” අක්කේ..! කියන්න. “
රාත්‍රී වැඩ මුරය නිමවා නවාතැන්පළ වෙත යාමට බස් රථයක් එනතුරු මඟ බලමින් සිටි යුවතිය පහන්‍යා ලබා දුන් ඇමතුමට වහා සම්බන්ධ වූවාය.
” කොහෙද නංගි ඉන්නෙ ?”
” මං දැන් වැඩ ඉවර වෙලා බෝඩිමට යන්න එළියට ආවා අක්කේ. “
” දැන් ? දැන්ද ඔයා වැඩ ඉවර උනේ ? දැන් රෑ නමයත් පහු වෙලානේ නංගි ”
” ආ.. ඔව්.. අක්කා ඇයි හදිස්සියේ කතා කළේ. ?”
” චිත්‍රාගේ දුවට අසනීප වෙලා කියලා චිත්‍රා උදේ ගමේ ගියා නංගි. හවස ඉඳන්ම මට හරි මහන්සියි. අඩි දෙකක් ඇවිද ගන්න බෑ. “
” දැන් එතකොට ගෙදර කවුරුවත් නැද්ද අක්කේ ?”
පහන්‍යාගේ වදන් ඇසුණු කුඩා යුවතිය මඳක් කලබලයට පත් වී සිටියාය.
” නෑ.. නංගි. කමක් නෑ මං දැන් ටිකක් නිදාගන්නවා. “
” අක්කේ.. ! මං එන්නද ?”
” එපා ළමයෝ. ඔයා මහන්සි වෙලානේ ඉන්නේ. “
” මහන්සියක් නෑ අක්කේ. ඔයා රෑට කාලද ?”
” කෑම එකක් ඕඩර් කර ගත්තා නංගි ”
” හරි. ඉන්නකෝ මං තව විනාඩි දහයක් යද්දි එනවා. “
බස් රථයක් පැමිණෙන තුරු මඟ බලා නොසිටි සඳැස්වි වහා පැමිණි ත්‍රී රෝද රථයක් නවතා එයට ගොඩ වූවාය.
” අපරාදේ ළමයෝ. මං කතා කළේ ඔයා ගෙදර ඇති කියලා හිතාගෙන . මහන්සියනේ දැන් ඉන්නේ. ?”
” එහෙම මහන්සියක් නෑ අක්කේ. ඔයාට ඇයි මොකද්ද ප්‍රශ්නේ ? ප්‍රෙශර් චෙක් කළාද ? ඇඟේ හිමොග්ලොබීන් අඩුද අක්කේ ? හිමොග්ලොබීන් අඩු උනාම තමයි ඔහොම ඇඟට මහන්සි දැනෙන්නේ. ඔයා රෑට කෑවද ?”
කුඩා යුවතියගේ ප්‍රශ්න වැලට පිළිතුරු දෙනු වෙනුවට පහන්‍යාගේ මුවෙහි මඳ සිනහවක් ඇඳිණි .
” හම්මේහ්.. පැහිච්ච ආච්චියෙක් වගේ අනේ ඔයා. මාව බලන ඩොක්ටර්වත් ඔහොම ප්‍රශ්න අහන්නෑ. “
කොපුලක් මිරිකමින් පහන්‍යා පැවසූ දේට තරුණිය මුව පුරා සිනහවක් නැඟුවාය.
” යං.. මං ඔයා එනකන් හිටියේ කන්න. “
පහන්‍යා ඇගේ අතින් අල්ලාගෙන කෑම මේසය වෙත ගිය අතර පසුපසට ඇදි පුටුවක පහන්‍යාව වාඩි කළ සඳැස්වි අසල තිබූ කරාමය වෙත ගොස් දෑත හොඳින් සෝදා ගත්තාය.
” ඔයා වාඩි වෙන්න. මං බෙදන්නම් “
මවක් මෙන් එහා මෙහා දිව යමින් ඉක්මනින් තමාටත් ඈටත් කෑම බෙදමින් සිටින කුඩා එකිය දෙස බලා සිටි පහන්‍යාගේ හදවත තමා කෙරෙහිම උපන් ශෝකයකින් පිරෙන්නට පටන් ගැනිණි. ගර්භණී වී මාස කිහිපයක්ම ඉක්ම ගොස් ඇතත් අදද මේ වන තුරාවට තම මව අතින් තමාට බත් කටක් ලබා දී නොමැත. තමා අසල සිටින්නට උවමනාම කාලය තුළදී මව හැසිරෙන්නේ ඒ කිසිවක් අනවශ්‍ය ලෙසටය. ගත වූ කාල සීමාව තුළ මවගේ අවශ්‍යතාවය දැඩිව දැනුණද ඒ එකදු විටක හෝ ඈ තමා ලඟ නොසිටියාය. මව මෙන්ම සැමියාද තමාගේ මෙන්ම දරුවාගේද යුතුකම් මඟ හැර ව්‍යාපාර පමණක්ම ජීවිතය කොට ගෙන ඇත. මිල මුදල් , යාන වාහන , සැප සම්පත් පමණටත් වඩා පිරී ඉතිරී යන තම ජීවිතය කෙතරම් හිස් එකක්දැයි කුඩා එකිය දකින වාරයක් වාරයක් පාසා ඇගේ සිතට දැනෙයි. තමාගේ යැයි සම්මත බොහෝ පිරිසක් මධ්‍යයේ තමා තනිවී ඇත යන හැඟීම පහන්‍යාගේ හදවත තුළ බොහෝ සෙයින් කලකිරීමක් ඉපැද්දවීමට සමත් වී තිබිණි.
” කන්නකෝ අක්කේ.. ඔයා කන්නෑනේ.. ?”
සඳැස්විගේ හඬින් කල්පනාවෙන් මිදුණු ඈ මුව මත මඳහසක් තවරා යළිත් කුඩා යුවතිය දෙස බැලුවාය.
” ඔයාගේ ඔය ඇඟිල්ලට මොකද උනේ ?”
සඳැස්විගේ දකුණතේ දබරැඟිල්ල ඔතා තිබූ තිබූ ප්ලාස්ටරය දුටු ඈ නැවත වතාවක් ඇඟිල්ල දෙසත් ඈ දෙසත් බැලුවාය.
” කැෆේ එකේදි සැලඩ් එකක් කපන්න ගිහින් කැපුණා අක්කේ. “
” කෝ.. ? ගොඩාක් තුවාල උනාද ?”
” අයියෝ.. නෑ. චුට්ටයි. අත කැපෙන ඒවා , පිච්චෙන ඒවා රස විමනෙදිත් ඕන තරම් වෙලා තියනවා. “
” ඔය කැෆේ එකේ ඔයාට දැන් සැලරි එක කීයක් ලැබෙනවද ?”
” එක පැයකට එකසිය පනහයි අක්කේ. “
පහන්‍යා මුව අසලට ගත් හැන්ද යළි පිඟාන මත තබා කනස්සල්ලෙන් කුඩා එකිය දෙස බලා සිටියාය.
” එච්චර පොඩි ගාණක් අරන් මොනවා කරන්නද නංගි ? එහෙම ගාණකටද ඔයා මෙහෙම මහන්සි වෙන්නේ ?”
” පාට් ටයිම් නේ අක්කේ. ෆුල් ටයිම් උනා නම් මීට වඩා ගාණක් හොයන්න තිබ්බා. කීයක් හරි හොයලා ගෙදට්ටත් යවන්න එපැයි අක්කේ. “
පහන්‍යා දෙස හිස නොඔසවාම ඈ පිළිතුරු බඳිමින් සිටි අතර ඇගේ පසුපසින් මතු වූ රුව නිශ්ෂබ්දව සිටින ලෙස පහන්‍යාට සංඥා කළේය.
” RD එකේ වැඩ කරද්දී ලොකු ගාණක් ලැබිච්ච නිසා මං නංගිව ටියුෂන් ක්ලාස් දෙකකට දැම්මා. මං අම්මට කිව්වේ නෑ මං RD එකෙන් අයින් උනා කියලා. එහෙම කිව්වනම් එයා නංගිගේ ක්ලාස් ටික නතර කරනවා. අම්මා ඉන්නේ අසනීපෙන් අක්කේ. අසනීපෙන් කියන්නේ වැඩිය මහන්සි වෙන්න බෑ. ඇදුම තියනවනේ. ගෙදර ඉන්න කාලේ මාත් එක්ක ගොයම් කපන්න , රෙදි මහන ගෙවල් වල රෙදි කපන්න , මහන්න වගේ ඒවට ගියා. ඒත් .. මට ජොබ් එක ලැබුණම මං ඒවටත් යන්නම එපා කිව්ව නිසා දැන් අම්මා යන්නෑ. ඒ හින්දායි දැන් වෙලාවට බේත් ටික වැටෙන නිසයි අම්මා කාලෙකින් ලොකුවට අසනීප උනේ නෑ. දවසකට කොහොමහරි රුපියල් දාහක් හදාගන්න කැෆේ එකේ වැඩ කරගත්තා නම් ඇති. එතකොට මට මාසෙට තිස්දාහක් තියනවනේ. අනික පොඩි පොඩි ටියුෂන් වැඩත් සෙට් වෙනවා. එහෙම සෙට් උනාම තව කීයක් හරි අතේ තියාගන්න පුලුවන් . ඒ ගාණෙන් අක්කට බෝඩිං ෆී එක දීලා ඉතුරු එකෙන් වැඩි ගාණක් අම්මට යවනවා. “
” එතකොට ඔයා කන්නේ බොන්නේ දරුවෝ. ?”
පහන්‍යාගේ උගුර මත කටුවක් සිරවී ඇති සෙයක් ඈට දැනුණි.
” කැම්පස් එකට ගියාට පස්සේ නම් අවුලක් නෑ අක්කේ. කාගෙහරි බත් එකකට වාඩි වෙන්න අහු වෙනවා. අනික කැෆේ එකේදිත් මොනාහරි පොඩි දෙයක් කන්න පුලුවන් . ගොඩක් වෙලාවට අමාවීයි , හිරුකියි රෑට උයලා තියනවා. ඒත්.. මං කියලා තියෙන්නේ මට එක්ක කෑම හදන්න එපා කියලා. ඒගොල්ලොත් ජීවත් වෙන්නේ හරි අමාරුවෙන් අක්කේ. මට නංගිට උගන්නගන්න තිබ්බානම් ඇති අක්කේ. ගමේ නං මෙහෙ වගේ නෙමෙයි බත් ටිකක් නැතත් කොස් ගෙඩියක් , බතල අලයක් හරි තියනවා. කෑම නම් ප්‍රශ්නයක් නෑ. ඒත් ඉගෙනගන්න එක එහෙම බෑනේ. තාත්තා ඉන්නකන් හැමදාම කිව්වේ ඉගෙනගනින් .. ඉගෙනගනින් කියලා. තාත්තා නැති උනත් හරි අම්මයි , මායි පුදුම තරම් දුකක් වින්ඳා අක්කේ. ඔක්කොටම වඩා ලොකුම ප්‍රශ්නේ උනේ තාත්තා ගේ උගස් තිබිලා තිබිච්ච එක. ඒ නිසා අන්තිමට අම්මටයි , මටයි ,නංගිටයි අක්කා ලඟට යන්න උනා. නොකා නොබී ඉන්න පුලුවන් අක්කේ. මං ඕන තරම් බඩගින්නට ඇල් වතුර කෝප්පයක් බීලා ඉඳලා තියනවා. අපේ අම්මාත් එහෙමයි. ඒත්.. අක්කලෑ ගෙදර ගියාට පස්සේ සිද්ධ උනේ ජීවිතේ කවදාවත් හිතුවේවත් නැති කරදර. “
කෑම ගැනීම පසෙක තැබූ සඳැස්වි දෙනෙතින් ගලා වැටුණු කඳුළු බිඳු පේළියක් පිස දැමූ අතර පහන්‍යා වේදනාවෙන් ඇගේ අත අල්ලා ගනිමින් කිසිදු හඬක් නොනඟා තවමත් පසුපස නිහඬවම සිට ගෙන සිටින ඔහු දෙසට දෑස විතැන් කළාය.
” ඔයාලා දෙන්නා කතා නොකර ඉන්න පටන් ගත්තට පස්සෙත් මල්ලි ඔයාට සලකන එක අතෑරියේ නෑනේ නංගි. එයා දෙන සල්ලිත් ඔයා ආයේ ආයේ එයාටම ට්‍රාන්සර් කරනවා කියලා මට ශාක්‍යා කිව්වා. “
” එහෙම ගන්න හිතෙන්නෑ අක්කේ. මොන හේතුවක් උඩද මං සර්ගෙන් සල්ලි ගන්නේ ? සර් එහෙම උදව් කරද්දි මට මං ගැනම මහ අසරණකමක් දැනෙනවා අක්කෙ. සර් ඔය හිලව් කරන්නේ මගේ වටිනාකමද කියලා හිතෙනවා. මං කැමති නෑ හිතකින්වත් සර්ට වරදක් කියන්න. ඒ නිසයි සර් ට්‍රාන්සර් කරන එක රුපියලක්වත් මං ගන්නැත්තේ “
නැවත වතාවක් ඈ දෙකොපුල් දිගේ රූරා වැටි කඳුළු බිඳුවක් පිසලූ අතර පහන්‍යා විසල් සුසුමක් හෙළුවාය.
” අක්කලගේ ගෙදර පදිංචියට ගියාට පස්සේ මුලින් මුලින් කාලිංග අයියව දැක්කේ තාත්‍තා වගේ අක්කේ. ඒත්.. පස්සේ පස්සේ එයාගෙන් වෙන කරදර දරා ගන්න බැරි උනා. මට මාවම අප්පිරිය වෙන්න ගත්තා. ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවාම අම්මා හරි අක්කා හරි ගෙදර නැත්තන් මං කඩුල්ලවත් පැනලා එන්නෑ අක්කේ. එදාට ඉතිං දවල් දවසෙම බඩගින්නේ. හැන්ඳෑ වෙනකන් කුඹුරක් ලඟ හරි , කොහෙහරි ගහක් යටට වෙලා ඉඳලා පාඩම් කරලා ගෙදර යනවා. පස්සෙ පස්සෙ තමා අම්මා එක්ක පොඩි පොඩි වැඩ වලට යන්න පුරුදු උනේ. මගේ අම්මා තාත්තා වත් මට කවදාවත් එක පාරක් ගහලා නෑ අක්කේ. ඒත් කාලිංග අයියට අහුවෙන වෙලාවට එයාගෙන් බේරෙන්න හදද්දි මං අනන්ත අප්‍රමාණ එයාගෙන් ගුටි කාලා තියනවා. “
මිට මෙළවුණු දෑත දිගෙහි නහර ඉලිප්පී , රකුසු දෑස වේගයෙන් සැළෙන අයුරු කෑම මේසය මත හිඳ උන් පහන්‍යා රහසේ දුටුවාය.
” කැම්පස් තේරුණාට පස්සේ පුදුම තරම් සන්තෝසෙකින් මං හිටියේ. මට ඕන උනේ ගමෙන් ඈත් වෙන්න. ඒත් .. ඊට පස්සේ මෙහෙ ඇවිල්ල මුළු දවසෙම හිටියේ නංගි ගැන බයෙන්. කතා කරන හැම වෙලේම එයාට කිව්වෙම මං පරිස්සම් වෙන්න කියලා. සර් මට මොන විදිහට සැලකුවත් සර්ට ජාති ජාතිත් පින් ලැබෙන්න ඕනේ අක්කේ. සර් හින්දා අද මගේ අම්මයි , නංගියි ආයෙම අපේ ගෙදර ඉන්නේ. සර්ට පින් සිද්ධ වෙන්න මං දැන් හිතේ තිබ්බ ලොකු බරකින් නිදහස්. “


