පැය විසි හතරක් යන්නට මත්තෙන්ම ලාංකික මාධ්‍යකරණය මඩේ ඔබමින් සිටි අළුත් ප්‍රවෘත්තියම යළි සෝදමින් සිටියේය. රූපවාහිනී නාලිකා , සමාජ මාධ්‍ය පතුරු ගැසූ RD foods හී නවතම ප්‍රවෘත්තිය ඔවුන් විසින්ම යළි යළිත් අලුත්කරණය කරමින් එතෙක් දෝෂාරෝපණ එල්ල කරමින් සිටි සියත්‍ර රන්දෙණිගල වෙත මල් ඉසිමින් සිටියේය. හතර දිග් බාගය පුරාම පෙර දින RD foods හී අතුරුදහන් වී ඇතැයි , සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පැවසූ ගිණුම් වාර්ථා වල පිටපත් සංසරණය වෙමින් පැවතියේය. ඊට අමතරව RD හී කාර්‍යාල, කර්මාන්තශාලා සහ RD හී අනුබද්ධ සුපිරි වෙළඳ සංකීර්ණ වල රැකියාවැති බොහෝ පිරිසක් තම දුෂ්කර කාල වලදී , ලෙඩ රෝග වලදී , අධ්‍යාපන කටයුතු වලදී RD හී පරිපාලන මණ්ඩලය විසින් තමන් හට සිදු කර දී තිබූ බොහෝ උදව් උපකාර පිළිබඳව බොහෝ සටහන් , වීඩියෝ පට සමාජ මාධ්‍ය වෙතට මුදාහරින්නට පටන් ගෙන තිබුණහ.
ඉදින් ඒ අනුව සියත්‍ර රන්දෙණිගල ප්‍රමුඛ රන්දෙණිගල කුටුම්භයටත් RD ව්‍යාපාර ජාලයටත් සෑම අතින්ම පැසසුම් ලැබෙන්නට වූ අතර පැය කිහිපයක් තුළදී පහතට වැටුණු RD නාමය ඊලඟ පැය කිහිපය තුළදී පැවතියාටත් වඩා කීප ගුණයකින්ම ඉහල නැංවී තිබුණේය.
එක පෙළට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් පහන්‍යාගේ නිවස අද්දර නතර කරනු ලැබූ අතර කළු පැහැ කලිසමකින් හා පළල් බාහුව කැපී පෙනෙන සුදු පැහැ වැල මිට අසලට නැමූ අත් දිග කමිසයකින්ද සැරසුණු කඩවසම් තරුණයා රාක්ෂ උවන පුරාම කෝපය පිරි හැඟීමෙන් මෝටර් රථයකින් බැස වේගවත් ගමනින් නිවස තුළට ඇවිද ආවේය.
” මල්ලී..!”
තරප්පු පෙළ බැස පැමිණි පහන්‍යා ඉක්මන් ගමනින් පැමිණ වංශවත් දේහදාරියා දෙසට ඇවිද ගියද ඈ දෙස බැල්මක් හෝ නොහෙළූ ඔහු ඈ පසුකර ඊට පසුපසින් සිට ගෙන සිට කුඩා යුවතිය අසලට ඇවිද ආවේය.
” කවුද පණ්ඩිත වැඩ කරන්න කිව්වේ ?”
කෝපයෙන් ගිගිරූ ඔහුගේ කටහඬ කිසිදු සෞම්‍ය ස්වරයක් නොගත් අතර එක් වරම ඉදිරියට පැමිණ කළ ගෝරනාඩුවෙන් තරුණියද තිගැස්සී ගියාය.
” සර්.. මං.. මේ..!”
” තමුන්ට කවුද කිව්වේ එකවුන්ට්ස් වල රිපෝට්ස් මෙහෙම ප්‍රසිද්ධ කරන්න කියලා ?”
” මල්ලී… ! ඒක සඳැස්වි කරපු වැඩක් නෙමෙයි. හෙඩ් ඔෆිස් එකේ කොහෙවත් හොයාගන්න බැරි වෙච්ච ඩොකියුමන්ට්ස් ටික එයාගේ ගෙදර තිබිලා එයා අරන් ඇවිත් අපිට දුන්නා විතරයි. ඒකෙන්නේ අනේ ඔයාට මෙහෙම එන්න පුලුවන් උනේ. ඒ කෙල්ල කරපු වැඩේ නිසයි ඔයා අද එළියට ආවේ.”
සියත්‍ර කෝප වී ඇත්තේ කුමන කාරණයක් මතද යන්න පිළිබඳව හරිහැටි වැටහීමක් නොවුණු පහන්‍යා කුඩා යුවතිය වෙනුවෙන් නිදහසට කරුණු පැවසුවාය. නමුදු ඒ කිසිවකට සවන් නුදුන් කේන්තිකාරයා තරුණියගේ මුව අද්දරටම තම දබරැඟිල්ල දිගු කළේය.
” ඒ තමුන්ගේ තාත්තා. හිතාමතා ඒ මනුස්සයව වැරදිකාරයෙක් කරලා තමුන්ට ඕන උනේ මාව බේරගන්න නම් මතක තියාගන්නවා සඳැස්වි ඒක තමයි තමුන් කරපු ලොකුම වැරැද්ද . I am very disappointed in you. “
කඳුළු පිරි දෙනෙතින් ගලා යන කඳුළු බිඳු ආයාසයෙන් පිසදා ගත් ඈ මුහුණ ඔසවා කෝපයෙන් පිපිරෙමින් උන් දේහදාරියා දෙස බැලුවාය.
” කවුරු කළත් වැරැද්දක් නම් ඒක වැරැද්දක්මයි , දඬුවමක් ලැබෙන්නම ඕනේ කියන එක මට කියලා දුන්නෙත් මගේ තාත්තා සර්.. ඒ වගේම එයා මට කියලා දීලා තියනවා කවදාවත් නොකරපු වැරැද්දකට කිසි කෙනෙක්ට චෝදනා කරන්න එපා කියලා. ඒ වගේම මොන තරම් ලාබ ප්‍රයෝජන තිබ්බත් කාගෙවත් පිට නොකළ වැරදි පටවන්නත් එපා කියලා. නොකරපු වැරැද්දකට ඔයා නිස්කාරණේ හිරේ විලංගුවේ වැටෙනවා මට බලන් ඉන්න බැරි උනා සර්..”
” එතකොට දැන් තමුන් කියන්නේ වැරදි තමුන්ගේ තාත්තද ? ආ.. ? මගෙන් රිලීස් වෙච්ච කෝටි ගාණක සල්ලි හොරාකෑවේ තමුන්ගේ තාත්තද ? එහෙනං කෝ ඒවා ? ඒවා එහෙම තිබ්බනං පහුගිය දවස්වල තමුන්ලාට අච්චර කරදර ගොඩකට මූණ දෙන්න වෙනවද ? ”
” මල්ලි ..! ඔයා මොනවද මේ කියන්නේ ? මේ කෙල්ලට තවත් ඔහොම කෑගහන්න එපා මල්ලි. ඒ ළමයා ඉන්නේ තමන්ගෙම තාත්තා වැරදිකාරයෙක් වුණා කියලා දැනගෙන ඒක දරාගන්න බැරි අසරණ කමක. ඔයත් මෙහෙම මේ කෙල්ලට කෑගහන්නැතුව පොඩ්ඩක් ඒ ළමයා ඉන්න සිටුවේශන් එක තේරුම් ගන්නකෝ..”
” අක්කේ.. ඔයත් කලබල නොවී ඉන්නකෝ..”
පහන්‍යාගේ පසෙකින් පැමිණි ශාක්‍යා ඇගේ උරහිස මත අත තබා ඈව සන්සුන් කිරීමට බොහෝ උත්සාහ ගත්තාය.
” සර්ගෙන් රිලීස් වෙච්ච සල්ලි සතයක් නෑර මගේ තාත්තා ලඟට ගිහින් තියනවා සර්. හැබැයි එතනින් එහාට ඒවට උනේ මොකක්ද කියලා මං දන්නෑ. ඒ වගේම හෙඩ් ඔෆිස් එකේ තියෙන්න ඕනේ ඩොකියුමන්ට්ස් අපේ ගේ ඇතුළේ තිබ්බේ ඇයි කියන්න මං දන්නෙත් නෑ. ගේයි , ඉඩමයි විකුණන්න ඉඩමේ ඔප්පුවයි , පත්තීරුයි හොයන්න ගත්තු වෙලාවේ අහම්බෙන් වගේ මට ඔය ඩොකියුමන්ට්ස් ලැබුණේ සර්. මං දන්නවා මගේ තාත්තා වැරදිකාරයෙක් නෙමෙයි , වංචාකාරයෙක් නෙමෙයි. එයා එහෙම උනානම් සර් කිව්වා වගේම අපි සුර සැප විඳින්න තිබ්බා. සර්ගෙන් රිලීස් වෙච්ච සල්ලි මගේ තාත්තා අතින් වෙන කොහෙටවත් යන්න ඇති . නැත්තන් වෙන කාටහරි යන්න ඇති. වරදක් වෙලා නෑමයි කියන්න බෑ සර්. කොතනහරි මගේ තාත්තා අතිනුත් වරදක් වෙලා තියනවා. ඒ නිසයි එයා එකවුන්ට්ස් ඩීටේල්ස් ටික ගෙදර ගෙනිහිල්ලා හැංගුවේ . හැබැයි සර්ගේ සල්ලි ගත්තේ මගේ තාත්තා නෙමෙයි.
වරදක් නොකර සර් නිදහස් උනා වගේ මගේ තාත්තත් වැරදිකාරයෙක් නෙමෙයි කියලා කවදහරි ඔප්පු වෙයි සර්. මං එතකන් ඉන්නවා. “
ඈ නැවත නැවතත් දෙනෙතින් ගලා යන කඳුළු බිඳු පිස දැමුවාය. කෝපාවිශ්ට දෙනෙතින් සහ මිට මෙළවුණු දෑතින් එක දිගට ඔහුගේ රකුසු උවන ඈ දෙසට යොමු වී තිබුණද හිස ඔසවා ඔහු දෙස නොබැලූ ඈ දිගටම කඳුළු වගුරවමින් බිම බලා සිටියාය. තවත් කුමක් හෝ යමක් ඈ වෙත පැවසීමට කේන්තිකාරයා සූදානම් වුණිද සාක්කුවේ බහා තිබූ ජංගම දුරකතනයේ නාදය හේතුවෙන් ඔහු පැමිණි ඇමතුමකට සම්බන්ධ වූයේය.
” හෙලෝ.. ඉන්දීවර ..!”
හඬා වැටෙන තරුණිය අසලට පැමිණ ඇගේ අතකින් අල්ලා ගත් පහන්‍යා මළණුවන්ගේ ඇමතීමට වහා තිගැස්සී ඔහු දෙස බැලුවාය.
” ඔව්. මං තව විනාඩි පහෙන් ඔතන “
තමා වෙතට එල්ල වී තිබූ සහෝදරියගේ පුදුම සහගත දෑසද , කඳුළු පිරි වේදනාබර ස්නේහවන්තියගේ දෑසද මායිම් නොකළ ඔහු නැවතත් ඇමතුමකට සම්බන්ධ වූයේය.
” ගන්කන්ද ..! අද රෑ වෙද්දි ගෙදර මගේ රූම් එකේ තියන මගේ අත්‍යාවශ්‍ය බඩු ඔක්කොම මගේ අපාර්ට්මන්ට් එකට ගිහින් දාන්න ඕනේ. “
………..
” ඔව්.. මං අද රෑ ඉඳන් එතන ඉන්නේ.. “
ඔහු යළිත් වතාවක් ඇමතුම විසන්ධි කළ අතර පහන්‍යා නැවතත් ඔහු මුව දෙස විමතියෙන් බලා සිටියාය.
” ඇයි.. ඇයි .. ගෙදර මොකද්ද තියන ප්‍රශ්නේ ? ඔයා ඇයි තනියම අපාර්ට්මන්ට්ස් වල ඉන්නේ ? ගෙදර ඉන්න බැරි නම් මෙහෙ ඉන්න පුලුවන්නේ ? “
පහන්‍යාගෙන් නැඟුණු ප්‍රශ්න කිසිවකට පිළිතුරු නොබැඳි ඔහු නිහඬවම ශාක්‍යා දෙසට හැරුණේය.
” ශාක්‍යා..! හෙට ඉඳන් හෙඩ් ඔෆිස් එකේ වැඩ පටන් ගන්නවා. හැමදේම තිබ්බ පිළිවෙලට , තිබ්බ විදිහටම තියෙන්න ඕනේ. “
” ඕකේ සර්..!”
” හෙටින් පස්සේ RD එක ඇතුළේ සිද්ධ වෙන කිසිම ගණුදෙනුවක් මගෙන් පිට සිද්ධ වෙන්න බෑ. “
” ඕකේ සර්..!”
” කොටින්ම මගේ අනුමැතිය නැතුව දිනේන්ද්‍ර රන්දෙණිගලගේ යටතේවත් කිසිම දෙයක් වෙන්න බෑ. “
” ඕ.. ඕකේ.. සර්..!”
එවර මුවින් පිටවුණු වචනද පැටළුණු ශාක්‍යා විමතියෙන් පහන්‍යා දෙස බැලූ අතර සිදුවන කිසිවක හරි හැටි තේරුමක් නොමැති පහන්‍යා සෙමින් හිස දෙපසට සැලුවාය.
” එතකොට තමුන් “
නැවතත් ගෝරනාඩුව කුඩා යුවතිය දෙසට එල්ල වූ අතර ඈ නැවතත් එකී රකුසු උවන දෙස බැලීමට නොහැකිව බිම බලා ගත්තාය.
” තමුන් මීට පස්සේ RD එක පැත්ත පළාතේ පස් පාගන්න බෑ. මහ ලොකුවට අස් වෙන්නනේ ඕන කම තිබ්බේ. මං තමුන්ව අස් කරනවා. හෙට ඉඳන් වැඩට නෑවිත් හිටියට කමක් නෑ. “
මඳ වේලාවක් කඳුළු සිඳී ගොස් තිබූ දෑස් අග නැවතත් කඳුළු බිඳු දෝර ගැලූ අතර ඈටත් නොදැනීම ඇගේ මුවින් ඉකි ගැසෙන්නට පටන් ගැනිණි.
” සර්..! සර්.. ! සඳැස්වි ගෙදර වැඩයි හැමදේම කරන්නේ එයාට ලැබෙන සැලරි එකෙන්. අපි එයා වෙන තැනක ජොබ් එකක් හොයාගන්නකන්වත්….”
ශාක්‍යාට තම කතාව අවසන් කිරීමට ඉඩ නොලැබුණු අතර ප්‍රධානියාගේ රාක්ෂ බැල්ම ඈව ක්ෂණිකව නිහඬ කෙරුණි.
” ඇයි කලින් resignation දෙන වෙලාවේ කොහෙද කඩේක ජොබ් එකක් හොයාගත්තා කිව්වේ ඒ වගේ එකක් හොයාගන්න පුලුවන් වෙයිනේ. ?”
එලෙස පැවසූ ඔහු කිසිවෙකුගේ හෝ උවනක් නොබලාම යළි හැරී නිවසින් පිටත් වී ගියේය. දරාගත නොහැකි වේදනාව හමුවේ කුඩා යුවතිය පහන්‍යාගේ උරහිසට බරවී එක දිගට ඉකි ගසමින් හැඬුවාය.


