” අම්මා..! තාත්තා ..! ඔයාලා මං කියන දේ හොඳට අහගන්න. හොඳින් හරි නරකින් හරි මට මගේ කොල්ලව එළියට අරන් ඕනේ.. එච්චරයි. “
පහන්‍යා රන්දෙණිගල විසල් හඬකින් ලැප් ටොප් පරිගණක තීරය මත එක් පසින් සම්බන්ධ වී සිටින මවත් පියාත් තවත් පසෙකින් සම්බන්ධ වී සිටින තම සැමියාත් තිදෙනාටම ඇසෙන්නට කෑගැසුවාය.
” පහන්‍යා..! මේ අහන්න. මුලින්ම ඔයා කලබල නොවී ඉන්න. ඔයා ඉන්න තත්වේ එක්ක ඔහොම කලබල වෙලා කෑගහන්න නරකයි. “
බොහෝ අපහසුවෙන් එක දිගට කියවමින් , කෑගසන බිරිය නිශ්ෂබ්ද වූ එක් තත්පරයකදී අනුජ් වහා අනෙක් පස සිට පැවසුවේය.
” අහ්… කලබල ..? කලබල වෙන්නෙපා ? මේ වෙලාවේ කලබල නොවී කොයි වෙලාවේ කලබල වෙන්නද අනුජ් ? කොයි වෙලාවේ කලබල වෙන්නද ? මං දන්නෑ.. මං මේ මුකුත් දන්නෑ.. හෙට උදේ වෙද්දි ඔය තුන් දෙනාම ලංකාවේ ඉන්න ඕනේ එච්චරයි..”
පරිගණක තීරය මතින් පෙනෙන තිදෙනාටම දබරැඟිල්ල දිගු කළ පහන්‍යා නැවත වතාවක් කෑගැසුවාය.
” පහන්‍යා..! මේ අහන්න.. ! මේ වෙලාවේ අපිටවත් , අනුජ්ටත් ලංකාවට එන්න බෑ. එහෙම ආපු ගමන් වෙන්නේ සියත්‍ර වගේම අපිවත් ඇරෙස්‍ට් වෙන එක. ? අපි ඔක්කොම හිරේට යන එකද හොඳ ? නැත්තන් මෙහෙම ඉඳලා පුලුවන් ඉක්මණට මල්ලිව එළියට ගන්න එකද හොඳ ?”
” හහ්…”
උත්පලාගේ කතාවට පහන්‍යා සමච්චල් සහගත සිනහවක් පෑවාය.
” මල්ලිව ගත්තේ අද උදේ. ඔයාලා උදේ ඉඳන් මේ රෑ වෙනකන් මොනවද කළේ කියලා මට කියන්න ? ඔෆිස් එකටම ඇවිල්ලා මල්ලිව අරන් ගිහිල්ලා. එහෙන් ෆැක්ට්‍රි එක වහලා. ඔයාලා මල්ලිව බේර ගන්න කිසිම දෙයක් කරලා නෑ. ඒ වෙනුවට රට වටේම ඉන්න අපේ share holders ලට නම් කතා කරලා තිබුණා. කම්පැණි එක වැටෙයි කියන බයට ඒකට කරන්න ඕන දේවල් නම් කරලා තිබුණා. “
” පහන්‍යා…!”
අනෙක් පසින් කතා කිරීමට පටන් ගත් දිනේන්ද්‍ර රන්දෙණිගලගේ හඬට පහන්‍යා මඳක් තම කෑගැසීම නතර කරද ඔහු දෙස කෝපයෙන් බලා නැවත ඉවත බලා ගත්තාය.
” මල්ලිගේ වැඩේ අන්කල් ප්‍රතාපසිංහට බාරදීලා ඉවරයි. අද මල්ලි වෙනුවෙන් උසාවියේ ලෝයර්ස්ලා තිස් දෙනෙක් විතර ඉදිරිපත් වෙලා තිබුණා . අපිට තියන ලොකුම ප්‍රශ්නේ ඔය කියන සිද්ධිය කාලෙදි එකවුන්ට් සෙක්ශන් එකෙන් පාස් වෙච්ච කිසිම ඩොකියුමන්ට් එකක් අපි ලඟ නැති එක. මේ වෙනකොට මුළු ඔෆිස් එකම අනිත් පැත්ත හරවගෙන ඇතුළේ ඉන්න මගේ මිනිස්සු ඒවා හොයනවා. ඒත් තාම මුකුත් ලැබිලා නෑ. ඔයා හිතන්නේ අපි මුකුත් නොකරනවා කියලද ? සියත්‍ර ඔයාගේ මල්ලි වෙන්න කලිනුයි මගේ පුතා උනේ. අවුරුදු හයකට , හතකට උඩදි RD එක මටවත් ගොඩගන්න බැරි තරමට කඩන් වැටිච්ච වෙලේ සියත්‍ර තමයි ඒක ගොඩ දැම්මේ. ඒ ඉන්නේ මගේ දරුවා. කාට කොහොම නැතත් ඌව මට වටිනවා. ඔයා හිතන්නේ ඌව බිල්ලට දීලා අපි මෙතන හැංඟිලා ඉන්නවා කියලද ?”
පියාගේ උස් හඬ හමුවේ කෝපය පරදා නැඟුණු වේදනාව සමඟ යහන මත හිඳ ගත් පහන්‍යා දෝතින්ම මුව වසා ගනිමින් හඬන්නට වූවාය.
” අක්කේ… ! ප්ලීස්..!”
කුටුම්භය තුළ වූ කතා බස් වලට මැදිහත් වීමට කිසිදු හැකියාවක් නොමැතිව එතෙක් පසෙකට වී සිටි ශාක්‍යා වහා පහන්‍යා අසලට විත් ඇගේ දෑතින් තදින් අල්ලා ගත්තාය.
” මැඩම්..! මේ නෝනේ ඇවිල්ලා ”
කිසිදු කලබලයකින් තොරව නිදන කාමරයට පැමිණි තරුණිය යහන මත හිඳ හඬා වැටෙන පහන්‍යා අසල දෙදණ බිම තබා හිඳ ගත්තාය. ඉන්පසුව බිමට නැඹුරු කර ගත් හිසින් තමා රැගෙන ආ ලිපි ගොනු කිහිපයක් පහන්‍යා අත තැබුවාය.
” සර්ව එළියට ගන්න පුලුවන් ක්‍රමයක් තියනවා අක්කේ..”
කුඩා යුවතිය සිහින් හඬින් පැවසූ දේ ඇසුණු පහන්‍යා , ශාක්‍යා සේම වීඩියෝ ඇමතුමකට සම්බන්ධ වී අනෙක් පසින් රැඳී සිටින උත්පලා , දිනේන්ද්‍ර මෙන්ම අනුජ්ද පුදුම සහගත අයුරින් ඈ දෙස බලා සිටියහ.
” දෙදාස් විස්ස අවුරුද්දේ ඔය රවිහාන් කියන ළමයා නැති වෙන්න ප්‍රධාන හේතුව ෆැක්ට්‍රි එකේ මැෂින්ස් වල රෙපෙයාර්ස් වෙලා නැති එකනේ. ඒකට හේතුව විදිහට සඳහන් කළේ හෙඩ් ඔෆිස් එකෙන් කිසිම මුදලක් එකවුන්ට් සෙක්ශන් එක හරහා නඩත්තු වලට ලැබිලා නෑ කියලා. දෙදාස් විස්ස අවුරුද්දේ මාර්තු විසි හතර රවිහාන් නැතිවෙන්න මාස හයකට කලින් සියත්‍ර සර් රුපියල් කෝටි දොළහක් බැංකුව හරහා එකවුන්ට් සෙක්ශන් එකෙන් ෆැක්ට්‍රි එකට රිලීස් කරලා තියනවා. ඒ.. , ඒ වෙනකන් තිබ්බ මැෂින් දෙකක් වෙනුවට අලුතින්ම මැෂින් දෙකක් ගන්න. ඊලඟට ඒ මාසේ ඉඳලා ගත වෙච්ච හැම මාසෙම සර්ගෙන් ලක්ෂ 50 ගාණේ නඩත්තු වැඩ වලට වෙන් කෙරිලා තියනවා. මේ ෆයිල් එකේ තියෙන්නේ ඒ හැම ගණුදෙනුවකම සම්පූර්ණ බැංකු වාර්ථා ටික.
එතකොට වංචාව සිද්ධ වෙලා තියෙන්නේ සල්ලිත් අරන් මැෂින් වල කිසිම රෙපෙයාර් එකක් නොකර , හැමදේම හොඳින් කළා කියලා බොරු රිපෝට්ස් හදලා සර්ලට පෙන්නලා තියන
Maintenance Manager ( නඩත්තු අංශයේ කළමණාකරු ) , Maintenance Supervisor (අංශ ප්‍රධානියා හෝ සුපරීක්ෂක ) , Storekeepers ( ගබඩා අංශයේ නිලධාරීන් ) මේ හැමෝම අතරේ අක්කේ. මෙතන සර්ගේ වැරැද්දක් නෑ. සර්ගේ අතින් වෙන්න ඕනේ හැමදේම සර් කරලා තියනවා. වෙලා තියෙන්නේ ඊට පස්සේ මොකද උනේ කියලා සර් හොයලා බලලා නැති කම. සමහරවිට සර්ගේ පැත්තෙන් කවුරුහරි ඒ සම්බන්ධව බැලුවද දන්නෙත් නෑ. හැබැයි එහෙම වෙන කවුරුහරි ඒ ගැන බලලා තියනවනම් මේ චෝදනාව එයාටත් යනවා. මොකද එයත් , එයාගේ රාජකාරිය හරියට කරලා නෑ. කොහොම උනත් මේ චෝදනා වල පළවෙනි සැකේ යන්නේ ඒ වෙනකොට ෆැක්ට්‍රි එකේ වැඩ කරපු Maintenance Supervisor ට. මොකද ඒ වෙද්දි හිටපු Maintenance Manager අවුරුද්දක් තිස්සේ තමන්ගේ අසනීපයක් හේතුවෙන් නිවාඩු දාලා ඉඳලා තියෙන්නේ. “
කිසිවෙකු වෙත හෝ තම දෑස විතැන් නොකළ කුඩා යුවතිය බිමට බර කර ගත් දෙනෙතින් සියල්ල පවසා නිහඬ වූවාය.
” ශා… ශාක්‍යා…! බලන්න ඔය ඩොකියුමන්ට්ස් ටික. හරි අප්.. “
පරිගණක තීරය හරහා තරුණියන් තිදෙනා දෙස බලා සිටි දිනේන්ද්‍ර රන්දෙණිගල විසල් හඬකින් යළි පැවසූ අතර වහ වහා පහන්‍යා අත තිබූ ලිපි ගොනු තම අතට ගත් ශාක්‍යා එකින් එක සීරුවට පරීක්ෂා කර මිනිත්තු කිහිපයකින් හිස ඔසවා යළි පරිගණක තීරය දෙස බැලුවාය.
” මේ ඩොකියුමන්ට්ස් ඔක්කොම හරි සර්. “
” නියමයි ..! ශාක්‍යා ඔය ඩොකියුමන්ට්ස් ඔක්කොම ටික මටයි , අනුජ්ටයි ඊමේල් කරන්න. “
” ඕකේ සර්..!”
එසේ පැවසූ දිනේන්ද්‍ර වහා පසෙක තිබූ ජංගම දුරකතනයක් අතට ගත්තේය.
” ප්‍රතාපසිංහ ..! දැන්ම මේ දැන්ම පහන්‍යාගේ ගෙදරට යන්න. අර මිසින් වෙලා තිබ්බ ඩොකියුමන්ට්ස් ඔක්කොම එතන තියනවා. “
එකී ඇමතුම විසන්ධි කර දැමූ දිනේන්ද්‍ර යළිත් ඇමතුමකට සම්බන්ධ වූයේය.
” ආදේශ්…! අද දවල් උසාවිය ගාව අර චක්‍රවර්තියා බෙරිහන් දීපු හැම මීඩියා එකකටම දෙන්න ඕනේ නිවුස් එකක් තියනවා. ඔව්.. ඔව්…”
එසේ පවසමින් දිනේන්ද්‍ර පරිගණක තීරය අසලින් නැඟිට ගිය අතර තවමත් තුෂ්නිම්භූතව ඒ තුළින් බලා හිඳින උත්පලා අපහසුවෙන් මුව හැරියාය.
” ස..සඳැස්වි .. ඇයි මේ..?”
එතෙක් වේලා බිමට බර කර සිටි හිස එසවූ සඳැස්වි පරිගණක තීරය දෙස බැලුවාය.
” සියත්‍ර සර් වරදක් කරලා නෑ මැඩම්. වරදක් නොකර සර් දඬුවම් විඳින්න ඕනේ නෑ .”
” ඔයාගේ නම මොකද්ද කිව්වේ ?”
ඇමතුමේ සිටි අනුජ්ගේ හඬට සඳැස්වි එවර ඔහු වෙතට හැරුණාය.
” මං සඳැස්වි සර් ”
” හෙඩ් ඔෆිස් එකේ එකවුන්ට්ස් බ්‍රාන්ච් එකේ ඔය කිසිම ඩොකියුමන්ට් එකක් තිබ්බේ නෑ. අද උදේ ඉඳන් එතන අය ඕවා හොයනවා. මිස් සඳැස්විට ඔය ටික ලැබුණේ කොහෙන්ද ?”
මෙතෙක් වේලා තම සිතටද දැනී තිබූ පැනය හමුවේ නිහඬව සිටි ශාක්‍යාත් , පහන්‍යාත් දෙදෙනාම පිළිතුරු අපේක්ෂාවෙන් සඳැස්වි දෙස බලා සිටියහ.
” සර්.. ! මට මේ පරණ ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම හම්බුණේ ඒ දවස්වල ෆැක්ට්‍රි එකේ වැඩ කරපු Maintenance Supervisor ගේ ගෙදර තිබිලා. “
” වට් ? ඔයා කොහොමද ඒ මනුස්සයව දන්නේ ?”
අනුජ්ගේ එකී පැනය හමුවේ මඳකට නිරුත්තර වූ සඳැස්වි දෑස හරවා උත්පලා දෙස බැලුවද ඈ ද නිහඬවම සිටියා විනා කිසිවක් පවසන්නට උත්සාහ නොගත්තාය.
” අවුරුදු පහකට කලින් ෆැක්ට්‍රි එකේ Maintenance Supervisor විදිහට වැඩ කළේ රංජිත් සෝමතිලක. ඒ කියන්නේ මගේ තාත්තා “
“දෙයියනේ.. කෙල්ලේ ..?”
ශාක්‍යා වහා සඳැස්වි අසලට පැමිණ ඇගේ දෑත අල්ලා ගත් අතර යළිත් වතාවක් බිමට බර කර ගත් දෑසින් ගලා ගිය කඳුළක් ඈ සෙමින් පිස දැමුවාය.
*********************
මිනිත්තු කිහිපයක් ලිපි ගොනු සියල්ල පෙරළමින් සිටි ප්‍රතාපසිංහ විසල් හුස්මක් සලා ජංගම දුරකතනය අතට ගත්තේය. තමන් ඇතුළු හිතවතුන්ට ඇති ඉක්මන හෝ හදිස්සිය සියත්‍රගේ නීතීඥවරයා වූ ප්‍රතාපසිංහට නොමැති වීම පිළිබඳව පහන්‍යාගේ සිත තුළ නැවතත් කෝපයක් හට ගැනුණි.
” මට සියත්‍රව දෙන්න..!”
යමක් පැවසීමට මුව ඉස්සර කළද ප්‍රතාපසිංහ ඇමතුම වෙත පැවසූ දේ ඇසුණු සැණින් වික්ශිප්ත දෑසින් ඈ ශාක්‍යා දෙසත් සඳැස්වි දෙසත් බැලුවාය. දුරකතනය රැගෙන ගෙමිදුලට ගිය ප්‍රතාපසිංහ මිනිත්තු පහක් පමණ ඇමතුමේ රැඳී සිට යළි නිවසට පැමිණියේය.
” ඒ මල්ලිද ?”
” ඔව්. “
” කොහොමද කතා කරන්නේ?”
” ආ.. ඒවා සුළු දේවල් “
එසේ පැවසූ ඔහු නැවතත් ඇමතුමකට සම්බන්ධ වූයේය.
” ආදේශ්..! ඔව්.. කාටද නිවුස් එක දුන්නේ ?
…….
“ශිට්.. ! හරි.. හරි.. කිසිම නිවුස් එකක හිටපු සුපර්වයිසගේ නම ගෑවෙන්න බෑ. “
……….
” නෑ.. නෑ.. මේක සියත්‍රගේ ඕඩර් එකක්. එච්චරයි..”
එසේ පැවසූ ඔහු නිහඬවම ලිපි ගොනු සියල්ල රැගෙන පහන්‍යාගේ නිවසින් පිටතට බැස්සේය.


