට කියන්නද? – 56

0
2126

කවීන් එක්ක තිබ්බ ඩීල් එකෙන් මිදිලා ඇවිත් තමන්ගේ මහගෙදරට පය තිබ්බත් ආකර්ෂාගේ හිතට බිංදුවක සැනසීමක් දැනුණේ නැහැ.

ශරීරයෙන් කෙල්ල මේ බිත්ති හතර ඇතුළේ ජීවත් වුණාට, කෙල්ලගෙ හිත මුළුමනින්ම නතර වෙලා තිබ්බේ අර පාලු වලව්වේ. මහගෙදර සාලේ පුටුවක වාඩි වෙලා, අතේ තිබ්බ ඔප්පු ෆයිල් එක දිහා බලාගෙන උන්නත් කෙල්ලගේ ඇස් ඉස්සරහා ෆ්ලෑෂ්බැක් වෙවී පෙනුණේ කවීන් එක්ක තමන් කොච්චර සන්තෝසෙන් උන්නද කියන කාරණාව. තමන් මේ හැමදේම කරේ කවීන්ට තියෙන ආදරේ හන්දා කියන එක වගේම කවීන්ට ඒක නොතේරුණේ ඇයි කියලා කෙල්ල උන්නෙ තමන්ගෙම හිතෙන් ප්‍රශ්න කරන ගමන්.

හැමදේම ඉවර කරලා, තමන්ගේ පරණ බෑග් එකත් කරට දාගෙන පඩිපෙළ බැහැලා යද්දීත් කවීන් එකම එක වතාවක්වත්, එකම එක වචනයකින්වත් “නතර වෙන්න” කියලා තමන්ට නොකිව්ව එක කෙල්ලගේ පපුව අස්සට මාරම තදින් පිහියකින් ඇන්නා වගේ රිද්දගන්න ගත්තා.

එකම එක පාරක්… එකම එක පාරක් “යන්න එපා” කියලා මිනිහා කිව්වා නම්, තමන් හැමදේම අත ඇරලා දාලා හරි ඒ වලව්වේ නතර වෙන්න ලෑස්ති වෙලා නේද උන්නෙ කියන එකත් කෙල්ලට ඒ අස්සෙම මතක් වුණා. හැබැයි කොල්ලා කිසිම කලබලයක් නැතුව, මාරම කූල් විදිහට තමන් යන දිහා බලන් උන්නු හැටි මතක් වෙද්දී ආකර්ෂාගේ හිතේ උපන්නේ පුදුමාකාර කලකිරීමක් වගේම මහා ලොකු තනිකමක්.

රෑ තිස්සේ ඇඳට වෙලා, කොට්ටේ මූණ ඔබාගෙන කෙල්ල නිදි නැතුව ඇඬුවේ තමන් එක්කම තරහෙන්. කාමරේ කළුවර දිහා බලන් කෙල්ල තමන්ටම බැණගත්තා.

“ඇයි මං මේ තරම් මෝඩ වුණේ? මිනිහට මාව වටින්න ඇත්තේ ඒ මාස හයක ගිවිසුමට විතරයි කියලා මට කලින්ම තේරුණේ නැත්තේ ඇයි? ගේම් එක ඉවර වුණා. ඩීල් එක ක්ලෝස් වුණා. මිනිහා මාව සතයකටවත් මායිම් නොකර ගෙයින් එළියට දාලා වැහුවා. හැබෑටම මං විතරද මේ හැම මගුලක් අස්සෙම මිනිහට ඇත්තටම ආදරේ කරන්න ගත්තේ? කවීන්ගේ හිතේ මං ගැන කිසිම හැඟීමක් තිබ්බේ නැද්ද එතකොට? එයා මුල ඉඳලම කරේ මට බොරු කරපු එකද? කිස් කරපු ඒවා මට ආදරෙයි කිව්ව ඒවා ඔක්කොම බොරුද එතකොට? එයා මාව එහෙම රැවැට්ටුවෙ ඒ මාස හයේ මමත් ඒ ගෙදර ඉන්න එකේ එයාට මොකක් හරි විනෝදයක් ඕන වුණ හන්දද?” කියලා තමන්ටම කියාගන්න ඒ වචනත් එක්ක කෙල්ලගේ ඇස්වලින් කඳුළු කැට කම්මුල් දිගේ බේරිලා කොට්ටෙ අස්සෙ හැංගිලා ගියා.

“මට ඕන වුණේ මේ ගෙදර බේරගන්න විතරයි. ඒක දැන් හරි. ඉතින් ඇයි මගේ හිත මේ තරම් රිදෙන්නේ? ඇයි මට කවීන්ව අමතක කරන්න බැරි? සමහර විට එයා හිතුවද දන්නෙ නෑ මම මේ සල්ලිකාර කොල්ලො අල්ලගන්න දඟලන ජරා කෙල්ලෙක් කියලා. ශිට්… මං මොකටද ඒ මනුස්සයා ගැන තවදුරටත් හිත හිතා මෙහෙම මැරෙන්න හදන්නේ? එයාට මාව වැඩක් නැත්නම්, මටත් එයාව වැඩක් නෑ කියලා හිතන්න පුළුවන් නෙ”

කෙල්ල හිත හයිය කරගන්න එහෙම කියාගත්තත්, ඇඳේ අනික් පැත්ත හැරෙද්දීත් මැවිලා පෙනුණේ කවීන් තමන්ගේ උරහිසට උඩින් අත තියලා එදා සෙලීනලා ඉස්සරහා තමන්ව පරිස්සම් කරන්න හදපු විදිය.

මෙන්න මේ විදිහට මාරම පාලු, හිත රිදෙන හුදෙකලා හැඟීමක් එක්ක දවස් දෙකක් විතර ගෙවිලා ගියේ ආකර්ෂාට කෑම බීම පවා අමතක කරවලා දාන ගමන්. මහගෙදර නිදහස් වීමේ සතුට, කවීන්ව අහිමි වීමේ මහා වේදනාව ඉස්සරහා නිකන් දෙකයි පණහෙ ලෙවල් එකකට වැටිලා තිබුණා.

තමන්ගේ හිත ඇතුළේ මොන තරම් ලොකු පාලුවක්, වේදනාවක් තිබ්බත් ආකර්ෂා උත්සහ කරේ ඒ කිසිම දෙයක් තමන්ගේ තාත්තට පෙනෙන්න නොදී ඉන්නයි. මොකද, ලියනගේලා කරපු සේරම ජරා වැඩවලින් පස්සේ මහගෙදර බේරගන්න පුළුවන්කම ලැබුණ එකේ, තමන්ගේ ප්‍රශ්න කියලා ඒ මනුස්සයව ආයෙමත් ලෙඩ කරන්න කෙල්ලට කිසිම උවමනාවක් තිබ්බේ නැහැ. කවීනුයි තමන්වයි සම්බන්ධ කරලා තිබ්බේ අර මාස හයක ඩීල් එක විතරක් හන්දා, ඒ ගැන තාත්තා කිසිම දෙයක් දන්නෙත් නැති එකේ ආයෙ මේව බොරුවට මුල ඉඳලා කියන්න කෙල්ලට උවමනාවක් තිබ්බෙත් නෑ. කෙල්ල හැමතිස්සේම තාත්තා ඉස්සරහට ගියේ බොරුවට මවාගත්ත හිනාවකුත් මූණේ තියාගෙන.

ඒ අස්සේ, ආයිම ජීවිතේ බිංදුවෙන් පටන් ගන්න ඕන හන්දා, ආකර්ෂා හිමින් සැරේ Online ජොබ්ස් හොයන්න මහන්සි වුණා. තමන්ගේ පරණ ලැප්ටොප් එකත් ඔන් කරගෙන කෙල්ල Vacancies බලබලා ඉන්න වෙලාවකයි තාත්තා සාලෙට ආවේ.

“ඔය චිත්‍ර අඳින වැඩේ ඉවර කරලමයි ආවෙ කියලා කිව්වට මට නම් විශ්වාස නෑ ඒක”  කියලා තාත්තා කියද්දි කෙල්ල පොඩ්ඩක් ගැස්සුනේ තාත්තා මොකක් හරි විදියකින් මේ වෙච්ච දේවල්වල ඇත්ත දැනගෙනද කියලා.

“ඇයි එහෙම කියන්නෙ?”

“නෑ ඉතින් ගිය මනුස්සයා නෙවෙයි නෙ ආපහු ඇවිත් තියෙන්නෙ”

“ඒ කිව්වෙ?”

“ඒ කිව්වෙ ඉංග්‍රීසි හෝඩියෙ පලවෙනි අකුර. ගිය මනුස්සයා නෙවෙයි ආපහු ඇවිත් තියෙන්නෙ කියලා එකපාරක් කිව්වම ආයෙ ඒක ගැන අහන්නෙ මොකෝ උඹට දැන් සිංහල බැරිවීගෙන එනවද?”

“අනේ මේ තාත්තෙ විකාර කියවන්නෙ නැතුව ඉන්නකො. ඔයා ඔය ඔලුව අස්සෙන් විකාර හිතන එක තමයි ඔක්කොම ලෙඩවලට හේතුව”

“එව් එව් මං හිතලා තමයි මේ ලෙඩවෙන්නෙ. ඒක නෙවෙයි උඹ මට ඇත්ත කියපං උඹ ඔය චිත්‍ර අඳින්න ගියා කියලා කිව්වෙ ඇත්තටමද?”

“ඔව් ඉතින් බොරුවට චිත්‍ර අඳින්න බෑනෙ”

“ඔව් ඒක මං දන්නවා. ඒ උනාට ඔය ගමන ගියයින් පස්සෙ උඹ මෙහෙ ආව හැම වෙලාවකම මට තේරුණා මොකක් හරි හොරයක් මෙතන තියනවමයි කියලා.උන්නට වඩා සෑහෙන්න වෙනස් වෙලා. වෙනදා උඹ ඔච්චර කල්පනා කර කර උන්නෙ නෑනෙ. දැන් සෑහෙන්න කල්පනා කරන්නෙ මොකෝ මොකක් හරි ප්‍රශ්නයක්ද?”

“අනේ නෑ තාත්තේ… කිසිම ප්‍රශ්නයක් නෑ. මං මේ කල්පනා කරේ චිත්‍ර අඳින වැඩෙත් ඉවර වෙච්ච එකේ දැන් ඉතින් මං අලුත් ජොබ් එකක් හරි හොයාගන්න ඕනේ. අපිට ඉස්සරහට ජීවත් වෙන්න, ඔයාගේ බෙහෙත් හේත්වලට සල්ලිත් ඕනනේ. ඒකයි මං මේ ජොබ් එකක් හොයන්න මහන්සි වෙන්නේ” කෙල්ල කිව්වේ බොහොම සාමාන්‍ය විදිහට තාත්තට මුකුත් සැකයක් දැනෙන්නෙ නැතිවෙන්න.

“මං තමයි හරිනං තාත්තෙක් විදියට උඹට ජීවිතේ ඉස්සරහට ජීවත්වෙන්න ඕන තරමට හම්බ කරන්න. මගෙ කාලකන්නි කමට මට ඉතින් ඒක කරගන්න බැරිවුනා” කියලා තාත්තා කිව්වේ මාරම දුකකින්.

“අයියෝ තාත්තෙ ඔයා ඕවා හිතන්නැතුව මේ බෙහෙත් ටික බොන්නකෝ. මං අද තව රස්සාවල් කිපෙකටම CV එක පවා යැව්වා. මොකක් හරි අනිවාර්යයෙන්ම සෙට් වෙයි. මට දැන් ඕන ඉක්මනටම රස්සාවක් සෙට් කරගෙන අපේ ජීවිතේ ආයෙත් පරණ විදිහට ලස්සනට පටන් ගන්න විතරයි” ආකර්ෂා තාත්තට බෙහෙත් පෙති ටික අතට දෙන ගමන් හිත හයිය කරන් කිව්වා.

තාත්තා බෙහෙත් පෙති ටිකත් බීලා, ආයෙමත් කල්පනාවෙන් වගේ කාමරේ පැත්තට යද්දී ආකර්ෂා ලොකු හුස්මක් හෙළලා ලැප්ටොප් එක දිහා බැලුවා. කෙල්ලගේ ඇස් ඉස්සරහා තිබ්බ ඊමේල් ඉන්බොක්ස් එකේ අකුරු ටික බොඳ වෙලා ගියේ ඇස්වලට උනපු කඳුළු හන්දා. තාත්තා ඉස්සරහා මවාගත්ත හිනාවකින් හිටියට, ඇතුළාන්තයෙන් කෙල්ල හිටියේ කවීන් අහිමිවෙච්ච වේදනාවෙන් ඉරිතලලා ගිහින්

“මං කොහොමහරි මේ හිත හදාගන්න ඕනේ” කෙල්ල තමන්ටම කියාගත්තෙ ලැප්ටොප් එක වහලා දාන ගමන්.

එහෙම දවස් දෙකක් ගෙවිලා ගියා. එදා දවල් කෙල්ල කුස්සියට වෙලා තාත්තට දවල් කෑම ලෑස්ති කරකරයි උන්නේ. වළං පිඟන් හෝදන සද්දේ අස්සෙන් එකපාරටම සාලේ පැත්තෙන් කවුරුහරි කතා කරන සද්දයක් ඈතින් ඇහුණ හන්දා තමයි කවුද ආවෙ කියලා බලන්න කෙල්ල ගේ ඉස්සරහට ඇවිදන් ගියේ.

“තමුන් මොකද මෙහේ?” කියලා තාත්තා පුදුමයෙන් වගේ අහන සද්දේ ආකර්ෂාට කුස්සියටම ඇහුණා.

ආකර්ෂා අතේ තිබ්බ රෙදි කෑල්ලෙන් අත් දෙක පිහදාන ගමන් සාලේ පැත්තට දුවන් ආවේ තාත්තා කාටද මේ සැරෙන් වගේ කතාකරන්නෙ කියලා හිතාගන්න බැරුව.

 හැබැයි සාලෙට පය තියලා, ඉස්තෝප්පුවෙන් ඇතුළට ඇවිත් හිටගෙන ඉන්න ඒ කෙනාව දැක්ක ගමන් ආකර්ෂාගේ කකුල් දෙක එකපාරටම පොළොව අස්සට ගිලා බැස්සා.

“දෙයියනේ… මෙයා ඇයි මේ හදිසියේම මෙහේ ආවේ?” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here